පහේ ශිෂ්‍යත්වයෙන් දෙසීය ගත් සුපිරි හපන්නු | සිළුමිණ

පහේ ශිෂ්‍යත්වයෙන් දෙසීය ගත් සුපිරි හපන්නු

 

 - කොවිඩ් වසංගතය පරදා අපි හැමෝම ජය ගත්තා
-  අයි.ඩී.එච් රෝහලේ සිසුන් 5ක්, අපේක්ෂා රෝහලේ සිසුන් 3ක් විභාගයට පෙනී සිටියා
-  331,741ක් අයදුම් කළා. 326,264ක් විභාගයට පෙනී සිටියා
-  කඩඉම් ලකුණින් සමත් සංඛ්‍යාව 47,440 ක්
-  ලකුණු 100 ට වැඩි 2,15,696 ක්

ඒ 2007 වසරය. සුපුරුදු පරිදි ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් විය. කවුරුත් කතා කරන සිසුවකු හොරණ තක්ෂලා ප්‍රාථමිකයෙන්( පොඩි තක්ෂලාවෙන්) බිහි විය. ඔහු පුංචි චාගි බාසුරු ය. චාගි ගැන එදා කවුරුත් කතා කරන්නට වූයේ ශිෂ්‍යත්ව විභාග ඉතිහාසයේ අපූරු සන්ධිස්තානයක් ඔහු විසින් පෙරළු නිසාවෙනි. එදා ඔහු විභාග ඉතිහාසයේ මුල් වරට ලකුණු 200 න් 200 ම ලබා ගෙන වාර්තාවක් පිහිටු වීය. පුංචි පහේ දරුවන් පෙනි සිටින ශිෂ්‍යත්ව විභාගයට අකුරක් පවා නොවරද්දවා ගනිමින් එවැනි හපන්කමක් සිදු කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. හොරණ තක්ෂලාවේ චාගි බාසුරුගෙන් පසු අවුරුදු 13 ක් ඉක්ම ගියද කිසිදු සිසුවෙකු එවන් හපන්කමක් පෙන්වූයේ නැත්තේ එය යම් ආකාරයක බාරදූර කටයුත්තක් වන නිසාය. එහෙත් වසර 13 කට පසු ලොව බිය ගැන්වූ කොවිඩ් අභියෝග මැද පැවැත් වූ මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් කිසිවකුත් බලාපොරොත්තු නොවූ පරිදි යළිත් එවන් හපන්කමක් දකින්නට හැකිවූයේ මෙවරය. ඒ මෙවර එක් සිසුවකුගෙන් නොව සිසුන් 10 දෙනෙක්ම ලකුණු 200 න් 200 ම ගත් නිසාවෙනි. ඒ බොහෝමයක් නගරයෙන් බැහැර පාසල්වලිනි. මේ ඒ පුංචි හපනුන්ගේ වගතුගය.

ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ දොවිඳු චිරන්ජිත් පෙරමුණේ

“ මට ගොඩාක් සතුටුයි. කවුරුත් මට පාඩම් කරන්න කියලා අනවශ්‍ය ලෙස බලපෑම් කළේ නැහැ. මගේ මේ ජයග්‍රහනයට අම්මා තාත්තා වගේම පෙර පාසල් මෙන්ම මගේ පාසලේ ගුරුවරුන්ගේත් විශාල ශක්තියක් ලැබුණා. මට හොඳට වයලින් වාදනය කරන්නත් පුළුවන්. හොඳින් ඉගෙන ගෙන වෛද්‍යවරයෙකු වීම මගේ එකම බලාපොරොත්තුවයි...“ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ දොවිඳු චිරන්ජිත් පෙරමුණේ පවසන්නේය.

දොවිඳුගේ පියා බුලත්වැල්කන්ද විදුහලේ නියෝජ්‍ය විදුහල්පති සංජීව පෙරමුණ හා මව දිපිකා ප්‍රියංගනීය.

