රිදියගම සෆාරි උද්‍යානයෙන් සිංහ දරු සුරතල් | සිළුමිණ

රිදියගම සෆාරි උද්‍යානයෙන් සිංහ දරු සුරතල්

සිංහ පැටවුන්ගේ පියා “ෂූලා“

ම්බන්තොට රුහුණු රිදියගම සෆාරි උද්‍යානයෙන් ඇසෙන මේ කතාව සත්ත්වලෝලීන්ගේ අමානන්දයට හේතු වනු නිසැකය. කොරෝනා හේතුවෙන් සෆාරි උද්‍යානය වසා තිබු මොහොතේ රුහුණු රිදියගම සෆාරි උද්‍යානයේ සිංහ කලාපයේ සිටි “ෂීනා“ නැමැති සිංහ ධේනුව පසුගිය 17 හා 18 දෙදින තුළදී සිංහ පැටවුන් තිදෙනෙකු බිහිකිරිමය. 

නොවැම්බර් 17 වන දින සවස 4.30ට පමණ “ෂීනා“ පැටවුන් දෙදෙනෙකු බිහි කළ අතර 18 දින අලුයම් කාලයේදීද තවත් පැටවකු බිහිකර තිබේ. අප්‍රිකානු සිංහ ධේනුවක වන ෂිනා ලංකාවට පැමිණියේ මීට වසර හතකට පෙරාතුවය. ඒ 2013 වසරේදී ජර්මනියේ සිටය. ලංකාවට පැමිණෙන විට වයස අවුරුදු දෙකක් වු “ෂීනාට“ මේ වන විට වයස අවුරුදු නවයකි. මේ කාල පාරාසය තුළ “ෂීනා“ බිහි කළ පැටවුන් ගණන 07කි. මෙවර “ෂීනා“ බිහිකළ පැටවුන් තිදෙනාගේ පියා “ෂූලා“ ය. චීනයේ සිට ලංකාවට රැගෙන ආ “ෂූලා“ද “ෂීනා“ මෙන්ම අප්‍රිකානු සිංහයෙකි.

රිදියගම සෆාරි උද්‍යානය ආරම්භයටත් පෙර මෙහි සිටින සිංහයන් පිළිබඳව පළමුවෙන්ම කලාබහට ලක් වූයේ 2015 වසරේ අගබාගයේදීය. ඒ සෆාරි උද්‍යානයට මුදාහැරීම සඳහා සිංහයන් 08 දෙනෙකු රැගෙනවිත් රිදියගම සෆාරි උද්‍යානයේ කූඩු තුළ රඳවා තබා සිටි අතර, මින් වයස අවුරුදු පහක් වු දිගින් අඩි පහ හමාරක් තරම් වු එක් කේසර සිංහයකු 2015.12.04 දින එකවරම මිය ගියේය. එලෙස මිය ගියේ සත්වෝද්‍යාන සත්ව හුවමාරුව වැඩසටහන යටතේ දකුණු කොරියාවේ සිට මෙරටට ගෙන්වන ලද “බොලී“ නැමති කේසර සිංහයෙකි.

එදායින් පසු නැවතත් රිදියගම උද්‍යානයේ සිංහයන් පිළිබදව කතා බහට ලක් වුයේ 2016 වසරේදීය. ඒ සෆාරි උද්‍යානයේ සිටි දකුණු කොරියාවේ සිට මෙරටට රැගෙන එනු ලැබු “සහරා“ නැමති සිංහ ධේනුවට හා මහජන චීන සමුහ ආණ්ඩුවෙන් මෙරටට ලැබී තිබූ “සූලා“ නැමති සිංහයාටත් දාව සිංහ පැටවුන් දෙදෙනකු උපත ලැබීමත් සමඟය.“සූලාගේ“ ප්‍රථම දරු උපත මෙය වු අතර එය 2016.07.12 වන දින රිදියගම සෆාරි උද්‍යානයේදී සිදු විය.

රිදියගම සෆාරි උද්‍යානයේ සිදුවෙන ප්‍රථම සිංහ පැටව් උපත හේතුවෙන් උද්‍යානයේ පශු වෛද්‍යවරු ඇතුළු පිරිස සිංහ ධේනුව පිළිබදව දැඩි අවධානයකින් පසුවිය. නමුත් මෙම සිංහ පැටවුන් දෙදෙනා ජීවත් කර ගැනීමට නොහැකි විය. ඒ සිංහ ධේනුව විසින් සිය පැටවුන්ට කිරි දීම ප්‍රතික්ෂේප කර අතහැර දැමීම හේතුවෙනි. 

