වසංගතවලින් අප රැකදෙන ජීව පද්ධති අපි සුරකිමු | සිළුමිණ

වසංගතවලින් අප රැකදෙන ජීව පද්ධති අපි සුරකිමු

මිනිස්සු සොබාදහමට කර තිබෙන විනාශය දැන් සීමාව ඉක්ම ගිහින්. ඒ නිසාම මෙතෙක් වනාන්තර තුළම ඉපිද, වනාන්තර තුළම විනාශ වී ගිය භයානක ලෙඩ රෝග දැන්, ලෝකයට විවර වෙලා, මිනිස්සු මැරි මැරී යනවා.

අනන්ත අප්‍රමාණ කාලයක් මිනිසුන්ගේ කෙනෙහිලිකම් සහ අකටයුතුකම් විඳ දරා ගත් සොබාදහම දැන් බලය සිය අතට ගෙන තිබේ.

ඒ අනුව, සොබා දහම ඉදිරියේ මනුෂ්‍යයා යනු කෙතරම් දුර්වල සත්වයකුද යන්න, ටිකෙන් ටික ලොවට පසක් වෙමින් තිබේ.

වනයේ ජීවත් වන අනේක විධ සත්වයින් තුළ සැඟව ගත්, ක්ෂුද්‍ර ජීවීන් සහ පරපෝෂිතයන් වෛරස්... බැක්ටීරියා... දිලීර වැනි දහස් සංඛ්‍යාත මිනිසාට ආසාදනය විය හැකි රෝග කාරක, වනයෙන් පිටතට යා නොදී මෙතෙක් මහා වැසි වනාන්තර, වනයෙන් මෙපිට ලෝකය ආරක්ෂා කළේ, මනුෂ්‍ය වර්ගයා වට කොට බැඳී මහා පවුරක් මෙනි.

එහෙත්, අද ඒ පවුර දෙදරා යමින් තිබේ. හිතුමතේ වනය විනාශ කොට කළ කෙනහිලිකම් දරාගත හැකි සීමාව පසු කොට ඇති හෙයින්,ආ පිට පැමිණ ඇති සොබා දහමේ ප්‍රතිචාරය කෙතරම් බරපතළ වුවද, එය විඳ දරා ගැනීමට මනුස්ස අපට සිදුව ඇත්තේ, ජීවිතවලින් පවා වන්දි ගෙවමිනි.

පරිසර පද්ධති විනාශ කිරීම තුළ, සතුන්ගෙන් මිනිසාට සම්ප්‍රේෂණය වන රෝගයක් ලෙස හඳුනාගත හැකි, කොවිඩි 19 හමුවේ පරාජිත සත්වයින් කොට්ඨාසයක් වන මනුෂ්‍ය අප, දැන්වත් මේ වරද නිවැරැදි කිරීමට කටයුතු කළ යුතු බව, වන ජීවි සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තු මඟින් ක්‍රියාත්මක, ESCAMP... හෙවත්, පරිසර පද්ධති සංරක්ෂණ හා කළමනාකරණ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ, අනුර සතුරුසිංහ මහතා පවසයි.

" අපේ රටට දැන් ඉතිරිව තිබෙන්නේ, කුඩා වනාන්තර ප්‍රමාණයක් විතරයි. අපේ ව්‍යාපෘතියේ මූලික පරමාර්ථය වී තිබෙන්නේ, ශ්‍රී ලංකාවේ හඳුනාගත් පරිසර පද්ධති කළමනාකරණය සහ සංරක්ෂණය වැඩිදියුණු කිරීමයි. එහිදී, මේ පරිසර පද්ධති අවට ජීවත් වන ජනතාවගෙන් මේ පද්ධතිවලට යම් කිසි අහිතකර බලපෑමක් වෙනවා නම්, එය අවම කිරීමට කටයුතු කිරීමත් අපගේ ප්‍රධාන කාර්යයක්. ඒ සඳහා අප ජීවනෝපාය සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරනවා.

මේ යටතේ අපේ නිලධාරීන් අදාළ ගමට ගිහින් ගමේ ජනතාව සමග එක්වී ඔවුන්ගේ ගැටලු සහ ඔවුන්ගෙන් මේ පරිසර පද්ධතිවලට සිදුවන බලපෑම් හඳුනාගෙන ඒ සදහා ඔවුන්ට, විකල්ප ජීවනෝපාය සඳහා සැලැස්මක් නිර්මාණය කරනවා. ඒ තුළ, ගමේ ජනතාවට කිරි හරක් ලබා දීම, මහන මැෂින් ලබාදීම, මී මැසි පාලනය... ආදී විවිධ ආදායම් උත්පාදක අවස්ථා සඳහා ආධාර ලබා දෙනවා.

