ධවල මන්දිරය සුන්දර කරන ජනාධිපතිවරුන්ගේ සුරතලුන් | සිළුමිණ

ධවල මන්දිරය සුන්දර කරන ජනාධිපතිවරුන්ගේ සුරතලුන්

ලබන වසරේ ජනවාරි 20 වැනිදා ඇමරිකාවේ නව ජනාධිපති ලෙස ජෝ බයිඩ්න් දිවුරුම් දීමට නියමිත අතර එදින සිට ඔහු එරට ජනාධිපති නිල නිවස වන ධවල මන්දිරයේ වාසයට යනු ඇත. මේ වන විට ඇමරිකාවේ පුවත්පත් වාර්තා කර ඇත්තේ ඔහුත්, පවුලේ සාමාජිකයනුත් සමඟ ඔවුන්ගේ බලු සුරතලුන්ද ඒ සමඟ ධවල මන්දිරය කරා රැගෙන යනු ඇති බවය.

බයිඩ්න් ජනාධිපතිවරයාගේ බලු සුරතලුන් වන්නේ ජර්මන් ශෙපර්ඩ් වර්ගයේ සුනඛයන් දෙදෙනෙකි. බයිඩ්න් පවුල ඔවුන් නම් කර ඇත්තේ චෑම්ප් සහ මේජර් යනුවෙනි. චෑම්ප් මේ දෙදෙනා අතරින් වැඩිමලා වන අතර බයිඩ්න් පවුල ඔහු මිලදීගෙන ඇත්තේ 2008 වසරේදීය. එහෙත් එතරම් වයස නැති මේජර් ඔවුන් අතරට පැමිණ ඇත්තේ මෙයට වසර දෙකකට පමණ පෙරදීය. ඒ ඩෙලවෙයාර් හි අනාථ සුනඛයන් වෙනුවෙන් වන නිවාසයකිනි.

මේ අනුව චෑම්ප් සහ මේජර් වසර හතරකින් පසු ධවල මන්දිරයට යන ප්‍රථම සුනඛයන් බවට පත්වනු ඇත. ඒ ජනාධිපති ට්‍රම්ප් සුරතල් සතුන් ඇති නොකළ බැවිනි. එහෙත් චෑම්ප් සහ මේජර් ධවල මන්දිරට යන ප්‍රථම සුරතලුන් නම් නොවන බව සඳහන් කළ යුතුය. ඒ මීට පෙර ධවල මන්දිරයේ වාසය කළ ජනාධිපතිවරු බොහොමයක් විවිධාකාරයේ සුරතලුන් රැසක් එහි ගෙන ආ බැවිනි. ජනාධිපති ට්‍රම්ප්ට පෙර ධවල මන්දිරයේ විසූ ජනාධිපති ඔබාමාගේ කුඩා දියණියෝ සැබවින්ම සුරතල් සතුන්ට දැඩි සේ ආදරය කළහ. එබැවින්ම ඔබාමා පවුල ‘සනී සහ බෝ’ යනුවෙන් කුඩා එහෙත් ඉතා සුන්දර සුරතල් සුනඛයන් දෙදෙනෙක් ධවල මන්දිරයේ ඇති දැඩි කළහ. මේ සුනඛයන් පෘතුගීසී ‘වෝටර් ඩෝග්’ යන දුර්ලභ වර්ගයට අයත් අතර මිලද ඉතා ඉහළ බව වාර්තා වේ.

ජනාධිපති ඔබාමාට පෙර ඇමරිකාව පාලනය කළ ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් ජනාධිපතිවරයාගේ බිරිය ලෝරා බුෂ් සුරතලුන්ට මහත්සේ ඇලුම් කළාය. ‘බීස්ලි මහත්මිය’ හෙවත් ‘මිසිස් බීස්ලි’ යනුවෙන් නම් කළ ස්කොටිෂ් ටෙරියර් වර්ගයේ සුනඛ සුරතලිය ඇයට තෑගි ලැබෙන්නේද එබැවිනි. ඇය මේ සුරතලියට මහත් සේ ඇලුම් කළ අතර ධවල මන්දිරය හැර යන විටද මිසිස් බීස්ලිද ඉතා ආදරයෙන් යුක්තව තම නිවස වෙත ගෙන ගිය බව සඳහන්ය.

‘සොක්ස්’ යනු ධවල මන්දිරයේ වාසය කළ සුරතල් බළලෙකි. ඔහුගේ හාම්පුතුන් වූයේ බිල් සහ හිලරි ක්ලින්ටන් යුවළයි. මේ සුරතල් බළලා ‘සොක්ස්’ ඔවුන්ට ත්‍යාග ලැබී ඇති බව සඳහන්ය. ඒ බිල් ක්ලින්ටන් ජනාධිපති වීමට පෙර අර්කන්සාස්හි වාසය කරන කාලයේය. ධවල මන්දිරයට පැමිණෙන විට ඔවුන් සොක්ස්ද කැටුව පැමිණ ඇති අතර ධවල මන්දිරයෙන් පිටව යන විටද තම සුරතලා යළි තම අර්කන්සාස් නිවසට රැගෙන ගොස් තිබේ. කළු සහ සුදු පැහැයෙන් යුතු සොක්ස් ‘ටක්සුදෝ’ නම් වන වර්ගයට අයත් බළලෙකි. පසුව සොක්ස්ගේ තනියට ‘බඩී’ නම් වූ ගෝල්ඩන් රෙට්රීවර් වර්ගයේ බල්ලෙකුද ක්ලින්ටන් පවුලට එක්වී තිබේ. වසර 19ක් ජීවත් වූ ‘සොකස්’ 2009දී මියගිය බව සඳහන්ය.

