වන්ෂොට්ගේ අල්ලස් කතාවෙන් එළියට ආ ‘රාජකීය උයනේ’ අලුත්ම කතාව | සිළුමිණ

වන්ෂොට්ගේ අල්ලස් කතාවෙන් එළියට ආ ‘රාජකීය උයනේ’ අලුත්ම කතාව

ශමන්ත වරදකරු වීමෙන් පසුව බන්ධනාගාරයට ගෙන ගිය අවස්ථාව

රෝයල් පාක් ඝාතන නඩුව‘ 2005 වසරේ ජූලි මස 1 වැනිදා රටම කැළඹූ මාධ්‍ය මඟින් නිරතුරුවම කතාබහට ලක්වූ එම ඝාතනය නැවතත් කරළියේ අලුත් වෙමින් ඇත. ඒ රන්ජන් රාමනායක විසින් සමාජයට අත හරින ලද අලුත්ම ‘කතා බෝම්බයක් ’නිසාය. ඒ කතා බෝම්බයේ සුල මුල සෙවීමට පෙර වසර එකහමාරක පමණ කාලයක් මාධ්‍යයෙන් පවා වැසී තිබුණු මේ ඝාතනයේ සුලමුල මඳක් ඇද බැලිය යුතුය. 

රෝයල් පාක්හිදී ඝාතනයට ලක් වූයේ 19 හැවිරිදි තරුණියකි. බැලූ බැල්මට ඇය විදේශීය කාන්තාවක් බව හැඟුණද ඇයගේ පියා ස්වීඩන් ජාතිකයකු වන නමුත් මව ශ්‍රී ලාංකික තැනැත්තියකි. ඝාතනයට ලක් වූ ඉවෝන් ජොන්සන් තරුණියගේ පියා වන්නේ ස්වීඩන් ජාතික රෝජර් ජොන්සන් නම් කෝටිපති ව්‍යාපාරිකයෙකි. මව ශ්‍රී ලාංකික චමල්කාය. ඔවුන්ට ඉවෝන් සහ කැරොලයින් නමින් දියණියන් දෙදෙනකු විය.

පියා කෝටිපති ව්‍යාපාරිකයකු වූ නිසා දැරියන් දෙදෙනාම සුපිරි පෙළැන්තියේ සමාජ දිවියකට හුරු වූයේ කුඩාකල සිටමය. ඔවුන් දෙදෙනා අධ්‍යාපනය ලැබුවේ කොළඹ ප්‍රකට ජාත්‍යන්තර පාසල් දෙකකය. මේ දියණියන් දෙදෙනා පාසල් වියේ සිටම රාත්‍රී සමාජ ශාලා දිවියට හුරු විය. එම සමාජ දිවියේදී රාත්‍රී සාද, මෙන්ම මත්පැන් සාදද පවත්වා ඇති අතර මේ දෙදෙනාම ඒ සඳහා සහභාගි විය. ඊට නිවෙස්වලින් කිසිදු තහනමක්ද නොවීය. වැඩිවියට පැමිණි විගස ඉවෝන් තම පෙම්වතා ලෙස තෝරා ගත්තේ තම වයසේම කොලු ගැටයකු වූ ජූඩ් ශමන්ත ජයමහය. එහෙත් ඒ සබඳතාව වැඩිකල් පැවතියේ නැත.

පාසල් සමයෙන් අනතුරුව ඉවෝන් රූපලාවණ්‍ය පාඨමාලාවක් හැදෑරීම සඳහා ඇමරිකාව බලා ගියාය. අක්කා විදෙස් ගත වීම නිසා නැඟණිය වූ කැරොලයින් සිය පාළුව නිවාගත්තේ රාත්‍රී සමාජශාලා ජීවිතයෙනි. මිතුරු මිතුරියන් ඇසුර ඇයට සුරලොවක් මැවූ අතර ඇය එහිදී පවිත්‍ර නම් සුපිරි පෙළැන්තියේ ධනවත් තරුණයකු සමග ප්‍රේමයක් ඇති කර ගත්තාය. පසුව ඇය තෝරා ගත්තේ අක්කාගේ කලින් පෙම්වතා වූ ජූඩ් ශමන්ත ජයමහය. ඇයද පාසල් වියේ සිට ඔහු හඳුනා ගෙන සිටියාය.

මේ අතර ඉවෝන් යළි මෙරටට පැමිණි අතර පැමිණි විගසම ඇය නැඟණිය සමග රාත්‍රී සාදයකට යන්නීය. ඊට ශමන්තද පැමිණ තිබේ. ඒ සාදයට පවිත්‍රද පැමිණි අතර ඔහු කැරොලයින් සමඟ ඉතා සුහදම කුළුපගව මෙන්ම අතින් පයින් තට්ටු දමමින් කතා බහ කිරීමත් සමඟ ශමන්තගේ සීමාව ඉක්මවා ගියේය. පෙර පෙම්වතා සමඟ කැරොලයින් පැටලෙනු ඇතැයි බැණවැදුණු ඔහු තමන් හා වහාම යා යුතු බව පැවසීම නිසා එම සාදයේ උණුසුම් ස්වභාවයක් හට ගත්තේය.

