ඇමරිකාවේ අලුත් ජනාධිපති සහ ශ්‍රී ලංකාව | සිළුමිණ

ඇමරිකාවේ අලුත් ජනාධිපති සහ ශ්‍රී ලංකාව

පසුගිය සතියකට අධීක කාලයක් පුරා ලෝක දේශපාලන අවධානය යොමු වී තිබුණේ ඇමෙරිකානු ජනාධිපතිවරණය ගැනය. ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ සමයේ ඇමරිකාවේ ඇති වූ ඇතැම් ගැටලුකාරී තත්ත්වයන් නිසා මෙවර ජනාධිපතිවරණය උණුසුම්කාරී විය .

ඇමරිකාවේ පන්ති බලවේගයන්ගේ උත්සන්න වීමත් සමඟ මැතිවරණ වඩා උණුසුම්කාරී තත්ත්වයක් පෙන්නුම් කරන ලදී . විශේෂයෙන් කළු ජාතීන් සම්බන්ධයෙන් අනුගමනය කරන ක්‍රියා පිළිවෙත ඇමරිකානු ඇතැම් ජනතාවගේ අප්‍රසාදයට හේතු වූ ප්‍රධාන කරුණක් විය. මේ කරුණු නිසා එරට ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂක ජෝ බයිඩ්න් ජනාධිපතිවරයා ලෙස තේරී පත් විය. දකුණු ආසියානු සම්භවයක් ඇති එම පක්ෂයේම කමලා හැරිස් උප ජනාධිපති ධුරයට පත්වීමත් සුවිශේෂී කාරණාවක් විය. දේශපාලන විද්වතුන් සුසංයෝගය ‘ජෝ බයිඩ්න් සහ කමලා හැරිස් පාලන තන්ත්‍රයක්‘ ලෙස හැඳින්වීමට උත්සාහ දරයි.

ලෝක බලවතා බවට පත් වී ඇති ඇමරිකාවේ ඩිමොක්‍රටික් පක්ෂ නායකත්වය ලෝක දේශපාලනය කෙරෙහි සුවිශේෂයෙන් මෙරටට කෙසේ බලපාන්නේද යන කාරණාව පිළිබඳ ව මේ වන විට කතිකාවක් ගොඩ නැඟී ඇත. බලයට පත්වීමෙන් අනතුරුව ජෝ බයිඩ්න් ජනාධිපතිවරයා විසින් ඉන්දු පැසිෆික් සාගර කලාපය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන බව සඳහන් කරයි .ඉන්දු පැසිෆික් කලාපයට අවධානය යොමු කිරීම තුළ එහි සුවිශේෂී ස්ථානයක් ගන්නා ශ්‍රී ලංකාව කෙරෙහි වඩා අවධානයක් යොමු කරන බව ඉතා පැහැදිලිය. කෙසේ වෙතත් මෙහිදී ජෝ බයිඩන් විසින් ප්‍රජාතන්ත්‍රවාදී රටවල් එකතු කරගනිමින් සාකච්ඡා පැවැත්වීමට අදහස් කිරීම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කර ඇත. ප්‍රජාතන්ත්‍රවාදය හා සාමය සඳහා රාජ්‍ය තාන්ත්‍රික සමුළුවක් පැවැත්වීමේ වැදගත්කම ගැන බයිඩ්න් ජනාධිපතිවරයා අදහස් දක්වයි. එවැනි වේදිකාවක නායකත්වය ගැනීමට ශ්‍රී ලංකා වැනි රටවලට හැකිවෙතැයි විශ්වාසය තැබිය යුතු බව ඇතැමුන්ගේ අදහසයි. කෙසේ වෙතත් ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතිමූර්තියයි සැලකූ ඇමරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ලක්ෂණය වන ඡන්ද බලය සම්බන්ධයෙන් ද විවාදාත්මක කරුණු පසුගිය මැතිවරණයේදී සිදුවිය. එහි දී මැතිවරණයේ පිරිසිදුභාවය පිළිබඳව ප්‍රශ්නකාරී තත්ත්වයක් මතුවිය.

එහෙයින් ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ඔවුන්ගේ උපදෙස් හුදු රාජතාන්ත්‍රික වශයෙන් අප වැනි රටවල් ග්‍රහණය කර ගැනීමට සහ මෙල්ල කර ගැනීමට යොදා ගන්නා උපක්‍රම විය හැකිය. කෙසේ වෙතත් මෙවැනි ආසියාතික රටවල් සම්බන්ධයෙන් ඇමරිකාව ගොඩ නගා ගත් න්‍යාය කලින් තීරණය කරන ලද න්‍යාය පත්‍රයක් මිස එය ජනාධිපතිවරයාගෙන් ජනාධිපතිවරයාට වෙනස් වන්නේ නැති බව ඇමරිකානු දේශපාලන ඉතිහාසය දෙස බැලීමේදී පැහැදිලිය.

