කොවිඩ් වසංගතය මෙල්ල කළ LPL | සිළුමිණ

කොවිඩ් වසංගතය මෙල්ල කළ LPL

සියවස් ගණනාවක් පුරාවට ටෙස්ට් පිටියේ සිට විස්සයි20 පිටිය දක්වා පරිණාමයට ලක්වූ ක්‍රිකට් ක්‍රීඩාව ‘ෆ්‍රැන්චයිස්‘ තරග රටාවට යොමුවීමෙන් අන්තර්ජාතික ක්‍රිකට් ක්ෂේත්‍රයට නව ජීවයක් එක්වී ඇත. ක්‍රීඩාවේ පෙරළිකාර වෙනසක් සිදු කරමින් එය නව දිශාවක් කරා යොමුවූයේ අයිපීඑල් තරගාවලියත් සමඟය. කණ්ඩායම් සහ ක්‍රීඩකයන් වෙන්දේසි ගත කරමින් ‘ෆ්‍රැන්චයිස්‘ ක්‍රමය යටතේ ආර්ථික වශයෙන් ඔවුන් ඉහළට ඔසවා තැබූ ලෝක ක්‍රිකට් පිටියේ නූතන විප්ලවය ලෙස සැලකෙන අයිපීඑල් කරළියට සේන්දු වූයේ මීට දශකයකට පමණ පෙරය. අද වනවිට අයිපීඑල් ක්‍රීඩා නොකළ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩකයන් නැති තරම්ය. ආර්ථික වශයෙන් ක්‍රිකට් පිටියේ සාර්ථකම තරගාවලිය බවට අයිපීඑල් පත්වෙද්දී ක්‍රීඩකයන්ගේ ද අතමිට වෙනදාට වඩා සරු විය. ඒ අනුව බලද්දී ක්‍රීඩා ආර්ථිකයකට අයිපීඑල් තරම් ශක්තිමත් වෙනත් නිදසුන් නැත.

පැය තුනක කාලයක් ප්‍රේක්ෂකයන් හුනස්නෙන් නැගිට නැරැඹීමට තරම් උද්වේගයත්, කුතුහලයත් කැටි කළ ‘ෆ්‍රැන්චයිස්‘ තරග රටාවට එක්වූ අලුත්ම තරගාවලිය ලබන 26 වැනිදා හම්බන්තොට, සූරියවැව මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වන්නේ එවැනි ක්‍රීඩා ආර්ථිකයකට අඩිතාලම වැටෙන අයිපීඑල් ක්‍රීඩා රටාවේ ශ්‍රී ලාංකේය පිටපත (වර්ෂන්) ලෙසිනි.

අයිපීඑල් තරගාවලියට පමණක් දෙවැනි වන ආකාරයෙන් දකුණු ආසියාවේ ක්‍රිකට් ක්‍රීඩාවට නව ජීවයක් ගෙන දීමේ බලාපොරොත්තුවෙන් ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළේ මුළු තරගාවලියේම හිමිකාරීත්වය ඩුබායි නගරය කේන්ද්‍ර කරගත් නොම්මර එකේ ඉන්දීය ක්‍රීඩා ප්‍රවර්ධන සමාගමක් වන අයිපීජී සමාගමට පවරා දීමෙන් මෙරට ක්‍රිකට් වංශ කතාවට තවත් පිටුවක් එක්වී තිබේ. එය වසර 5ක ගිවිසුමකි. එහි පළමු වසර 2දී අයිපීජී සමාගමෙන් ශ්‍රී ලංකාවට ලැබෙන මුදල අමෙරිකානු ඩොලර් මිලියන 2කට අධිකය. ඊළඟ වසර 2දී එහි 10% වර්ධනයක් සිදු කෙරෙන බවත් වාර්තා වේ.

එල්පීඑල් තරගාවලියේ රූපවාහිනි විකාශන අයිතිය සහ ක්‍රීඩාංගණවල වෙළෙඳ දැන්වීම් ප්‍රදර්ශනයත් එම සමාගමට හිමිවූව ද, එහි ආදායමෙන් තවත් 10%ක මුදලක් ද ක්‍රිකට් ආයතනයට ලැබෙනු ඇත. කණ්ඩායම් සහ ක්‍රීඩකයන් වෙන්දේසි කිරීමත් ඉන්දීය සමාගමට අයිති ය. තරගාවලියට අදාළව විනිසුරුවරුන් පත් කිරීම, ක්‍රීඩාංගණ මෙහෙයවීම, ආරක්ෂක කටයුතු සහ තරගාවලියේ ජීවගුණය පවත්වාගැනීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ අල්ලස් හා දූෂණ විරෝධි ඒකකයේ නියෝජිතයන්ගේ සහාය ලබා ගැනීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සිදු කරනු ලබයි.

