වැහෙන්නට ගිය ගුරුගොඩ කණිෂ්ඨයෙන් පහේ හපන්නු හතක් | සිළුමිණ

වැහෙන්නට ගිය ගුරුගොඩ කණිෂ්ඨයෙන් පහේ හපන්නු හතක්

හොරණ ගුරුගොඩ පාසල

- බස්රථ පුස්තකාල සංකල්පය පළමු වරට හඳුන්වා දුන්නේ මේ පාසලයි
- ලබන අවුරුද්දේ පාසලට වසර 70ක්

වැසී යන්නට ඔන්න මෙන්න තිබූ කණිෂ්ඨ හොරණ ගුරුගොඩ කණිෂ්ඨ විදුහලේ දරුවන් 7 දෙනකු මෙවර ශිෂ්‍යත්ව විභාගය සමත් වී තිබේ. එම දූ පුතුන් වන්නේ සඳුනි සිත්මිණි (198) , දසිති සේයා(186) , නෙත්මි නවෝද්‍යා(184) , ජිහංසි විදුනිතා (175) , මෝක්ෂා දෙව්මිණි (174) , ප්‍රබුද්ධි සංදීපනී (171) මතීෂා උදාරි (169) ඒ සත් දෙනාය. මේ ප්‍රතිඵලයේ විශේෂත්වය වන්නේ මේ දරුවන් සත් දෙනා විභාගයෙන් සමත් වීමට අත දුන් ගුරුගොඩ කණිෂ්ඨ විදුහල වැසී යන්නට ආසන්නව තිබී පණ ගැටගසා ගත් විදුහලක් වීම නිසාය. 

ගුරුගොඩ කණිෂ්ඨ විද්‍යාලය ඇරඹී ඇත්තේ 1951 දී පොල් අතු මඩුවකය. එය රජයේ පාසලක් බවට පත් වෙන්නේ 1952 දීය. ඒ සිසු දරුවන් 56 දෙනෙකු සමඟය. 1960 වන විට එහි ශිෂ්‍ය සංඛ්‍යාව 270 කි. එහෙත් 1960 වසරේ සිට සිසුන් සංඛ්‍යාව පහළ බැස ඇත්තේ 1970 දී 237 ක්, 1991දී 176 ක්, 2000 දී 68 ක්, 2006 දී 60 ක් සහ 2010 දී 34 ක් වශයෙනි. එම වසරේ පළමු ශ්‍රේණියට කිසිදු දරුවකු ඇතුළත් කර නොමැති අතර 1960 දී 18 ක් වූ ගුරු මඬුල්ල 2010 වන විට 10 ක් දක්වා අඩු විය.

ග්‍රාමීය පරිසරයක පිහිටියද හොරණ නගරයේ සිට එම විදුහලට දුර කිලෝමීටර 5 කි. එම නිසා හොරණ නගරයේ පිහිටි ජනප්‍රිය විදුහල් වෙත දරුවන් ඇදී යෑම සුලබ කරුණකි. දරුවන්ගේ මවුපියන් ආර්ථික අපහසුතා ඇති අය වීමද විදුහලේ දියුණුවට බාධාවකි. වැසී යෑමට ආසන්නව පැවති විදුහල කෙරෙහි රජයේ අවධානය ද ගිලිහෙමින් තිබුණි. පාසල වැසී යනවාට කැමැත්තක් දැක්වූ පිරිසක් සිටීමද ඊට හේතුවක් විය. හොරණ නගරයේ පිහිටි විදුහලකට මෙම ගමේ දරුවකු ඇතුළත් කරගැනීමේදී ගමේ විදුහලක් පැවතීම ලකුණක් අඩුවීමට හේතුවක් විය. ඒ නිසා ඇතැමුන්ගේ කැමැත්ත වූයේ මෙම පාසල වැසී යෑමයි. මෙසේ දිනෙන් දින අභාග්‍ය සම්පන්න තත්ත්වයකට පත්වෙමින් තිබූ පාසල ගොඩ ගත්තේ අජිත් ප්‍රේමකුමාර නමැති විදුහල්පතිවරයාය. ඒ ගැන අදහස් දක්වමින් වත්මන් විදුහල්පති එල්. සජීන්ද්‍ර ඉන්දික මෙසේ පැවසීය.