කෙසේ වෙතත් ඔබාමා පාලන සමයේ මානව හිමිකම් කේන්ද්‍ර කොටගෙන ශ්‍රී ලංකාවට එරෙහිව ඇමරිකාව ගෙනගිය පීඩාකාරී සබඳතාවයන් යළිත් ශක්තිමත් වෙතැයි ඇතැම් දේශපාලන විචාරකයන් සඳහන් කළ නමුත් භූගෝලීය සහ කලාපීය දේශපාලනික යථාර්ථය ජෝ බයිඩ්න් ජනාධිපතිවරයා යටතේ වෙනස් විය හැකි වෙතැයි ඇතැමුන් ගේ අදහසයි. විශේෂයෙන් බයිඩ්න් ජනාධිපතිවරයා බැරක් ඔබාමා ජනාධිපතිවරයාගේ අනුප්‍රාප්තිකයා බව ඔහුගේ පළමු ප්‍රකාශයෙන්ම පැහැදිලි කරුණක් බව ඇතැම් විචාරකයන්ගේ මතයයි. ඔබාමාගේ පාලන සමයට වඩා දේශපාලනික අර්ථයෙන් වෙනස් කාරණා මේ වන විට මතු වී ඇත.

මේ අනුව ඔබාමාගේ පාලන සමයට වඩා බයිඩ්න් ජනාධිපතිවරයා යටතේ චීනය නැමති ප්‍රධාන බල කඳවුර සමඟ ඇතිවන තරගකාරීත්වය නිසා එක් එක් රටවල් සම්බන්ධව අවධානය යොමු වේ දැයි යන සැකයක් මතු වෙයි. භූ ගෝලීය දේශපාලනික යථාර්ථය අනුව ක්‍රියා කිරීම ප්‍රමුඛ කොට ගත් විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට ඔවුන්ට සිදු වනු ඇත. කෙසේ වෙතත් භූ -දේශපාලනික කරුණු අනුව ලංකාව වැනි රටක් ඇමරිකාවට වැදගත් වන බව විශේෂ කරුණකි. බයිඩ්න් පාලන සමය ඔබාමාගේ පාලන සමයේ තරම් මානව හිමිකම් කඩකිරීම සම්බන්ධයෙන් අභූත චෝදනා නගමින් අප වැනි රටවල් ඍජුව ග්‍රහණය කර ගැනීමේ ප්‍රයත්නයක නිරත වෙතැයි විශ්වාස කළ නොහැක. කෙසේ වෙතත් ඇමරිකානු එක්සත් ජනපදය අප වැනි රටවල්වලට අත ගැසීම සම්පූර්ණයෙන්ම නතර කරන බවක් ඉන් අදහස් නොවෙයි. කෙසේ වෙතත් පසුගිය කාලය පුරා ඇමරිකාව ඉන්දියාව සමඟ සබඳතා රැසක් ගොඩනගා ගන්නා ලදී. ඉන්දු පැසිෆික් කලාප සමඟ වන සබඳතා බයිඩ්න් ජනාධිපතිවරයාගේ පාලනය යටතේ වුවද වෙනස් නොවනු ඇත. භූගෝලීය අභිලාෂයන් මුල්කරගෙන ඇමෙරිකාව ශ්‍රී ලංකාව සමඟ ගනුදෙනු කිරීම අනිවාර්යයෙන් සිදුවන කරුණක් වන බවත් භූ දේශපාලනික තරගය නිසා ශ්‍රී ලංකාව වඩා කල්පනාකාරීව ඇමරිකාව සමඟ ගනුදෙනුව කළ යුතු බව දේශපාලනික විචාරකයන්ගේ අදහසයි. රටට ගැළපෙන 21 වැනි සියවසට ගැළපෙන විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් අනුගමනය කරනු ලබන විදෙස් ප්‍රතිපත්තිය ස්වාධීන ප්‍රායෝගික ප්‍රතිපත්තියකි .