මොකද, ගස් කපා වනය විනාශ කරන බලවත් උදවිය මෙන්ම, අලුතින් හේන් වගා සඳහා කැලෑ සුද්ද කරන ජනතාව අතිනුත් නොදැනුවත්ව හෝ සිදුවන්නේ යම් ආකාරයක වන විනාශයක්. ඒ නිසා, අප මෙය, 'ප්‍රජා ක්‍රියාකාරී සැලසුම්' නැත්නම්, Community Action Plan ලෙස හඳුන්වනවා. මේ සැලසුම් ක්‍රියාත්මක කිරීමට දායකත්වය ලබාදීමත්, ESCAMP ව්‍යාපෘතියේ කර්තව්‍යයක්.

විශේෂයෙන් වන සතුන්ට අවශ්‍ය වාසස්ථාන වැඩි දියුණු කිරීම, ඒ සතුන් සඳහා වැව් ප්‍රතිසංස්කරණය කිරීම, අලුත් වැව් සහ ජලාශ සැකසීම, ආක්‍රමණශීලී ශාක ඉවත් කිරීම, වගේම අවශ්‍ය ස්ථානවල සතුන්ගේ පැවැත්මට අවශ්‍ය ගස් වර්ග රෝපණය කිරීම, උද්‍යාන තුළ මංමාවත් ප්‍රතිසංස්කරණය හා නිර්මාණය... කිරීම ආදී කටයුතු සිදු කෙරෙනවා.

අප මේ සියල්ල කරන්නේ, කෙමෙන් කෙමෙන් ගිළිහී යන වන සම්පත ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් සහ මිනිසාට බෝවන මේ වසංගත තත්ත්ව අවම කරගැනීමට, පරිසර පද්ධති රැක ගැනීම හැර, වෙනත් දිගු කාලීන විසඳුමක් නැති නිසා.

තවත් විදියකට කියනවා නම්, මිනිසුන් සොබාදහමට කර තිබෙන මේ විනාශය දැන් සීමාව ඉක්ම ගිහින්. මේ විදියට, විනාශ වූ වනාන්තර ඉඩම්වල නැවත වන වගාව (පඥටධපඥඵබචබඪධද) ඉතා ඉක්මණින් සිදු කළ යුතුයි. ඇත්තටම ඒ සඳහා, තවත් ප්‍රමාද වීමට කාලයක් අපට ඉතිරිව නැහැ. මොකද, මෙතෙක් වනාන්තර තුළම ඉපිද, වනාන්තර තුළම විනාශ වී ගිය මේ භයානක ලෙඩ රෝග දැන්, ලෝකයට විවර වෙලා. මිනිස්සු මැරි මැරී යනවා..."

මිනිස්සු සොබාදහමට කළ කෙනෙහිලිකම්, අපේ ජීවිතවලට... ආර්ථිකයට... රටට...ලෝකයට... මේ තරම් නරක බලපෑමක් ඇති කරාවි යැයි, කෙදිනක හෝ අපිට නොසිතුණේ ඇයි...

ඇත්තටම අපි සොබාදහමට පිටින් ගියේ,නොදැනුවත්කම නිසා ද...අප ජීවත්වන මේ පරිසර පද්ධතියේ ආරක්ෂාව තිබෙන්නේ අපි අතේ ම බව, මෙතෙක් නොසිතූවා නම්, සිතන්නට වෙලාව ඇවිත්. ඔබේ දරුවාට කියා දෙන්න වෙලාව ඇවිත්.

කොළඹ විශ්වවිද්‍යාලයේ, සත්ත්ව හා පාරිසරික විද්‍යා අධ්‍යයනාංශයේ ආචාර්ය, ඉනෝක සී. පෙරේරා මහතාට අනුව,පරිසර පද්ධතිවල ආරක්ෂාව බිඳ වැටීම, සමස්ත මිනිස් ප්‍රජාවේම ජීවිත බිඳ දමන්නට බලපාන්නා වූ ප්‍රබල හේතුවකි.

"අපේ රට, ජෛව විවිධත්වයෙන් ඉතාම ඉහළ පරිසර පද්ධති රාශියකට උරුමකම් කියන දිවයිනක්. මේ සොබාවික පරිසරයේ කොටස්කරුවන් වන ශාක, සතුන් සහ ගණනය කළ නොහැකි තරම් වූ ක්ෂූද්‍ර ජීවීන් සෑම විටම ක්‍රියා කරන්නේ, පරිසරය නිසි සමතුලිතතාවයෙන් යුතුව පවත්වා ගෙන යෑමටයි. අවුරුදු මිලියන ගණනාවක් තිස්සේ මිනිස්සුත් සොබාදහම විනාශ නොවන අයුරින් ඒ පරිසර පද්ධතිය තුළ ජීවත් වුණා.

