ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය මකර කටට යයිද කිලෝමීටර් 67ක් | සිළුමිණ

ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය මකර කටට යයිද කිලෝමීටර් 67ක්

- දුර ගෙවාගෙන ගමේ මිනිස්සු යන ගමන පාර හැදුවොත් කිලෝමීටර් 11කින් යන්න පුළුවන්

ල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය මැදින් ඉදි කිරීමට සැරසෙන නව මාර්ගයක් පිළිබඳ මේ දිනවල පොළොන්නරුවෙන් අසන්නට ලැබේ. මහවැලි ගඟට සමාන්තරව කිලෝ මීටර් 13ක් දුරින් ඉදිකිරීමට යෝජිත මෙම නව මාර්ගය හේතුවෙන් වනයත් වනජීවීනුත් බරපතළ අනතුරකට ලක්ව ඇති බව වනජීවී අඩවි සහකාර වෘත්තිකයන්ගේ සංගමයේ අදහසයි. ප්‍රදේශයේ දැනට පවතින අලි මිනිස් ගැටුමට අමතරව බරපතළ පාරිසරික හා සමාජීය ගැටලු රාශියකට ඉදිරියේදී මුහුණපෑමටට සිදුවනු ඇතැයිද එම සංගමය අනතුරු අඟවයි.

මෙවැනි මාර්ගයක් ඉදිරිපත් වී ඇත්තේ විදුලි වැට, අගල් ඉදිකිරීම් හා වන වගා කිරීමේ රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායකගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික්කයේ මැති ඇමතිවරුන්, දිස්ත්‍රික් ලේකම්වරයා ඇතුළු රාජ්‍ය නිලධාරින්ගේ සහභාගීත්වයෙන් පසුගියදා පොළොන්නරුවේ පැවැති ග්‍රාමීය ආර්ථිකය නඟා සිටුවීමේ රැස්වීමකදීය. එම අදහසට එහි සිටි වනජීවී නිලධාරීන්ගේ එකඟතාව පළ වී නැතද විමලවීර දිසානායක රාජ්‍ය ඇමතිවරයා සහ දිස්ත්‍රික්කයේ මැති ඇමතිවරුන් අවධාරණය කර ඇත්තේ මෙම මාර්ගය ඉදි කිරීම මහජන යහපත උදෙසා කළ යුත්තක් ලෙසටය.

මේ පිළිබඳ අප පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්. ඒ. ධර්මසිරි ගෙන් විමසුවෙමු.

”යක්කුරේ මනම්පිටිය පාර 1991- 1998 කාලවලදී මහජනයා භාවිත කළ පාරක් වුවත් යුද්ධය නිසා එය වැසීගොස් තිබෙනවා. අපි සැලසුම් කළේ මේ පාර බොරලු යොදා සකස් කිරීමට සහ සවස 6.00න් පසුව පසුදා උදෑසන වන තෙක් පාර වසා තැබීමටයි. නමුත් වනජීවී නිලධාරින්ගේ ඒ පිළිබඳ විරෝධයක් මතුවී තිබෙනවා. නමුත් යක්කුරේ ගම්මානයේ ජනතාවට මේ පාර හැදුවොත් කිලෝමිටර් 11කින් යන්න පුළුවන්කම ලැබෙනවා. දැනට ඒ අය කිලෝමීටර් 67ක් දුර ගෙවාගෙනයි යන්නේ. වනජීවී අධ්‍යක්‍ෂවරයා කියන්නේත් ඒ පිළිබඳ ශක්‍යතා අධ්‍යයනයක් කළ යුතු බවයි.මම දරන මතය වනය සහ වන සතුන් කැලේ රැක ගන්නත් ඕනෑ. ඒ වගේම මිනිස්සුන්ගේ අවශ්‍යතාව ගැන බලන්නත් අවශ්‍යයයි”

වනජීවී අඩවි සහකාර වෘත්තිකයන්ගේ සංගමයේ ලේකම් ඩබ්ලිව්. ඩබ්ලිව්. ජී. වීරසේන ඒ පිළිබඳ මෙසේ පැවසීය.