ඇමරිකාවේ කොන්සර්වටිව් පක්ෂය බලයට පැමිණියත් ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂකයෙකු බලයට පත්වුවත් ඇමරිකාවේ දේශපාලනික ප්‍රතිපත්තීන් මූලධාර්මිකව වෙනස් වන්නේ නැත. නමුත් මේ බල කඳවුරු දෙකේ රට අභ්‍යන්තරික කාරණා සම්බන්ධයෙන් යම් වෙනස්කම් ඇති බව පැහැදිලි ය. කෙසේ වෙතත් ඇමරිකාව ඉදිරියේදී මේ වන විට අභියෝග කිහිපයක් වෙයි. එනම් භූගෝලීය, කලාපීය, සහ ජාත්‍යන්තර වශයෙන් වන මේ අභියෝග තුන ජය ගත යුතු වෙයි. එම අභියෝග ජය ගැනීමට ඇමරිකාවේ ඉදිරියේ විකල්ප තුනක් ඇති බව දේශපාලනික විචාරකයන් සඳහන් කරයි. එනම් තරගකාරීත්වය සහයෝගීතාවය සහ ගැටුම්කාරිත්වය යන විකල්ප තුනක් වන අතර ජෝ බයිඩ්න් නව ජනාධිපතිවරයා කුමන විකල්පයක් තෝරා ගනී ද යන කාරණාව සම්බන්ධව නිශ්චය කළ නොහැක. මේ කරුණු මත බොහෝ දේශපාලනික කාරණා තීරණය වන අතර ශ්‍රි ලංකාව වැනි රටවලට ලංකාවේ දේශපාලනික බලපෑම තීරණය වන්නේ ද මේ සාධක මත පදනම්වය.

-------------------

යුගල පාලනයක් එයි

ඇමරිකාවේ දේශපාලනික බලය මාරු වීම කෙතරම් දුරට ශ්‍රී ලංකාවට බලපාන්නේ ද යන්න පිළිබඳව අපි විමර්ශනය කළ යුතුයි. රිපබ්ලිකන් හා ඩිමොක්‍රටික් පක්ෂ බලයට පත්ව බලය හුවමාරු කරගනිමින් දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව ඇමරිකාව ලෝක බලවතා බවට පත් වුණා. ඇමරිකාව තුළ අභියෝග රැසක් ජය ගැනීමට මෙවර නව නායකත්වයට සිදු වෙනවා. මේ නව පාලනය ජෝ බයිඩන් සහ කමලා හැරිස් පාලනයක් ලෙස යි මා දකින්නේ. ඇමරිකාවේ පන්ති බලවේගයන් රැසකගේ ප්‍රතිවිරෝධතාවන් උත්සන්නවීම නිසා මැතිවරණය මෙවර උණුසුම් වුණා. ජාත්‍යන්තර කලාපීය දේශීය අභියෝගයන් නිසා මෙවර වඩා උනන්දුවෙන් ඡන්දය පාවිච්චි කරපු ආකාරයක් අපි දුටුවා. මේ සම්බන්ධයෙන් කතා කිරීමේ දී පළමුව ඇමරිකාවේ අභ්‍යන්තරයේ ඇති ගැටලු තුනක් පිළිබඳව සාකච්ඡා කළ යුතුයි. නව පාලනයට මුහුණ දීමට සිදුවන අභියෝග පිළිබඳවත් වඩා අවධානය යොමු කළ යුතුයි. ප්‍රධාන වශයෙන් අභියෝග තුනක් තිබෙනවා. ජාත්‍යන්තර අභියෝග, භූ ගෝලීය අභියෝග, කලාපීය අභියෝගයන් මෙසේ හඳුනාගත හැකියි. පසුගිය වසර 4ක ජනාධිපති ට්‍රම්ප්ගේ පාලන සමය ඇමරිකාවේ අපතේ ගිය වසර හතරක් ලෙසයි මා සලකන්නේ. රට අභියෝගයක් තුළ හෝ ජාත්‍යන්තර වශයෙන් හෝ නංවාලීමට කිසිදු දෙයක් කළ නායකයෙක් නොවෙයි . කෙසේ වෙතත් ඉන්දු පැසිෆික් කලාපය ලෙස ගත් විට ට්‍රම්ප් විදේශ ප්‍රතිපත්තිය වෙනසක් කළ අයෙක් බව පෙනේ. අනෙක් ජනාධිපතිවරුන්ට වඩා ආසියානු පැසිපික් කලාපය ගැන අවධානය යොමු කර ඉන්දු පැසිෆික් කලාපය ලෙස වෙනස් කරනු ලැබුවා. ඔහුගේ වුවමනාව තිබුණේ ඉන්දියාව නම්මා ගැනීමටයි. ඔහුගේ කාලය තුළ ඉෂ්ට කර ගත් එකම ජයග්‍රහණය ඉන්දියාවත් නොබැඳි ප්‍රතිපත්තියෙන් වෙනස් කිරීමයි.

