සීමා මායිම් නොතකා කොරෝනා රට වටා සැරිසැරූ හැටි | සිළුමිණ

සීමා මායිම් නොතකා කොරෝනා රට වටා සැරිසැරූ හැටි

ලෝකයම උඩුයටිකුරු කළ කොවිඩ් 19 ගෝලීය වසංගතයේ ප්‍රබලත්වය කෙතරම්ද කිවහොත් ගතවන සෑම තත්පර 17කට වරක් යුරෝපයෙන් කොවිඩ් මරණයක් වාර්තා වන බවත් ඉදිරි හය මාසය යුරෝපයට ඉතා අසීරු කාලසීමාවක් වනු ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වාර්තා කළ අලුත්ම තත්ත්වයයි. ගතවූ සතියේදී පමණක් යුරෝපයෙන් වාර්තා වී ඇති මරණ ගණන 30,000කට ආසන්න විය.

ලෝක තත්ත්වය එසේ තිබියදී කොවිඩ් 19 දෙවැනි රැල්ලේ ව්‍යාප්තිය ආරම්භ වූ ඔක්තෝබර් 4 වැනිදා සිට මෙම සතිය ආරම්භ වූ පසුගිය 16 වැනිදා වන විට මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 17,287ක් වූ අතර එයින් 13,788ක් මිනුවන්ගොඩ හා පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය ආශ්‍රිතව ඇතිවූ කොරෝනා පොකුරට සම්බන්ධ ආසාදිතයන්ය. පසුගිය 16 වැනිදා වන විට සුවය ලැබූවන් සංඛ්‍යාව 11,495ක් වූ නමුත් කොවිඩ් මරණ සංඛ්‍යාව 58 දක්වා ඉහළ ගොස් තිබිණ. ඒ වන විට රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි සංඛ්‍යාව 5734ක් විය. ආසාදිතයන් හඳුනා ගැනීම සඳහා ඒ වන විට සිදුකර තිබූ PCR පරීක්ෂණ සංඛ්‍යාව 671,498ක් වූ අතර පසුගිය ඔක්තෝබර් 4 වැනිදා සිට 16 වැනිදා දක්වා කොළඹ දිස්ත්‍රික්කය තුළ පමණක් හඳුනා ගත් ආසාදිතයන් සංඛ්‍යාව 5899ක් විය. එවැනි තත්ත්වයක් තුළ කොවිඩ් 19 රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා බස්නාහිර පළාතෙන් පිටතට පුද්ගල සංචරණය සම්බන්ධයෙන් පනවා තිබූ පුද්ගල සංචරණ තහනම 15 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කිරීමට කොවිඩ් කෝවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කටයුතු කළේය. එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ හුදෙකලා ප්‍රදේශ ලෙස නම් කර ඇති පොලිස් වසම් හැර සෙසු ප්‍රදේශ ද, කුරුණෑගල, කළුතර, කෑගල්ල දිස්ත්‍රික්කවල පොලිස් වසම් කිහිපයක්ද හුදෙකලා තත්වයෙන් මුදා හරිනු ලැබුයේ 16 වැනිදා අලුයමය. එසේ වුවද වයිසරසේ ව්‍යාප්තිය ශීඝ්‍රෙයන් සිදුවන අවදානම් කලාප ලෙස හඳුනාගත් කොළඹ දිස්ත්‍රික්කයේ මරදාන, කොටුව, පිටකොටුව, කොම්පඤ්ඤ වීදිය හා වේල්ල වීදිය යන ප්‍රදේශ එදින අලුයම 5 සිට නැවත දැනුම් දෙන තුරු හුදෙකලා කිරීමටද කෝවිඩ් 19 පාලනය කිරීමේ මෙහෙයුම් මධ්‍යස්ථානය පියවර ගනු ලැබිණ.

එසේ හුදෙකලා ප්‍රදේශ ලෙස ප්‍රකාශයට පත්කළ ප්‍රදේශ අතරින් මරදාන, කොටුව, පිටකොටුව, කොම්පඤ්ඤවීදිය සහ වේල්ලවීදිය යන පොලිස් වසම්හි පිහිටා ඇති, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ අපනයන සංවර්ධන මණ්ඩලය යටතේ ක්‍රියාත්මක වන කර්මාන්තශාලා, උසාවි කටයුතු සහ අත්‍යවශ්‍ය වෙනත් රාජ්‍ය ආයතන සෞඛ්‍ය බලධාරීන්ගේ අධීක්ෂණය යටතේ පවත්වාගෙන යා හැකි බව කෝවිඩ්-19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම් දුන්නේය.

