වනාන්තර සුරකින ඓතිහාසික නඩු තීන්දුව | සිළුමිණ

වනාන්තර සුරකින ඓතිහාසික නඩු තීන්දුව

ඩ්‍රෝන ඡායාරූපයකට හසු වූ හෙළි කළ වනාන්තරය දිස්වෙන අයුරු

- විනාශ කළ විල්පත්තුව තමන්ගේ වියදමින් යළි වවන්න හිටපු ඇමැති රිෂාඩ්ට අභියාචනාධිකරණයෙන් නියෝග
- පෙත්සම්කරුවන්ට නඩු ගාස්තු ගෙවීමටත් නියම වෙයි

විල්පත්තු ජාතික වනෝද්‍යානයේ උතුරු අභය භූමිය එළි පෙහෙළි කරමින් නීති විරෝධීව කළ වන විනාශයට එරෙහිව “පරිසර යුක්ති කේන්ද්‍රය” විසින් ගෙන ගිය සටන පසුගිය 16 වැනිදා කිසියම් සන්දිස්ථානයකට පැමිණියේය. ඒ අධිකරණය විසින් ඓතිහාසික නඩු තින්දුවක් ප්‍රකාශයට පත් කිරමින් විල්පත්තුව ආශ්‍රිත කල් ආරු රක්ෂිතය ඇතුළු පෙරියමඩු, මරිචකට්ටි වන සංහාරයට පාරිසරික වන්දියක් ලෙස ඒ සමාන භුමියක් නැවත වන වගාව සිදු කරන ලෙස අදාළ වගඋත්තර කරුවන්ට නියම කිරීම නිසාය. තීන්දුව ලබාදීමත් සමඟ සමාජ මාධ්‍යය ඔස්සේ විවිධ පාර්ශ්ව මේ සම්බන්ධයෙන් අදහස් දක්වනු පෙණින. මෙහි දී තම ගිනුම් හි සටහන් තබමින් බොහෝ පරිසර විද්‍යාඥයන් හා පරිසරවේදීන් කියා සිටියේ මෙය විශිෂ්ට මෙන්ම පූර්වාදර්ශී තීන්දුවක් බවය. එසේම මේ පිළිබඳව අවඥාවෙන් අදහස් දක්වන පාර්ශ්වද නැතුවා නොවේ. එනිසා මේ සම්බන්ධයෙන් සැකැවින් හෝ විමසා බැලීම යෝග්‍ය යැයි අපි සිතුවෙමු. 

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන විල්පත්තු ජාතික වනෝද්‍යානය, ඊට උතුරින් පිහිටි රක්ෂිත වනාන්තර හතරක් පුරා පැතිර තිබේ. මන්නාරම දිස්ත්‍රික්කයේ මුසලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මෙම රක්ෂිත හතර කල් ආරු වනාන්තරය ලෙස හැඳින්වේ. එලෙස හැඳින්වීමට හේතු වී ඇත්තේ එම වනාන්තරය ප්‍රධාන වශයෙන් ම කල් ආරු ඔයේ ජල පෝෂක ප්‍රදේශයක් ලෙස පැවතීම ය. මෙම රක්ෂිත වනාන්තර හුදෙකලා නොවූ වනාන්තර පද්ධතියක් ලෙස විල්පත්තු උතුරු අභය භූමිය හා විල්පත්තු ජාතික වනෝද්‍යාන සංකීර්ණය හා බැඳී පවතී. මීට අමතර ව අරුවි ආරු ඔයේ ජල පෝෂක ප්‍රදේශයක් ද වේ. මෙනිසා අලි – ඇතුන්ගේ ප්‍රධාන නිජබිමක් බවට මෙය පත්ව ඇත. කල් ආරු වන රක්ෂිතය වියළි මිශ්‍ර සදාහරිත වනාන්තර වැඩි ප්‍රමාණයකින් සමන්විත වේ. එසේම සුළු වශයෙන් කටු පඳුරු සහිත ලඳු කැලෑ බිම්, ගංගාශ්‍රිත වනාන්තර සහ විල්ලු පරිසර පද්ධතිවලින් ද සමන්විත ය. මෙම වනාන්තර පද්ධතිය තුළ විල්පත්තු ජාතික වනෝද්‍යානයෙහි ජෛව විවිධත්වයට සමාන ජෛව විවිධත්වයක් ඇත. ඊට අමතර ව පුරා විද්‍යාත්මක නටබුන්වලින් යුක්ත වන අතර, ප්‍රධාන වශයෙන් මහා ශිලා යුගයට අයත් සාධක හමු වන වනාන්තර ප්‍රදේශයක් ලෙස සැලකේ.

