කොරෝනාත් වාණිජකරණය වෙයි | Page 2 | සිළුමිණ

කොරෝනාත් වාණිජකරණය වෙයි

කොරෝනා භීතිය මේ වන විට සියලුදෙනාගේ සිත්සතන් තුළට කිඳා බැස අවසානය. බොහෝදෙනකු නිවෙස් තුළටම ගුලි වී සිටින්නේත් සමාජයට යන අය මුඛ ආවරණ සහ අත්වැසුම් පලඳින්නේත් විෂබීජනාශක දියර යොදා අත් සෝදන්නෙත් එම නිසාය. මේ අතරවාරයේදී සමහරු දුම් වාෂ්ප අල්ලති. උණුවතුර පානය කරති. කොරෝනා හෙවත් කොවිඩ් 19 වයිරසය ආසාදනයෙන් වැළකී සිටීම සඳහා දන්න කියන සියලු දේ කරති. එහෙත් කොවිඩ් 19 වයිරසය සමඟ අපට අවුරුදු 2ක්වත් ජීවත් වීමට සිදු වන බව වෛද්‍ය මතයයි. මෙය අන්තර් මහද්වීපික ව්‍යාප්තියක් (tandemic) බැවින් මාසයකින් දෙකකින් අවසන් කළ හැකි දෙයක් නොවේ. කොවිඩ් 19 සමඟ දිගු කාලයක් ජීවත් වීමට සිදු වන්නේ නම් ඒ පිළිබඳව විද්‍යාත්මක ආකාරයට කටයුතු කිරීම වැදගත්වේ. 

“ලෝකයේ ඉතිහාසය පුරාමත් අදත් හෙටත් වයිරස් ඇති වෙනවා. කොවිඩ් 19 කියන්නෙත් ඒ වගේ වයිරසයක්. වයිරසයක් පාලනය කළ හැකි ක්‍රම 2ක් තිබෙනවා. එක් ක්‍රමයක් වන්නේ ප්‍රතිරෝධයක් දැක්විය හැකි එන්නතක් සොයා ගැනීම. අනික, ස්වාභාවිකව මිනිසුන් තුළ ඊට ඔරොත්තු දීමේ ශක්තිය ඇති වීම. ඕනෑම වයිරසයක් සමඟ කාලයක් ජීවත් වන විට ස්වභාවධර්මයෙන්ම මිනිසුන් ඊට පරිණාමය වෙලා ඔරොත්තු දීමේ හැකියාවක් ඇති වෙනවා. දැනටත් වරින් වර මතු වන වයිරස් උණ, සාස් ඊට උදාහරණ කීපයක්. මිනිසාගේ ශරීරය තුළ ඔරොත්තු දීමේ ශක්තිය ඇති වූ විට වයිරසය ශරීරගත වුණත් මිනිසාට හානි කළ නොහැකි තත්ත්වයක් ඇති වෙනවා. ඊටපස්සේ වයිරසය ස්වාභාවිකව ක්ෂය වෙනවා. ලංකාවේ මතු වූ 2 වැනි කොවිඩ් රැල්ලේ වයිරස් කාණ්ඩය ඉතා වේගයෙන් ව්‍යාප්ත වෙන බව සොයාගෙන තිබෙනවා. ඒ නිසා අපි කොවිඩ් 19 වයිරසය ආසාදනය වීමෙන් වැළකී සිටිමට විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුගමනය කළ යුතුයි.“ යනුවෙන් පැවසුවේ ජාතික අක්ෂි රෝහලේ දියවැඩියාව සහ කායික රෝග විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලකය.

භීතිය සහ සන්ත්‍රාසය ඇති කිරීම

එහෙත් විද්‍යාත්මක කරුණු පහදා දීම වෙනුවට අද බොහෝ විද්‍යුත් මාධ්‍යයන් මිනිසුන් තුළ සන්ත්‍රාසය සහ භීතිය ඇති කිරීම ඉතා කනගාටුදායක බව ඔහු සඳහන් කළේය.

