සහජ ඥානය මගින් විද්ව­තුන් බිහි කරන්න ක්‍රම සහ විධි තිබෙ­නවා | සිළුමිණ

සහජ ඥානය මගින් විද්ව­තුන් බිහි කරන්න ක්‍රම සහ විධි තිබෙ­නවා

මනෝ විද්‍යාත්මකව කොවිඩ් පාලනය කරන්න පුළුවන්

මේ කාලයේ දරුවන්ට අධ්‍යාපනය ආරක්ෂාව මෙන් ම විවේකයත් ඕනෑ

ගණිතය අමාරු නම් විකල්ප ක්‍රම අනුගමනය කළ යුතුයි

සයිකො සුමටික් සයිකො සයිබොනටිකා දියුණුවේ රහස් ක්‍රම සහ එඩියුකො යන නව ක්‍රමවේද මඟින් සහජ ඥානය අවදි කරන මහා රහස් පිළිබඳ මහාචාර්ය සාගර කරුණාතිලක සූරින් සමඟ සිදු කළ සාකච්ඡා සටහනකි මේ.

ඔබ වෛද්‍යවරයෙක්, අධ්‍යාපන මනෝ වෛද්‍යවරයෙක්. ඒ නිසාම මේ ප්‍රශ්නය ඔබතුමාගෙන් අසනවා. කොවිඩ් 19 හෙවත් නව කොරෝනා කියන වසංගතය නිසා අපේ රටේ ජන ජීවිතය අඩාළ වුණා. මේ තත්ත්වය විශේෂයෙන්ම පාසල් යන වයසේ දරුවෝ ඉන්න දෙමාපියන්ට බලපෑවා. එක් පැත්තකින් දරුවන්ගේ පාසල් උපකාරක පන්ති ගමන නැවතුණා. අධ්‍යාපනය ඇණ සිටියා. දෙමාපියන්ට දැන් ප්‍රශ්නයක් කොහොමද මේ නිවාඩුවේ දරුවන්ව ගෙදර තියාගන්නේ කියලා?

 

ඔව් ඇත්තෙන්ම සංකීර්ණ ප්‍රශ්නයක්. හැබැයි අසංකීර්ණ කරගන්න පුළුවන්. ඒකට හේතු ගණනාවක් තියෙනවා. ළමයා ගෙදර තියාගන්නේ කොහොමද කියලනේ ඔබ අහන්නේ. මේ වසංගතේ තියෙන අභියෝගාත්මක අවස්ථාවේදි අපට සිද්ධ වෙනවා ඒ වෛද්‍ය උපදෙස් හරියට පිළිපදින්න, රෝගය ව්‍යාප්ත වීම නතර කර ගැනීමට අපිට ආරක්ෂා වෙන්න සිද්ධ වෙනවා,

මේ වෙලාවේදි අධ්‍යාපනය වගේම ආරක්ෂා වීම අත්‍යවශ්‍ය කරුණක්, මොකද මේක මාරාන්තික දෙයක්, මේක මහා වසංගත පැතිරීමක්, එමනිසා අපි හැමදේටම පෙර ජීවත් වෙන්න ඕන නේද? ඊළඟට දරුවන් ගෙදර තියා ගන්නවා කියන එක මහ ලොකු බරක්, සංකීර්ණ මහා දුෂ්කර ප්‍රශ්නයක් කරගන්න හොඳ නැහැ.

මේ අවස්ථාව ඉතාම හොඳයි ළමයින්ට බොහොම විවේකීව ගෙදර ඉන්න. පවුලේ සාමාජිකයනුත් එක්ක එකට ඉන්න. මොකද ළමයින්ට විවේකයක් ලැබිලා නෑ මේ අධ්‍යාපන ක්ෂේත්‍රයත් එක්ක බලනකොට. විවේකයත් සමඟ තමයි මේ අධ්‍යාපනය කරන්න ඕන.

ඒ නිසා හරිම දුෂ්කර ගමනක ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය තියෙන්නේ. මේ අවස්ථාවේ කළ යුත්තේ විවේකයේ ඉන්න ගමන් විවේකයත් සමඟම අධ්‍යාපන කටයුතු සිදුකිරීම. දැන් තාක්ෂණය දියුණුයි. ටෙලිවිෂන් ඉස්කෝල තියෙනවා. වාසනාවකට විවිධ නාළිකාවල අධ්‍යාපනික වැඩසටහන් ක්‍රමවේද දැන් සකස් කරලා තියෙනවා.

