හතු පිපෙ­නවා වගේ බිහි­වෙන නිර්මා­ණ­ව­ලින් මත­කයේ රැඳෙන්නේ අත­ළො­ස්සයි | සිළුමිණ

හතු පිපෙ­නවා වගේ බිහි­වෙන නිර්මා­ණ­ව­ලින් මත­කයේ රැඳෙන්නේ අත­ළො­ස්සයි

 ඒ රංගනයට පූර්විකා අවශ්‍ය නෑ... මේ පොළොව මත වූ යථාර්ථයට ආවේශ වෙලා එය රූපණය කරන්න හැකි ප්‍රතිභාවක් සහිත ශිල්පිනියක් පිළිබඳ අපේ කාලයෙදි හමුවෙන්නෙ විරලව. ඇය ඔබ අප කවුරුත් දන්නා, ආදරය කරන දුලීකා මාරපන රංගනවේදිනියයි.

 

‘සුපර්ණා‘ චිත්‍රපටය වගේම ‘ලෝරන්ස්ගේ මනමාලි‘වේදිකා නාට්‍ය නිෂ්පාදන පිටුපස දැවැන්ත කාර්යභාරයකින් පසු මේ දිනවල විකාශනය වන ආකර්ෂණීය ටෙලිනාට්‍යයක් වන ‘Interනැසනල්‘ නිෂ්පාදනය කරමින් ඇය ටෙලිනාට්‍යකරණයට මුල පිරුවා.

ඇය විසින් නිෂ්පාදනය කරන සෑම නිර්මාණයක් පසුපසම දර්ශනයක් මෙන්ම වැඩදායි සමාජ කථිකාවක් තිබුණා. ටෙලිනාට්‍ය නිෂ්පාදනයට අත් පොවන දුලිකා සම්බන්ධව රසඳුනේ අපි සංවාදයකට එක් වෙන්නේ ඒ නිසා. මුලින්ම ඇය කතා කළේ ක්ෂේත්‍රයේ නිර්මාණ ශිල්පීන්ගේ ජීවිත යථාර්ථය ගැන.

“මේ වෙනකොට පැතිරෙමින් ඇති කොවිඩ් වසංගතය ලෝකයටම ඇති කර තිබෙන ඛේදනීය තත්ත්වය ඊටත් වඩා වැඩි ගුණාකාරයකින් කලා ක්ෂේත්‍රයට බලපෑම් කර තිබෙනවා. කලාව තුළ වෘත්තිමය තත්ත්වයක් ඇති කර නැති අපේ වගේ රටක කම්කරුවන් ගේ තත්ත්වයට වැටී සිටින කලාකරුවන්ගේ තත්ත්වය ඉතාම දුක්ඛිතයි. නිර්මාණ කරුවකුට ලැබිය යුතු වටිනාකම ඔහුට හෝ ඇයට ලැබෙන්නෙ නෑ...

වේදිකා නාට්‍ය, චිත්‍රපට, ටෙලි නාට්‍ය ගත්තම හැමදෙනාම දකින්නේ නළු නිළියන් පමණයි. නමුත් එය පිටුපස තව මොන තරම් පිරිසක් ජීවත් වෙනවාද ? ඇඳුම් නිර්මාණ ශිල්පීන්, පසුතල නිර්මාණ ශිල්පීන්, වේශ නිරූපණ ශිල්පීන්, සංගීත නිර්මාණකරුවන්, තාක්ෂණික ශිල්පීන්, සංස්කරණ ශිල්පීන්, ඇතුළු ආහාරපාන සහ ප්‍රවාහන සපයන පිරිසගේ පටන් සෑහෙන පිරිසක් ජීවත් වෙන්නේ මේ නිර්මාණය පසුපස. කොවිඩ් එන්න කලිනුත් වෘත්තීය ස්වරූපයක් නැතිව තිබූ ක්ෂේත්‍රයක් මේක.

කෙසේ වෙතත් මේ අලුත් ටෙලි නාට්‍යය හරහා මේ මොහොතේ පනස් දෙනකුට පමණ හෝ රැකියාවක් දෙන්න අපට අවස්ථාවක් ලැබී තිබෙනවා. ඒ නිසා ඒ පවුල්වල පිරිසට ජීවත් වෙන්න වටපිටාවක් නිර්මාණය වෙයි.“

“මේ නාට්‍ය අධ්‍යක්ෂණය කරන්නේ සුජීව ප්‍රියාල් මගේ මහත්තයා. අපි දෙන්නගෙම අදහස මේ මොහොතේ සෞඛ්‍ය නිර්ණායක අනුව නිර්මාණයක යෙදෙන ගමන් ඒ වටා ඉන්න පිරිසකට කිසියම් ශක්තියක් සපයන්න... වගේම තවත් එක් නාට්‍යයක් කරනවට වැඩිය අපූර්වත්වයෙන් යුතු නිර්මාණයක් කරන්න... ටෙලි නාට්‍යය ගොඩ නැගෙන වස්තු විෂය ගැන දුලිකාගෙන් විමසන්න අපට අවශ්‍ය වුණා. ඇය ඒ පිළිබඳ කියන්නේ මෙවැනි කතාවක්.