“වියළි කලාපයේ තිබෙන සුවිශාල විල්ලු පද්ධතියකින් සමන්විත එකම තෙත් බිම් ජාතික වනෝද්‍යානයයි. ඒ වගේම සෝමාවතිය සහ වස්ගමුව යන ජාතික වනෝද්‍යානවල වෙසෙන වන අලින්ගේ සම්ප්‍රදායික සංචරණ මාර්ගය පිහිටා තිබෙන්නේත් මේ ජාතික වනෝද්‍යානය ඔස්සේයි. ඒ අනුව බලන විට මේ වනජීවි කලාපය මැදින් පාරක් ඉදිකිරීමෙන් වනජීවින්ගේ විශේෂයෙන්ම අලි ඇතුන්ගේ සංචරණ රටාවලට බාධා ඇති වෙනවා. එහි අනිවාර්ය ප්‍රතිඵලය වන්නේ මේ ප්‍රදේශවල දැනට තිබෙන අලි මිනිස් ගැටුම් සීමාවකින් තොරව ඉහළ යෑමයි. වසර තිහකට වැඩි කාලයකදී ආරම්භ වුණු කඩිනම් මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය නිසා මේ ප්‍රදේශයේ අක්කර දහස් ගණනක් ශීඝ්‍රයෙන හෙළිපෙහෙළි වුණා. එහිදී අලි ඇතුන් ප්‍රමුඛ වන සතුන්ට ඔවුන්ගේ වාස භූමි එක්වර අහිමිවූ නිසයි එවකට පැවැති රජය මඟින් මේ ප්‍රදේශයේ ජාතික වනෝද්‍යාන ගණනාවක් ගැසට් කළේ. ඒ වනෝද්‍යානවලට අයත්වූ ගම්මාන, පාරවල් වෙනුවට අලුතින් ජනාවාස ඇති කරද්දී ඒවා ජනතාවට ඉඩම්, ගමනාගමන පහසුකම් ඇති කර දී තිබෙනවා. දැන් මේ භූමිභාගය වෙන්වී තිබෙන්නේ වන සතුන් උදෙසායි. ඒ තුළත් විවිධ නිති විරෝධී මිනිස් ක්‍රියාකාරකම් සිදුවන නිසා මේ ප්‍රදේශවල අලි මිනිස් ගැටුම් ඉහළ ගොස් තිබෙනවා.”

මේ පිළිබඳ අප විමලවීර දිසානායක රාජ්‍ය ඇමතිවරයාගෙන්ද විමසීමක් කළෙමු.

“මේක අලුතින් හදන පාරක් නෙවෙයි. යක්කුරේ කියන පැරණි ගම්මානයට යෑම සඳහා මහවැලි සංවර්ධන ව්‍යාපාරය යටතේ යුද්ධයට පෙර ඉදිකළ පාරක්. යුද්ධය නිසා පාර වැහුණා. ග්‍රාමීය සංවර්ධන කමිටු සාකච්ජාවේදී මහජන නියෝජිතයන් සහ ජනතාව ඉල්ලීමක් කළා යක්කුරේ ගම්මානයට යන මේ පැරණි පාර පිළිසකර කර දෙන්න කියලා. ඒ අනුව අපි තීන්දුවක් ගත්තා ඒ මාර්ගය ප්‍රසිද්ධ පාරක් හැටියට නොවෙයි, ඒ ගම්මානයේ අයට යාම් ඊම් සඳහා සකස්කර දීමට. අම්පාර මාදුරුඔය මාර්ගය,පොළොන්නරුව හබරණ ප්‍රධාන මාර්ගය තියෙන්නෙත් වනජීවී කලාප මැදින්. ඒ නිසා මේ මාර්ගය ඉදිකළා කියලා වන සතුන්ට හෝ පරිසරයට හානියක් සිදු වන්නේ නෑ. ”

ශ්‍රී ලංකා ජෛව විවිධත්ව සංරක්‍ෂණ හා පර්යේෂණ කවයේ සභාපති සුපුන් ළහිරු ප්‍රකාශ් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ වෙත ලිපියක් යොමු කරමින් මෙම මාර්ග සංවර්ධන කටයුත්ත අත්හිටුවා ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා සිටී.

එම විස්තරාත්මක ලිපියට අනුව 1984 වසරේ අගෝස්තු 7 වැනි දින ජලගැලුම් නිම්න ජාතික උද්‍යානය ප්‍රකාශයට පත් කෙරෙන්නේ ප්‍රධාන අරමුණු කිහිපයක් සහිතවය. හෙක්ටයාර් 17,350 ක භූමි ප්‍රමාණයකින් සමන්විත මෙම ජාතික උද්‍යානය අලි ඇතුන් ඇතුළු විශාල සත්ත්ව ප්‍රජාවකට ගොදුරුබිම් සපයයි. මෙරට වන අලින්ගෙන් සියයට තිහකට වඩා වාර්තා වන මෙම ජාතික උද්‍යානය මහවැලි වනජීවී රක්ෂිත ජාලය අඛණ්ඩව පවත්වාගෙන යෑමට මනා පිටිවහලක් ලබාදෙයි.

තවදුරටත් එම ලිපියේ මෙසේද සඳහන් වේ.