එසේ වුවද හුදෙකලා ප්‍රදේශවල ස්ථාපිත අත්‍යවශ්‍ය කර්මාන්තශාලා, රාජ්‍ය ආයතනවල කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යෑමට රජය පියවර ගත් අතර ඒ වෙනුවෙන් විශේෂ කාර්යාල දුම්රිය කිහිපයක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කළේ හුදකලා කර ඇති ප්‍රදේශයන්හි කිසිදු දුම්රියක් නැවැත්වීමෙන් තොරවය.

මතුව ඇති වාතාවරණය තුළ අවම වශයෙන් සති තුනක කාලයක් හෝ කොළඹ මහනගර සභා බල ප්‍රදේශය වසාදමන ලෙස කොළඹ පුරපතිනි රෝසි සේනානායක පසුගිය 16 වැනිදා රජයෙන් ඉල්ලීමක් කළාය. ඒ, කොළඹ නගර සභා බලප්‍රදේශයේ කොවිඩ් -19 වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා දැඩි ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාව පවතින බව පෙන්වා දෙමිනි. එදින තවත් කොවිඩ් මරණ 3ක් වාර්තා වූ අතර ඒ, මොරටුව ප්‍රදේශයේ පදිංචි 84 හැවිරිදි කාන්තාවක්, කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි අවුරුදු 70ක පිරිමි පුද්ගලයකු සහ කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 75ක පිරිමි පුද්ගලයකුය. ඔවුන් තිදෙනාම දියවැඩියාව, නිදන්ගත වකුගඩු රෝගය සහ සංජානනීය හෘදරෝගවලින් පෙලෙමින් සිටි අය බව අනාවරණය විය. 

මේ අතර ඉකුත් 17 වැනිදා විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේ එදින සිට විදේශගත ශ්‍රී ලාංකිකයන් යළි මෙරටට ගෙන්වීමේ කටයුතු ආරම්භ කරන බවයි. ඒ අනුව 17 වැනිදා අබුඩාබි සහ කටාර් සිට ශ්‍රී ලාංකිකයන් 93ක් මෙරටට පැමිණියහ. තවත් 1247 දෙනකු එක්සත් අරාබි එමීර් රාජ්‍යය, මාලදිවයින සහ ඉන්දියාව යන රටවල සිට ඉදිරි දිනවලදී මෙරටට පැමිණීමට නියමිත බවද විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසීය. එසේ මෙරටට පැමිණෙන සියලුදෙනා ගුවන් තොටුපළේ දී PCR පරීක්ෂණවලට යොමු කිරීමෙන් අනතුරුව නිරෝධායනය සඳහා යොමු කෙරේ.

පසුගිය 17 වැනිදා වන විට මෙරට කොවිඩ් ආසාදිත පුද්ගලයන්ගේ පළමු හා දෙවැනි ආශ්‍රිතයන් 30,000ක් පමණ ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය. කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ සේවය කරන වෛද්‍යවරු 05 දෙනකු ඇතුළු කාර්යය මණ්ඩලයේ 16 දෙනෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව තහවුරු වූයේද පසුගිය 17 වැනිදාය. ඒ, එම රෝහලේ ඒ වන විට කොවිඩ් ආසාදනය වී ඇති පුද්ගලයන් සංඛ්‍යාව 60 දක්වා ඉහළ දමමිනි. පුද්ගලයන් 80ක් පමණ නිරෝධායනට ලක්කර ඇති බවද වාර්තා විය. කොළඹ මහනගර සභා සීමාව කොවිඩ් අධි අවදානම් තත්ත්වයකට පත්ව ඇතැයි වසංගත රෝග විද්‍යා අංශයේ, ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළේ එදින වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව වාර්තා වී තිබුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වීම නිසාය. එම සංඛ්‍යාව 231ක් වූ අතර දෙවැනි කොවිඩ් රැල්ල ආරම්භ වූ ගම්පහ දිස්ත්‍රික්කයෙන් එදින ඊයේ වාර්තා වූයේ ආසාදිතයන් 4ක් පමණි. කළුතරින් 20 ක්, කුරුණෑගලින් 11ක්, ගාල්ලෙන් 02ක්, රත්නපුරයෙන්, කෑගල්ලෙන්, මොණරාගලින්, යාපනයෙන් හා නුවරඑළියෙන් එක් ආසාදිතයකු බැගින් එදින වාර්තා වූ අතර සෙසු දිස්ත්‍රික්ක 15 න් එදින එක ආසාදිතයකු හෝ හඳුනා නොගැනීම විශේෂත්වයකි.‍

නිකවැරටිය තැපැල් කාර්යාලය 17 වැනිදා දහවල සිට වසා දැමීමට එහි පාලන අධිකාරිය සහ සෞඛ්‍ය අංශ පියවර ගත්තේ කොවිඩ් ආසාදිත කුරුණෑගල තැපැල් නිලධාරින් දෙදෙනකු ඊට පෙර දින නිකවැරටිය තැපැල් කාර්යාලයට පරීක්ෂණ කටයුත්තක් සඳහා පැමිණ තිබීම නිසාය.