“වර්තමානයේ අපේ අධ්‍යාපන ක්‍රමවේදයේ පරස්පරතා අපි දකිනවා. අපේ සමාජය නිවැරදි කර ගන්නවා නම් විශේෂයෙන්ම කාන්තාවට විශාල වැඩ කොටසක් තිබෙනවා. ඒ අතරින් අම්මට ලැබෙන්නේ සුවිශේෂී තැනක්. මුලින්ම අපේ අම්මලාට දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳ වගකීමක් තිබිය යුතුයි. මෙය වෙනස් විදිහේ තේමාවක් වේවී. ඒ උත්සාහය සාර්ථකද යන්න ප්‍රේක්ෂකයන්ට බාරයි. මේ නිර්මාණයෙන් ආමන්ත්‍රණය කරන ප්‍රේක්ෂකගාරය ගැන අප දුලීකාගෙන් විමසුවා.

“පොදු ප්‍රේක්ෂකයා වෙනුවෙනුයි අප නිර්මාණ කළ යුත්තේ. ඔවුන් විවිධ ආකල්ප දරමින් ටෙලි නාට්‍යය නරඹනවා. හතු පිපෙනවා වගේ බිහිවෙන ටෙලි නාට්‍යවලින් මතකයේ රැඳෙන්නේ අතළොස්සයි. ඒත් ඔවුන්ට දශක ගානකට කලින් නිර්මාණය වුණු ‘පළිගු මැණිකේ‘,‘සඳ අමාවකයි‘ ගැන මතකයි..

“ අපිට ටෙලිනාට්‍ය ඇතුළේ ප්‍රේක්ෂකයන්ගේ බුද්ධියට කතා කරන, බහුතරයකට නැරැඹිය හැකි ප්‍රමිතියකින් යුතු උසස් නිර්මාණ කරන්න පුළුවන්. මේ ටෙලි නාට්‍යය එවැනි උත්සාහයක්. එබැවින් මෙය මූල්‍ය ප්‍රතිලාභ පසෙක දමා ජනතාවට වටිනා දෙයක් දෙන්න කරන උත්සාහයක්.“

පසුගිය වකවානුවේ ඇගේ ටෙලි නාට්‍යය රංගනය සන්නාමයක් බවට පත්වුණා. එක්තරා ආකාරයට එය ඇගේ ජීවිතයට අභියෝගයක් වන තරමට. අප ඇයගෙන් ඒ ගැනත් විමසා සිටියා.

“ මේ කාරණය පැහැදිලිව කිව යුතුයි. මං රංගනයෙන් දායකවන ටෙලි නාට්‍යයක් දිගු කාලීනව කිසියම් නාළිකාවක විකාශනය වෙනකොට මිනිසුන් හිතනවා මම ඒ නාළිකාවේ රැකියාව කරනවා කියලා. අපි වැඩ කරන්නේ ඒ නිර්මාණයේ පමණයි. සමහර විට දිගු කාලිනව එක නාළිකාවක ටෙලි නාට්‍යයක කටයුතු කරනකොට ඒ නාළිකාවත් හිතන්නේ අපිව ඔහුන්ට සින්න වෙලා කියලා.“

ඔබගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය විදිහට ඔබ සලකන්නේ මොන වගේ අවස්ථා ද? අප ඇයගෙන් විමසා සිටියා.

අවස්ථා තුනක් මගේ ජීවිතයට ඉතාමත් වැදගත්. මගේ ජීවිතේ කුඩාම අවධියේ පවුලේ පළමු දරුවා ගැහැනු දරුවෙක්ව උපන් නිසා මගේ පියා මාව ප්‍රතික්ෂේප කරනවා. ඒ ප්‍රතික්ෂේප වීම මා පුංචිම අවදියේ අත් දකින්නේ. මං පුංචි කාලෙම හිතා ගත්තා එක් මනුස්සයකුට එපා වුණාට අනාගතයේදී රටකට ඕන කරන කෙනෙක් වෙනවා කියලා.

දෙවැනි අවස්ථාව විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට ලැබෙන අවස්ථාව. මගේ අම්මට අවශ්‍ය වුණේ නැහැ මාව විශ්වවිද්‍යාලයට යවන්න. ඇගේ කැමැත්ත තිබුණේ මාව හොඳ ස්වාමි පුරුෂයකුට කසාද බන්දන්න. නමුත් මට අවශ්‍ය වුණේ නැහැ කුටුම්භය ඇතුළේ හිරවෙන්න. මට පුංචි කාලේ ඉඳලා ආත්ම විශ්වාසයක් තිබුණා. මගේ උසස් අධ්‍යාපන අවධිය තමයි මාව වෙනස් කරන්නේ. කලා මාධ්‍යයට ඇතුළත් වෙන්නේ විශ්වවිද්‍යාලයේ ඉන්නකොට.

තුන්වෙනි අවස්ථාව ප්‍රවීණ නාට්‍යවේදී බන්දුල ජයවර්ධනයන් සහ ප්‍රවීණ සිනමාවේදී ගාමිණී ෆොන්සේකා හඳුනාගන්න ලැබීම. ඔවුන් දෙදෙනා මගේ ජීවිතය වෙනස් කරන්න හේතු වෙනවා. බන්දුල සර් මගේ නාට්‍ය කලා ගුරුවරයා. එතුමා මට කියනවා "පුතේ හොඳ රංගන ශිල්පිනියක් වෙන්න කලින් හොඳ මනුස්සයෙක් වෙයන්" කියලා. අදටත් එය මගේ හදවතේ තදින්ම සනිටුහන් වෙලා. ගාමිණි ෆොන්සේකා මහත්මයා කියපු කතාවක් මගේ ජීවිතයට බලපෑවා. ගැහැනියක් වුණත් පිරිමියෙක් වුණත් පෞරුෂයකින් වැඩකරන්න බය වෙන්න එපා කියලා. ඒ වචන මගේ ජීවිතේ වෙනස් කරගන්න මට තදින්ම බලපෑවා.

Comments