පල­ස්තීන නිද­හස් අර­ග­ලයේ සැබෑ කතාව | සිළුමිණ

පල­ස්තීන නිද­හස් අර­ග­ලයේ සැබෑ කතාව

(නොවැම්බර් මස 29 වැනි දිනට යෙදී ඇති, එක්සත් ජාතීන්ගේ සංවිධානය මඟින් නම් කළ “පලස්තීන ජනතාව සඳහා වන සහයෝගිතා දිනය“ නිමිත්තෙනි.)

 

නොවැම්බර් මස 29 වැනි දිනය, “පලස්තීන සහයෝගිතා දිනය“ ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය නම් කර තිබේ. වර්ගවාදයට එරෙහිව දකුණු අප්‍රිකානු නිදහස් අරගලය සම්බන්ධයෙන් ලෝක ජනමතය හා එක්ව යමින්, එක්සත් ජාතීන් ගේ සංවිධානය ඒ අරගලයේ ජයග්‍රහණය දක්වාම දැඩි ස්ථාවරයක් දැරීම අපි දුටුවෙමු.

 

දකුණු අප්‍රිකාවේ නිදහස් අරගලයට නායකත්වය දුන් නෙල්සන් මැන්ඩෙලා තම මාතෘ භූමියේ නිදහස් අරගලය ජය ගැනීමෙන් අනතුරුව කළ ප්‍රකාශයක් මගේ මතකයට පැමිණේ.

“වසර ගණනාවක් තිස්සේ එක්සත් ජාතීන්ගේ සංවිධානය වර්ගවාදයට එරෙහිව තදබල ස්ථාවරයක් දරා සිටියා. ඒ හේතුවෙන් මේ අසාධාරණ ක්‍රමයේ නිමාවක් දැකීම සඳහා ලොව පුරා එකඟතාවක් ගොඩ නැඟුණා. එහෙත් අපි දන්නවා, පලස්තීන ජනතාවගේ නිදහස යථාර්ථයක් වන දිනය උදාවන තෙක් අපේ නිදහස සම්පූර්ණ වන්නේ නැති බව.“

පලස්තීන අර්බුදය මෙතෙක් විසඳී නැත්තේ ඇයිද යන කාරණය මතුපිටින් නොව ගැඹුරින් විමසා තේරුම් ගත යුත්තකි. ඔවුන් මුහුණ දී ඇති ප්‍රශ්න, හිරිහැරයන් සහ තත්ත්වයන් මානුෂිකව බලා ඒවායේ යථාර්ථයන් නිසි ලෙස වටහා ගත යුතුව තිබේ. නිවැරදිව ඇමතිය යුතුව ඇත.

පලස්තීනුවන්ගේ නිදහස් සටනට දැන් දසක හතකට අධික කාලයක් ගතවී ඇත. අර්බුදයට විසඳුම් ලබා දීම වෙනුවට, ඔවුන්ගේ මාතෘ භූමිය ඔවුනට සම්පූර්ණයෙන්ම අහිමිවී යන තත්වයට කටයුතු සිදු කරමින් සිටී. සාධාරණත්වය වෙනුවෙන් ලෝක ජනමතය හා එක්ව එක්සත් ජාතීන්ගේ සංවිධානය ගෙන ඇති තීන්දු තීරණ කිසිවක් සුපිරි බලවතුන්ගේ නිෂේධ බලය ඉදිරියේ ක්‍රියාවට නැගිය නොහැකිව තිබේ. පලස්තීන අර්බුදයට සාධාරන විසඳුමක් ලබාදීම වෙනුවෙන් ලෝක ජනමතය හා එක්ව සම්මත කළ යෝජනා ක්‍රියාවට නැඟිය නොහැකි බලහීන ආයතනයක් ලෙසින් එක්සත් ජාතීන්ගේ සංවිධානය අසරණ තත්වයකට පත්ව සිටින අයුරු අපි දකිමු.

පලස්තීන ප්‍රශ්නය විසඳුමකට ගෙන ඒම තම ඉහළතම ප්‍රමුඛතාවක් ලෙසින් දක්වමින්, ලෝකය පුරා බලාපොරොත්තු දල්වමින් බලයට පත්වූ ජනාධිපති ඔබාමාගේ සුප්‍රසිද්ධ “තයිරෝ දේශනය“ මගේ සිහියට නැඟේ.

