ප්‍රථම කාන්තා ඩී.අයි.ජී. නිසා පොලිසියේ සිදුවුණු පැටලැවිල්ල... | සිළුමිණ

ප්‍රථම කාන්තා ඩී.අයි.ජී. නිසා පොලිසියේ සිදුවුණු පැටලැවිල්ල...

ලංකාවේ මුල්ම කාන්තා පොලිස් නිලධාරිනිය සෝමා ගුණවර්ධනය. සෝමා ගුණවර්ධන පොලිසියට එක්වෙන්නේ වර්ෂ 1947 දී පත්වන ලංකාවේ මුල්ම දේශීය පොලිස්පති වූ රිචඩ් අලුවිහාරේ ගේ සේවා කාලයේ ය. කාන්තාවක් පොලිස් සේවයට එක් වී අවුරුදු 70ක් ගත වී තිබේ. ශ්‍රී ලංකාවේ ප්‍රථම කාන්තා නියෝජ්‍ය පොලිස්පති වරිය පසුගිය සැප්තැම්බර් මාසයේ 13 දා පත්වන්නේ පොලිසියට කාන්තා නියෝජනයක් එක් වී අවුරුදු 70කට පසුය.

ඇය බිම්ෂානි ජාසිං ආරච්චිගේ ය. එය සැමරිය යුතු නිමිත්තක් වූයේය. එහෙත් එවැනි සැමරුම් නැත. පසුගිය වසර පහක් තුළ නියෝජ්‍ය පොලිස්පති උසස්වීම් සඳහා සුදුසුකම් ලබා ඇති අනෙකුත් ජ්‍යෙෂ්ඨ පොලිස් කාන්තාවෝ උපේක්ෂා සහිතව බලාගෙන සිටිති. ඒ පුරුෂාධිපත්‍යය ප්‍රමුඛ වූ පොලිස් දෙපාර්තමේන්තුව තුළ කාන්තා පොලිස් නිලධාරිනියන් සඳහා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරට ඉදිරියෙන් වූ නිල ධුරාවලියක් මෙතෙක් සකස් කර නොමැති පසුබිමක සිදුවන මේ පත්වීම ක්‍රියාවලිය දෙසය.

අනුමත කාඩරයක් නොමැතිනම් බිම්ෂානි ජාසිං ආරච්චිගේ මේ වසරේ නියෝජ්‍ය පොලිස්පති තනතුරට පත්වූයේ කෙසේද?. මේ ගැටලුව තීරණාත්මක ලෙස මතුවූයේ පොලිසිය තුළින්මය. මේ හේතුවෙන්ම බිම්ෂානි ජාසිංආරච්චිගේ රාජකාරි ජීවිතය සම්බන්ධව විශේෂ සංවාදයක් ඇති විය.

ඇය ශ්‍රී ලංකා පොලිසියට සම්බන්ධ වන්නේ වර්ෂ 1997 දීය. ඒ උපාධිධාරී පදනම මත බඳවා ගත් උප පොලිස් පරීක්ෂකවරියක් ලෙසය. වසර තුනකට පසු පොලිස් දෙපාර්තමේන්තුවේ එක් කාන්තා පොලිස් අධිකාරී තනතුරක් පුරප්පාඩු විය. බිම්ෂානි එම තනි කාන්තා සහකාර පොලිස් අධිකාරී තනතුර (ඒඑස්පී) සඳහා ඍජුව අන්තර්ග්‍රහණය වීමට ඉල්ලුම් කළාය.

ජයසිංහආරච්ච්ගේ සම්මුඛ පරීක්ෂණ සහ මූලික විභාගවලින් සමත් වූවාය. එහෙත් පොලිසියේ තනතුරක් සඳහා තෝරා පත් කරගැනීමේ දී සම්මත කර ඇති භෞතික නිර්නායක අතරින් එකක් ඇය සපුරා තබුණේ නැත. ඇය අනුමත උස ප්‍රමාණයට වඩා අඟල් කිහිපයක් අඩු විය. ඒ පදනම මත එම තනතුරට ඇය නුසුදුසු ප්‍රතික්ෂේප වූවාය.