මෙය ඉන්දියානු දේශපාලනයේ විශාල වශයෙන් වෙනසක් . විශේෂයෙන් මේ ජයග්‍රහණය නව පාලනය යටතේ වෙනස් වෙයි කියලා විශ්වාස කරන්න බැහැ . ජාත්‍යන්තර තලයේ ප්‍රශ්න මතු වීමේ දී අපට යම් ස්ථාවරයක් ගත යුතු වෙනවා. කෙ‍ෙස් වුවත් ජාතිකවාදී පක්ෂවලට බියක් තියෙනවා ඩිමොක්‍රටික් පක්ෂය බලයට පැමිණීමේ දී එය ජාත්‍යන්තර ව විශාල බලපෑම් ඇති කරන ලද පක්ෂයක් බව ඇතැමුන් ගේ මතයයි .

මෙරට යුද්ධය අවසන් වීමෙන් පසුව ජිනීවා සම්මේලනයේ දී මෙරටට විරුද්ධව යෝජනා ගෙන ආවේ ඩිමොක්‍රටික් පක්ෂය සමයේ දීයි. එවැනි තත්ත්වයක් ඇතිවෙයි කියලා අවිනිශ්චිත තත්වයක් අපේ සමාජයේ තියනවා.

--------------------

අධිරාජ්‍යවාදී ප්‍රතිපත්තිවල වෙනසක් වන එකක් නැහැ

ඇමරිකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකින් කෙබදු දේශපාලන පක්ෂයකින් ජනාධිපතිවරයෙකු පත් වුවත් එම පත් විමෙන් ඉන් අනතුරුව විදෙස් රටවල් සමග ඇමරිකාව අනුගමනය කරන දේශපාලන ප්‍රතිපත්ති වෙනස් වන්නේ නැහැ.

ඒ නිසා ජනාධිපතිවරයා කුමන දේශපාලන පක්ෂය නියෝජනය කරන්නේද කියන කාරණාව කෙසේ වුවත් අපි වැනි රටවල් සම්බන්ධයෙන් අනුගමනය කරනු ලබන දේශපාලන ප්‍රතිපත්ති එක සමාන වෙනවා.

එනම් අධිරාජ්‍යවාදී ප්‍රතිපත්තිය එලෙසම අනුගමනය කරනු ලබනවා. සී.අයි.ඒ. වැනි ආයතනවල පුද්ගලයන් වෙනස් වුවත් ඒ නිලධාරීන්ගේ හැසිරීම් කිනම් ජනාධිපතිවරයෙක් යටතේ වුවද ප්‍රතිපත්තිමය කාරණා මත තීන්දු වෙනවා.

විශේෂයෙන්ම චීනය සහ ඇමරිකාව වැනි රටවල් අතර ඇති වෙළෙඳ යුද්ධයන් මේ ජනාධිපති වරයාගේ යටතේද අනුගමනය කරනු ලබන්නේද එකම ප්‍රතිපත්තිමය කාරණාවන් ය.

ඇතැම් විට පසුගිය කාලයට වඩා රටවල්වලට කරන ලද බලපෑම වැඩි විය හැකියි.

අපි හිතන්නේ නැහැ ට්‍රම්ප් ජනාධිපතිවරයා ගේ කාලේ ඇරඹි ආසියානු පැසිපික් කලාපීය සමුළුව ඔස්ට්‍රේලියාව ඉන්දියාව ඇමරිකාව ජපානය එකතුවී ඔවුන් ආසියාවේ සකසන ලද නේටෝව වෙනස් වෙයි කියලා. ඔවුන් යුද අභ්‍යාසයන් පවා පුහුණු වෙමින් සිටි සංවිධානයක්.

ඔවුන් අපේ රට ඔවුන්ගේ න්‍යාය පත්‍රයට නතු කර ගැනීමට උත්සාහ කරමින් සිටිනවා. අපි විශ්වාස කරන්නේ ජෝ බයිඩ්න් ජනාධිපතිවරයාගේ කාලය තුළත් මේ තත්ත්වය දිගින් දිගටම පැවැතිය හැකි බවයි.

ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව කිනම් සමුළුවක් පිළිබඳ ඔවුන් කතා කළ ද මූලික වශයෙන් අදාළ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කළ යුතුයි.

කළු ජාතිකයන්ට ආසියානුවන්ට ප්‍රජාතන්ත්‍රවාදය අහිමි කර තිබෙන ඇමෙරිකාව අනෙක් රටවල් සම්බන්ධව ප්‍රජාතන්ත්‍රවාදය අනුගමනය කරතැයි විශ්වාස කළ නොහැකියි.

ලෝකෙ පුරාම ප්‍රජාතන්ත්‍රවාදය කඩ කරමින් ආර්ථික දේශපාලනික වශයෙන් රටවලට මැදිහත් වෙමින් ඇමරිකාව ප්‍රජාතන්ත්‍රවාදය අනුගමනය කරන ආකාරය අපි දුටුවා. ප්‍රජාතන්ත්‍රවාද විරෝධී ආණ්ඩු ලෝකෙ රටවල පවත්වාගෙන යන්න උදව් කරන්නේ ඇමෙරිකාවයි.