ඒවා තෝරා බේරාගෙන ගෙදර ඉඳන් අධ්‍යාපනය කරන්න පුළුවන්. එලෙස ක්‍රමවේද ගණනාවක් ශ්‍රී ලංකාවේ සකස් කළා. අනිත් රටවලට වඩා ඒක හොඳ වටින අවස්ථාවක්. ඉතින් ඒවා උපයෝගි කරගෙන විවේකය ලබාගෙන ගෙදර ඉඳන් මෙය කරන්න බැරිකමක් නැහැ. අරට වඩා ප්‍රතිඵල දායකයි කියලා මම කියන්නේ. මොකද මොළයට මනසට සිතට ලොකු විවේකයක් එනවා. ඒ විවේකය තමයි ගොඩක් අවස්ථාවල මේ මතක තියා ගැනීමේ ශක්තිය වැඩි කරන්නේ. පාඩම්වලට රුචිකත්වයක් දක්වන්න පුළුවන් වෙන්නේ. සිහියෙන් මේක කරන්න පුළුවන්.

ඒ වගේම මේ අධ්‍යාපනයේ විශිෂ්ටයෙක් ශ්‍රේෂ්ඨයෙක් වෙන්න මේ විවේකයේ ඉඳලා අධ්‍යාපන කටයුතු පෙරටත් වඩා හොඳින් කරන්න පුළුවන්. හැම පැත්තෙන්ම දෙන උපදෙස් ක්‍රමවේද ඉගෙන ගන්න ළමයින්ට හොඳ අවස්ථාවක් තිබෙනවා. එය අපි සර්ව සුබවාදීව සිතන්න පුළුවන්. මේ අවස්ථාවේදි අපේ විවේක කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඕන.

 

* දෙමාපියන් වශයෙන් ඔවුන් මොකක්ද කරන්න ඕන?

 

ඇත්ත වශයෙන්ම කියනවා නම් මේක බැරෑරුම්ව හිතන්න ඕන නෑ. එතකොට කරගන්න බැරි වෙනවා. එතකොට මේ ඉන්නවට වඩා පීඩනයක් ඇති වෙනවා. ඒ පීඩනය ඇතිකර ගන්න ඕන නෑ. දැන් වෙලා තියෙන්නේ පොඩ්ඩක් අධ්‍යාපනය විභාග ආදිය කල් යෑමක්. ලොකු සහනයක් දීලා තියෙන්නේ. එයින් ප්‍රයෝජන ගත යුතුයි. එක දොරක් වැහෙනකොට තව දොරක් ඇරෙනවා කියනවනේ. වැහුණු දොර ගැන නෙමේ ඇරුණු දොර කතා කරන්න ඕන. ඒ නිසා තියෙන දේවල්වලින් ප්‍රතිඵල ලබාගන්න ඕන. මේ අභියෝගයට අභිමානවත්ව මුහුණ දීමෙන් එය මෙල්ල කරගන්න පුළුවන්. දෙමාපියන් අනවශ්‍ය පීඩනයකට පත්විය යුතු නෑ. තරගකාරි අධ්‍යාපනයකට වඩා විෂයයන් ඇතුළු විභාගවලින් සමත්වීම තමයි ඉතාම වටින්නේ. විෂය බද්ධ කරුණු සම්බන්ධව අධ්‍යාපනය හැදෑරීම තමයි වටින්නේ. තරගකාරිත්වයට වඩා විභාග පරීක්ෂණයකට පෙනී ඉඳ එයින් සමත්වීම තමයි හොඳ. තරගකාරිත්වය හොඳයි ක්‍රීඩාවකට. විභාගය කියන්නේ ක්‍රීඩාවක්මත් නොවෙයි.

 

* ශිෂ්‍යයන්ට තිබෙන ප්‍රශ්නයක් තමයි පොතක් අතට ගත්තම නිදිමත අලසකම පැමිණීම. එයට කුමක් කළ යුතුද?

 

ඔය සිතන විදියට ළමයි විභාග නිසා ලොකු පීඩනයක නෑ. ළමයි ඉන්න පීඩනය තමයි අධ්‍යාපනය කරන්න තියෙන පීඩනය. ඒ කියන්නේ පන්ති යන්න ඕන. උදේට හවසට රෑට බෙහෙත් බොනවා වගේ. අවිවේකීව ගතකරන පීඩනය තමයි ළමයින්ට තියෙන්නේ. ළමයින්ට මේ අධ්‍යාපනය පීඩනයක් නෑ. අධ්‍යාපනයෙන් පීඩනයක් තමයි ළමයින්ට තියෙන්නේ. ඒ නිසා ළමයි කැමති ගෙදරට වෙලා නිදහසේ සැහැල්ලුවෙන් ඉන්න ගමන් අධ්‍යාපනය කරන්න. සැහැල්ලුවෙන් ඉඳලා මේක කරන්න පුළුවන්. එය වඩා සාර්ථකයි.