“අද විද්‍යුත් මාධ්‍යවලින් කොරෝනා ගැන කියලා පෙන්වන්නේ මොනවාද, ඇම්බියුලන්ස් සයිරන් නලා හඬ දාලා කොරෝනා ආසාදිතයන් ගෙවල්වලට ගිහින් අරන් යන ඒවායි නිරෝධායනයට එක්කන් යන ඒවායි රෝගින් මිය ගියාම පුච්චන ඒවායි. ව්‍යසන වාර්තාකරණයේ මූලික මූලධර්මවත් මේ අය පිළිපදින්නේ නැහැ. පිටරට කොරෝනා රෝගින් මැරෙන ඒවා, වළලන ඒවා සේරම පෙන්වනවා. මේවා ප්‍රදර්ශනය කළාම මිනිසුන්ගේ සිත් තුළ කොරෝනා මරණ බිය, තැතිගැන්ම ඇති වෙනවා. අපි කොරෝනාවලින් පරිස්සම් වෙන්න ඕනෑ. හැකිතාක් ගමන්බිමන් අඩු කරලා සමාජයේ ගැවසීම සීමා කරලා ඉන්න ඕනැ. සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් අනුගමනය කරන්න ඕනැ. ඒත් එහෙමයි කියලා මිනිසුන් තුළ මාරාන්තික බියක් ඇති කරන්න හොඳ නැහැ. පශ්චාත් යුද සමය, පශ්චාත් සුනාමි සමය ගැන සලකා බැලුවාම මානසික ව්‍යාකූලතා ඇති වූ අය කොයි තරම් සිටියාද? ගෙවල් ඇතුළටම වෙලා මර බියෙන් ජීවත් වෙන අයට කෙටිකාලීන හෝ දිගුකාලීන මානසික ව්‍යාධීන් ඇති වෙන්න පුළුවන්. ඒ හේතුවෙන්ම කායික රෝග පවා ඇති වෙන්න පුළුවන්. එය කිසි සේත් හොඳ දෙයක් නොවෙයි. ජනතාව විද්‍යාත්මක වශයෙන් දැනුවත් කිරීමයි ජනමාධ්‍යයේ වගකීම විය යුත්තේ. අනවශ්‍ය බියක් ඇති කිරීම නෙමෙයි.“ යනුවෙන් විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක විස්තර කළේය. ඔහු මෙය හැඳින්වූයේ මරණය විකිණීමක් ලෙසිනි.

මේ වනවිට කොරෝනා භීතිය නිසා අගලවත්ත ප්‍රදේශයේ ලංගම රියදුරකුත් ඒකල ප්‍රදේශයේ 72 හැවිරිදි කාන්තාවකුත් සිය දිවි නසා ගෙන තිබේ. මේ කාරණාව අප සුළුවෙන් සිතිය යුතු කරුණක් නොවේ.

වෙළෙඳ ජාවාරම

අද රූපවාහිනි නාළිකා, පුවත්පත්, ගුවන්විදුලිය පමණක් නොව සමාජ මාධ්‍ය ජාලා තුළ පවා කොරෝනා නිට්ටාවටම සුව කළ හැකි ඖෂධ පිළිබඳව සිදු කෙරෙන වෙළෙඳ ප්‍රචාරණ සුලබව දැක ගත හැකිය. කුණ්ඩලනි යෝගයෙන් කොරෝනා වයිරසය නැති කළ හැකි බවට කියවෙන පුවත් ද ඒ අතරේ දිස්වේ. ආයුර්වේද වෛද්‍යවරුන් විසින් නොව විවිධ ඖෂධ නිෂ්පාදන සමාගම් විසින් නිපදවනු ලබන විවිධ පැණි වර්ග, කසාය, චූර්ණ, පේයාව, දුම් වර්ග ගැන ද ප්‍රචාරය වේ. ජනතාව ද “ඊසි කෑෂ්“, “ක්‍රෙඩිට් කාඩ්“ හෝ මොන යම් ක්‍රමයකට හෝ ඒවා මිලදී ගන්නේ කොරෝනා ආසාදනය වීමෙන් වැළකී සිටීමටය. එහෙත් මේ ඖෂධ කිසිවක් වයිරසය සමඟ අත්හදා බැලීම් හෝ පර්යේෂණ සිදු කර, සකස් කළ නිෂ්පාදන නොවේ. එබැවින් මෙසේ ප්‍රචාරය වන කොරෝනා නිට්ටාවට සුව කළ හැකි ඖෂධීය ප්‍රතිකාර වාණිජ අරමුණු පෙරදැරි කර ගත් ඒවා බව පෙනේ. කෙසේ වුවද විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක සඳහන් කළේ උණුවතුර පානය කිරීමත් ජල වාෂ්ප ආඝ්‍රහනය කිරීමත් කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව වැනි ශ්වසන රෝග සඳහා සහනයක් වන බව විද්‍යාත්මකව තහවුරු වී ඇති බවයි. එහෙත් එයින් කොවිඩ් 19 වයිරසය විනාශ වන බව නම් මෙතෙක් විද්‍යාත්මකව තහවුරු වී නැත.