මේ අවස්ථාවේදී මැදිහත් වූ ඉවෝන් තම නැගණිය සමග රණ්ඩු නොකරන ලෙස ශමන්තට බැණ වැදුණු නමුත් අවසානයේදී ශමන්ත සහ කැරොලයින් කුලී රියක් ගෙන රෝයල් පාර්ක් සංකීර්ණයේ පිහිටි කැරොලයින්ගේ නිවසට ගියහ. ඉවෝන් වෙනත් සමාජ ශාලාවකට ගොස් එහි පැය කිහිපයක් රැදී සිට පසුව නිවස බලා ගියාය.

රෝයල් පාක්හි කැරොලයින්ගේ කාමරයටම ගිය ශමන්ත ඇයත් සමඟ පැය කිහිපයක් එම කාමරයේ ගත කරන්නේ මව වෙනත් කාමරයක සිටියදීමය. අලුයම 2ට පමණ කැරොලයින්ගෙන් සමුගෙන විදුලි සෝපානය අසලට පැමිණෙන ශමන්තට ඉවෝන් හමුවිය. ඔහු ඇයට දොස් පැවරුවේ සාදයේදී වූ ලැජ්ජාව ගැන පවසමිනි.ශමන්තගේ ඒ කතාවෙන් කෝපයට පත්වූ ඉවෝන් තමන්ගේ නැගණියගේ ජිවිතය විනාශ කළ බව කියමින් ඔහුට පහර දෙන්නට පටන් ගත් බව වාර්තා වේ. ඔහුගේ පහරදීම් දරාගත නොහැකිව විසි වී ගිය ප ඇය අසීරුවෙන් නැඟිට තරප්පු පෙළ දිගේ ඉහළට දිව යද්දී ඇය පසු පස ලුහුබැඳ ගිය ශමන්ත ඇගේ හිස අල්ලා කිහිප වතාවක් බිත්තියේ ගැසුවේය. ශමන්තගේ තල්ලු කිරීම හමුවේ ඇය මහල් කිහිපයක් පඩි පෙළ දිගේ දිව ආවාය. 20 වැනි මහලේදී ශමන්ත ඇය අල්ලා ඇයගේ හිස යළිත් බිත්තියේ ගසා තල්ලු කෙළේය. ඒ පහරින් ඇය දහනම වැනි මහල තෙක් පඩිපෙළ දිගේ පෙරළී ගියාය.

කෝපාවිශ්ටව සිටි ශමන්ත අඩක් සිහිසුන්ව පෙරළී ගිය ඇය පසුපස හඹා ආවේය. යන්තම් කෙඳිරි ගාමින් ඇදවැටී සිටි ඉවෝන් ඇඳ සිටි දිග කලිසම යට ඇඳුම් සියල්ල එළියට එන තෙක් ගැලවූ ඔහු කලිසමෙන් ඇගේ ගෙල සිර කළේය.

ඉන්පසු ශමන්ත, රිල්වාන් නම් තමාගේ මිත්‍රයකුට දුරකතන ඇමතුමක් ලබා දී ඔහුගේ සහයෝගයෙන් එම ස්ථානයෙන් පලා ගියේය. ගෙල සිරවීමෙන් හා හිස අභ්‍යන්තරයට වූ හානියෙන් ඇය එම ස්ථානයේම මිය ගියාය.

මේ, රෝයල් පාක් ඝාතනයේ කතාවයි. ඒ සම්බන්ධව ශමන්තව අත්අඩංගුවට ගන්නේ ඉවෝන්ගේ අවමංගල්‍යට පැමිණ සිටි අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු පොලිස් කණ්ඩායමක් විසිනි. ඔහු කිසිත් නොදත් බව පැවසුවද සාක්ෂි වසන් කරන්නට ඔහුට නොහැකි විය. ඔහු ගලවා දැමූ ඇගේ කලිසමේ ඇතුළු පැත්තේ මෙන්ම තරප්පු පෙළේ අත්වාරුවේද ඔහුගේ ඇඟිලි සලකුණු තිබිණි.

මෙම සිද්ධිය වසර 7ක් විභාග කළ මහාධිකරණය විසින් 2012 වසරේදී ශමන්තට වසර 12ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් සහ ලක්ෂ 3ක දඩයක් නියම කරනු ලදී. ඉවෝන්ගේ මවුපියන් එම දඬුවම ප්‍රමාණවත් නොවන බව පවසා අභියාචනාධිකරණය වෙත ගිය අතර අභියාචනාධිකරණය මඟින් එම වසරේදීම ශමන්තට මරණ දඬුවම ලබා දෙන ලදී. මෙය ලංකා ඉතිහාසයේ අභියාචනාධිකරණය මඟින් මරණ දඬුවම ලබා දුන් පළමු අවස්ථාවයි.

ශමන්තගේ මවුපියන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත නඩුව ගෙන ගියත් කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය 2014 වසරේදී තීන්දුව ලබා දුන්නේ අභියාචනාධිකරණයට මරණ දඬුවම ලබා දීමට හැකියාවක් පවතින බව පෙන්වමිනි.