ඉංගිරිය සුමනජෝති කණිෂ්ඨ විද්‍යාලයේ දෙව්ලි යසස්මි

“ මම හැමදාම උදේ පාන්දර නැගිටල පාඩම් කරනවා. රාත්‍රි 10 වෙනතුරුත් පාඩම් කළා. ඉන් පස්සේ තමයි නිදා ගත්තේ. විභාගය ළං වුණාම මම ගොඩාක් පාඩම් කළා. වැඩියෙන්ම කළේ ප්‍රශ්න පත්‍ර කරන එකයි. ප්‍රශ්න පත්‍ර කළාම මට විභාගයට ලියන්න පෙරහුරුවක් ඇති වුණා. පොත් කියවිම මගේ මේ ජයග්‍රහණයට ගොඩාක් හේතුවක් වුණා.” ඉංගිරිය සුමනජෝති විද්‍යාලයේ දෙව්ලි යසස්මි පවසන්නීය.

යසස්මි දියණියගේ මව ඉංගිරිය ගාමිණි මධ්‍ය මහා විදුහලේ ගුරුවරියකි. පියා ඉඩම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවේ සේවය කරනු ලබයි. ඇයට තවත් බාල සහෝදරියක් සිටින අතර ඇයද මෙම විදුහලේ පළමු ශ්‍රේණියේ ඉගෙනුම ලබන්නීය.

ගාල්ල සංඝමිත්තා විද්‍යාලයේ සියති විසුම්සා කරුණාතිලක

“ ඇත්තමට මට හරීම සතුටුයි. මම එක වසරේ සිට සංඝමිත්තා විදුහලට ගියා. මගේ පළමු වසරේ දිස්නා මිස් කුමුදු මිස්, ලලිත් රණවීර සර් මේ හැමෝම උදවු වුණා. මම පාසලේ පරිසර චෙස් කණ්ඩායම් වල ඉන්නවා. ඒ අතරේ සාමාන්‍ය පරිදි මගේ වැඩ කරගෙන ගියා. අම්මා තාත්තා දෙන්නම මගේ පිටුපස්සේ ඉඳගෙන මට උදවු කළා. මගේ පාසලේ විදුහල්පතිනිය වන චාන්දනි උඩුකුඹුර මහත්මිය ඇතුළු මගේ පෞද්ගලික පන්ති ගුරු භවතුන් මට ගොඩාක් උදවු කළා. මගේ බලාපොරොත්තුව කවදා හරි ඉංජිනේරුවෙකු වී රටට සේවය කිරීමයි.“

ගාල්ල වටරැක පදිංචි සියති විතුම්සා සඳුන්දි කරුණාතිලකගේ මව වන නිලන්ති දීපිකා හා පියා වන ඉන්දික කරුණාතිලක යන දෙදෙනාම ව්‍යාපාරිකයන්ය. ඇයගේ එකම සොහොයුරා ගාල්ල මහින්ද විදුහලේ අධ්‍යාපනය ලබන්නේය.

තංගල්ල ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ තසිඳු කවිෂාන්

“ මම මගේ ප්‍රතිඵලය ගැන අදහා ගන්නත් බැහැ. ඇත්තෙන්ම මම මගේ ප්‍රතිඵල ගැන පුදුම වුණා. ශිෂ්‍යත්ව විභාගය කියලා දෙමවුපියන් කිසිම පීඩාවක් මට දුන්නේ නැහැ. විභාගය සමත් වීමට ආත්ම විස්වාසය ඉතා වැදගත්...“ තංගල්ල ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ තසිඳු කවිෂාන් පවසන්නේය. තසිඳුගේ බලාපොරොත්තුව නාසා ආයතනයේ විද්‍යාඥවරයෙකු විමය.