‘‘ මම මේ පාසලට ඇවිත් තවම වසර දෙකයි. අන්තයටම පිරිහෙමින් පැවති විදුහලට නව ජීවයක් ලබා දුන්නේ අජිත් විදුහල්පතිතුමායි. රජයේ බොහෝ ව්‍යාපෘතිවලට මෙම පාසල හසුවුණේ නෑ. ඒත් එතුමා බාහිර ආයතනවල සහාය ලබාගෙන පාසල් පරිසරය සම්පූර්ණයෙන්ම හදල තිබුණා. ඒ වගේම එතුමා දියුණු රටවල පවතින පන්තිකාමර අධ්‍යයනය කරමින් ඒවාට සමාන ලෙස පන්ති කාමර සකස් කළා. මේ දිනවල වැඩියෙන් කතා කරන පුස්තකාල බස් රථය පාසලක ප්‍රථම වරට නිර්මාණය කළේ එතුමයි. හැබැයි අද ඒ ගැන කවුරුත් කතා කරන්නේ නෑ. මේ සංකල්පය හොඳයි. ඒත් එය නඩත්තු කිරීමටත් වැඩ පිළිවෙළක් තිබිය යුතුයි. අද අපේ පාසලේ බස් රථය ගරා වැටිලා. භාවිතයට ගන්න බැහැ. එය අලුත්වැඩියා කරගැනීමට දානපතියකුගේ සහාය අවශ්‍යයි. අපේ දරුවන් ලැබූ ජයග්‍රහණය සාමූහික ප්‍රයත්නයක්. 1-2 වසර පන්ති බාර අමරකෝන් , 3-4 වසර පන්ති බාර ශනිකා, සහ 5 වසර පන්ති බාර චතුරාණි යන ගුරුවරුන් තමයි මේ දරුවන්ට ජයග්‍රහණයේ මඟ හදලා දුන්නේ. අප ඔවුන්ට ස්තුති කළ යුතුයි.’’

මෙම විදුහලේ වත්මන් සිසු සංඛ්‍යාව 240 කි. ගුරු මඬුල්ල 17 කි. 1 ශ්‍රේණියේ සිට 11 දක්වා පංති පැවැත්වෙන 2021 වසර සඳහා 1 වසර වෙනුවෙන් ලැබුණු අයදුම් පත්‍ර සංඛ්‍යාව 70 කට ආසන්න ය. එහෙත් 5 ශිෂ්‍යත්වය සමත් දරුවන් පාසල හැරයෑම සිදුවේ.

මේ වන විට පාසලට ඉංග්‍රීසි විෂය සඳහා ගුරුවරයෙක් නැත. එය ආවරණය කරන්නේ වෙනත් ගුරුවරයෙකි. ගොඩනැඟිලි දෙකක වහල අබලන්ව ඇත. ඒ පිළිබඳ බලධාරින්ගේ සහ දානපතියන්ගේ අවධානය යොමු විය යුතුව ඇත.

වැසීයෑමට ආසන්නව තිබියදී යළි පණ ලැබූ, බස්රථ පුස්තකාල සංකල්පය පළමු වරට හඳුන්වා දුන් මේ වන විට ආදර්ශ පාසලක් ලෙස පවතින ලබන වසරේ 70 වැනි විය සපුරන ගුරුගොඩ කණිෂ්ඨ විද්‍යාලය වගකිවයුත්තන්ගේ අවධානය යොමුවිය යුතු පාසලක් බව කිව යුතුමය.

Comments