“තමන්ගේ නිදහස වෙනුවෙන්වූ ගමනේදී පලස්තීනයේ මුස්ලිම් සහ ක්‍රිස්තියානි ජනතාවට විඳින්නට සිදුවූ දුක් වේදනාවන් අපට පිළිනොගෙන සිටින්නට බැහැ. වසර හැටකට අධික කාලයක් තිස්සේ උන්හිටි තැන් අහිමිවීමේ වේදනාවන් ඔවුන් දරාගනිමින් සිටිනවා. ආරක්ෂාව සහ සාමය සහිත ජීවිතයක් ගත කළ නොහැකිව බටහිර ඉවුරේත්, ගාසාවලත්, යාබද රටවලත් සරණාගත කඳවුරුවලට වී, කාලය උදාවන තෙක් ඔවුන් බොහෝ දෙනා ඉවසිල්ලෙන් බලා සිටිනවා. ඔවුන් දිනපතාම වාගේ කුඩා පරිමාණයෙන් මෙන්ම මහා පරිමාණයෙන් ද නින්දාවනට පාත්‍රවෙමින් සිටිනවා.

අත්පත් කරගෙන සිටින සෑම රටකම මේ තත්වය අපට දැක ගන්නට පුළුවන්. මුහුණ දී සිටින තත්වය පලස්තීනුවන්ට කිසිසේත් ඉවසා සිටිය හැක්කක් නොවෙයි. අමෙරිකාව කිසිසේත් ඔවුනට අභිමානයෙන් යුතු ජීවිතයක් සඳහා මෙන්ම තමන්ගේම නිදහස් රාජ්‍යයක් සඳහා ඇති අභිලාෂයට පිටුපාන්නේ නැහැ.“

පලස්තීන ජනතාවට සාධාරණත්වය සැලසීමට එදා දුන් පොරොන්දු ක්‍රියාවට නැගිය නොහැකිවූ ජනාධිපතිවරයකු ලෙස ඔහු දැන් ඉතිහාසයට එක්ව සිටී. ජනාධිපති බුෂ් වරෙක මතු කළ සරල ප්‍රශ්නයක් මගේ මතකයට එයි.

“ඇයි ඔවුන් අපට වෛර කරන්නේ?“

ජනාධිපති බුෂ්ට පෙර සිටි ජනාධිපතිවරයකු වූ අයිසන් හවර් ද ඔහුගේ කාර්ය මණ්ඩලය සමඟ පැවති සාකච්ඡාවකදී මෙවැනිම ප්‍රශ්නයක් මතු කළ අවස්ථාවක් ගැන මම කියෙව්වෙමි.

“අරාබි ලෝකය මේ අයුරින් අප දෙස වැරදි ඇසකින් බලන්නේ ඇයි?“

ඇත්තෙන්ම ප්‍රශ්නය ඇත්තේ අරාබි රටවල ආණ්ඩු සමඟ නොවේ. ප්‍රශ්නය ඇත්තේ අරාබි ලෝකයේ පොදු ජනතාව සමඟයි. ඔවුන්ගේ චෝදනාව වී ඇත්තේ මැදපෙරදිග කලාපයේ ප්‍රජාතන්ත්‍රවාදයේ උදාවට සහ ඒ ජනතාවගේ ඉදිරි ගමනට බාධා කරමින්, ඒකාධිපති සහ දූෂිත ආණ්ඩු රැකීමට අමෙරිකාව කටයුතු කරන බවටයි. අමෙරිකාවේ මේ මැදපෙරදිග පිළිවෙත, “ප්‍රජාතන්ත්‍රවාදයේ සහ නිදහසේ මුරබල්ලා“ ලෙස අමෙරිකාවට තිබූ ප්‍රතිරූපයට ප්‍රතිවිරුද්ධව යන්නකි.

පලස්තීන සාමය උදෙසා අමෙරිකාව මුල්වී ඇති කළ 2000 වසරේ කෑම්ප් ඩේවිඩ් එකඟතාව, ඔස්ලෝ එකඟතාව ආදී සියල්ල ඊශ්‍රායලය විසින් අද නිෂ්ඵල තත්වයකට පත්කර තිබේ. බටහිර මුල්වී ඇතිකරගත් එකඟතා සියල්ල නිදහස් රාජ්‍යයකට මග පාදන්නකට වඩා, ඊශ්‍රායලය මත රැඳෙන තත්වයකට විසඳුමක් ගෙන ඒමට බල කෙරෙන ක්‍රියාදාමයක් ලෙස ඇතැම් විචාරකයන් මත ප්‍රකාශ කර තිබුණද, ඒ විසඳුම් පවා ඊශ්‍රායලය නොසලකා හැර ඇත.