පොලිස් දෙපාර්තමේන්තුව විසින් ලබා දුන් එම තීන්දුව ඇය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කළාය. ඇයට පක්ෂව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලැබිණි. එම තීන්දුව ප්‍රකාරව ඒ වනවිට පොලිස් පරීක්ෂකවරියක ලෙස සිටි ඇය වර්ෂ 2016 අවසානයේ දී සහකාර පොලිස් අධිකාරී තනතුර දක්වා උසස් කරන්නට පොලිසියට සිදුවිය.

දශකාධික කාලයක් තිස්සේ පැවති නඩු කටයුත්තක් අවසානයේ දී ඇයට ලැබුණු තීන්දුව පිළිබඳ ඇය ජාතික පොලිස් කොමිසමට අභියාචනයක් ඉදිරිපත් කළාය. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මත පිහිටා ජාතික පොලිස් කොමිසමට ඉදිරිපත් කළ එම අභියාචනය අනුව ඇයගේ සහකාර පොලිස් අධිකාරී පත්වීම 2007 දෙසැම්බර් 31 දක්වා පසුදාතම් කර ලබා දෙන්නට කොමිසම තීන්දු කළේය

ගැටලුව ආරම්භ වූයේ එතැනිනි. එම තීන්දුව ප්‍රකාශ වූ මොහොතේ සිට පොලිස් දෙපාර්තමේන්තුවේ සම්මත උසස්වීම් ධුරාවලිය වෙනස් සංකීර්ණයක් බවට පත්වුණේය.

සිය දීර්ඝ නඩු කටයුත්ත අතර ඇය සිය ශ්‍රේණියේ පිරිස සමග පොලිස් පරීක්ෂක ධුරයට එක්ව උසස් වීම් ලැබුවාය. වර්ෂ 2006 දී කණ්ඩායම පොලිස් පරික්ෂක ධුරයට උසස් වුයේය. ඇය පොලිස් පරික්ෂකවරියක් ලෙස කටයුතු කරන අතර ඇයගේ කණ්ඩායමේ කාන්තා නිලධාරීනියන් දස දෙනෙක් සහකාර පොලිස් අධිකාරී තනතුර සඳහා අවශ්‍ය සුදුසුකම් සපුරා එම තනතුරට පත්වූහ. ඔවුන්ගේ පත්වීම් ක්‍රියාත්මක දිනය වූයේ වර්ෂ 2008 වර්ෂයේ ජනවාරි 01 දා ය.

එහෙත් බිම්ෂානි ජාසිං ආරච්චිගේ අභියාචනය අනුව පොලිස් කොමිසම තීන්දු කළේ වර්ෂ 2007 දෙසැම්බර 31 දින සිට ඇයව සහකාර පොලිස් අධිකාරී තනතුරේ පිහිටුවීමටය. කොමිසම ලබාදුන් තීන්දුව නිසා ජාසිංආරච්චිගේ එක්වරම ඇයගේ කණ්ඩායමේ සහකාර පොලිස් අධිකාරී තනතුරට උසස්වීම් ලද නිලධාරිනියන් සහ එදිනම සහකාර පොලිස් අධිකාරී තනතුරට උසස් වූ පිරිමි නිලධාරී කණ්ඩායමට වඩා ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළට ගියාය.

එපමණක් නොවේ. ජාතික පොලිස් කොමිසමට කරන ලද වෙනත් අභියාචනා මත පොලිස් දෙපාර්තමේන්තුව ජාසිංආරච්චිගේට පොලිස් අධිකාරී සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරුවලට උසස්වීම් ද ලබා දුන්නේය. ඒ අනුව 2016 සිට 2019 දක්වා - වසර තුනක කාලයක් තුළ - ඇය පොලිස් පරීක්ෂක තනතුරේ සිට සහකාර පොලිස් අධිකාරී, පොලිස් අධිකාරී, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරු දක්වා උසස් වීම් ලැබ මේ වසරේ සැප්තැම්ර් මස සිට නියෝජ්‍ය පොලිස්පති ධුරයට පත් වූවාය.