මෙරට ප්‍රධාන නගර කේන්ද්‍ර කරමින් කණ්ඩායම්ගත කර ඇති අතර, කලම්බු කිංග්ස් කණ්ඩායමේ නායකත්වය ඇන්ජෙලෝ මැතිව්ස්ට ද, දඹුල්ල වයිකින්ස් කණ්ඩායමේ නායකත්වය දසුන් ශානකට ද, කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමේ නායකත්වය කුසල් ජනිත් පෙරේරාට ද හිමිවී ඇති අතර, තිසර පෙරේරා ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ නායකයා ලෙස නම් කර තිබේ. ශ්‍රී ලංකා විස්සයි20 කණ්ඩායමේ හිටපු නායක ලසිත් මාලිංග විසින් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ නායකත්වයට පත් කරනු ඇතැයි වාර්තා වේ. මීට පෙර එම කණ්ඩායමේ නායකයා ලෙස නම් කර තිබූ පාකිස්තාන පිලේ සර්ෆ්‍රාස් අහමඩ් පාකිස්තාන සංචිතයට ඇතුළත් කර ඇති බැවින් තරගාවලියෙන් ඉවත්වී තිබේ.

එක් කණ්ඩායමකට ක්‍රීඩකයන් 16ක් ඇතුළත් වන පරිදි පෙළ ගස්වා ඇති එල්පීඑල් තරගාවලියේ සෑම කණ්ඩායමකටම විදෙස් ක්‍රීඩකයන් 6 දෙනකු බැගින් ඇතුළත් වන අතර, මෙරට අනාගත ක්‍රිකට් තරු ඔප් නැංවීමේ අරමුණින් සෑම කණ්ඩායමකටම අවුරුදු 19න් පහළ දේශීය ක්‍රීඩකයකු ද ඇතුළත් කර ඇත.

එල්පීඑල් තරගාවලිය මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට මෙතෙක් කාලයක් අඩුවක්ව පැවැති උතුරු පළාත කේන්ද්‍ර කරගත් ක්‍රීඩකයන්ගේ ද දායකත්වය ලැබීම කැපී පෙනෙන සිදුවීමකි. දෙසැම්බර් මස 16 දක්වා දින 15ක් පුරාවට තරග 23ක් ඇතුළත් එල්පීඑල් තරගාවලිය කොවිඩ් වසංගතයේ අවදානම මත ජෛව බුබුලු ආරක්ෂණ ක්‍රමවේදයට අනුව දැඩි සෞඛ්‍ය නීතිරෙගුලාසි මත පැවැත්වෙන බැවින් ප්‍රේක්ෂකයන්ට ගේට්ටු වසා දැමීමට පියවර ගෙන තිබුණත්, ලොව පුරා ක්‍රීඩාවේ නිරත සෑම රටකටම රූපවාහිනිය ඔස්සේ සජීවිව තරග නැරැඹිමේ අවස්ථාව උදා වනු ඇත.

ක්‍රීඩකයන්ගේ පුහුණුවීම් සඳහා පැති තණතීරු 25ක් ද, ක්‍රීඩකයන්ගේ විවේකාගාර 4ක් ස්ථාපිත කරමින් ද හම්බන්තොට මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණය මේ වනවිට ලහි ලහියේ කටයුතු සූදානම් කරමින් පවතී. තරගාවලියට එක්වන සෑම කණ්ඩායමක්ම මේ වනවිට හම්බන්තොට ට ඒකරාශි වී සිටින අතර, විදෙස් ක්‍රීඩකයන් වැඩි පිරිසක් ද පැමිණ අවසන්ය.

එල්පීඑල් තරගාවලිය දකුණු ආසියාවේ අයිපීඑල් තරගාවලියට පමණක් දෙවැනි වන ආකාරයෙන් ප්‍රවර්ධනය කිරීමට එහි හිමිකාරීත්වය දරන අයිපීජී සමාගම අපේක්ෂා කරයි. ඒ සඳහා අවශ්‍ය කටයුතු මේ වනවිට අවසන් වෙමින් තිබේ. මෙරට ක්‍රීඩාලෝලීන්ට නව අත්දැකීමක්, ලාංකේය ක්‍රිකට් වංශ කතාවට නව පිටුවක් එක් කරලන එල්පීඑල් තරගාවලිය ඉදිරි වසර 5 ඇතුළත ඩොලර් බිලියනයක ක්‍රීඩා ආර්ථිකයක් මෙරටට ගෙන ඒමට ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා හඳුන්වා දුන් උදාර සංකල්පයේ පළමු පියවරය. එය යථාර්ථයක් බවට පත් කරමින් ක්‍රිඩාවේ දියුණුවත් ක්‍රීඩකයන්ගේ ආර්ථිකයක් ශක්තිමත් වන්නේ මෙවැනි තරගාවලි තුළිනි.

Comments