නීතිය නොමඟ යැවීමට උත්සාහ ගත් හැටි

2010 වසරේ පැවැති රාජපක්ෂ රජයේ බලාපොරොත්තුව වූයේ ජාතික භෞතික සැලැස්මට අනුව මේ ප්‍රදේශයේ මහ පරිමාණ සංචාරක පුරවරයක් හා මහ පරිමාණ නගරයක් ලෙස සංවර්ධනය කිරීමටය. එහෙත් එකී ව්‍යාපෘතිය පසෙක තබා රිෂාඩ් බදුර්දීන් අමාත්‍යවරයා තම දේශපාලන සහ පෞද්ගලික උවමනාවන් වෙනුවෙන් මේ ව්‍යාපෘතිය යොදා ගැනීමට සැලසුම් කළේය. එහි ආරම්භය වූයේ ඔහු විසින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට හා මන්නාරම දිස්ත්‍රික් ලේකම්වරයාට දැඩි බලපෑම් එල්ල කර වන සංරක්ෂණ දෙපාර්තමේන්තු යටතේ පාලනය වන රජයට අයත් වනාන්තර බිම් පාරිසරික නීතිරීති උල්ලංඝණය කරමින් වෙන් කරවා ගැනීමය. පසුව දිස්ත්‍රික් ලේකම්වරයා හරහා එම භූමිය අක්කර භාගය බැගින් කැබලි කර යුද්ධයෙන් අවතැන් වූ ජනතාවට නැවත පදිංචි වීම සඳහා ලබා දෙන බව හඟවමින් පුත්තලම, කල්පිටිය හා මන්නාරම ප්‍රදේශවල ව්‍යාපාරිකයින් ඇතුළු ඉඩම් හිමි ජනතාවට ලබා දීමය. ඒ අනුව කල් ආරු රක්ෂිතයට අයත් මරිච්චුකඩ්ඩි-කරඩික්කුලි වන රක්ෂිතයේ අක්කර 2500 ක්, විලත්තිකුලම් වන රක්ෂිතයේ අක්කර 700 ක්, වේප්පාල් වන රක්ෂිතයේ අක්කර 100 ක් හා මාවිල්ලු වන රක්ෂිතයේ අක්කර 100 ක් ආදී වශයෙන් අක්කර 3400 ක් පමණ නීතිවිරෝධී ලෙස එළිකර තිබුණි. එහි දී සැබෑ ලෙසම අවතැන් වූ සුළු පිරිසකට ද ඉඩම් හිමි වූ බව සත්‍යයක් වුවත්, මෙහි වැඩි බිම් ප්‍රමාණයක් ලබා දී තිබුණේ තමන්ට හිතවත් ව්‍යාපාරිකයන්ටය.

නීති විරෝධී ව රක්ෂිත වනාන්තරවලට අයත් මෙම ඉඩම් හිතුමතේ වෙන් කර ගෙන අලූතින් ජනාවාස පිහිටුවීම සිදු කරන නමුත් රිෂාඩ් බදුර්දීන් අමාත්‍යවරයා දිගින් දිගට කියා සිටියේ අවතැන් වූ ජනතාවගේ ඉඩම්වල ම ඒ අය පදිංචි කරන බවය. එසේ තිබූ ප්‍රදේශ යුද්ධය පැවැති සමයේ දී වනයෙන් වැසී ගොස් ඇති බවය. එනිසා ඒවා හෙළිපෙහෙළි කර මෙම කටයුතු සිදු කළ බවය. මෙම ප්‍රකාශ සියල්ල සාවද්‍ය බව පසුව ඔහු විසින් යොමු කළ ලිපි ලේඛනවලින්ම සනාථ විය. එහි පැහැදිළිව ම සඳහන් කර තිබුණේ මෙකී වනාන්තර ප්‍රදේශවලින් පරිබාහිර ගම්මානවල අවතැන් වූ ජනතාව අලුතින් පදිංචි කිරීම සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් නිදහස් කර දෙන ලෙස ය.