එහෙත් එදින කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 5ක් වාර්තා වූයේ මෙරට මෙතෙක් වාර්තාවී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 66ක් දක්වා ඉහළ දමමිනි. එසේ මරණයට පත් වූයේ කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි පිරිමි පුද්ගලයකු, රත්මලාන ප්‍රදේශයේ පදිංචි 69 හැවිරිදි කාන්තාවක්, කිරුළපන ප්‍රදේශයේ පදිංචි 71 හැවිරිදි කාන්තාවක්, කොළඹ 02 ප්‍රදේශයේ පදිංචි 81 හැවිරිදි කාන්තාවක් සහ දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි 82 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.

කොරෝනා අවදානම හේතුවෙන් සෞඛ්‍ය අංශවල නිර්දේශ මත ගාල්ල මහාධිකරණය, මහේස්ත්‍රාත් අධිකරණය, දිසා හා සිවිල් අභියාචනා අධිකරණ හා කම්කරු විනිශ්චය සභාව පසුගිය 18 වැනිදා සිට දින තුනකට වසා දැමීමට ගාල්ල නීතිඥ සංගමය කටයුතු කළේය. නමුත් සඳුදා සිට අධිකරණවල කටයුතු සාමාන්‍ය පරිදි සිදු කිරීමට නියමිතය.

මේ අතර නීතිපති උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කණ්ඩායමක් බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුර පිළිබඳ පරීක්ෂණ සඳහා පත් කරනු ලැබිණ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ අදාළ පරීක්ෂණ සිදු කෙරේ.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක්වන කලම්බු කිංග්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන එංගලන්තයේ කබීර් අලීට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වූයේද පසුගිය 18 වැනිදාය. ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කළේ, ඒ හේතුවෙන් තරගාවලිය සඳහා ඔහුගේ සහභාගීත්වය අවිනිශ්චිත තත්ත්වයක පවතින බවයි. සිකුරාදා වන විට දිවයින පුරා පුද්ගලයන් 75,591 දෙනකු නිරෝධානයනයට යොමු කර ඇති බව ශ්‍රී ලංකා මහජන ‌ෙසෟඛ්‍ය පරීක්ෂක වරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර පැවසීය. මුහුණු ආවරණ නොපැලඳීම සහ සමාජ දුරස්ථභාවය පවත්වා නොගනීම සම්බන්ධයෙන් මේ දක්වා කාලය තුළ පුද්ගලයන් 297 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා විය. තවත් කොවිඩ් ආසාදිත මරණ තුනක් 18 වැනිදා වාර්තා විය. ඒ, කඳාන ප්‍රදේශයේ පදිංචිව සිටි 70 හැවිරිදි පුද්ගලයකු, කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිව සිටි 74 හැවිරිදි කාන්තාවක් සහ කොළඹ 12 පදිංචි ව සිටි 48 හැවිරිදි පුද්ගලයෙකි. ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 69 දක්වා ඉහළ ගියේය.

කොවිඩ් ආසාදිතයන් හඳුනා ගැනීමට රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් හෙවත් ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂාවන් සිදුකිරීම සඳහා සකස් කරන ලද මාර්ගෝපදේශ මාලාව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කළේ පසුගිය 18 වැනිදාය. ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මෙරටට ලැබුණු රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කට්ටල එදින සිට භාවිතයට ගැනීමට හැකි අතර ජාතික රෝහල්, ශික්ෂණ රෝහල්, මහ රෝහල්, දිස්ත්‍රික් රෝහල්, ප්‍රාදේශීය රෝහල් ඇතුළු රජයේ සියලු රෝහල්වලදී එම පරීක්ෂාව සිදුකළ හැකිය. කොළඹ මහනගර සීමාව තුළ සහ ඒ ආශ්‍රිත අනිකුත් ප්‍රදේශවල රෝගීන් ඉක්මණින් හඳුනාගැනීම සඳහා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව ආරම්භ කරනු ලැබිණ.