වර්තමානයේ මුඛ ආවරණ පැලඳීම අනිවාර්ය අංගයක් වී තිබේ. නිරෝධායන නීතියට අනුව මුඛ ආවරණ පැලඳ නොසිටින අයට දඬුවම් පැමිණවිය හැකිය. මේ වන විට රු. 50.00 සිට රු. 300.00 දක්වා මිල ගණන් යටතේ මුඛ ආවරණ අලෙවි කෙරේ. එහෙත් විවිධ මිල ගණන් යටතේ අලෙවි වන මුඛ ආවරණවල ප්‍රමිතිය ගැන සොයා බැලීමට කිසිවකු නැත. ජනතාව තෝරා ගත යුතු මුඛ ආවරණවල තත්ත්වයය ගැන දැනුවත් කිරීමක් ද නැත. සමහර මුඛ ආවරණ වරක් පාවිච්චි කර ඉවතට දැමිය යුතු වුවත් ඒ පිළිබඳව දැනුවත් නොවීම හේතුවෙන් සමහරු මුඛ ආවරණ ඉවත නොදමා සෝද සෝදා පාවිච්චි කරති. සාමාන්‍යයෙන් එදිනෙදා පරිහරණයට රෙදි මුඛ ආවරණ භාවිත කිරීම වරදක් නැත. එය සෝදා අව්වේ වියළා ගැනීමෙන් නැවතත් පාවිච්චි කළ හැකිය. එහෙත් ඇතැම් අවස්ථාවලදී ෆිල්ටර් සහිත මුඛ ආවරණ පැලඳිය යුතුය. මුඛ ආවරණ භාවිතය ගැන දැනුවත් කිරීමත් මුඛ ආවරණවල ප්‍රමිතිය පිළිබඳවත් ජනතාවට වටහා දීම කඩිනමින් සිදු විය යුතු වන්නේ ඉදිරි කාලයේදීත් මුඛ ආවරණ පරිහරණය කිරීමට සිදු වන බැවිනි.

මුඛ ආවරණ සහ අත්වැසුම් භාවිතය

“ඒ විතරක් නොවෙයි. අත්වැසුම් පාවිච්චි කිරීම ගැන වුණත් ජනතාවට නිවැරදි අවබෝධයක් නැහැ. අපි හිතමු ඒ.ටී.එම්. එකෙන් මුදල් ගන්න අත්වැසුම් පාවිච්චි කළා කියලා. ඒක ගලවන්නෙ නැතිව පර්ස් එක අල්ලනවා. ෆෝන් එක අල්ලනවා. සුපර් මාකට් එකටයි එළවළු කඩයටයි හැමතැනම යන්නේ අත්වැසුම් ගලවන්නේ නැතිව. ඒක ඔක්කොටම වඩා භයානකයි. මොකද එක් තැනකදී අත්වැසුමෙ විෂබීජ තැවරුනොත් ඒක ස්ථාන කීපයකම ගෑවිලා ව්‍යාප්ත වෙනවා. අත්වැසුම් පාවිච්චි කළ යුත්තේ එක් වැඩකට විතරයි. ඒ වැඩේ ඉවර වුණ ගමන් අත්වැසුම් ගලවලා ඉවත් කරන්න ඕනෑ. අත්වැසුම් දාගෙන වටේම රවුම් ගහන එක වැරදියි. ඒත් මේ ගැන ජනතාවට නිවැරදි අවබෝධයක් දෙන්නේ නැහැ. ජනතාව ඒ ගැන දන්නෙත් නැහැ. මුඛ ආවරණ සහ අත්වැසුම් අලෙවිය අද හොඳ ව්‍යාපාරයක් විතරයි.“ යනුවෙන් විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක සඳහන් කළේය.