පොළොන්නරුව සිරිපුර ප්‍රාථමික විද්‍යාලයේ තෙනුජ මනුමිත බණ්ඩාර හේරත්

“ මම පළමු ශ්‍රේණියේ සිට පස්වන ශ්‍රේණිය දක්වාම අධ්‍යාපනය ලබුවේ මේ පාසලේ. මගේ මේ ජයග්‍රහණයට විදුහල්පතිතුමා ඇතුළු ගුරුවරුන් වගේම මගේ මවුපියනුත් විශාල කැපවීමක් කළා. මම මාර්තු මාසයේ සිට අධ්‍යාපනය ලැබූ ගල්නෑව සිරිපුර ප්‍රාථමිකයේ විදුහල්පතිතුමා ඇතුළු ගුරුවරුනුත් මේ ජයග්‍රහණයට දායක වුණා. මම මෙතැන් සිට මහන්සි වෙන්නේ කවදා හරි වෛද්‍යවරයෙකු වීමටයි...“

තෙනුජ ගේ පියා එච්.එම් විජේරත්න හා මව පද්මා අයිරාංගනී සේවය කරන්නේ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේය.

මරදාන සහිරා විද්‍යාලයේ ෆාර්සන් මොහොමඩ් අමාර්

“ මම හොඳට පාස් වෙයි කියලා හිතුවත් දෙසීයෙන් දෙසීයම ලැබෙයි කියා හිතුවේ නැහැ. විභාගය හොඳින් සමත් විය යුතුයි කියන බලාපොරොත්තුව මට තිබුණා. මම එක වසරේ සිට ඉගෙන ගත්තේ මේ පාසලේ. ඒ සිංහල මාධ්‍යයෙන්.

කොරෝනා නිසා පාසල් වැසී තිබුණත් මම මගේ වැඩ කටයුතු නිවසේ සිට හොඳින්ම කළා. ශිෂ්‍යත්වයට මුහුණ දීලා එන කොට මට විශාල බලාපොරොත්තුවක් තිබුණා කෙසේ හෝ මම මුල් දස දෙනා අතරට එක් වන බවට.“ මරදාන සහිරා විද්‍යාලයේ ෆාර්සන් මොහොමඩ් අමාර් පවසන්නේය.

බොරුල්ල සහස්පුර නිවාස සංකීර්ණයේ පදිංචි අමාර්ගේ මව ගෘහණියක් වන අතර පියා රක්ෂණ ආයතනයක නියෝජිතයෙකි. ඔහුට එක් සහෝදරියක් වෙයි. සෑම වසරකට පාසලේ පංතියේ පළමු වැනියා වන අමාර් සාහිත්‍ය, ක්‍රීඩා හා චිත්‍ර තරඟ වලින්ද ජය ලබා ගෙන ඇත.

රත්නපුර ඇහැලියගොඩ ප්‍රාථමික විද්‍යාලයේ සෙනුදි දම්සරා හකුමුවමාන්නගේ

“ මම විභාගයට ඕනෑවට වඩා මහන්සි වුණේ නැහැ. නිදි මරාගෙන පාඩම් කළෙත් නැහැ. ඒත් උදේ සවස පාඩම් කළා. ඒත් කවදාවත් හිතුවේ නැහැ, ලකුණු 200 න් 200 ම ලැබෙයි කියලා. මම පාඩම් කරන අතරතුර ක්‍රිඩාත් කළා. අමතර දැනුම මිනුම තරඟ වලටත් සහභාගි වුණා. 2018 වසරේ දහම් පාසල් දැනුම මිනුම තරඟයෙන් රත්නපුර දිස්ත්‍රික් ප්‍රථමයා වෙන්නත් හැකිවුණා. මගේ පන්ති භාරව සිටියේ බන්දුලසේන ගුරුතුමා. “රත්නපුර ඇහැලියගොඩ ප්‍රාථමික විද්‍යාලයේ සෙනුදි දම්සරා හකුමුව මාන්නගේ පවසන්නීය.

