‘‘කැප­වී­මෙන් වැඩක් කර­න්නයි මට ඕන’’ | සිළුමිණ

‘‘කැප­වී­මෙන් වැඩක් කර­න්නයි මට ඕන’’

ක්ෂේත්‍රයේ නූතන පරපුරේ සිටින කටකාර දඟකාර නිළියක ගැන ඇහුවොත් ඉතින් මුලින්ම මතක් වෙන්නේ ලෝචනා ඉමාෂි කිවුවට වරදක් නැහැ. රංගන ශිල්පිනියක්, නර්තන ශිල්පිනියක්, රූපලාවණ්‍ය ශිල්පිනියක්, නිවේදිකාවක් විදිහට කලින් කලට තම දක්ෂතා පෙන්වූ ලෝචනා නිහැඬියාවකින් පසු අලුත් වැඩ කටයුතුත්තකට එකතු වෙලා.

 

ලෝචනා කාලෙකින් දැක්කේ නැති වුණාට හරිම කාර්ය බහුල වෙලා කියලයි ආරංචි?

ඔව්. මං අලුත් වැඩක් බාර ගත්තනේ..ඒ වැඩෙත් එක්ක දැන් කාර්යබහුලයි.

 

අලුතෙන් බාර ගත්තේ රංගන කටයුත්තක්ම නෙවෙයි නේද?

රංගනයටත් ආරාධනා කිහිපයක්ම ලැබුණා. ඒ නිර්මාණවලටත් දායක වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ. හැබැයි මේ වැඩේ නම් වෙනස්. මම ඉස්සර ඉඳන්ම කැමැතියි නිවේදනයට. රට යන්න කලිනුත්, ගිහින් ආවට පස්සෙත් මම නිවේදන කටයුතු කළා. ඉතින් පහුගිය දවස්වල නැවත අලුත් වැඩසටහනකට ආරාධනා ලැබුණු නිසා මං බොහොම ආසාවෙන් බාර ගත්තා.

 

බොහොම ආසාවෙන් බාර ගත්තේ සංචාරක වැඩසටහනක් නිසා වෙන්න ඇති ?

ඒකත් ඉතින් පොඩි කාලේ ඉඳන්ම තියෙන පිස්සුවක් තමයි. දුර ගමන්වලට නම් වැඩි කැමැත්තක් නැහැ. ළඟ පාතක ගිහින් එන්න තියනවා නම් ඇති. හැබැයි ඉතින් මේක ජොබ් එකක් නේ. කැමැති අකමැති වුණත් සංචාරයට තෝර ගන්නේ ඈත ප්‍රදේශයක් නම් යන්නම වෙනවා. අපි පෞද්ගලිකව සංචාරය කළාම විඳින්න තියෙන නිදහස මෙතැනදී සීමිතයි. මොකද ඒක වගකීමකින් කළ යුතු වැඩසටහනක් නිසා. විඳීම කෙසේ වෙතත් වැඩේ උපරිම කැපවීමෙන් කරන්නයි මට අවශ්‍ය.

 

ලෝචනාගේ ගමන් නිසා අම්මට නේද වැඩි කරදර?

ඔව් එහෙම ප්‍රශ්නයක් නම් තියෙනවා. මම යන හැම තැනම අම්මත් එක්ක යනවා. අනෙක් දවස්වලට ඉතුරු වැඩ ටික කරගන්නකොට අපි දෙන්නම දැන් ගෙදර ගත කරන කාලය අඩුයි.

 

ලෝචනා රංගනයට දැන් වැඩි කැමැත්තක් නැද්ද?

අනේ එහෙම නෑ.මම පහුගිය කාලයේ එක දිගටම ලංකාවේ හිටියේ නැහැ. ආරාධනා ලැබුණට එක දිගටම කරන්න අමාරු නිසයි මම බාර නොගත්තේ. නමුත් මෙදා පාර ටික කාලයක් ලංකාවේ ඉන්න නිසා ඉස්සරහට අනිවාර්යයෙන්ම ටෙලිනාට්‍ය හරහා ප්‍රේක්ෂකයන්ට මගේ රංගනය බලා ගන්න පුළුවන් වෙයි.

 

පුංචි තිරයේ කවදත් ජනප්‍රිය වූ ඔබට ඇයි සිනමාවේ ඒ ජනප්‍රියත්වය ලබා ගන්න බැරි වුණේ ?

හොඳ නිර්මාණයක් නම් මම අනිවාර්යයෙන් භාර ගන්නවා දෙපාරක් හිතන්නෙ නැතිව. ‘අභිනික්මන‘ , ‘ගින්දරී 2‘ චිත්‍රපටවල මම රඟපෑවා.. ඒවට ප්‍රතිචාර තාම ලැබෙනවා. ඉස්සරහට ‘තුන්වරක් තුන‘ කියලත් චිත්‍රපටයක් එන්න තියනවා. පුංචි තිරයට වගේම මම සිනමාවටත් ගොඩක් ආදරෙයි. ඒ නිසා විශේෂ සිනමාවද පුංචි තිරයද කියලා තේරීමක් නැහැ.

 

වැඩ වැඩි නිසා පුතා ළඟ නැති පාළුව ටිකක් මගහැරෙනවා ඇති?

මම ලංකාවට ආවේ පහුගිය දෙසැම්බර්වල. පුතා ලංකාවට එන්න හිටියේ මේ අවුරුද්දේ අප්‍රේල් මාසේ. ඒත් මේ වෙද්දි පුතාට නෙදර්ලන්තෙන් එන්න විදියක් නෑ. එයා දැන් එහේ පෙර පාසල් යනවා. ඒ රටේ නීතියට අනුව මොන වසංගත, විපත්ති වුණත් දරුවෝ ඉස්කෝලේ යන්න ඕනේ. ඉතින් පුතාට දැන් එන්න විදිහකුත් නෑ. මට යන්න විදිහකුත් නෑ.මේ වසංගතේ ටිකක් අඩු වෙනකම් අපිට දෙපැත්තක තමා ඉන්න වෙන්නේ.

 

ඒ කියන්නේ ලංකාවට ආවත් පුතා අම්මා එක්ක මෙහෙ නවතින්නේ නැහැ කියලද?

පුතා දැන් ගොඩක් දුරට එහෙ විදිහට හැඩ ගැහිලා ඉන්නේ. අපි හිතුවේ එහෙම පුතාට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න. එයා එහෙට හුරු වෙලා නිසා එහෙම ඉන්න එක හොඳයි කියලයි ඒ තීරණේ ගත්තේ.

 

තුන්දෙනාම එකවහලක් යට ජීවත් වෙන්න කල්පනාවක් නැද්ද?

බොහෝ දුරට එහෙම වේවී. පුතාගේ ඉස්සරහ වැඩ කටයුතු එක්ක මට එයාලා ළඟට යන්න වේවී.

Comments