ධවල මන්දිරය වාසස්ථානය කර ගත් ඇමරිකාවේ ප්‍රථම ජනාධිපතිවරයා වූ ජෝන් ඇඩම්ස්ගේ සුරතලුන් වී ඇත්තේ අශ්වයන් දෙදෙනෙකි. ඔවුන් නම් කර ඇත්තේ ‘සීසර් සහ ක්ලියෝපැට්රා’ යනුවෙනි. මේ සතුන් වෙනුවෙන් ධවල මන්දිරයේ අශ්ව ගාල් සැකසීමටද සිදුවී තිබේ. ඒ අනුව මේ අශ්වයන් දෙදෙනා ඉතිහාසයට එක්වී ඇත්තේ ධවල මන්දිරයට පැමිණි ප්‍රථම නිල සුරතලුන් වශයෙනි.

ජනාධිපති ෆ්‍රෑන්ක්ලින් රූස්වෙල්ට්ද ස්කොටිෂ් ටෙරියර් වර්ගයේ බලු සුරතලකුගේ හිමිකරු වූ බව සඳහන්ය. ඔහු තම සුරතලා නම් කර තිබුණේ ‘ෆාලා’ යනුවෙනි. එහෙත් තම සුරතලාගේ සම්පූර්ණ නම ‘මරී ද අවුට්ලෝ ඔෆ් ෆාලාහිල්’ බව නිතර සඳහන් කිරීමට ජනාධිපතිවරයා අමතක කර තිබුණේ නැත.

1926 ජනාධිපති කැල්වින් කූලිජ්ගේ පාලන කාලයේදී ධවල මන්දිරයේ තුති පිදීමේ උත්සවය වෙනුවෙන් රැකූනයකු ගෙනැවිත් තිබිණි. එහිදී රැකූනයා මරා සකසා ආහාරයට ගැනීම අපේක්ෂාව විය. එහෙත් රැකූනයා කෙරෙහි දුක උපදවාගත් ජනාධිපතිවරයා සහ ආර්යාව ඔහු මරණින් ගලවා සුරතලකු සේ ඇති දැඩි කිරීමට පටන් ගත්හ. ඔවුන් මේ රැකූනයා නම් කළේ ‘රෙබෙකා’ යනුවෙනි. ‘රෙබෙකා’ ධවල මන්දිරයේ එතෙක් මෙතෙක් සිට අසාමාන්‍ය සුරතලා විය.

ජනාධිපති ජෝන් ඇඩම්ස්ගෙන් පසු බොහෝ ජනාධිපතිවරු සුරතල් සතුන් ඇතිකළද ඒ අතරින් අශ්වයන් වූයේ සුළුතරයකි. එහෙත් ජනාධිපති ජෝන් එෆ්. කෙනඩිට සුරතල් පෝනියකු ඇති කිරීමට සිදුවිය. ඒ ජනාධිපති ලින්ඩන් බී. ජොන්සන් ජනාධිපති කෙනඩිගේ වැඩිමහල් දියණිය වූ කැරොලින්ට සුරතල් පෝනියකු තෑගි කිරීම හේතුවෙනි. කැරොලින් මේ පෝනියා ‘මැකරෝනි’ යනුවෙන් නම් කළ අතර ධවල මන්දිරය වටා ඌ පිට නැගී ගමන් කිරීමට මහත් කැමැත්තක් දැක්වූවාය.

ඇමරිකාවේ 23වැනි ජනාධිපතිරවයා වූ බෙන්ජමින් හැරිසන්ගේ සුරතල් සතුන් වූයේ පොසම් නම් වන සතුන් දෙදෙනෙකි. මුගටින් වැනි මේ පොසම් සතුන් වලිගයෙන් එල්ලී සිටීමේ හැකියාවෙන්ද යුක්තය. හැරිසන් ජනාධිපතිවරයා සුරතලයට මේ පොසම් සතුන් දෙදෙනෙකු ඇති දැඩි කළ අතර ‘මිස්ට රෙසිප්‍රොසිටි සහ මිස්ට ප්‍රොටෙක්ෂන්’ යනුවෙන් ඔවුන් නම් කර තිබිණි.

ජනාධිපති ජෙරල්ඩ් ෆෝඩ් සතුව ‘ලිබර්ටි’ නම් වූ සුනඛයෙක් වූ අතර ජනාධිති හර්බට් හූවර් තම සුරතල් සුනඛයා ‘කිං ටට්’ යනුවෙන් නම් කර තිබිණි.

ජනාධිපති අයිසන්හවර් ගේ සුරතල් පැරාකිට් වර්ගයේ කුරුල්ලා ‘ගැබී’ නම් විය. මාර්ටින් වැන් බර්න් ජනාධිපතිවරයා ධවල මන්දිරයේ එතෙක් මෙතෙක් ඇති දැඩි කළ බිහිසුණුම සුරතලුන්ගේ හිමිකරුවා විමට හේතු වූයේ ඔමාන් හි සුල්තාන්වරයා ඔහුට කොටි පැටවුන් දෙදෙනෙකු තෑගි කිරීම හේතුවෙනි. ජනාධිපතිවරයා සමඟ කලක් ධවල මන්දිරයේ වාසය කළ මේ කොටි පැටවුන් පසුව සත්වොද්‍යානයකට ලබා දී තිබේ.

දැන් ජෝ බයිඩ්න් යළිත් වරක් ධවල මන්දිරයට සුරතලුන්ගේ සුන්දරත්වය රැගෙන ඒමට සූදානමින් සිටින්නේය. ඔහු පමණක් නොව අනාගතයේදී තවත් නොයෙක් ජනාධිපතිවරු ධවල මන්දිරය තවත් ‌නොයෙක් සුරතලුන්ගෙන් සුන්දර කරණු නොඅනුමානය.

Comments