එහෙයින් අධිරාජ්‍යවාදීන් වන ඔවුන් ලෝකෙට ප්‍රජාතන්ත්‍රවාදය පෙන්නුවට ඇමරිකාවේ සෑබෑ අරමුණ ප්‍රජාතන්ත්‍රවාදය නොවෙයි.

ඔවුන්ගේ අරමුණ ආර්ථික හා යුදමය ආධිපත්‍ය ලෝකයට පැතිරවීමයි. එලෙසම ලෝක බලවතා නැමැති තම ස්ථානය ආරක්ෂා කරගෙන ඉදිරියේ දී ඔවුන්ගේ පළමු තැන පවත්වා ගැනීමයි. ඒ දේශපාලනික හැසිරීම අනුවම ඉදිරියේදීත් අපි වැනි රටවල් සම්බන්ධයෙන් කටයුතු කරයි.

-----------------

අප රටට බලපෑම් එල්ල කරන්න විවිධ ක්‍රම යොදයි

ඇමරිකානු එක්සත් ජනපදයේ දකුණු ආසියාවට සහ ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉදිරිපත් කරනු ලබන න්‍යාය පත්‍රය දේශපාලනඥයන් අනුව වෙනස් වන්නේ නැහැ. ඔවුන්ගේ න්‍යාය කලින් තීරණය කළ එකක්.

විශේෂයෙන් බටහිර රටවල් දීර්ඝ කාලයක් අපේ රටට අවධානය යොමුකර ඇති බව අපිට පෙනෙන කරුණක්. අපේ භූගෝලීය ලක්ෂණ අනුව මුහුදු මාර්ග භාවිතයේදී යුද සහ දේශපාලනික වශයෙන් උපයෝගී කර ගැනීමට ඔවුන්ට හැකියාව ලැබෙන නිසා ඔවුන්ගේ අරමුණ සඵල කර ගැනීමට විවිධ ක්‍රමවේදයන් ඉදිරිපත් කරනු ලබයි. ඒ සඳහා විවිධ දර්ශක යොදාගන්නවා. එක් පැත්තකින් මානව හිමිකම් කවුන්සලය හරහා විවිධ අභූත චෝදනා එල්ල කරමින් සහ අපේ ආර්ථිකමය වශයෙන් ඇතිවූ ගැටලුකාරී ස්වභාවයන් උපයෝගී කර ගනීවි. ඔවුන් අපේ රට කෙරෙහි එවැනි ක්‍රම මගින් පාලනය කිරිමට උත්සාහ කර තියෙනවා. ඇමරිකාව විසින් ඉන්දියාව ඇතුළු ආසියානු රටවල් සමඟ සම්බන්ධ වීමේ උත්සාහයක නිරත වෙනවා.

ඒ නිසා ඒ ග්‍රහණයට අපේ වැනි රටවල් නතු කර ගැනීමට උත්සාහයක නිරත වෙනවා .ජෝ බයිඩ්න් ජනාධිපතිවරයා මේ දේවල් වෙනස් කරන්නේ නැති බව විශ්වාස කළ හැකියි.

ප්‍රතිපත්තිය වෙනස් නොවීම ඇමරිකානු ජනාධිපතිවරයාගේ ගැටලුවක් නොවෙයි එය ඔවුන්ගේ උපක්‍රමික සහ දේශපාලනික සැලසුම් ය. ශ්‍රී ලංකාව කෙරෙහි වගේම දකුණු ආසියාතික රටවල් කෙරෙහි පවතින්නේ පුද්ගලයෙක් නිසා ඇතිවන වෙනසක් නොවේ. විශේෂයෙන්ම ට්‍රම්ප් ජනාධිපතිවරයාට වඩා අපට සිදුවිය හැකි බලපෑම වැඩි වීමේ ඉඩකඩක් පවතිනවා ට්‍රම්ප් ජනාධිපතිවරයා ජාත්‍යන්තර වශයෙන් සිදු කරන ඇඟිලි ගැසීම් සීමා කරමින් ඇමරිකාව තුළ සමාජ ප්‍රතිසංස්කරණ ඇති කිරීමට උත්සාහ කළත් ඊට වඩා පළල් ලෙස දේශපාලන ආරවුල් ඉදිරියට ගෙන යාමේ හැකියාවක් නව ජනාධිපතිවරයාට තියෙනවා . ඒ වගේම දකුණු ඉන්දියානු සම්භවයක් සහිත උප ජනාධිපතිවරිය පත්වීම ශ්‍රී ලංකාව වැනි රටවලට කොන්දේසි පැනවීමට ඉඩකඩ තියෙනවා. ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ උපදෙස් රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් අපේ රටවල් මෙල්ල කිරීම සඳහා යොදා ගන්නා ආයුධ ලෙස අපි හදුනාගත යුතු වනවා.