පලස්තීන ජනතාවට දේශපාලන නිදහස ලබා දෙමින්, ස්වාධිපත්‍යය සහිත රාජ්‍යයක් සඳහා වන යෝජනාව, 1976 ජනවාරියේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය සම්මත කළේ ප්‍රබල ලෝක ජනමතයක් සමඟය.

මේ සඳහා අරාබි රටවල්, පලස්තීන විමුක්ති සංවිධානය, යුරෝපීය කඳවුරේ රටවල්, සෝවියට් කඳවුරේ රටවල් ආදී සියලු පැතිවල සහාය ලැබුණි. එහෙත් එක්සත් ජාතීන්ගේ මේ තීරණය ක්‍රියාවට නැගීම වළක්වනු ලැබුවේ නිෂේධ බලය පාවිච්චි කිරීමකිනි. 1981 දී සවුදි අරාබිය මුල්වී ඉදිරිපත් කළ ෆහස් (FAHAD) සාම සැලසුමද සැලකිල්ලට බඳුන් කිරීම ඊශ්‍රායලය ප්‍රතික්ෂේප කර සිටියේය.

අප දශක ගණනාවක් තිස්සේ තවමත් දකිමින් සිටින්නේ පලස්තීන ජනතාව මුහුණ දී සිටින ඛේදවාචකයටයි. ඔවුන්ගේ වාසස්ථානවලින් ඔවුන් පළවා හරිනු ලබයි. අනතුරුව එම ස්ථාන විනාශ කරනු ලබයි. ඔවුන් සරණාගතයන් බවට පත්කරනු ලබයි.

නොයෙකුත් අඩන්තේට්ටම්වලට සහ වධ හිංසාවනට බඳුන් කරනු ලබයි. ඔවුන්ගේ වගා කිරීම්, ආදායම් මාර්ග, අධ්‍යාපනය, නිදහස් ගමන් බිමන් යාම් ආදියට මෙන්ම ජලය ඇතුළු මූලික අවශ්‍යතාවනට පවා අමානුෂික ලෙසින් බාධා පැමිණවීම්, අමානුෂික ලෙසින් එල්ල කරන යුදමය ප්‍රහාරයන්, ඝාතනය කිරීම්, අසාධාරණ ලෙසින් අත්අඩංගුවට ගෙන කුඩා ළමුන්, කාන්තාවන් සිරකර තබා ගැනීම් අපි දකිමු. 2020 වසර තුළ පලස්තීනයේ බටහිර ඉවුරේ පමණක් වාසස්ථාන ඇතුළු ගොඩනැඟිලි 689 ක් පොළවට සමතලා කර දමා තිබේ.

වසර 2000 ඔක්තෝබර් මස එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය (14 - 0 ලෙසින්) ඡන්ද 14 ක් පක්ෂව සහ විරුද්ධව කිසිවකු නොමැතිව සම්මත කරගත් යෝජනාවක් මගින් ඊශ්‍රායලයෙන් ඉල්ලා සිටිනු ලැබුවා, තමන් විසින් බලයෙන් අත්පත් කරගෙන සිටින පලස්තීන භූමි ප්‍රදේශ තුළ, හතරවන ජිනීවා සම්මුතියේ බැඳීම්වලට සහ වගකීම්වලට ගරු කරමින් කටයුතු කරන ලෙස. මේ අවස්ථාවේදී අමෙරිකාව ඡන්දය දීමෙන් වැළකී සිටියේය.

මේ හැරෙන්නට වසර 2001 දී පැවති පලස්තීන අර්බුදය අවස්ථාවේදී මිෂෙල් සාම සැලැස්ම ක්‍රියාවට නැඟීම වෙනුවෙන් සහ එම භූමියේ ප්‍රචණ්ඩ ක්‍රියා අවම කිරීම සඳහා ජාත්‍යන්තර නිරීක්ෂකයන් යැවීම වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ගත් ක්‍රියාදාමයේදී ඊශ්‍රායලය ඊට විරුද්ධ වුණි. අමෙරිකාවද නිරීක්ෂකයන් යැවීමේ ක්‍රියාදාමය නතර කිරීමට ක්‍රියා කළේය.