සැනිටයිසර් අත්‍යවශ්‍ය නැහැ

එමෙන්ම සැනිටයිසර් භාවිතය පිළිබඳව වදනක් පැවසීමට ද ඔහු අමතක කළේ නැත. ඔහු තවදුරටත් සඳහන් කළේ සබන් යොදා හොඳින් දෑත් පිරිසිදු කරන්නේ නම් සැනිටයිසර් පාවිච්චි කිරීම අත්‍යවශ්‍ය නොවන බවයි. එහෙත් අද විවිධාකාර වෙළඳ නාම යටතේ සැනිටයිසර් වර්ග රාශියක් වෙළෙඳපොළට පැමිණ තිබේ. ඇතැම් සැනිටයිසර්වල Triclosan යන රසායනික ද්‍රව්‍ය අඩංගු වී ඇත. එහෙත් එය මිනිස් සිරුරට අහිතකර බැවින් ඇමෙරිකාව ඇතුළු රටවල් කීපයක එය අඩංගු සැනිටයිසර් තහනම් කර තිබේ.

සමහරුන්ට සැනිටයිසර් පාවිච්චි කළ විට අත් කැසීම, අත් හම යෑම වැනි ආසාත්මිකතා ඇති වේ. එහෙත් මෙම සැනිටයිසර්වල අඩංගු ද්‍රව්‍ය පරීක්ෂා කිරීමක් සිදු වන්නේ නැත. සැබැවින්ම මෙය අද වන විට ඉතා සාර්ථක ව්‍යාපාරයකි. සබන් යොදා අත් සේදීම වෙනුවට සැනිටයිසර් භාවිතයට උපදෙස් දෙනු ලබන්නේ එමනිසාය.

“සමහරු සැනිටයිසර් පාවිච්චි කරන විදිහ දන්නේ නැහැ. අතේ තෙත තිබෙද්දි සැනිටයිසර් දාන්නේ නැහැ. අත් හොඳින් වියළිලා තිබෙන්න ඕනැ. ඒ වගේම සැනිටයිසර් මහ ගොඩක් අතට දාන්නේ නැහැ. චුට්ටක් අල්ලට දාලා හොඳට අත් පුරා අතුල්ලා ගන්න ඕනෑ. ඒත් මේ ගැන ප්‍රජාවට කියලා දෙන්නෙ නැහැ. අනික සැනිටයිසර් නිසා පරිසරයට මුදා හැරෙන ප්ලාස්ටික් ප්‍රමාණය කොයි තරම්ද? ඒ ගැන කිසි කෙනෙකුගේ අවධානය යොමු වෙලා නැහැ. ප්ලාස්ටික් මුදා හැරීමේ ප්‍රතිඵල භුක්ති විඳින්න වෙන්නේ තව අවුරුදු ගණනක් ගත වුණාට පස්සේ.“ යනුවෙන් සඳහන් කළේ දියවැඩියාව සහ කායික රෝග විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලකය. අත්වැසුම් පාවිච්චි කිරීමට වඩා නියපොතු කැපීම ඉතා වැදගත් බව මෙහිදී ඔහු අවධාරණය කළේය.

කොවිඩ් සහ වායු සමීකරණ යන්ත්‍ර

කොවිඩ් 19 වයිරසයේ පැවැත්ම බොහෝවිට රඳා පවතින්නේ තෙතමනය සහිත සිසිල් පරිසරයකය. ඝර්ම කලාපීය රටවල්වලට වඩා වේගයෙන් සෞම්‍ය කලාපයේ රටවල්වල කොරෝනා ව්‍යාප්ත වූයේ එබැවිනි. යුරෝපීය රටවල්වලට වඩා ආසියාතික රටවල්වල කොරෝනා මරණ සංඛ්‍යාව අඩු වීමට හේතු වූයේ හොඳින් පතිත වන හිරු එළියයි. හිරු එළියෙන් ලැබෙන විටමින් D මිනිස් සිරුරේ ප්‍රතිශක්තිය වර්ධනය කර ලෙඩරෝගවලට ඔරොත්තු දීමේ ශක්තිය ඉහළ දමනු ඇත. එහෙත් බොහෝදෙනකු කැමැත්තක් දක්වන්නේ අවුරශ්මිය නොවැදී වායු සමනය කළ කාමරයක කල් ගෙවීමටය.