ඊළඟට ඔබ කිව්වනේ නිදිමත අලසකම ආදිය එනවා කියලා. එලෙස නොඑනවා නම් තමයි පුදුමය. නිදිමත එන්න හේතුව තමයි නිදියන්න වෙලාවක් නැතිකම. කෝ ළමයින්ට නිදියන්න වෙලාවක්. ඒ නිසා ස්වභාවිකව ළමයව නින්දට ගෙනියන්න උත්සාහ කරනවා. ළමයව ජීවත් කරවන්න ඕන නිසා. ශාරීරික හා මානසික වශයෙන් සොබාදහම විසින්ම, ශරීරය විසින්ම ඔහුව ආරක්ෂා කරනවා. ශරීරයේ තිබෙනවා පැරසිම්පතිටික් කියලා ශරීරය විසින්ම අපිව ආරක්ෂා කරන ක්‍රමයක්.

අපේ ඇහැට මුකුත් වැටුණොත් එහෙම ශරීරය විසින්ම එයට කඳුළු ගෙනත් ඒ විෂ ඉවත් වෙන්නට කටයුතු කරනවා. ඒ වගේ ශරීරය විසින් නින්ද ගෙනත් දෙනවා. පාඩම් කරන වෙලාවෙදි වුණත් ඒ නිසා නින්දක් අවශ්‍යයි. ඒ හින්ද විවේකයත් සමඟයි අධ්‍යාපනය කරන්න ඕන. එහෙම නැතිව නිදි වරාගෙන කරන අධ්‍යාපනයේදී අන්තිමේදී රෝගීන් බවට පත්වෙනවා.

 

* ඔබතුමා රහස් ක්‍රමවේදයක් හඳුන්වා දෙනවා. ඒ ක්‍රමයන් පිළිබඳව යමක් සඳහන් කරන්න පුළුවන්ද?

 

අධ්‍යාපනික මනෝ විද්‍යාව කියනවට වඩා එඩ්විකොලජි කියලා අලුත් අධ්‍යාපන ක්‍රමවේදයක් රටට හඳුන්වා දෙන්න මම උත්සාහ කළා. මං එංගලන්තයේ ඉන්න කාලේ ලංකාවට විවිධ කැසට්පට මගින් ස්වෙච්ඡාවෙන් ගම්මානවල දුවා දරුවන් අතට මෙය පත්කළා. එයින් විශාල ප්‍රතිඵල ලබාගත්තු මහාචාර්යවරු පවා අද ඉන්නවා.

මේ එඩ්විකොලජි කියන ක්‍රමවේදය ග්‍රීසිය හරහා එන්නේ. එඩ්විකෝ කියන්නේ සහජ ඥානය කියන එක. සහජ ඥානය නැති කරලා මේ එඩ්විකේශන් අධ්‍යාපන ක්‍රමය හරහා විෂය නිර්දේශයක් නිර්මාණය කරලා ඒකට අනුව තමයි දැන් පවතින අධ්‍යාපන ක්‍රමය යන්නේ. නමුත් එඩ්විකොලජි කියන එක ඉතාම සාර්ථක ක්‍රමයක්. සහජ හැකියාව උපතින්ම එන හැකියාව කියලා කියන්නේ එයයි.

සහජ ඥානය අවදිකර ගැනීමේ ක්‍රමවේද විශාල වශයෙන් තිබෙනවා. එම ක්‍රම මේ අධ්‍යාපන ක්ෂේත්‍රයට ඇතුළු වුණොත් අධ්‍යාපනය පමණක් නොවේ ජීවිතයේ අධ්‍යාත්මික පැත්ත පවා දියුණුවෙන්න පුළුවන්. ජීවිතයේ ඕනෑම අභියෝගයක් අභිමානව හැටියට ජයග්‍රහණය කිරීමේ ශක්තිය බලය මෙහි පවතිනවා. ඔටෝසජෙක්ෂන් නැත්නම් ස්වයං යෝජනා ක්‍රම එංගලන්තය, ඇමෙරිකාව ආදි රටවල පවතින ක්‍රමයක්.