සෙනුදි පාසලේ ශිෂ්‍ය නායිකාවකි. ඇයගේ එකම බලාපොරොත්තුව වෛද්‍යවරියක් වී රටට සේවයක් කිරීමය.

මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ යෙහාරා යෙත්මිණි ඈපා

“ අපිට කොවිඩ් වසංගතය නිසා පාසල් යන්න නොහැකි වුණත් පාසල මඟින් නිරතුරුවම ඔන් - ලයින් ඉගැන්විම් සිදු කළ නිසා කිසිම විටක පාඩම් අතපසු වුණේ නැහැ. ගොඩාක් වෙලාවට නිවසටම වී කාලය ගත කළ නිසා පොත්පත් කියවා අමතර දැනුම් වැඩි කර ගන්න හැකි වුණා. අපි විභාගයට කල් තියා සූදානම් වුණ නිසා රූපවාහිනියි පවා නරඹන්න හැකි වුණා. මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ එහාරා යෙත්මිණි ඈපා පවසන්නීය.

පළමු වසරේ සිට උසස් බාලිකා විදුහලේ අධ්‍යාපනය ලැබූ ඇය ප්‍රාථමික අංශයේ ශිෂ්‍ය නායිකාවකි. චෙස් ඇතුළු ජාත්‍යන්තර ජයග්‍රහණ ලබා ගෙන ඇති ඇය ඉංග්‍රීසි ගායනා අංශයෙන්ද විශිෂ්ඨ ජයග්‍රහණ අත් කර ගෙන ඇත්තේය. ඇයගේ මව මහනුවර ජාතික රෝහලේ ඹෟෂධවේදියක වන සංජානි මෙන්ඩිස් හා පියා වාර්මාර්ග දොපාර්තමේන්තුවේ ඉංජිනේරුවකු වන ඈපාය.

පන්නිපිටිය ඇරුව්වල ධර්මපාල විදුහලේ සිහත් සන්දිනු

“මම විභාගයට හොඳින් සූදානම් වුණ නිසා කිසිම බයක් ඇති වුණේ නැහැ. මගේ ජයග්‍රහණය පිටුපස සිටින්නේ මගේ මවුපියන් වගේම පාසලේ ගුරුවරු හා විදුහල්පති. එය මගේ ජයග්‍රහණයට හේතුවක් වුණා.” ඇරුව්වල ධර්මපාල විදුහලේ සිහත් සන්දිනු පවසන්නේය.

සිහත්ගේ මව ගුරුවරියක් වන අතර පියා පුද්ගලික සමාගමක කළමනාකරුවෙකු ලෙස සේවය කරයි.

සිහත්ගේ ජයග්‍රහණය මවුපියන් ඇතුළු ගුරුවරුන් බලාපොරොත්තු වුවත් මෙවැනි ජයක් අපේක්ෂා කර තිබුණේ නැත. සිහත්ගේ මව ගුරුවරියක් වන අතර පියා බයෝටෙක්ස් ආයතනයේ කළමණාකරුවෙකි.

බණ්ඩාරගම මැදි විදුහලේ හිනුදු යෂ්මිත ගුණතිලක

“මට ගොඩාක් සතුටුයි. මම විභාගය හොඳින් සමත් වන බව දැනගෙන හිටියත් ලකුණු දෙසීයෙන් දෙසීයම ලැබෙයි කියලා දැන ගෙන හිටියේ නැහැ. මම පාඩම් වැඩ වගේම බාහිර කටයුතුත් කළා. මගේ පන්තිභාර ගුරුතුමා වන ප්‍රදීප සර් අපිට පන්තියේදි ගුරුහරුකම් ගොඩාක් කියලා දුන්නා. මගේ එකම බලාපොරොත්තුව වෛද්‍යවරයෙක් වී රටට සේවය කිරීමයි....“ බණ්ඩාරගම මැදි විදුහලේ හිනුදු යෂ්මිත පවසන්නේය.

