සන්දේශය හරහා නව පරපුරට මඟ විවර කළ ප්‍රියාත් ලියනගේ | Page 2 | සිළුමිණ

සන්දේශය හරහා නව පරපුරට මඟ විවර කළ ප්‍රියාත් ලියනගේ

 ප්‍රියාත් ලියනගේ සමඟ BBC සන්දේශය කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් පිරිස බුෂ් හවුස් ඉදිරිපිට කළකට ඉහතදී වමේ සිට, විමලසේන හේවගේ, නන්දන වීරරත්න, ඉන්ද්‍රා රාමනායක, සරෝජ් පතිරණ, චන්දන කීර්ති බණ්ඩාර, ප්‍රියාත් ලියනගේ සහ උපාලි ගජනායක

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි වැඩසටහනක් වූ බී.බී.සී. ‘සන්දේශයේ‘ ප්‍රධාන සංස්කාරක වශයෙන් දශක දෙකක පමණ කාලයක් කටයුතු කළ ප්‍රවීණ මාධ්‍යෙව්දී ප්‍රියාත් ලියනගේ ලන්ඩනයේ රෝහලකදි අභාවප්‍රාප්ත වූ පුවත මුහුණු පොතින් දැනගත් මා කම්පනයට පත්වූයේ ඔහු මා කලක සිට සමීපව ඇසුරු කළ සුහද මිතුරෙකු බැවිනි.

බී බී සී යෙන් විශ්‍රාම ගොස් සිටි ඔහු මිය යන විට 61 වැනි වියෙහි පසුවිය. කොළඹ රාජකීය විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ ප්‍රියාත් 1980 මුල් භාගයේදී බ්‍රිතාන්‍යය බලා ගියේ නාට්‍යකරණය පිළිබඳ උපාධි පාඨමාලාවක් හැදෑරීමටය. ඒ අතරතුර ඔහු බී. බී. සී. සංදේශයට නිදහස් මාධ්‍යවේදියකු වශයෙන් එක්වී කටයුතු කළේය.

උපාධිය ලැබීමෙන් පසු ප්‍රියාත් පූර්ණ කාලීනව බී.බී.සී. සංදේශයට එක්වූයේ එහි නිෂ්පාදකයකු වශයෙනි.

ඒ් වන විට 'සන්දේශයේ' ප්‍රධාන සංස්කාරක වශයෙන් සිටි වසන්ත රාජා ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ සභාපති වශයෙන් පත්වී ගිය පසු 'සන්දේශයේ' ප්‍රධාන සංස්කාරක ධුරයට පත්වූයේ ප්‍රියාත් ය.

පනහේ දශකයේ සිට සඟරාමය වැඩසටහනක් වශයෙන් පවත්වාගෙන ගිය බී. බී. සී. සංදේශය විනාඩි 15 ක වැඩසටහනක් ලෙස විකාශය වූයේ සතියට දින දෙකකි. සුනන්ද මහේන්ද්‍ර, එච්. එච්. ගුණසේකර ආදින් මුල් යුගයේ එහි සංස්කාරකයන් වශයෙන් කටයුතු කළහ.

එහෙත් 'සන්දේශය' ප්‍රවෘත්ති හා කාලීන වැඩසටහනක් ලෙස විකාශය වන්නට පටන් ගත්තේ වසන්ත රාජා හා ප්‍රියාත් ලියනගේ සංස්කාරකවරුන් වශයෙන් සිටියදීය.

1995 දී බී බී සී 'සන්දේශය' පැය භාගයක වැඩසටහනක් වශයෙන් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය ඔස්සේ විකාශය කිරීම ආරම්භ විය. ඒ් සඳහා බී බී සී ය සහ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව අතර ගිවිසුමක් ඇති කර ගැනීමට මුල්වී ක්‍රියා කළේ ද ප්‍රියාත් ය.

එම ගිවිසුම අනුව සන්දේශය සහ බී බී සී යේ ප්‍රවෘත්ති හා කාලීන වැඩසටහන් ගුවන් විදුලි සංස්ථාවේ ඉංග්‍රීසි සේවය ඔස්සේ දිනකට පැය 12 ක පමණ කාලයක් විකාශය වූ අතර බී බී සී ය විසින් ඒ් වෙනුවෙන් ගුවන් විදුලි සංස්ථාවට මසකට පවුම් දහස් ගණනක මුදලක් ගෙවනු ලැබීය.

මුල් යුගයේදී කෙටි තරංග ඔස්සේ විකාශය වූ 'සන්දේශය' ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය මඟින් ප්‍රචාරය වීමත් සමඟ එය ශ්‍රී ලංකාවේ ජනප්‍රියම වැඩසටහනක් බවට පත්විය. ප්‍රවීණ ගුවන් විදුලි මාධ්‍යවේදියකු වූ එල්මෝ ප්‍රනාන්දුගේ මෙහෙයවීම යටතේ ප්‍රාදේශීය හා නිදහස් මාධ්‍යවේදීන් ගණනාවක් විසින් සැපැයූ අපක්ෂපාති ප්‍රවෘත්ති නිසා ප්‍රේක්ෂකයන්ගේ හදවත් බැඳ ගැනීමට 'සන්දේශය' සමත් වූයේ ප්‍රියත් දක්ෂ ලෙස එම මාධ්‍යවේදීන් මෙහෙයවීම නිසාය.