අපේ රටේ තාම මෙය ව්‍යාප්තවී නෑ. ඒ නිසා මේ වගේ ක්‍රමයක් අධ්‍යයනය කරන්න ලැබුණොත් ජීවිතය ලෙහෙසි වෙනවා. පහසු වෙනවා. ඕනෑම විභාගයක් සමත් වෙන්න ජීවිතය ජයගන්න මේ ග්‍රීසිය හරහා පැමිණි එඩ්විකොලජි කියන ක්‍රමවේදය මගින් ඔබටත් පුළුවන් වෙනවා.

ග්‍රීසිය හරහා තමයි බොහෝ දේ විකාශනය වෙලා තිබෙන්නේ. දැන් ඔය කොලජි, ඔලජි, නොලජි, ටෙක්නොලජි, සයිකොලජි මේ ඔක්කොම ග්‍රීක වචන. සොක්‍රටීස්ලා වගේ මහා දාර්ශනිකයෝ තමයි යුරෝපය වෙනස් කළේ. ඒ අයට තිබුණේ සහජ ඥානය. සහජ ඥානය අවදි කරන්න ඕන. එඩියුකේෂන් කියන වත්මන් අධ්‍යාපන ක්‍රමයෙන් සහජ ඥානයක් අවදි වන්නේ නෑ.

හදපු විෂය නිර්දේශයකට පුරුදු පුහුණු කිරීමක් තියෙන්නේ. එහිදී ජයග්‍රහණය කරන්නේ බොහොම ටික දෙනයි. එයින් පසුත් අසාර්ථක වෙනවාදෝ කියන ප්‍රශ්නයක් තිබෙනවා. ඊට වඩා අති සාර්ථකත්වයක් එඩ්විකොලජි සහජ ඥානය විකසිත කිරීමෙන් හැකි වෙනවා. එමගින් ජීවිතේ කොහෙත්ම වරදින්න තැනක් නෑ.

අතිසාර්ථක පුද්ගලයෙක් දාර්ශනිකයෙක් චින්තකයෙක් ගවේශකයෙක් ආචාර්යවරයෙක් මහාචාර්යවරයෙක් විද්‍යාඥයෙක් ප්‍රඥාවන්තයෙක් පහළ වෙනවා. එය තමයි මේකේ රහස. මේ රහස් අපේ දුවා දරුවන්ට කියා දුන්නේ නම් මෙය ඉතා ඉක්මනින් ඒ අය අල්ලගන්නවා. එතරම් මේ අය බොහොම බුද්ධිමත් අය ලංකාවේ ඉන්නේ. ඇත්ත වශයෙන්ම මේ ක්‍රමය නැති එක ප්‍රශ්නයක් විදියට මං දැක්කේ.

 

* අපේ රටේ විශාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක් ජීවිතයේ වැටෙන එක් අවස්ථාවක් තියෙනවා. ඒ තමයි ගණිතය අසමත් වෙනවා. මේ

ප්‍රශ්නයට ඔබතුමා ළඟ පිළිතුරු තියෙනවද?

 

ගණිතය බැරිකමක් නෑ. ගණිතය කියලා කියන්නේ ලෙහෙසි විෂයයක්. ගණන් නිකන් මැජික් වගේ. මැජික් නිකන් ගණන් වගේ කියලා පහසු ක්‍රමවේදයක් තියෙනවා. මම බොහෝ කුඩා කාලයේදීම 99 වරක් චක්කරයට වෙනකම් පහසු ක්‍රමවේදයක් නිර්මාණය කළා. මූලික දේ තමයි චක්කරේ. චක්කරේ එහෙම නැත්නම් සූත්‍ර පුළුවන්නම් ගණන් පහසු ක්‍රමවේදයක්. ගණිතය විෂයට වැටුණු ගමන්ම ඔහුට හොඳ ගණිතඥයෙක් ලබාගන්න පුළුවන්. ප්‍රශ්නේ තියෙන්නේ අපේ පාසල් විෂය තුළ ගණිතය ශිෂ්‍යයන්ට හරිම සංකීර්ණයි.

