පොලිස් ලොක්කාගේ දියණිය කුරුඳුවත්තේ නැටූ නාඩගම | Page 2 | සිළුමිණ

පොලිස් ලොක්කාගේ දියණිය කුරුඳුවත්තේ නැටූ නාඩගම

සැකකාරියගේ යෙහෙළියක වන සින්ඩි අනතුර සිදුවූ ස්ථානයට පැමිණි මො හොත

කොළඹ නගරයේ අලංකාරත්වය තීව්‍ර කිරීමට මෑතකදී එක්වූ නෙලුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහල ඉදිරිපිට නිදහස් මාවතට හැරෙන මංසන්ධියේ දකුණට වන්නට පිහිටි නන්දා මෝටර්ස් පිළිබඳව ගෙවී ගිය දින කිහිපයේ සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ කතාබහට ලක් විය. ඒ, නන්දා මෝටර්ස් ප්‍රදර්ශනාගාරයට වූ අනතුරක් නිසාවෙනි.

අධි සුඛෝපභෝගී මෝටර් රථ අලෙවියට ප්‍රසිද්ධියක් උසුලන නන්දා මෝටර්ස් පිළිබඳව මීට පෙරද කතාබහට ලක්වූයේ බොලිවුඩ් නළු ශාරුක් ඛාන් මෙරටට පැමිණි මොහොතේදීය. ඒ ශාරුක් ඛාන්ගේ පැමිණීමට විරෝධය පළ කරමින් පිරිසක් සිදුකළ උද්ඝෝෂණයකදී එල්ල වූ ගල්-මුල් ප්‍රහාරයක් නිසාවෙන් වූ සිදුවූ අනතුරක් නිසාය. නන්දා මෝටර්ස් පිළිබඳ නැවතත් පසුගිය 15 වැනිදා විවේකී ඉරිදා දිනයේ කරළියට ආවේ එදින සවස තුනට පමණ නන්දා මෝටර්ස් මෝටර් රථ අංගණයට බරපතළ හානි සිදු කරමින් වූ මෝටර් රථ අනතුරක් හේතුවෙනි. ශාරුක් පැමිණි මොහොතේ සිදු වූ අනතුරට සාපේක්ෂව බරපතළ අනතුරක් වූ මෙයින් මෝටර් රථ ප්‍රදර්ශනාගාරයට දැඩි අලාභහානි සිදු වූයේ එහි වූ කෝටි ගණනක් වටිනා අධි සුඛෝපභෝගී රථ කිහිපයකටද බරපතළ හානි සිදු කරමිනි. ගණන් බලා ඇති අන්දමට එම අනතුරෙන් සිදු වූ හානිය ලක්ෂ 200ක් පමණ වෙතැයි සඳහන් වේ. 

මේසා බරපතළ අනතුරක් සිදු වූයේ කෙසේ ද? ඒ පසුගිය ඉරිදා දින සවස තුනට පමණ මාර්ගයේ ගමන් කළ WP CAB 2688 දරන සුදු පැහැති කෝටි තුනකට අධික වටිනාකමින් යුත් ලෑන්ඩ් කෘෂර් වී8 වර්ගයේ අධි සුඛෝපභෝගි රථයක් එම ප්‍රදර්ශනාගාරයේ ඉදිරිපස වීදුරුද බිඳ ගෙන එතුළට යෑම නිසාය.

නන්දා මෝටර්ස් හිමිකරු අනුර මල්ලවාරච්චි විසින් එම අනතුර පිළිබඳව එසැණින් අදාළ පොලිසිය වූ කුරුඳුවත්ත පොලිසියට පැමිණිලි කිරීමත් සමඟ අනතුර පිළිබඳව පොලිස් විමර්ශන ඇරැඹිණි.

ඒ අතරේ අනතුරෙහි ඡායාරූප පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේද විශේෂයෙන් මුහුණුපොත හරහා සැරිසරන්නට වූයේ අනතුර සිදුවී විනාඩි කිහිපයක් තුළදීය.

දෙබරයකට ගලක් ගැසුවා සේ එම රූප පෙළ සමාජ මාධ්‍ය ඔස්සේ සැරිසරද්දී අනතුර සිදු කළ බවට සැකය එල්ල වූ තරුණිය පිළිබඳවද කරළියට පැමිණයේය.

ඇය 19 හැවිරිදි රෙෂානි මලීෂා රත්නායකය. ඇය නුගේගොඩ කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදීප් රත්නායකගේ දියණිය වේ.