 

-----------------

ඔබාමා පාලනයේ පාඩම් මතක තබා ගත යුතුයි

ඩිමොක්‍රටික් පක්ෂයෙන් අපේක්ෂකයෙකු ජනාධිපතිධූරයට පත්වූ විට සාමාන්‍යයෙන් ලංකාව වැනි රටවලට කරන ලද බලපෑම ඔබාමා ජනාධිපතිවරයා හරහා අපි දුටුවා. ඒ සම්බන්ධයෙන් අපිට අත්දැකීමක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලවකවානුවේදී තියෙනවා.

නව පත්වීමත් සමඟ ලෝකයේ විවිධ ජාතීන්ට විශාල බලපෑම් සිදු වෙනවා කියන කාරණාව ඉතා පැහැදිලියි. ඩිමොක්‍රටික් ජනාධිපතිවරයෙකු හැමවිටම ලෝකයේ විවිධ රටවල ආරවුල් ඇතිකිරීමට සම්පූර්ණයෙන්ම අත ගසන ලද බව අපි දන්නා කාරණාවක්. විශේෂයෙන් ඔබාමා ජනාධිපතිවරයා සමයේ ඉරාක හා ලිබියානු ආක්‍රමණකිරීම්වලදී විශාල විනාශයක් සිදු කළා. ලෝකයේ රටවල් සම්බන්ධයෙන් අනුගමනය කළ ප්‍රතිපත්ති ගත් විට අලුත් යුද්ධයක් නිර්මාණය කරනු ලැබුවා.

විශේෂයෙන් නව උප ජනාධිපතිවරිය ලෙස පත්වූ කමලා හැරිස් දකුණු ඉන්දියානු සම්භවයක් ඇති කාන්තාවක් එල්ටීටීඊ ඩයස්පෝරාව සමඟ ඉතා සමීප සම්බන්ධතාවයක් පවතින කාන්තාවක්. ඇමරිකාවේ සුළු ජාතීන්ට සාධාරණයක් ඉෂ්ට කරන්නට කැප වන බව කෙසේ වුවද වෙනත් රටවලට විශාල අර්බුදයක් ඇය හරහා ඇති විය හැකියි. එහෙයින් ශ්‍රී ලංකාවට දැඩි ලෙස දේශපාලනික අහිතකරභාවයක් ඇති විය හැකියි.

අප අවධානය යොමු කළ යුතු වන්නේ නව නායකත්වය හරහා ඇමෙරිකාව සමඟ ගනුදෙනු කළ යුතුවන්නේ කෙසේද කියන කාරණාව සම්බන්ධවයි. රිපබ්ලිකන් අපේක්ෂක ලෝකේ අනෙක් රටවලට කරන ලද දේශපාලනික බලපෑම අඩුයි.

ට්‍රම්ප් ජනාධිපතිවරයා ලෝකයේ අනෙක් රටවල්වලට කිසිදු බලපෑමක් කළේ නැහැ. ඔහුගේ කාලය තුළ යුද්ධයකට මඟ පෑදුවේ නැහැ. කිසිදු රටක් ආක්‍රමණය කළේ නැහැ. එම කාලයේදී ඇමරිකාව කිසිදු රටකට අත ගැසුවේ නැහැ. නමුත් ඒ රටේ සුළු ජාතීන්ට ප්‍රශ්න ගණනාවක් ඇති වුණා. ට්‍රම්ප් ගේ දරදඬු දේශපාලනික ක්‍රියාවලින් මාධ්‍ය හැසිරීම් තිබුණත් රටක් ලෙස ගත් විට අනෙක් රටවලට ඔහුගේ බලපෑම එල්ල වුණේ නැහැ.

නමුත් බයිඩ්න් ගේ හැසිරීම එබඳු බලපෑමක් ඇති කළ නොහැකි යැයි අපට විශ්වාස කළ නොහැකියි. ඉදිරියේ දී ඔවුන් පැවැත්වීමට නියමිත ‘ප්‍රජාතන්ත්‍රවාදය යැයි කියාගන්නා‘ සමුළුවලින් ඔවුන් අප වැනි රටවලට විරුද්ධව කඳවුරු බැඳ ගැනීමට පුළුවන්.

ඒ නිසා අපි පරෙස්සම් විය යුතුයි. ඔවුන් සමඟ ගනුදෙනු කල්පනාකාරීව කළ යුතුයි .