එය අසංකීර්ණ කරගන්න සංශෝධනය කළ යුතු තැනුත් තිබෙන්න පුළුවන්. මේ ගණිත ක්‍රමය මුළු ලෝකෙටම වැදගත්ද වටිනාකමක් පවතිනවාද නැත්නම් අපේ අධ්‍යාපන ක්‍රමයට විතරක්ද කියලා බලන්න ඕන. ඇමෙරිකාව, එංගලන්තය වැනි රටවල අය කොහොමද ප්‍රීතියෙන් මේක අල්ලගන්නේ. ඇයි අපිට බැරි කියන කාරණාව පිළිබඳව ශිෂ්‍යයන් ගුරුවරුන් අධ්‍යාපන බලධාරින් එකමුතුව මේ පිළිබඳ යම්කිසි පරීක්ෂණයක් ගවේෂණයක් කරන්න ඕන.

 

* සහජ ඥානයන් විකසිත කර ගැනීම හරහා දෙමාපියන්ගේ බලාපොරොත්තු වන වෛද්‍යවරයකු ඉංජිනේරුවකු මහචාර්යවරයකු බිහි කරන්න පුළුවන්ද? සහජ ඥානය මඟින් අනාගත අභියෝග මිල මුදල් හම්බු කරගන්න පුළුවන්ද?

 

ඇත්තෙන්ම කියනවා නම් සහජ ඥානය කියන්නේ ධනය. ධනය කියන්නේ සල්ලිම නෙමේ. ධනාත්මක ක්‍රම, පොහොසත් වීම හා බෝසත් වීම කියලා කිව්වේ බෝසතකු හා පොහොසතකු වීම ලෝකෙට හරි වටිනවා. එතකොට රටත් පොහොසත් වෙනවා. රටත් බෝසත් වෙනවා. ගොඩාක් අම්මාවරුන්ගේ ප්‍රාර්ථනය වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් බිහි කිරීම නම් ඒක හොඳයි ඇත්තටම. වෛද්‍යවරුන් අඩුයි අපේ රටට.

වෛද්‍යවරුන් බිහි වෙනවා නම් හරි වටිනවා. අපේ පද්ධතියට අවශ්‍ය කරන වෛද්‍යවරු මදි. අපිට ඉංජිනේරුවරුන් මදි. ඔවුන් බිහි වෙන්න ඕන. කලාකරුවන් බිහිවෙන්න ඕන. මම කියන මේ එඩියුකො කියන සහජ ඥානය අවදි කළොත් දක්ෂ කලාකරුවනුත් බිහි වෙන්න පුළුවන්. වෛද්‍යවරුනුත් බිහි වෙන්න පුළුවන්. ඔය සියල්ල පිළිබඳ අවබෝධයක් තිබෙන මහා උගතෙකු බුද්ධිමතෙකු බිහි කරගන්න පුළුවන්. අපි දන්නවා ගොඩක් වෛද්‍යවරුන් ඉන්නවා හොඳ කලාකරුවන්. හොඳ කලාකරුවන් ඉන්නවා හොඳ වෛද්‍යවරුන්.

අපි දන්නවා අපේ හිටපු නන්දදාස කෝදාගොඩ මැතිතුමා හදවත් රෝග පිළිබඳ ප්‍රතිකාර කරන වෛද්‍යවරයකු වගේම ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය කෙනෙක්.

ඒ වගේම හොඳ කලා භූෂණ සම්මාන පවා එතුමාට හම්බ වෙලා තියෙනවා. දැනට මෙහි සඳහන් නොකළත් විශාල පිරිසක් අපේ රටේ ඉන්නවා කලාවයි අධ්‍යාපනයයි අනෙකුත් ක්ෂේත්‍රයන් කෙරෙහි හැකියාව තිබෙන අය ඉන්නවා මල්ටිස්කිල්ස් කියලා. සහජ ඥානය තුළ තමයි ඔය සියල්ල පවතින්නේ. ඕනෑම විෂයක් ඒ අයට ග්‍රහණය කර ගැනීමට පුළුවන් අවස්ථාව ඕනෑම විෂයක් හඳුනා ගැනීමට පුළුවන් අවස්ථාව ඥානය ප්‍රබුද්ධත්වය මේ තුළ පවතිනවා.

ඒ වගේම අනිත් දේවල්වලට ගරු කිරීම, කාල වේලාව තිබෙන විට අනිකුත් දේවල් අධ්‍යයනය කිරම, එයින් ජීවිතයේ සාර්ථකත්වය නෙළා ගන්න විඳවන්න නෙමේ විඳින්න අවස්ථාවක් උදා කර ගන්නවා. එයයි මේ එඩිව්යුකො කියන ක්‍රමයේ තිබෙන වෙනස.

Comments