දැනට හුදකලා කර ඇති ප්‍රදේශ තවදුරටත් හුදකලා කරන්නේ ද නැද්ද යන්න මේ සති අන්තයේදී සිදුකරන විශ්ලේෂණයේදී තීරණය කෙරෙන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඉකුත් 19 වැනිදා පැවසීය. හුදෙකලා කර ඇති ප්‍රදේශ අතරින් තවදුරටත් හුදෙකලා කළ යුතු ස්ථාන මේ වනවිට හඳුනාගෙන යමින් තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.

මෙරටින් මෙතෙක් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 73 දක්වා ඉහළ දමමින් කොවිඩ් ආසාදිත තවත් පුද්ගලයන් සිවු දෙනකු 19 වැනිදා මියගිය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය. 

කොළඹ 15 සහ කළුතර ප්‍රදේශවල පදිංචි අවුරුදු 27 ක සහ 59 ක කාන්තාවන් දෙදෙනෙක්, කොළඹ 10 සහ කළුතර ප්‍රදේශවල පදිංචි අවුරුදු 70 ක සහ 86 ක පිරිමි පුද්ගලයන් දෙදෙනෙක් එසේ මිය ගොස් ඇත.

මේ අතර කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් කොළඹ අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මවක් සහ දරුවකු 19 වැනිදා රාත්‍රී 9ට පමණ රෝහලින් පලා ගොස් ඇති අතර දරුවා 20 වැනිදා උදෑසන ඇහැලියගොඩ ප්‍රදේශයේදී පොලිසිය විසින් සොයා ගෙන තිබේ. මව 25 වැනි වියෙහි පසුවන අතර දරුවාට වයස අවුරුදු 2 ක් පමණ වන බව වාර්තා වේ. අදාළ මව 19 වැනිදා රාත්‍රියේ පුත්‍රයා ඇහැලියගොඩ ප්‍රදේශයේ සිය ඥාති නිවසකට භාර දී එම ස්ථානයෙන්ද පලා ගොස් තිබියදී පොලිසිය විසින් ඔහු පොලිස් භාරයට ගෙන තිබේ. එම කාන්තාව මහා පරිමාණ හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ තැනැත්තියක් බවට පොලීසිය විසින් සැක කරන අතර වැඩිදුර විමර්ශන සිදු කෙරේ.

19 වැනිදා වන විට මෙරට බන්ධනාගාර ආශ්‍රිතව වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව 555 දක්වා ඉහළ ගොස් තිබිණ. එමෙන්ම මේ වන විට දිවයින පුරා පොලිස් ස්ථාන 64ක සේවය කරන නිලධාරීන් 849කට කොවිඩ් 19 ආසාදනය වී ඇති අතර එයින් 310ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

මෙරටින් වාර්තා වන විශාලතම කොවිඩ් පොකුර වන මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුරේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 19 වැනිදා වන විට 15,000 සීමාව ඉක්මවා ගියේය. ඒ, මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 3,059ක් ලෙසත් පෑලියගොඩ මාළු වෙළෙඳපොළ පොකුර 12,265ක් ලෙස සටහන් කරමිනි. ඒ අනුව 20 වැනිදා වන විට සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 19,061ක් වන අතර ඉන් පුද්ගලයින් 13,271ක් පූර්ණ සුවය ලබා ඇත. මේ වන විට පුද්ගලයන් 5,717ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි. නිරෝධායන නීති කඩ කිරීම හේතුවෙන් ප්‍රවීණ රංගන ශිල්පියකු කිරුලපන පොලිසිය විසින් 20 වැනිදා අත්අඩංගුවට ගත්තේ මුඛ ආවරණයක් පැලඳ නොසිටීම සහ පොලිස් රාජකාරියට බාධා කීරීමට උත්සාහ කිරීම හේතුවෙනි.

ඩ්‍රෝන මෙහෙයුම්වලින් මේ වන විට පුද්ගලයන් 117ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පැවසීය. ඔක්තෝබර් 30 වැනිදා සිට මේ දක්වා මුහුණු ආවරණ පැලඳ නොසිටීම සහ සමාජ දුරස්ථභාවය පවත්වාගෙන නොයෑම ආදී නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයන් 300 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මේ අතර හුදෙකලා කිරීම සම්බන්ධයෙන් අදාළ නිරෝධායන නියෝගය කොළඹ සහ ගම්පහ පොලිස් වසම් 24ක් ආශ්‍රිතව තවදුරටත් ක්‍රියාත්මකව පවතී.

Comments