මෙම ප්‍රදේශයේ ජනතාව පදිංචිව සිටි ගම්මාන ලෙස පැවතියේ නම් හෝ යුද්ධය පැවැති කාලය තුළ දී අතහැර දමා තිබුණේ නම් එ්වායේ නැවත පදිංචි කිරීම සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අවසර ඉල්ලා එම ඉඩම් නිදහස් කර ගැනීමට කටයුතු කළේ කුමන හේතුවක් නිසා ද?. අනෙක් අතට ජනයා පදිංචිව සිටි ඉඩම් රක්ෂිත බවට ප්‍රකාශයට පත් කර ඇත්නම් ඊට එරෙහිව කටයුතු නොකළේ ඇයිද? මේ කිසිවකට ඔහු පිළිතුරු දී නැත.

නීතිය සැමට සමාන වේ

1938 වසරේ සිට මේ දක්වා ප්‍රකාශයට පත් ව ඇති සියලුම සිතියම් පරිශීලනය කිරීමේ දී ද මේ ප්‍රදේශයේ කිසිදු ආකාරයක ජනාවාස නොපැවති බවත් වනාන්තර ලෙස ම පැවැති බවත් සනාථ වී තිබේ. අඟලේ සිතියම්, 1:50000 සිතියම්, ගුවන් ඡායාරූප හා ගූගල් සිතියම් පරිශීලනය කිරීමේ දී මේ බව ඉතා හොඳින් තහවුරු වේ. මේ අනුව පෙනී යන්නේ රිෂාඩ් බදියුර්දීන් විසින් මුලූමහත් සමාජය ම මුලා කිරීමට කටයුතු කළ බව ය. එපමණක් නොව ඇමැති වරප්‍රසාද භාවිත කරමින් කිසිදු බියකින් තොරව සාවද්‍ය කරුණු සමාජගත කිරීම ද සිදු කර ඇත. මෙකී සියලු කරුණු සැලකිල්ලට ගනිමින් පසුගිය 16 වැනිදා අධිකරණය සිය තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතාගේ මූලිකත්වයෙන් විල්පත්තු රක්ෂිත වනාන්තර කලාපයේ කල් ආරු රක්ෂිතය එළිකොට ජනාවාස ඉදිකිරිම නීතිවිරෝධි බව අභියාචනාධිකරණය තීන්දු කළේය. අදාළ තීන්දුව ප්‍රකාශයට පත්කරමින් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළේ, වනය එළි කර ජනාවාස ඉදි කළ ප්‍රදේශ හා සමාන ප්‍ර දේශයක රිෂාඩ් බදිර්දීන් සිය පෞද්ගලික වියදමින් ශාක වැවීමට පියවර ගතයුතු බවය. එලෙස වන වැවීමට වැයවෙන මුදල මෙම නඩු තීන්දුව ලබා දුන් දින සිට මාස දෙකක් ඇතුළත ගණනය කොට වගඋත්තරකාර පාර්ශ්වය වන හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්ට දැනුම් දෙන ලෙස වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියම කෙරිණ. එසේම එලෙස දැනුම් දී මාසයක් ඇතුළත අදාළ මුදල ගෙවිය යුතු බව ද හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීනට නියෝග කරන බව අභියාචනාධිකරණ තීන්දුවේ සඳහන් වේ.

මීට අමතරව පැමිණිලි පාර්ශ්වයේ නඩු ගාස්තු ගෙවීමට පියවර ගන්නා ලෙසද අධිකරණය විසින් පෙත්සමේ වගඋත්තරකාර පාර්ශ්වයට නියෝග කෙරිණි. මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, මධ්‍යම පරිසර අධිකාරිය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු පාර්ශ්ව නවයක් නම් කර තිබුණි. විල්පත්තුව රක්ෂිත වනාන්තර කලාපවලට ආසන්නයේ පිහිටි කල් ආරු රක්ෂිත වනාන්තර කලාපයේ අක්කර 2, 388 ක් එළිකර පවුල් 1500 පදිංචි කර අනවසර ඉදිකිරීම් සිදු කිරීම තුළින් විශාල පාරිසරික හානියක් සිදුව ඇති බව පරිසර යුක්ති කේන්ද්‍රය සිය පෙත්සම මඟින් පෙන්වා දී තිබේ.