නමුත් මෑත ඉතිහාසය තුළ, මේ සහජීවනය ටිකෙන් ටික බිඳී යන්නට පටන් අරන්. අධික ලෙස වනාන්තර පරිභෝජනය මෙන්ම, නාගරීකරණය... සිදුව ඇත්තේ, සීමාවකින් තොරව. ඒ හා සමානවම මිනිසුන් වසංගත රෝගවලට ගොදුරු වීමේ ප්‍රවණතාව ද වැඩි ව තිබෙනවා. බරපතළම කාරණය, ඒවායින් සමහරක් සතුන්ගෙන් මිනිසුන්ට සම්ප්‍රේෂණය වන දරුණු රෝග තත්ත්වයන් වීමයි.

වයිරස් රෝග වගේම, බැක්ටීරියා දිලීර හෝ වෙනත් පරපෝෂිතයන්ගෙන් වැළඳෙන රෝග අනේක ප්‍රමාණයක් සතුන් තුළ තිබුණට ඔවුන් රෝගී වී මරණයට පත්වන්නේ නැහැ.

නමුත් මිනිසුන්ට මේ රෝග තත්ත්වයන් වැළඳුණු විට බලපාන්නේ ඉතාමත් දරුණු ආකාරයට. උදාහරණයක් විදියට, වවුලන්ගේ ශරීරය තුළ වයිරස් විශේෂ හැට ගණනක් හඳුනාගෙන තිබෙනවා.නමුත් ඒවා ඒ සතුන්ට රෝගාබාධ නෙවෙයි. මේවා අස්වාභාවික ලෙස මිනිස් ශරීරයට ඇතුළු වූ විට ක්‍රියාත්මක වන්නේ වෙනස් ම ආකාරයකට.

ඒ වගේම, ඉබෝලා, නිපා, සෙන්ඩ්‍රා, මාබර්ග් සහ ජලභීතිකාව... වැනි රෝගාබාධ, සතුන් තුළ තිබෙන එවැනි පූර්වජ අවස්ථාවන්. සතුන් තුළ තිබෙන මේ වයිරස් මනුෂ්‍ය ශරීරයට ඇතුළු වුණාම, තමන්ගේ පැවැත්ම හදාගන්න වහා ක්‍රියාත්මක වනවා. ඒ සඳහා වයිරසයේ ජානමය ද්‍රව්‍යවල තිබෙන විකරණයන් වෙනත් ආකාරයකට ක්‍රියාත්මක වනවා. එවිට තමයි, දරුණු රෝග ලෙස මනුෂ්‍ය ශරීරය තුළින් මේ වයිරස් එළියට එන්නේ.

කොවිඩ් 19 රෝගය හදන්නේ, 'සාර්ස් කොවිඩ් 02' කියන කොරෝනා වයිරස ගණයට අයත් වයිරස් ප්‍රභේදයක්.මේ ගණය, සාමාන්‍යයෙන් වවුලන් තුළින් හමුවනවා.

ඕනෑම වයිරසයක පැවැත්ම තිබෙන්නේ, යම් ජීවියෙකුට ඇතුළු වී, ගුණනය වී, ඊළඟ ජීවියාට ආසාදනය කරන්නට තිබෙන හැකියාව මතයි. මේ හැකියාව වැඩි නම්, ඒ වයිරසයේ පැවැත්ම වැඩියි. ආගන්තුක වයිරසයක දරුණු බව ටිකෙන් ටික අඩු වී යන්න සමහරවිට අවුරුදු ගණනාවක් ගත වනවා.

කොහොම නමුත්, අපි කොවිඩ් ගැන විතරක් කතා කළාට, මේ වගේ බෝ වෙන්නට පුළුවන් වයිරස් තව අනේක විධ ප්‍රමාණයක්, සතුන් තුළ තිබෙනවා. මිනිස්සු පරිසර පද්ධතිවලට කරන කෙනහිලිකම් නිසයි, මේ සතුන් දරාගෙන ඉන්න ඒ වයිරස අපට සම්ප්‍රේෂණය වන්නේ. අප ආසාධිතයන් බවට පත් වන්නේ.