යුද්ධය පැවැති සමයේ එම තොරතුරු වාර්තා කළ මාධ්‍යවේදීන්ට විවිධ බාධක හා තර්ජනවලට ද මුහුණදීමට සිදුවිය.

එහිදී ප්‍රියත් 'සන්දේශය' මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව සඳහා විවිධ පියවර ගත් අතර ඔවුන්ගේ දැනුම පුළුල් කිරීම සඳහා බී බී සී යේ මාධ්‍ය විශේෂඥයන් ලන්ඩනයේ සිට මෙහි ගෙන්වා ඔවුන්ට වැඩමුළු ද පැවැත්වීය.

රජයේ ගුවන් විදුලියෙන් රජයට සම්බන්ධ පුවත් ප්‍රචාරය වෙද්දී එම නාළිිකාවෙන්ම 'සන්දේශය' මඟින් අපක්ෂපාතීව ඉදිරිපත් කළ ප්‍රවෘත්ති ආණ්ඩුවේ සමහරුන්ගේ නොසතුටට හේතුවී තිබුණි.

එහි ප්‍රතිඵලයක් වූයේ ගුවන් විදුලි සංස්ථාවේ එකල සිටි එක් සභාපතිවරයකුගේ මෙහෙයවීමෙන් 'සන්දේශයට' විවිධ බාධා පැමිණීමයි. මුලදී එම වැඩසටහනට පැමිණි බාධා තාක්ෂණික හේතූන් මත සිදුවන ඒ්වා බවට පෙන්වීමට ඔහු උත්සාහ ගත්තේය. පසුව සංදේශය වැඩසටහන විකාශය වන අතර එහි ප්‍රවෘත්ති වලට ප්‍රතිඋත්තර ඒ් තුළින්ම දීමට මෙම සභාපතිවරයා කටයුතු කෙළේය. 

මේ නිසා සන්දේශය ගුවන් විදුලි සංස්ථාව ඔස්සේ විකාශය කිරීම බී බී සී ය විසින් අත්හිටුවන ලදී. එහි ප්‍රතිඵලයක් වූයේ පාඩු ලබමින් තිබූ ගුවන් විදුලි සංස්ථාවට බී බී සී යෙන් මාස්පතා ලැබුණු පවුම් දහස් ගණනක මුදල අහිමිවී යෑමය.

ශ්‍රී ලංකාවේ යුද්ධය පැවති සමයේ දී හා 1988 - 1989 භීෂණ සමයේදීත් උතුරේ සහ දකුණේ සිදුවූ සිද්ධීන් අපක්ෂපාතීව සිය ශ්‍රාවකයන් වෙත ගෙන ඒ්මට ප්‍රියත් කැපවීමෙන් කටයුතු කෙළේය.

'සන්දේශය' වෙබ් අඩවිය හා මුහුණු පොත ඔස්සේ ද විකාශය කිරීමට ප්‍රියත් කටයුතු කිරීම නිසා එය මැදපෙරදිග ඇතුළු විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයන් අතර ද ඉමහත් ජනප්‍රියත්වයට පත්විය.

එසේම ජාත්‍යන්තරයේ අවධානයට යොමුවූ ශ්‍රී ලංකාවේ වැදගත් ප්‍රවෘත්ති පිළිබඳ බී. බී. සී. ලෝක සේවයේ රූපවාහිනී නාළිකා හමුවේ ඒ් පිළිබඳ විස්තර හා තොරතුරු ඉදිරිපත් කරනු ලැබුවේ ද ප්‍රියත් විසිනි.

2014 වසරේදී බී බී සී යෙන් විශ්‍රාම ගැනීමෙන් පසු ඔහු නිදහස් මාධ්‍යවේදියකු ලෙස කටයුතු කළේය.

1980 දී 'තරුණයා' පුවත්පතේ ඡායාරූප මාධ්‍යවේදියකු වශයෙන් මාධ්‍ය ජීවිතය ඇරැඹූ ප්‍රියත් වසන්ත ඔබේසේකරගේ 'දඩයම' චිත්‍රපටයේ නිශ්චල ඡායාරූප ශිල්පියා වශයෙන් කටයුතු කළේය. ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ 'ඉර මැදියම' චිත්‍රපටයේ තිරකතා රචකයා වූයේ ද ඔහු ය.

මාධ්‍ය ක්ෂේත්‍රයේ විවිධ අංශවලින් දස්කම් දැක්වූ ප්‍රියාත්ගේ නික්ම යාමෙන් ගුවන් විදුලි මාධ්‍ය කලාවේ ඇතිවූ හිඩැස සම්පූර්ණ කිරීමට තවත් කලක් ගතවනු ඇත.

ප්‍රියත්ගේ දයාබර බිරිඳ දුල්මිණි වෘත්තියෙන් ගුරුවරියකි. ඔහු පුතුන් තිදෙනකුගේ සෙනෙහෙබර පියා ද විය.

ප්‍රියාත් ඔබට සුබ ගමන්!

දයා ලංකාපුර

Comments