වැදගත් පූර්වාදර්ශ ගණනාවක් හඳුන්වා දුන් නඩු තීන්දුවක්

මෙම නඩුව ගොනු කළ පරිසර යුක්ති කේන්ද්‍රයේ සභාපති නීතීඥ රවිද්‍රනාත් දාබරේ කියා සටියේ “විල්පත්තු වන විනාශයට එරෙහිව අධිකරණයේ පිහිට පැතූ පාර්ශ්වය හැටියට ලබා දුන් නඩු තීන්දුව පිළිබඳව ඉතාම තෘප්තිමත් වන බවය. එසේ තෘප්තිමත් වීමට කරුණු ගණනාවක් තිබෙන බව පැවසූ හෙතෙම, “මෙම නඩු තීන්දුව ලැබීමට ප්‍රථම විවිධ පාර්ශ්ව අතර විවිධ මත තිබුණා. සමහර පාර්ශ්ව විසින් මෙය නීති විරෝධී කාර්යයක් ලෙස කරුණු දැක් වූ අතර, බදුර්දීන් මන්ත්‍රීවරයාගේ පාර්ශ්වයෙන් කියා සිටියේ ඔවුන් නීති විරෝධී කිසිවක් කර නොමැති බවයි.

නමුත් පසුගිය 16 වැනිදා ලැබුණු අධිකරණ තීන්දුව මඟින් ඔවුන් විසින් නීතිවිරෝධි ක්‍රියාවක් සිදු කර තිබේද නැද්ද? යන කාරණය ඉතා හොඳින් නිරාකරණය විය. ඒ අනුව ජනතාව පදිංචි කිරීම හා වනය හෙළි කිරීම නීති විරෝධි බව අධිකරණ විසින් පිළිගෙන මෙම තීන්දුව ලබාදී ඇත. මේ සිද්ධිය සහ ක්‍රියාදාමය නීති විරෝධී ද නැද්ද? යන්න තව දුරටත් ඔවුන්ට ප්‍රශ්න කළ නොහැකි යි. සාමාන්‍ය යෙන් වන සංරක්ෂණ ආඥාපනතට අනුව රක්ෂිත වනයක තහනම් ක්‍රියාවකට ලබාදිය හැකි උපරිම දඬුවම වසර 05 ක් නොඉක්මවන බන්ධනාගාර ගත කිරීමක් හෝ රුපියල් ලක්ෂයත් ලක්ෂ දහයත් අතර දඩ මුදලකට හෝ මේ දෙකටම යටත් කළ හැකි වීමය. මීට අමතරව වන රක්ෂිතයට කරන ලද විනාශය සඳහා අධිකරණය මඟින් නියම කරන දඩ මුදලකට ද යටත් කළ හැකි විය. නමුත් මෙහි දී ඉන් ඔබ්බට ගොස් අක්කර 3000කට ආසන්න ප්‍රමාණයක නැවත වන වගාවක් සිදු කිරීමට නියෝග කර තිබේ. මෙය පැළ සිටුවීමක් ලෙස බොහෝ දෙනා වරදවා වටහාගෙන තිබුණ ද මෙම තීන්දුව මඟින් ප්‍රකාශ කර ඇත්තේ, හානියට පත් විල්පත්තු භූමි භාගයට සමාන භූමි භාගයක ඊට ගැලපෙන කාලගුණික දේශගුණික පරිසර පද්ධතියක නව වන වගාවක් ඇති කිරීමය.

මෙවැනි පරිසර පද්ධතියක් නිර්මාණය කිරීම සඳහා අක්කරයකයට දළ වශයෙන් ලක්ෂ 10ක පමණ මුදලක් වැය වේ. මේ අනුව අධිකරණය විසින් ලබා දී තිබෙන දඬුවමේ තරම අපට සිතාගත හැකිය. මෙම තීන්දුව හෑල්ලුවට ලක් කරන පිරිස් ඒ පිළිබඳව සිතා බලා අදහස් දක්වන්නේ නම් මැනවි. අනෙක් අතට මෙම තීන්දුව මඟින් ශ්‍රී ලංකාවේ වනාන්තර සහ පරිසර පද්ධතිය ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් අධිකරණයට මැදිහත් වීමට ඇති අයිතිය හා ඉඩකඩ පිළිබඳව වැදගත් පූර්වාදර්ශ කිහිපයක් සපයා ඇත.

එනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් රජයකට පරිසරය රැකීමට ලබා දී තිබූ යුතුකමේ කොටසක් අධිකරණය විසින් දැරිය යුතු බවට අධිකරණය විසින්ම තීන්දුවක් ගැනීමය. මෙනිසා මින් ඉදිරියට වන විනාශයක් සම්බන්ධයෙන් අධිකරණයේ පිහිට පැතීමේ දී අදාළ පාර්ශ්වයට විශාල පහසුවක් ඇති වේ. විශේෂයෙන්ම රිට් අධිකරණ බලය ඉල්ලා නැති අවස්ථාවක, අධිකරණයට තීන්දු කළ හැකි සහන ලබාදීම සඳහා කටයුතු කළ හැකි බව අධිකරණය විසින් තීන්දු කර තිබේ. එය මීට වසර ගණනාවකට ප්‍රථම පැවැති තත්ත්වයක් වුව මෙම නඩු තීන්දුව නිසා එය යාවත්කාලීන විය.

මෙම නඩු තීන්දුව ප්‍රකාරව පදිංචිකරුවන් සියලු දෙනා නීති විරෝධි පදිංචිකරුවන් බවට පත්වේ. කෙනෙක් නීති විරෝධීව යම් ස්ථානයක පදිංචි වී ඇත් නම් එය වන සංරක්ෂණ දෙපාර්තමෙන්තුවට අයත් ඉඩමක් නම් වන සංරක්ෂණ ආඥාපනතේ 53 (අ) වගන්තියට යටතේ ඔවුන් ඉවත් කිරීමට වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයා කටයුතු කළ යුතුය.

මෙම නඩු පැවරීම මඟින් අප ඉල්ලා තිබුණේ එම ප්‍රදේශයේ නැවත වන වගාව ආරම්භ කරන ලෙස වුවත්, එය කවර පාර්ශ්වයක් විසින් කළ යුතු ද යන්න සඳහන් කර නොතිබුණි. නමුත් අදාළ පාර්ශ්වවලින් කවර පාර්ශ්වයක් විසින් හෝ එය කළ යුතු බව අපේ අදහස විය. මෙය කළ යුත්තේ බදුර්දීන් විසින් බව ගරු අධිකරණය විසින් තීන්දු කර තිබේ. එනිසා මෙය පරිසර හිතකාමී සැමගේ ජයග්‍රහණයක් වනවා සේම බොහෝම අපක්ෂපාතීව ලබාදුන් තීන්දුවක් ලෙස අගේ කළ යුතුය. ඒ නීතිය ඉදිරියේ සියල්ලන් සමාන බව මෙමඟින් පෙන්වාදී ඇත.

ඇතැමුන් විසින් ජනාධිපති කොමිසමේ අනෙකුත් පාර්ශ්වවලට ඇඟිල්ල දිගු කර ඔවුන්ට දඬුවම් නොදන්නේ මන්දැයි ප්‍රශ්න කරති. ජනාධිපති කොමිසම මඟින් අවතැන් වූවන්ට ඉඩම් ලබා දිය යුතු බවට තීරණය කළ ද ඒ සඳහා ස්ථානයක් යොජනා කර නොතිබුණි. එනිසා මෙම ස්ථානයේ එම ඉදිකිරීම් කළ යුතු බවට තීන්දු කළේ අදාළ කොමිසම විසින් නොව බදුර්දීන් අමත්‍යවරයා විසිනි. එනිසා දඬුවම් කළ යුත්තේ එය තීන්දු ගත් තැනැත්තාට මිස අනෙකුත් පාර්ශ්වවලට නොවේ. ඒ අනුව අධිකරණය මෙකී තීන්දුවට පැමිණි බව සැලකිය හැකිය.”

ඉදිරියේ දී මෙම තීන්දුව නැවත බදුර්දීන් පාර්ශ්වය විසින් අභියෝගයට ලක් කළ ද එය නියත වශයෙන් මේ ආකාරයෙන් ම පරාජයට පත් වන බව ද නීතීඥ රවිද්‍රනාත් දාබරේ සිළුමිණට පැවසීය.

Comments