මෙම විදුහලේ විදුහල්පතිනි ජානකි අතුකෝරළ පවසන්නේ මෙම සස්මිත සිසුවා තම පාසලට ජාතික හා ජාත්‍යන්තර ජයග්‍රහණ රැසක් ලබා දී ඇති බවකි.

මෙවර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වූයේ කොවිඩ් වසංගතයේ තෙවැනි රැල්ලේ දැඩි අභියෝග මධ්‍යයේය. සාමාන්‍යයෙන් ශිෂ්‍යත්ව විභාගය මෙවරද දින නියමව තිබුණේ අගෝස්තු මස මුල් සතියේදිය. නමුත් පසුගිය මාර්තු මස සිට ලංකාවට දැඩිව බලපෑම් කරන්නට වූ කොවිඩ් වසංගතය හේතුවෙන් මාර්තු මාසයේ සිට පාසල් වසා දැමුණු අතර අගෝස්තු මස ශිෂ්‍යත්ව විභාගයේ දින පැමිණෙන තෙක්ම පාසල් විවෘත වූයේ නැත.

මේ හේතුව මත වත්මන් අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.එල් පීරිස්, අධ්‍යපාන ලේකම් මහාචාර්ය කපිල. සී. පෙරේරා හා විභාග කොමසාරිස් ජනරාල් සනත් පුජිත මෙන්ම කලින් අධ්‍යාපන ඇමැතිව සිටි ඩලස් අලහප්පෙරුම හා හිටපු අධ්‍යාපන ලේකම්වරයා ඇතුළු අධ්‍යාපන බලධාරින් දරුවන්ගේ ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝම්බර් මස දක්වා කල් තැබුවේ යළත් දරුවන්ට පාසල් තුළින්ම ඉතිරි වූ පුහුණු කිරීම් කරන්නටය. කෙසේ වෙතත් පාසල් විවර වූ සැනින්ම යළිත් පාසල් වසන්නට සිදුවූයේ කොවිඩ් රැල්ලේ තෙවැනි දරුණු අභියෝගයට රටම මුහුණ දෙන්නට වූ නිසාය.

රටේ විවිධ පළාත් රැසක් කොවිඩ් හමුවේ ලොක්ඩවුන් වෙද්දි, රටේ බහුතර පෙදෙසකට ඇඳිරි නීතිය පැනවෙද්දී, කොවිඩ් රෝගීන් ප්‍රමානය දෙතුන් ගුණයකින් ඉහළ යද්දී මරණ ගණන පමණක් නොව නිරෝධායනය වන පිරිස් සීමාව ඉහළ යදදී විභාග දෙපාර්තමේන්තුව හා රජය බැරැරුම් අවස්ථාවේදි සෘජු තීරණයකට පිවිසියේ කෙසේ හෝ දරුවන්ගේ විභාගය දින නියම කරගත් පරිදි පැවැත්විමටය. ඒ දරුවන්ට තවත් අනවශ්‍ය බරක් නොවන්නටය.

කොතරම් ඇදිරී නීති පැවැතුණද, කොවිඩ් ආශ්‍රිතයන් වාර්තා වුවද දරුවන්ගේ විභාගයට පැමිණීම සියයට 99.99 ක් විය.

ශිෂ්‍යත්ව විභාගය සඳහා මෙවර සිසුන් 331,741ක් අයදුම් කර තිබූ අතර, ඉන් සිසුන් 326,264 දෙනෙක් විභාගය සඳහා පෙනී සිටීම විශේෂත්වයකි. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ සුළු පිරිසක් විභාගයට පෙනී නොසිටියේ පෞද්ගලික පාසල්වලින් බවය. විභාග මධ්‍යස්ථාන 2936 ක් සහ සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 496ක් යොදාගනිමින් විභාගය පැවත් වූ අතර, කොවිඩ් තෙවැනි රැල්ල හමුවේ නිරෝධායන ඇඳිරි නීති මධ්‍යයේ වුවද ඇතැම් ප්‍රදේශවල විභාගය පැවැත්වීමට ද සිදුවූයේ විභාග ඉතිහාසයේ මුල් වරටය.