පරිසරයේ සමතුලිතතාව මිනිසුන් බිඳ දමන විට, ඇති වන හානිකර ප්‍රතිඵල අතර ප්‍රධාන එකක් තමයි, රෝගාබාධ. මේ රෝගාබාධ අනෙකුත් වන සතුන් අතරත් පැතිර යනවා. වනාන්තර පරිසර පද්ධතියක සතුන් අතර ලෙඩ රෝග පැතිරිලා තිබුණා වුණත්, ඒවා කොයිම වෙලාවකවත් වසංගත තත්ත්වයන්ට යන්නේ නැහැ. මහා ගස්කොළන් සහ කුඩා ඖෂධ පැළෑටි එකට ගැටී හමන සුළඟ පවා වනාන්තරයට ඔසුවක්.

නමුත්, මිනිස්සු ගස් කැපීම... කැලෑ එළි කිරීම... වායු දූෂණය... වැනි දේ සිදු කිරීම තුළ මේ පරිසර පද්ධතියේ සමතුලිතතාව විනාශ කළ විට, සතුන්ගේ දරා ගැනීමේ ශක්තිය හීන වනවා. ඊළඟට වයිරස්, බැක්ටීරියා, දිලීර සහ පරපෝෂිතයන් විසරණය වෙලා මිනිසුන්ටත් ඇතුළු වනවා. වසංගතයක් සේ බෝ වනවා. එකිනෙකාට සම්ප්‍රේෂණය වනවා. නමුත් ගස්කොළන්වලින් සුසැදි මහා වනාන්තර, මේ උවදුරු සියල්ල වනය තුළම සඟවා ගෙන, පිටතට යා නොදී පාලනය කරගන්නවා.

කාලගුණික දේශගුණික විපර්යාස, ගංවතුර, නාය යෑම් වැනි සොබාවික විනාශයන් වගේම, මිනිස් ජීවිත විනාශ කර දමන මෙවැනි වසංගත උවදුරු පැතිරෙන මෙන්න මේ හේතු නිසයි, කැලෑ කපන්න එපා කියන්නේ.

මිනිස්සු ගිහින් කැලෑ එළි කරද්දි, ගහ කොළ බිම දමද්දී , මේ වනාන්තරවල ජීවත් වන සතුන් ගේ ප්‍රතිශක්තිකරණය හීන වනවා. සුපුරුදු ජීවන චර්යාව අහිමි වී යනවා. එවිට තමයි, මේ සතුන්ගේ රෝගාබාධ සහ ව්‍යාධිජනකයන් විසරණය වී, සෙසු සතුන්ට සහ මනුෂ්‍යයන්ටත් සම්ප්‍රේෂණය වන්නේ. මේ ව්‍යාධිජනකයින් සෘජුව මනුෂ්‍යයාට බෝවීම වගේම, ලෙඩ සතුන්ගෙන් මනුෂ්‍යයාට නැවත බෝ වීමත් එක සේ බරපතළ කාරණා.

ඒ නිසා වනාන්තර මෙන්ම, සංවේදී පරිසර පද්ධතියක් වන රට වටා ඇති සාගර සම්පත රැක ගැනීම පිළිබඳවද අවධානය යොමු කිරීම අතිශය වැදගත්. පිළිකා නාශක ඖෂධ ඇතුළු මිනිසා සුවපත් කරවන, විවිධ ඔසු නිපදවීමට, කොරල් පර ආශ්‍රිත ජීවීන්ගෙන් ලැබෙන පිටිවහල අතිමහත්. මහ මුහුදට බැහැර කරන එක දූෂකයකට පුළුවන්, අවුරුද්දකට අඟලක් පමණක් හැදෙන එවැනි කොරල් පර ප්‍රදේශයක්ම විනාශ කර දමන්න.ඇස් පනා පිට පෙනෙන විනාශය වගේම, ඇසට නොපෙනී විනාශ වන පරිසර පද්ධතීන් පිළිබඳව ද අප අවබෝධයෙන් සිටිය යුතුයි. කුඩා දරුවන්ට පවා වටහා දිය යුතුයි. කොටින්ම රටක් ලෙස,තමන් ජීවත් වන පරිසරය පිළිබඳ ඇති කරගත යුතු දැනුම අවබෝධය වන, 'පරිසර සාක්ෂරතාව' මීට වඩා පුළුල් ලෙස ජනතාව අතරට යා යුතුයි..."

එසේ නම් නාගරික වුව ද, ගම්බද වුවද, අපගේ වගකීම වන්නේ අප ජීවත් වන සහ අප අවට තිබෙන පරිසර පද්ධති පිළිබඳ අවධානයෙන් සිටීමයි. ඒවාට යම් හානියක් වන්නේ නම්, වහා ක්‍රියාත්මක වීමද අප එකිනෙකා සතු ජාතික වගකීමක් බව ඔබ තදින් ම සිතට ගත යුතුයි.