 

-----------------

අපට කළ චෝදනා අමතක නොකළ යුතුයි

පසුගිය කාලය පුරා ඇමරිකාව තුළ ප්‍රශ්නකාරී තත්ත්වයන් උද්ගත වූවත් ට්‍රම්ප්ගේ පාලන සමයේ දී අපට හානිදායක තත්ත්වයක් ඇතිවූයේ නැහැ.

මූලික වශයෙන්ම ස්වාධීනත්වය ආරක්ෂා කරගනිමින් කටයුතු කිරීමේ හැකියාවක් ට්‍රම්ප් ජනාධිපතිවරයා කාලයේ අනෙක් රටවල්වලට තිබුණා.

ඔබාමාගේ අනුප්‍රාප්තිකයෙක් වන ජෝ බයිඩන් ගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් තීරණ ගැනීමට කෙසේද යන්න පූර්වකතන කළ නොහැකියි.

ඔබාමා ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ ඉන්දියානු ජාතිකයන් බොහෝ දෙනෙක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයන් ලෙස කටයුතු කළා.

ඇමරිකානු ආණ්ඩුවේ එවකට බලපෑම් මත ඒ අය කටයුතු කළ බව අපි දුටුවා. අපේ රටේ සිදුවන සුළු සිදුවීම් පවා විශාල ලෙස හුවා දක්වමින් ජිනීවා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරන්නට ඔවුන් උත්සාහ කළා. එහිදී අපට අසාධාරණයක් සිදුවුණා.

ජිනීවා මානව හිමිකම් කවුන්සලය නොයෙක් චෝදනා ගෙනල්ලා අපිට අසාධාරණකම් සිද්ධ කළා.

ජිනීවා මානව හිමිකම් කොමිසම අපේ රටේ මානව හිමිකම් කඩ කිරීම් සිදු වූ බවට චෝදනා ඉදිරිපත් කළා.

ඩිමොක්‍රටික් ජනාධිපතිවරයෙක් වන බයිඩ්න් හරහා නැවත වරක් එවැනි යුගයක් බිහි වේ ද යන්න කියන්න ඉක්මන් විය යුතු නැහැ.

ජෝ බයිඩන් ගේ පාලන සමය අනෙක් රටවල් සමඟ පවත්වාගෙන යන සම්බන්ධතාවය උඩයි අපි එය කෙබඳු පාලනයක් ද යන්න තීරණය කළ යුතු වන්නේ.

ඒ සාධාරණ යුක්ති සහගත විදේශ සම්බන්ධතාවයක් පවත්වා ගෙන යන පාලනයක් නම් එය ඔවුන්ට ද වාසිදායක තත්ත්වයක් ඇතිකරයි .

මක්නිසාදයත් චීනය වැනි රටවල් ලෝක බලවතුන් බවට පත් වෙමින් පවතින නිසා. ඒ නිසා අනෙක් රටවල් සමඟ යහපත් සම්බන්ධතාවයක් පවත්වා ගැනීමට ඔහුට මේ අවස්ථාවේ සිදුවෙයි. විශේෂයෙන් අපිට මෙහිදී අමතක කරන්න බැහැ කමලා හැරිස් වැනි ඉන්දියානු සම්භවයක් ඇති කාන්තාවක් උප ජනාධිපතිවරයෙකු බවට පත්වීම වීම කෙබඳු ආකාරයෙන් අපේ රටට බලපායි ද කියන කාරණාව වැදගත් වනවා.

කෙසේ වෙතත් අදට ගැළපෙන ක්‍රමවේදයන් ඔස්සේ අනෙක් රටවල්වලට ප්‍රශ්න ඇති නොකරන ආකාරයට උප ජනාධිපතිනිය කටයුතු කරනු ඇතැයි ද එතුමිය ජාත්‍යන්තර සම්බන්ධතා යහපත් ආකාරයෙන් පවත්වා ගනීවි යැයි අපි විශ්වාස කරනවා.

එය මේ අවස්ථාවේදී ඇමෙරිකාවට සහ අනෙක් රටවලටද යහපත් තත්ත්වයක් උදාවීමට හේතු වෙයි .