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ඝාතකයාට ජනාධිපති සමාව ලබා දුන්නේය. එය සමාජයේ දැඩි කතාබහටත් පිළිකුළටත් බඳුන් විය. ඒ සම්බන්ධයෙන් එවකට ජනාධිපති ලේකම් කාර්යාලයේ නිවේදනයක් නිකුත් කර කියා සිටියේ රෝයල් පාර්ක් ඝාතකයා හට ජනපති සමාව ලබා දුන්නේ අතුරලියේ රතන හිමියන් ඇතුළු ප්‍රභූ කණ්ඩායම් විසින් කරන ලද ඉල්ලීම් අනුව බව කියමිනි. 

මෙහිදී සම්බන්ධීකරණ කටයුතු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් විසින් සිදුකරන ලද අතර උන්වහන්සේ විසින් එම තරුණයාගේ මවුපියන් සහ ඥාතීන් ජනාධිපතිතුමාට මුණගස්වා මේ පිළිබඳ දීර්ඝ කරුණු දැක්වීමක් ද සිදුකළ බවද එහි සඳහන් විය.

ශමන්තට ජනාධිපති සමාව ලැබීමෙන් පසුව ඔහු සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇති අතර සිංගප්පූරුවේ සිට මැලේසියාව දක්වා බස් රථයකින් ගොස් ඇති බව පසුව වාර්තා විය. මැලේසියාවට ඍජුව ගමන් කළ හැකි නමුත් ඊට වීසා ලබා ගැනීමට දින කිහිපයක් ගත වන නිසා ‘පිවිසුම් වීසා‘ ලබාගත හැකි සිංගප්පූරුවට කඩිනමින් යාමට හැකි නිසා සිංගප්පූරුවට ඔහු ගොස් ඇති බව මේ අනුව පෙනී යයි. ඔවුන් රාත්‍රී සමාජ ශාලාවලට දිනකට රුපියල් 50,000ක් 75,000ක් පමණ වැය කරන අය වන අතර සිංගප්පූරුවේ සිට මැලේසියාවට බස් රථවලින් යා යුතු නැත.

ඒ කරුණු එසේය. දැන් අප කතා කළ යුත්තේ රන්ජන්ගේ කතාව ගැනය. ඔහු පසුගිය 9 වැනිදා පැවසුවේ රෝයල් පාක් ඝාතකයා නිදහස් කරන්නට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට රුපියල් කෝටි 5ක් හා අතුරලියේ රතන හිමියන්ට රුපියල් කෝටි 3ක් ලබා දී ඇති බවයි.

ජනාධිපතිවරයාගේ ධුර කාලය අවසන් වීමේදී එම මුදල ලබා දුන් බවද අතුරලියේ රතන හිමියන්ට උන් වහන්සේගේ අසපුව වෙනුවෙන් මුදල් ලබා දුන් බවද රන්ජන් රාමනායක පෙන්වා දෙයි.

මේ අල්ලස් කතාව ගැන අතුරලියේ රතන හිමියන් හෝ හිටපු ජනාධිපතිවරයා සතියකට අධික කාලයක් කිසිදු ප්‍රකාශයක් නොකළ අතර අප අතුරලියේ රතන හිමිගෙන් ඒ ගැන විමසුවෙමු. උන්වහන්සේ පැවසුවේ “ඒ අමනයා ගැන කතා කරන්නවත් අකමැති” බවයි. ඔහුට විරුද්ධව එන්තරවාසියක් යවන්නට සිතුවද එවැන්නක් පවා යවන්නට ඔහු වටිනාකමක් ඇති ඇති පුද්ගලයකු නොවන බවයි. මේ ගැන ප්‍රකාශයක් පවා කිරීමට අකමැති බවද උන්වහන්සේ පැවසූහ.

හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම්වරයා පවසන්නේ පදනම් විරහිතව ගොතනු ලබන ප්‍රකාශවලට පිළිතුරු නොදීමට මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා තීරණය කර ඇති බවයි. මේ සම්බන්ධව එන්තරවාසියක් සකස් කර ඇතත් එවැනි අඥාන කතාවන්ට එන්තරවාසියක් මඟින් හෝ වටිනාකමක් ලබා දීම සුදුසු නොවන බවට හිටපු ජනාධිපතිවරයා තීරණය කර ඇති බවත් එසේ වුවත් මේ අසත්‍ය චෝදනාව යළි ප්‍රකාශ කළහොත් ඊට එරෙහිව අවශ්‍ය සියලු නීත්‍යානුකූල කටයුතු සිදු කරන්නට හිටපු ජනාධිපතිවරයා බලාපොරොත්තු වන බවද ඔහු පෙන්වා දෙයි.

කෙසේ හෝ අද වන විට රටින් පිටව ගිය ශමන්ත ගැන තොරතුරක් නැත. වාර්තා වන අන්දමට ඔහුගේ විදෙස් ගමන් බලපත්‍රය තවමත් අධිකරණයේය. එසේනම් ඔහු රටින් පිටවූයේ කෙසේද? යන්නද පැනයකි.

Comments