මාලබේ, තලංගම උතුර, පොතුඅරාවේ පදිංචි ඇය තවත් තරුණයන් දෙදෙනකු සමඟ කාර්සන් නමැති කුලී රථ ආයතනයෙන් වෙනත් පුද්ගලයකු ලබාගත් රථය ධාවනයකොට තිබුණාය. ඒ, වලංගු රියැදුරු බලපත්‍රයක් හෝ නොමැතිවය. කොළඹ නගරය වැනි ජනාකීර්ණ ප්‍රදේශයක වලංගු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය මොන තරම් වරදක්ද යන්න අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ.

එහෙත් ඇය එලෙස නීතියට පිටතින් ක්‍රියාකොට තිබුණේ සිය පියාණන් පොලිස් නිලධාරියකු වූ නිසාවෙන් වැලඳුණු 'උණ' නිසාද යන්න මතුවන සැකයයි. කෙසේ හෝ එලෙස අවසරයකින් තොරව රිය ධාවනය කළ ඇය අපරීක්ෂාකාරිව රිය ධාවනයකොට අනතුරක්ද වළක්වා ගැනීමට අපොහොසත් වීම යන චෝදනා යටතේ පොලිසිය බාරයට ගෙන රුපියල් දසදහසක පොලිස් බැඳුම්කරයක් මත එදිනම මුදාහැර තිබිණි.

පසුගිය 18 වැනිදාට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටීමටද නියම කළාය. ඒ අනුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හිරෝෂි කහින්ගල මහත්මිය ඉදිරියේ පෙනී සිටි සැකකාරිය රුපියල් ලක්ෂ දෙකක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කෙරුණාය. නැවතත් නඩුව ලබන 2021 මාර්තු මස 2 වැනි දින කැඳවීමටද නියම කළාය.

පැමිණිල්ල වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි කුරුඳුවත්ත පොලිස් නිලධාරින් ඇයට රියැදුරු බලපත්‍රයක් නොමැති බව විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි දන්වා සිටියේය.

සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අජිත් පතිරණ අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ දහනව හැවිරිදි තම සේවා දායිකාව පෞද්ගලික විශ්වවිද්‍යාලයක ව්‍යාපාර පරිපාලනය පිළිබඳව උපාධියක් හදාරන බවත් ඇය අනතුර සිදුවන විට රිය පැදවීම පිළිබඳව පුහුණුව ලබමින් සිටින බවටද අධිකරණය දැනුවත් කළේය.

තම සේවා දායිකාව මෝටර් රථයේ තිරිංග වෙනුවට ඇක්සලේටරය පැගීම හේතුවෙන් මෙම අනතුර සිදුවී තිබෙන බව ද අදාළ රථය සිය මිතුරෙකුට අයත් රථයක් බවත් නීතිඥවරයා අධිකරණයට දැන්වීය. එකී අනතුරෙන් සිදු වී ඇති හානිය පිළිබඳ අදාළ පාර්ශ්ව සමඟ සාකච්ඡා කර සුදුසු හානි පූර්ණයක් කිරීමටද තම සේවාදායිකාව අපේක්ෂා කරන බවද නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.

අනතුරෙන් දැඩි හානි වූ නන්දා මෝටර්ස් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයාද කරුණු දක්වමින් අදාළ සැකකාරිය සිදුකළ රිය අනතුරෙන් තම ගොඩනැගිල්ලට හා ආයතනයට රුපියල් ලක්ෂ දෙසීයක පමණ අලාභයක් සිදුව ඇති බවයි. ඒ සඳහා සුදුසු වන්දියක් තම සේවාදායක ආයතනය අපේක්ෂා කරන බවයි.

එසේම සැකකාරිය පැදවූ ටොයෝටා ලෑන්ඩ්කෘෂර් වී8 මාදිලියේ රථයේ හිමිකරු වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි නීතිඥවරයා සඳහන් කළේ අනතුරින් තම සේවාදායකයාගේ මෝටර් රථය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති (Condemn) බවයි. ඒ අනුව, තම සේවාදායකයාට රුපියල් ලක්ෂ 350 ක පමණ අලාභයක් සිදුව ඇති බවයි.

කෙසේ හෝ ඇය අනතුර සිදුකරන මොහොතේ පදික වේදිකාවේ කිසියම් පුද්ගලයකු හෝ පිරිසක් ගමන් කළේ නම් සිදුවන හානිය මිල කළ නොහැකිය. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකුගේ දියණියක නිසාවෙන් අනතුරෙන් පසුව පොලිසිය ක්‍රියා කළ ආකාරය පිළිබඳ සමාජයේ බොහෝ කතා බහක් ඇතිවිණි. 