”ස්වභාවික පරිසර පද්ධතියක් හරහා මාර්ගයක් ඉදිකිරීමේ සිට එය භාවිතය සඳහා යොදා­ාගනු ලබන සම්පුර්ණ කාලසීමාව තුළම එමඟින් අදාළ පරිසර පද්ධතියට විවිධ සංකීර්ණ පරිසර විද්‍යාත්මක බලපෑම් එල්ලවන බව ලොව පුරාම සිදුකර ඇති පර්යේෂණ මඟින් අනාවරණය වී ඇත. වනජීවීන් රිය අනතුරුවලට ලක්ව මියයෑම, වනජීවී වාසස්ථාන ඛණ්ඩනය වීම, වනජීවී ගහන ඛණ්ඩනය වීම, ආගන්තුක ආක්‍රමණශීලී ජීවී විශේෂ ව්‍යාප්තිය, අනවසර මිනිස් ක්‍රියාකාරකම් ඉහළ යෑම, ජලවහන ප්‍රශ්න ඇතිවීම සහ කැළිකසළ ප්‍රශ්න ඇතිවීම ඉන් සමහරකි.

මහවැලි ගඟ, මනම්පිටිය විල්ලුවල හඳපාන් විල්ලුව සහ බඳියා විල්ලුව ඔස්සේ වැටී ඇති මෙම යෝජිත මාර්ගය සංවර්ධනය කර පොදු ජනතාවගේ පරිහරණයට නිදහස් කිරීමෙන් යක්කුරේ දක්වා ගමන් කරන පුද්ගලයන්ට තම කාලය මඳක් ඉතිරිකර ගැනීමට හැකි බව සැබෑය.

නමුත් ඊට සමගාමීව ඉහත සඳහන් කළ සියලුම බලපෑම්වලින් ජලගැලුම් නිම්න ජාතික උද්‍යානයේ පැවැත්මට බරපතළ බලපෑම් සිදුවේ.

තවද වසරකට අඩු තරමින් මාස හතරක්වත් මෙම මාර්ගය මහවැලි ගඟෙන් සහ හඳපාන් විල්ලුවෙන් පිටාර ගලන ජලයෙන් යටවී පවතින අතර එම කාලසීමාවේදී ජනතාවගේ භාවිතයට ගැනීමට හැකියාව නොලැබේ.

එසේම බඳියා විල්ලුව හා හුංගමාල ඔය හරහා මාදුරුඔය ජාතික උද්‍යානයට අලි ඇතුන් ගමන් කරන සංක්‍රමණ මාර්ගය වැටී ඇති බැවින් මෙම මාර්ගයේ නිතර අලි ඇතුන් ගැවසීමෙන් මාර්ගයේ ගමන්කරන පුද්ගලයන් වන අලි පහරදීම්වලට ලක්වීමේ අවදානමක්ද පවතී. එබැවින් මහ ජනතාවට වඩාත් සුරක්ෂිත ආකාරයෙන් සහ වසර පුරාම නොවෙනස්ව භාවිත කිරීමට හැකියාව ඇත්තේ අප ඉහත කී මනම්පිටියල දිඹුලාගලල පැලෑටියාවල කළුකැලේ හා බඳනාගල හරහා යක්කුරේ ප්‍රදේශයට වැටී ඇති කාපට් යොදා සංවර්ධනය කර ඇති මාර්ගයයි.

ප්‍රදේශයේ දේශපාලඥයන් මෙම මාර්ග සංවර්ධනය සඳහා උනන්දුවක් දක්වන්නේ ජනතාවට සහන සැලසීමට නොව මහවැලි ගඟේ ඉහළට තවදුරටත් වැලි ජාවාරම ව්‍යාප්ත කිරීමට සහ ජාතික උද්‍යානයේ දැව සම්පත කොල්ලකෑමට බව අප අවධාරණය කරමු. ”

එමෙන්ම වනජීවී නිලධාරීන් තවදුරටත් අවධාරණය කරන්නේ අලි මිනිස් ගැටුම් බහුලවීමට වනජීවී කලාපවල සිදු කෙරෙන නීති විරෝධී මිනිස් ක්‍රියාකාරකම් හේතුවන බවයි.

ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය මැදින් මහජනයාට, යාන වාහනවලට ගමන් කිරීමට මාර්ගයක් තැනීම යනු වන උයනේ පැවැත්මට සහ එහි වෙසෙන සතා සීපාවාගේ චර්යාවන්ට නිරතුරු බාධා පැමිණෙන හේතුවක් බව වනජීවී නිලධාරීහු සහ පරිසර සංවිධාන සාධක සහිතව පෙන්වා දෙති.

එහෙයින් ඔවුනගේ ඉල්ලීම වනුයේ මෙම අදූරදර්ශී තීරණය ක්‍රියාත්මක නොකර වනජීවීන්ගේ සහ පරිසරයේ පැවැත්ම තහවුරු කරදෙන ලෙසය.

 කරුණාරත්න ගමගේ

Comments