 

-------------------

 අපට යහපත් නොවන පාලනයක්

ඩිමොක්‍රටික් පක්ෂයේන් බිහිවුණු විශිෂ්ට නායකයා වන බැරක් ඔබාමා ගේ පාලන සමයේ දී ලෝකය අත්පත් කරගැනීමට මිලිටරි බලය පාවිච්චි කළ ආකාරය අපි දුටුවා .ඔහු ලෝකය අත්පත් කර ගැනීමේ මෙහෙයුමක් දියත් කළ බව ඉතා පැහැදිලියි. ඉරානය සිරියාව වැනි රටවල් අත්පත් කරගැනීමේ ක්‍රමවේදයක් අනුගමනය කළා. ලෝකෙ පුරා මිලිටරි මැදිහත්වීම් සිදු කළ අතර ලංකාවටද මානව හිමිකම් කවුන්සිලය හරහා යුද අපරාධ චෝදනා එල්ල කරා. නමුත් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ කාලයේ එවැනි මැදිහත් වීම් සිදු වුණේ නැහැ. ඔහු පාවිච්චි කළේ ඇමරිකානු ආර්ථිකය පුනරුදයක් කරා ගෙන යෑමේ උපායමාර්ගයන්ටය. අපේ රට කෙරෙහි වන අවධානය බයිඩන් ගේ පාලනයට අන්තර්ගතයි. ඒ නිසා මේ තත්ත්වය ශ්‍රී ලංකාවට කිසිසේත්ම යහපත් තත්ත්වයක් වන්නේ නැහැ. ඒ නිසා එළඹෙන කාල වකවානුවේදී ශ්‍රී ලංකාවට නැවත වතාවක් විවිධ වූ බලපෑම් එල්ල වන්න පුළුවන්. ඒ නිසා අපි කල්පනාකාරීව කටයුතු කළ යුතුයි. මේ තත්ත්වයට මුහුණ දීමට අප සූදානම් විය යුතුයි. ඒ නිසාම අමරිකානු දේශපාලනයේ මේ වෙනස්කම සවිඥානිකව තේරුම් ගෙන කටයුතු කළ යුතුයි.

-----------------

අපේ විදෙස් ප්‍රතිපත්තියයි වඩා වැදගත්

ඇමරිකාවේ දේශපාලන හැසිරීම සම්බන්ධව කතා කිරීමට අපි ඉක්මන් විය යුතු නැහැ. අපේ රටේ දේශපාලන ක්‍රියාකාරීත්වය හැසිරීම ද ඒ සඳහා බලපානු ලබනවා. ඇමරිකාවේ ජනාධිපතිවරයා අපේ රටේ දේශපාලනික අධිකාරියේ ක්‍රියාකාරීත්වය කෙරෙහි විශේෂයෙන් සලකා බලනවා. පසුගිය කාලය පුරා මේ රටේ දේශපාලන බල අධිකාරියේ හැසිරීම් ඒකාධිපති ස්වරූපයක් ගත්තා. එමෙන්ම රටක් ලෙස අන්තර්ජාතික වශයෙන් දේශපාලනික හැසිරීමද ඉතා වැදගත් වෙනවා. අපේ රටේ විදේශ විනිමය සපයන ඇඟලුම් ක්ෂේත්‍රයේ විශාල විදේශ විනිමයක් ඇමරිකාව හරහා ලැබෙනවා. පවතින ආණ්ඩුව ගනුදෙනු කරනු ලබන්නේ චීනය සමඟයි. චීනය ගනුදෙනු කිරීමේදී අපට ආදරේට එනවද කියන කාරණාව සිතිය යුතුයි. චීනය ඒ අයගේ ආර්ථිකමය හා යුද කටයුතු සම්බන්ධයෙන් ඒ අයට වඩා වාසිදායක ලෙසයි හැසිරෙන්නේ. ඇමරිකාව වැනි රටවල් ගනුදෙනු කිරීමේ දී ඒ අදාළ ගනුදෙනු කරන රටේ දේශපාලනික හැසීරිම අනෙකුත් සියලු දේ පිළිබඳව සියල්ල සැලකිල්ලට ගනු ලබනවා . එහිදී චීනය වැනි රටවල් සමඟ ගනුදෙනු කිරීමේ දී අපේ සීමාවන් සහ ගනුදෙනු කරන ස්වරූපයන් වඩා වැදගත් වෙනවා. ඇමරිකාව ඒවා සලකා බලනවා. ඇමරිකාව වඩා නැඹුරුවක් ඉන්දියාව කෙරෙහි දක්වනවා. රටක් ලෙස ඉන්දියාව කලාපීය බලවතෙකු ලෙස සැලකීම සිදු වෙනවා. චීනය සමඟ ගනුදෙනු කරන ආකාරයටත් ලංකාවේ දේශපාලනය අධිකාරියේ ප්‍රතිපත්තිමය තීන්දු තීරණ අනුවත් විශේෂයෙන් අන්තර්ජාතික විදෙස් ප්‍රතිපත්තිමය හැසිරීම් අනුවත් ඇමරිකාව ලංකාව කෙරෙහි දක්වන දේශපාලනික හැසිරීම් ඉදිරියේදී තීන්දු වෙයි.

 

Comments