මේ තත්වය පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලයන් දරන නිලධාරීන් අතර බරපතල නොරිස්සුම් සහගත අප්‍රසාදයක් ඇති කළේය. ඔවුන් පවසන පරිදි උසස්වීමක් සඳහා සපුරා තිබිය යුත්තේ පුහුණුවීම්, වැඩ කිරීම් සහ විභාගවලට පෙනී සිටීම පමණක් නොවේ. විශේෂයෙන්ම නියෝජ්‍ය පොලිස්පති ධුරය දරන ඕනෑම කෙනෙකුට අපේක්ෂිත පරිදි පොලිස්පති නියෝජනය කිරීමට අවශ්‍ය අත්දැකීම් තිබිය යුතු බව ඔවුහු පෙන්වා දුන්හ.

ජ්‍යෙෂ්ඨ කාන්තා පොලිස් නිලධාරිනීහු කාන්තාවක් නියෝජ්‍ය පොලිස්පති තනතුරට පත්වීම ගැන සතුටු වෙමින් එක් පැහැදිලි කරුණක් පෙන්වා දුන්හ. ඒ ශ්‍රී ලංකා පොලිසිය විසින් තවමත් කාන්තාවන් සඳහා ගැසට් කර ඇති ඉහළම තනතුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුර පමණක් බවය. එම නිලය ඉක්මවා යෑමට සුදුසුකම් සැපිරූ කාන්තාවන් සඳහා ඉදිරි නිල ධූරාවලියක් අදාළ සේවක සංඛ්‍යාවක් ගැසට් කර නොමැති බවය.

අවසානයේ ජාසිං ආරච්චිගේ පිරිමි කාඩරයේ පුරප්පාඩුවකට ඇදවැටුණාය. ඒ වැඩ බලන නියෝජ්‍ය පොලිස්පතිවරියක ලෙසය. ඉන් අදහස් කරන්නේ වැටුප් වැඩිවීම් වැනි ප්‍රතිලාභ කිසිවක් නොමැතිව ඇය එම තනතුරේ රාජකාරි භාර ගත් බවය. කලින් තනතුරුවල සැපිරිය යුතු වසර හතක සේවා කාලය සම්පූර්ණ නොකළ නිසා ඇයට පූර්ණ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ලෙස වැඩ භාර ගත නොහැකිය.

“ඉහළ මට්ටමේ කාන්තා නියෝජනයක් නොමැතිකම ශ්‍රී ලංකාවේ පොලිස් දෙපාර්තමේන්තුව තුළ තිබුණු දීර්ඝ කාලීන ගැටලුවක්. අපි එම උසස්වීම් බිම්ෂානිට නිර්දේශ කළේ ‍ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අප ගරුකළ යුතු නිසා. තීන්දුව අනුව ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළම කෙනා ඇය බවට පත්වෙනවා . “ ජාතික පොලිස් කොමිසමේ සාමාජික සාවිත්‍රි විජේසේකර මාධ්‍යයට පවසා තිබුණාය.

“නමුත් තවමත් පොලිස් බලකාය තුළ කාන්තා නියෝජ්‍ය පොලිස්පතිවරුන් සඳහා අනුමත තනතුරු නෑ. පොලිස්පතිවරයා පැවසුවේ “ අපි එය ආරම්භ කිරීමට එක් තනතුරක් දෙමු කියලා“... ඇය වැඩි දුරටත් කීවාය.

සාවිත්‍රි විජේසේකර ජාතික පොලිස් කොමිසමේ සේවය කළ කාලය තුළ ස්ත්‍රී පුරුෂ විෂමතා අඩු කර යම් සාධනීය සමානත්වයක් පොලිස් බලකායට එන්නත් කිරීම සඳහා අරගලයක යෙදුනාය. වර්ෂ 2019 දී කාන්තාවන් සඳහා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තනතුරු 9ක් ලබා දෙන ලෙස පොලිස් කොමිසම පොලිස් දෙපාර්තමේන්තුවට යෝජනා කරන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසය.

එහෙත් පොලිස් බඳවා ගැනීමේ පටිපායට තුළ තවමත් ඇත්තේ කාන්තා පොලිස් අධිකාරීවරුන් දෙදෙනකු සඳහා අනුමත පුරප්පාඩු පමණි. ඉන් එක් තනතුරක් කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරකි. කාන්තාවන් සඳහා ඉන් ඉහළට කිසිම තනතුරක් නැත.