මැදපෙරදිග සාමය සඳහා මධ්‍යස්ථ මැදිහත්කරුවකුගේ භූමිකාව සඳහා අවශ්‍ය විශ්වසනීයත්වය මෙවන් හැසිරීම් තුළින් අමෙරිකාව අහිමි කර ගැන්ම, ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස සහ ගෝලීය සාධාරණත්වය අගය කරන අයවලුන් ඒ වටිනාකම් උදෙසා නායකත්වය දරන රටක් ලෙස අමෙරිකාව කෙරෙහි තබා ඇති විශ්වාසය පලුදු කරන තත්වයකට ගෙනයාමකි.

ට්‍රම්ප් ජනපති යටතේ මැදපෙරදිග අමෙරිකානු පිළිවෙත දැඩි ඒක පාර්ශ්වික පිළිවෙතක් ගෙන තිබුණද, නව ඩිමෝක්‍රටික් පාක්ෂික ජනපතිවරයකුගේ නායකත්වය යටතේ එය වඩාත් ප්‍රගතශීලී සහ ප්‍රජාතන්ත්‍රික ගමන් මඟකට අවතීර්ණ විය යුතුව ඇත. එසේ නොවුණහොත් එය අමෙරිකාවට උරුමව තිබූ ප්‍රජාතන්ත්‍රවාදී උරුමයන් සඳහා නායකත්වය දෙන රටක ප්‍රතිරූපයට හානිකර වනු ඇත.

අමෙරිකාවේ සිටි ඩිමෝක්‍රටික් පක්ෂ ජනපතිවරයකුවූ ජිමී කාටර්ගේ ප්‍රකාශයකින් මේ සටහන සමාප්ත කරනු කැමැත්තෙමි.

“ඊශ්‍රායලයටත්, මැදපෙරදිගටත් සාමය ළඟා වන්නේ ජාත්‍යන්තර නීතියටත්, සාමය සඳහාවූ මාර්ග සිතියමටත් එකඟව ක්‍රියා කිරීමට ඊශ්‍රායලය කැමති වන්නේ නම් පමණි. එමෙන්ම ඔවුන් කලින් ප්‍රතිඥා දී ඇති පරිදි ඔවුන්ගේ නීත්‍යානුකූල දේශසීමාවන් ඔවුන් පිළිගන්නේ නම් පමණි. සියලු අරාබි රටවල් ද මේ කොන්දේසිය යටතේ ඊශ්‍රායලයට සාමකාමීව ජීවත් වීමට ඇති අයිතිය ගරු කිරීමට පොරොන්දු විය යුතුය. පලස්තීන සීමාව තුළ බලහත්කාරකමින් ඉඩම් උදුරා ගැන්ම මෙන්ම යටත් විජිත ක්‍රියාවන් ඉවසා සිටිමින් සහ නිහඬව අනුබල දීමෙන් අමෙරිකාව එක්සත් ජනපදයට තිබෙන ජාත්‍යන්තර කීර්ති නාමය සහ හොඳ හිත නැතිවී යයි. එමෙන්ම අමෙරිකාවට විරුද්ධව ඇති ගෝලීය ත්‍රස්තවාදය තීව්‍ර කිරීමට ඒ ප්‍රතිපත්ති තුළින් සිදු කරන්නේ තව තවත් දිරිදීමකි.“

ජිමී කාටර් ජනපතිවරයාගේ ප්‍රකාශය එදාට මෙන්ම අදටත් වලංගු බවක් පෙනේ. ඒබ්‍රහම් ගේ දරුවන් ලෙසින් සලකන මේ යුදෙව්, ක්‍රිස්තියානි, අරාබි පරම්පරාවන්ගේ ලෙයින් මැදපෙරදිග මේ භූමිය තවමත් තෙත් වෙමින් තිබීම අපි දකින්නෙමු. දේශපාලන සහ ආර්ථික අරමුණු හේතුවෙන් සිදුවන මේ ඝාතන සහ ලේ වැගිරීම්වල නිමාවක් සිදුවිය යුතුව ඇත. සැමට සාමය, නිදහස සහ අභිමානයෙන් යුතුව, අන්‍යෝන්‍ය අවබෝධයෙන් ජීවත්විය හැකි සමාජයක් උදෙසා ප්‍රාර්ථනා කරමු.

ඉමිතියාස් බාකීර් මාකාර් සම සභාපති, ශ්‍රී ලංකා - පලස්තීන සහයෝගිතා කමිටුව

Comments