මහා වන විනාශයන් පිළිබඳ ඇසෙන ප්‍රවෘත්තිවල දී, ඒවා ඇසුණු ප්‍රවෘත්තියක් පමණක් ලෙස නොසිට, ඒ වෙනුවෙන් හඬක් නඟන්නට එක්වීම ද, මේ රටේ පුරවැසියන් වන ඔබේත් මගේත් වගකීමයි.

එමෙන්ම, හැකි අයුරින් තම ගෙවත්ත තුළ පරිසර පද්ධතියක් නිර්මාණය කිරීම තුළ පරිසරයට ද යුතුකමක් ඉටු කරන්නට ඔබට අවස්ථාව උදා වේ. එම පද්ධතිය තුළ සමනලුන් බිත්තර දමන අක්කපාන... කතුරුමුරුංගා හෝ දෙහි පැළයක් , සමනලුන්ට මෙන්ම, අපගේ ආහාර දාමය උදෙසා මහත් මෙහෙවරක් ඉටු කරන මී මැස්සන් සඳහා පැණි බොන්නට, මල් පිපෙන එළවළු පලතුරු පැළ ටිකක් සිටුවන්නට ඔබට පුළුවන්. එවිට ඔබේ ගෙවත්තට යන එන කුරුල්ලන්, ලේනුන්, මීමැස්සන්, සමනලයින් මෙන්ම පස සරු කරන ගැඩවිලුන් වැනි මේ සෑම සත්වයෙක්ම පරිසරයේ කොටස්කරුවන් බවට පත් වේ. ගස් කොළන් ඇති තරමට, ඔබට හොඳීන් හුස්ම ගන්නට අවශ්‍ය හිතකර වාතය ඔබේ නිවෙස වටා පිරී තිබෙයි.

අනෙක් අතට, සතුන්ගෙන් මිනිසාට එල්ල වන රෝග සහ වසංගතවලින් බේරීමට, මහා වනාන්තරවලින් මෙන්ම වූ දැවැන්ත ආරක්ෂාවක්, මෙවැනි කුඩා පරිසර පද්ධති සුරැකීම තුළ ද ලැබෙන බව, ඔබ සිහි තබා ගත යුතුයි. කුඩා වන ලැහැබක් වුවත් ආරක්ෂා කර ගැනීම ප්‍රජා වගකීමක් වන්නේ, මේ නිසාමයි.

එමෙන්ම, රටේ සංවර්ධන ක්‍රියාවලියේ දී සොබාදහම ආරක්ෂා වන ආකාරයෙන් සහ වනාන්තරවලට හානි නොවන ආකාරයෙන් රාජ්‍ය ප්‍රතිපත්ති සකස් වීම ද අතිශය වැදගත් කාරණාවකි. එවැනි 'සිස්ටම්' එකක් රට තුළ ක්‍රියාත්මක වන්නේ නම්, පරිසර පද්ධතිවලට සිදු වන මේ විනාශය සෑහෙන දුරකට අවම කරගන්නට හැකියාව තිබේ.

එසේ නොමැති වූ විට, සතුන්ගෙන් සම්ප්‍රේෂණය වන මෙම වසංගත සහ ලෙඩ රෝගවලින් පීඩා විඳීන්නේ, නීතියෙන් රිංගා මහා වන විනාශ සිදුකරන බලවතුන් නොවේ. හේන් ගොවිතැනක් වෙනුවෙන් කැලෑ එළි කරන ගම්මුන් සුළුතරය පමණක් ද නොවේ. කිහිප දෙනකු එක්ව සිදු කරන මේ මහා වන විනාශය වෙනුවෙන්, කුඩා දරුවාගේ පටන් වැඩිහිටි මහල්ලා දක්වා මේ රටේ සෑම පුරවැසියකුටම, වන්දි ගෙවීමට සිදු වනු ඇත.

එහෙයින්,මේ විද්‍යාත්මක පසුබිම වටහා ගත් සහ පරිසර සාක්ෂරතාව අවබෝධ කොටගත් වගකීම් සහිත පුරවැසියන් ලෙස, වනාන්තර සුරැකීම සහ නැවත වගා කිරීමේ ජාතික කර්තව්‍යයට උර දෙන අතරම, පරිසරයට ආදරය කරන ළමා පරපුරක් බිහි කිරීමට දායක වෙමු.

 

මේ තමයි, ඔබ අපට ලිවිය යුතු ලිපිනය.

ESCAMP ව්‍යාපෘති අධ්‍යක්ෂ,

අංක 82, රජමල්වත්ත පාර, බත්තරමුල්ල.

[email protected]

Comments