විභාගය පැවැත්වෙන අවස්ථාව වනවිට නිරෝධායනය වෙමින් සිටි සිසු දරුවන් තිදෙනෙක් හා කොවිඩ් ආසාදිත ව සිටි සිසුන් දෙදෙනෙක් අයි ඩී එච් රෝහලේ දී පෙනී සිටි අතර අපේක්ෂා රෝහලේ සිට සිසුන් තිදෙනෙක් විභාගය සඳහා පෙනී සිටියහ.

මෙවර විභාගයට විශේෂ අවශ්‍යතා ඇති දරුවන් 552 දෙනෙක් විභාගයට පෙනි සිටි අතර එයින් දෘශ්‍යාබාධිත හා පූර්ණ අන්ධ 116 ක්ද, ස්නායූ ආබාධිත 92 ක්ද, ශ්‍රවණාබාධිත 142 ක්ද, වෙනත් ආබාධ සහිත දරුවන් 202 ක්ද මෙවර ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දුන්හ.

මෙවර කඩඉම් ලකුණින් එහා සමත් සිසුන් ප්‍රමාණය විශේෂ අවශ්‍යතා ඇති සිසුන්ද සමඟින් 47,440 කි. එසේම ලකුණු 100 ට වඩා ගත් සිසුන් ප්‍රමාණය 2,15 696 දෙනෙකි. එසේම ශිෂ්‍යත්වය සමත් එනම් ලකුණු 70 ට වඩා ගත් සිසුන් ප්‍රමානය 2,83304 කි.

කොවිඩ් අභියෝග රැසක් මැද වුවද දරුවන්ගේ සනීපාරක්ෂවට මුල් තැනත ලබා දෙමින් විභාගය පවත්වා විභාග දෙපාර්තමේන්තුව ඉතිහාසගත පිටුවක් පෙරළු අතර රටේ මෙවැනි ප්‍රධාන පළාතක් වන බස්නාහිර පළාතේ බොහෝමයක් ප්‍රදේශ හුදකලා කර ඇති අවස්ථාවක පෙර මෙන් සුපුරුදු පරිදි දින 33 ක් තුළ ප්‍රතිපල ලබා දෙන්නට විභාග දෙපාර්තමේන්තුව සමත් වීම තවත් ඉතිහාසගත පුටුවක් පෙරළීමකි.

“ අපි මේ කටයුත්ත කළේ සාමූහික ප්‍රයත්නයක් ලෙස අභියෝග රැසක් මධ්‍යයේ. විභාග දෙපාර්තමේන්තුවට රාජකාරී කටයුතු කිරීමේදි යම් විනයක් තියෙනවා. මේ නිසා සැවොම ඊට දායක වුණා. නියම සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයකට අනුව තුනෙන් එකක පිරිසක් යොදවා ගනිමින් දින 33 ක් ඇතුළත ප්‍රතිපල ලබා දුන්නා. පිළිතුරු පත්‍ර පරීක්ෂාවේදි කිසිම ගුරුවරයෙක් නොපැමිණ සිටියේ නැහැ. සෞඛ්‍ය කාර්ය මණ්ඩල, පොලීසිය, ත්‍රිවිඩ හමුදාව යන මේ සියල්ලන්ගේම සහය ලැබුණා.“ මේ ගැන අදහස් දැක්වු විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත සඳහන් කළේ එලෙසිනි.


පසුබිම් වාර්තා සහ ඡායාරූප 
කරාපිටිය සමූහ - එස්. ලොකුකරවිට 
ඇහැලියගොඩ සමූහ - කිත්සිරි රූපසිංහ

Comments