මුලින්ම අසතුටට පත් වී ඇත්තේ ජාසිං ආරච්චිගේට නියෝජ්‍ය පොලිස්පති තනතුර ලැබීම නිසා එම තනතුරට පත්වීමට සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා බව පොලිසියේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේය. මේ අතර ජාසිං ආරච්චිගේට පිරිමි කාඩරයෙන් තනතුරක් ලබා දීමෙන් තමන්ට අසාධාරණයක් වූ බව පිරිමි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු 14 දෙනෙක් පොලිස්පතිවරයා වෙත ලිඛිතව දැන්වූහ. ඔවුහු පොලිස්පතිවරයාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට තර්ජනය කෙරූහ.

මේ වන විට නිශ්ඡිත නිල ධූරාවලිය ඔස්සේ පැමිණ සහකාර පොලිස් අධිකාරී තනතුරෙහි සේවය කරන කාන්තා නිලධාරීන් නවදෙනා 2025 දී නියෝජ්‍ය පොලිස්පති උසස්වීම් මණ්ඩලයට අයදුම් කිරීමට සූදානමින් සිටිති. ඒ වනවිට ඔවුන්ව තැබිය යුතු ස්ථානය කොතැනද යන ප්‍රශ්නය නිර්මාණය වී තිබේ.

තවද ස්ත්‍රී පුරුෂභාවය අනුව වෙනස්කොට සැලකීම පිටු දැකීම සඳහා 2016 සිට පොලිස් දෙපාර්තමේන්තුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු කියන කාන්තා නිලධාරිනීහු පිරිසක් වෙති. පෙත්සම්කරුවන් සියල්ලන්ම ජාසින් ආරච්චි නියෝජනය කරන 1997 උප පොලිස් පරීක්ෂක කණ්ඩායමේය.

වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරයේ සිටියන විට වර්ෂ 2006 දී ගත් කැබිනට් තීන්දුවක් ප්‍රකාරව සෑම තරාතිරමකම පුරප්පාඩු වලින් සියයට 15 ක් කාන්තාවන්ට ලබා දීමට නිර්දේශ කළේය. එම කැබිනට් තීරණය මත ක්‍රියා කළහොත් කාන්තාවන් වෙනුවෙන් යහපත් සමාජ ජීවන ප්‍රවේශයක් නිර්මාණය කළ හැකි බව පැහැදිලිය.

ගැසට් කරන ලද කාන්තා සහකාර පොලිස් අධිකාරීවරුන් 16 දෙනෙකුට පොලිස් අධිකාරීවරුන් සිව්දෙනෙකුට සහ එක් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිලයකට ඉඩ සලසන නව බඳවා ගැනීමේ ක්‍රමයක් සඳහා වැඩබලන පොලිස්පති සී ඩී වික්‍රමරත්න පසුගිය දෙසැම්බර් මාසයේදී මුදල් අමාත්‍යාංශයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවට නිර්දේශයක් යවන්නේ මේ පසුබිමේ දීය.

එයත් සමස්ථ කාඩරයෙන් කාන්තා නියෝජනයේ සියයට 15කට අඩු ප්‍රතිශතයකි. කාන්තා නියෝජ්‍ය පොලිස්පති තනතුරක් හෝ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරක් පිළිබඳ යෝජනාවක් තවමත් මේ ක්‍රමය තුළ නැත.

ඊට සාපේක්ෂව පිරිමි කාඩරය සඳහා පොලිස් අධිකාරීවරුන් සඳහා පුරප්පාඩු 162 ක්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු සඳහා 169 ක්, නියෝජ්‍ය පොලිස්පතිවරු සඳහා තනතුරු 46 ක් සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු සඳහා තනතතුරු 12 පවතී.

පරිණතව අත්දැකීම් ලබා ගනිමින් සහ ශ්‍රේණිගත කිරීම්වල ඉහළ ගොස් සිටින ජ්‍යෙෂ්ඨ කාන්තා නිලධාරිනියන් බොහෝ දෙනෙක් වසර ගණනාවක් සේවයේ යෙදී සිටියත් ඔවුන් ගේ වෘත්තීය ජීවිතය හිටි තැන්වලම අවසන්ය. මේ අවනඩුව පොලිස් දෙපාර්තමේන්තුව දනී. එහෙත් මේ දෙපාර්තමේන්තුව හසුරුවන්නෝ තම ආයතනය තුළ ඇති මේ අශෝභන යථාර්ථය ප්‍රශ්න නොකරති.

 

Comments