ඉන් පසු දෙවන සිංහ උපත රිදියගමදී සිදුවන්නේ 2017 වසරේදීය. ඒ “ෂීනා“නැමති සිංහ ධේනුවට හා “සූලා“ නැමති සිංහයාට දාවය. එහිදී “ෂීනා“ පිරිමි පැටවුන් තිදෙනකු හා ගැහුණු පැටවුන් එක් අයකු ලෙස පැටවුන් සිව් දෙනකු බිහි කළාය. රිදියගම සෆාරි උද්‍යානයේ සිදු වු පළමු සිංහ උපතේදී සිංහ ධේනුව විසින් පැටවුන් අතහැර දැමීම් නිසා එම පැටවුන් දෙදෙනා ආරක්ෂා කර ගැනීමට නොහැකි විය. 

“ෂීනා“ “සහරාට“ වඩා බොහෝ සෙයින් වෙනස් වු සිංහ ධේනුවක් බවට පත් විය.“ෂීනා“ සිය දරුවන් ප්‍රතික්ෂේප නොකර කිරි දී ඔවුනට රැකවරණය ලබා දුන්නාය. අද වන විට එම පැටවුන්ගේ වයස අවුරුදු 03කි. මෙම පැටවු සිව් දෙනාගෙන් ගැහැණු පැටවා සහ පිරිමි පැටවුන් දෙදෙනකු මේ වන විටත් රිදියගම සෆාරි උද්‍යානයේම පසුවෙන අතර ඉන් “කූගර්“ නැමති පිරිමි සිංහ පැටවා අඹේපුස්ස සිංහ රෙජිමේන්තුවවට පරිත්‍යාග කෙරුණු බව රිදියගම සෆාරි උද්‍යානයේ සහකාර අධ්‍යක්ෂ කසුන් හේමන්ත සමරසේකර පවසයි.

එමෙන්ම “ෂීනාට“ දාව උපන් ගැහැණු සත්ත්වයා වන “මීරා“ ද මේ වන විට ගැබ්බරව සිටියි. ඉදිරි සති කිහිපය තුළදී එම සිංහ ධේනුවත් පැටවුන් බිහි කිරීමට නියමිතයි. “මීරාගේ“ දරු උපතත් සමඟ “ෂීනා“ මිත්තනියක් බවටද පත්වෙනු ඇති බව සහකාර අධ්‍යක්ෂවරයා පවසයි. එමෙන්ම සෆාරි උද්‍යානයේ සිටින “ලාරා“ නැමති සිංහ ධේනුවද මේ වන විට ගැබ්බරව සිටියි. ඇයත් ඉදිරි දින කිහිපය තුළදි පැටවුන් බිහි කිරිමට නියමිතය.

රිදියගම සෆාරි උද්‍යානයේ සිංහ කලාපය තුළදී තුන් වන වරටත් සිංහ පැටවු බිහි වීමක් සිදු වුණි. ඒ 2018 වර්ෂයේදීය. එහිදී “සහරා“ නැමති සිංහ ධේනුව විසින්ම නැවතත් පැටවුන් දෙදෙනකු බිහි කරනු ලැබුවේය. පෙර පරිදිම මෙවරත් “සහරා“ විසින් සිය පැටවුන් දෙදෙනාම අතහැර දැමීමක් සිදු වුණි.එහිදී එක් පැටවකු මිය ගිය අතර එක් පැටවකු පශු වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ කිරි පොවා ඇති දැඩි කිරිම සිදුකර ගත්තේය.

මෙවර උපන් සිංහ පැටවුන් තිදෙනාද සමග රිදියගම සෆාරි උද්‍යානයේ සිටින මුළු සිංහයන් ගණන 14කි. ඉන් 07 දෙනෙකුම රිදියගම සෆාරි උද්‍යානයේදීම උපත ලැබූවන් වීමද විශේෂත්වයකි.

නුවන් ජයසේකර, සූරියවැව විශේෂ

Comments