නමුදු බොහෝ ආයතනවල සවිකර ඇති වායු සමීකරණ යන්ත්‍ර ගැන කිසිවකු අවධානය යොමු කරන්නේ නැත. වායු සමීකරණ යන්ත්‍රයේ ෆිල්ටරය හොඳ තත්ත්වයේ නොතිබේ නම් පරිසරයේ තිබෙන විෂබීජ ෆිල්ටරයට උරා ගන්නේ නැත. එවිට ආයතන පරිශ්‍රය තුළ විෂබීජ සංසරණය වෙයි. වායු සමීකරණ යන්ත්‍රයේ දෝෂ සහිත වීමෙන් විෂබීජ ව්‍යාප්ත වී බොහෝ ලෙඩරෝග පැතිරීමේ අවදානමක් තිබේ. එවැනි අවස්ථාවල සීලිං විදුලි පංකා භාවිත කිරීම යෝග්‍ය වේ.

කොවිඩ් කෙරෙහි ඇති අනිසි මරණ බිය

පසුගිය මාස තුන තුළ ලෝකයේ සිදු වූ මරණ පිළිබඳව සැලකිලිමත් වුවහොත් කොරෝනා මරණවලට වඩා සෙසු මරණ ඉහළ අගයක් ගන්නා බව පෙනේ.

කොරෝනා හේතුවෙන් සිදු වූ මරණ - 3,14,687 
අධික ශීතල නිසා සිදු වූ මරණ
- 3,69,602 
මැලේරියාව නිසා සිදු වූ මරණ 
- 3,40,584 
සියදිවි හානි කර ගැනීම් - 3,53,696 
රිය අනතුරු නිසා සිදු වූ මරණ 
- 3,93,479 
ඒඩ්ස් නිසා සිදුවූ මරණ - 2,40,950 
ඇල්කොහොල් නිසා සිදු වූ මරණ - 5,58,471 
දුම්බීම නිසා සිදු වූ මරණ 
- 8,16,498 
පිළිකාව නිසා සිදු වූ මරණ 
- 1,167,714

මේ අනුව අපි කොවිඩ් 19 වයිරසයට පමණක් ඉමහත් භීතියක් දක්වන්නේ ඇයි ද යන්න විමසා බැලිය යුතුය. මෙය ඉතා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන නිසාද? ඉතා කෙටි කාලයකින් සංකූලතා ඇති කර මරණයට පත් වන නිසාද? එසේත් නැතිනම් චීනය සහ ඇමෙරිකාව අතර සිදුවන වෙළෙඳ යුද්ධයකට අප මැදි වීමෙන් මාධ්‍ය මගින් හුවා දැක්වූ ප්‍රචාරයකට අප හසු වී ඇති නිසාද?

කෙසේ නමුදු අපි දැන් කොවිඩ් 19 වයිරසය ඉදිරියේ අසරණ වී සිටිමු. අවදානම සමඟ ජීවත් වීමට පුරුදු පුහුණුවෙමින් සිටිමු.

කොවිඩ් 19 වයිරසයට බියෙන් නිවසේ දොරගුළුලාගෙන තවත් කොතෙක් කාලයක් ජීවත් වීමට සිදු වේ දැයි අපි නොදනිමු. නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමෙන් ආර්ථික හා සමාජීය වශයෙන් රටකට සිදුවන බලපෑම කොතෙක්දැයි ගණනය විය යුතුය. එය අපේ රටට දරා ගත හැකි වේ දැයි ඇගයීමක් කළ යුතුය. අවසානයේදී වඩා හොඳ ක්‍රමවේදයකට අපි අනුගත විය යුතුය. ඒ සඳහා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද පිළිබඳව නිවැරදි අවබෝධය ජනතාවට ලබා දීම කාලින අවශ්‍යතාවක් වී තිබේ.

Comments