මීට පෙරද මෙකී අනතුර සිදුකළ තරුණියගේ වැඩිමහල් සහෝදරයා වන 28 හැවිරිදි නවිඳු උමේෂ් රත්නායක නමැත්තා විසින්ද අපරීක්ෂාකාරි රිය ධාවනය කිරීමෙන් මිනිස් බිල්ලක් ගත්තේය. ඒ, පාන්දර යාමයේ සමාජ ශාලාවන්හි ගතකොට යද්දී අපරීක්ෂාකාරිව රිය ධාවනය නිසාවෙන් පොලිස් දෙපාර්තමේන්තුවේම නිලධාරියකුගේ ජීවිතය අකාලයේ උදුරා ගනිමිනි. ඒ පසුගිය වසරේ පෙබරවාරි 24 වැනිදා අලුයම 4.35ට පමණ බම්බලපිටිය ඩුප්ලි - බුලර්ස් හතරමංසන්ධියේදීය. එහි වර්ණසංඥාවන්ට අවනතව සිය යතුරුපැදිය ධාවනය කළ එවකට බොරැල්ල පොලිසියේ රථාවහන ස්ථානාධිපතිවරයාව සිටි ආනන්ද සාගර සරත්චන්ද්‍ර එදා සිදුවූ අනතුරෙන් බරපතළ තුවාල ලබා දින හතක පමණ කාලයක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ අසාධ්‍යව සිට මිය ගියේය.

එදින බොරැල්ල රථවාහන ස්ථානාධිපතිවරයා ගෝල්ෆේස් ඇතුළු කොල්ලුපිටිය ප්‍රදේශයේ පැවැති ‘අයන් මෑන්‘ නමැති අන්තර්ජාතික ක්‍රීඩා තරගාවලිය වෙනුවෙන් විශේෂ රථවාහන රාජකාරියක් සඳහා යමින් සිටියේය. නියමිත පරිදි වර්ණා සංඥා දැල්වී තිබියදී ගමන් කිරීමට තැත් කළත් වර්ණ සංඥා නොතකා පැමිණෙමින් තිබූ අධි සුඛෝපභෝගි ජීප් රථ දෙකක් දුටු ඔහු යතුරුපැදිය නතර කර තිබිණි.

එහෙත් නතර කර තිබූ යතුරුපැදිය හප්පාගෙනම එක් රථයක් නොනවත්වාම ධාවනය කර තිබූ බව ඒ පිළිබඳව විමර්ශන කළ පොලිස් නිලධාරින් අනාවරණය කරගත්හ. එදා සරච්චන්ද්‍රට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවූ රිය ධාවනය කර තිබුණු නවිඳු පසුගිය ඉරිදා අනතුර සිදුකළ රෙෂානිගේ වැඩිමහල් සහෝදරයෙකි.

සමාජ මාධ්‍ය ඔස්සේ නන්දා මෝටර්ස්හි අනතුරෙහි රූප පෙළ සැරිසැරීමත් සමඟ රථය පැදවූ තරුණිය තමන් බවට හැඟෙන සේ පොලිස් නිලධාරින් ඉදිරියේම සිටින තරුණියකගේ ඡායාරූපයක්ද පළවී තිබුණාය. එහෙත් එම තරුණිය රථය පැදවූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ දියණිය නොව සින්ඩි වික්‍රමනායක නමැත්තියක් බවට එකී තරුණිය සිය ෆේස්බුක් ගිණුමේද සටහනක් තබා තිබුණාය.

ඇය එම සටහනේ සඳහන් කරන්නේ ”රථය පැදවූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රත්නායකගේ දියණිය මාගේ යෙහෙළියක් බවත්, රථය පැදවූයේ මා නොව මම ඒ මොහොතේ සිය යෙහෙළිය අනතුරට පත්ව සිටි හෙයින් එම ස්ථානයට ගිය බවත්ය. එසේම අනතුර සිදුවූ සැණින් පොලිස් නිලධාරින්ද බලා සිටියදී සිවිල් පුද්ගලයකු පැමිණ එම රථයේ අංක තහඩුව ගලවාගෙන යන්නේ පොලිස් නිලධාරින්ගේ රාජකාරියද කිසිදු ලෙසකට ද මායිම් නොකරමිනි.

කෙසේ හෝ වගකිවයුතු රජයේ හෝ පෞද්ගලික අංශයේ ඕනෑම වෘත්තියක නියැළෙන මවුපියවරුන්ට මෙලෙස හැසිරෙන දූ පුතුන් තිර ලෙසටම බරක් වෙනවාට නොඅනුමානය. තම මවුපියන්ගෙ තනතුරු, වරදාන, වරප්‍රසාදවලින් ඉදිමෙන මෙවැනි දූ පුතුන් පිළිබඳව මවුපියන්ද වඩාත් සැලකිලිමත් විය යුත්තෙ ඔවුනගේ නොහොබිනා හැසිරීම් නිසාවෙන් අපහසුතාවට පත්වන්නෙ එකී වගකිවයුතු රාජකාරියන්හි නිරත වන මවුපියන්ම වන නිසාවෙනි.

Comments