බයිලාවෙන් රට නැළවූ බයිලා කුම­රු නික්ම යයි | සිළුමිණ

බයිලාවෙන් රට නැළවූ බයිලා කුම­රු නික්ම යයි

වියෝලේ නාද පැතිරෙද්දී වන බඹරකු සේ හද මඬල වෙත ආ ඔහු ගොළු හදවත විවර කර කඳුළු සලන්න ඉඩ නොතබන්නැයි කීවද සුපුන් සඳ අහසේ පැතිරෙන්නට පෙර කාටත් රහසේ නික්ම ගොස් අවසන් ය. ශ්‍රී ලාංකේය සංගීත ලෝලී රසික හදවත් මත නොමැකෙන මතක සටහන් තැබූ ඔහු, 'බයිලා කුමරු' ලෙස විරුදාවලී ලැබූ ප්‍රවීණ ගායන ශිල්පී පෝල් ප්‍රනාන්දු ය.

 

බයිලා, පොප් සහ සරල ගී ඇතුළු සෑම සංගීත ආරකම ගී ගැයීමේ දක්ෂයකු වූ ඔහු මෙරට ප්‍රසංග වේදිකාවට නැතිවම බැරි ගායකයකු ලෙස රසික ජනාදරය දිනා සිටියේය. ටික කලක සිට අසනීප තත්ත්වයෙන් පසු වූ පෝල් ප්‍රනාන්දු දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 16 වැනිදා පස්වරුවේ සිය මියුරු දිවි සැරිය නිමා කළේ 68 වැනි විය ගෙවමින් සිටියදීය. ඔහුගේ නික්ම යෑම මෙරට ගීත ක්ෂේත්‍රය තුළ ඇති කළ තවත් කාලයකට කිසිවකුට පිරවිය නොහැකි හිඩැසක් බව කලාකාමී සිතැත්තන්ගේ අදහසයි.

මඩවල හේවගේ පෝල් ප්‍රනාන්දු නැතහොත් අප කවුරුත් දන්නා හඳුනන පෝල් ප්‍රනාන්දු උපත ලැබුවේ 1951 වසරේ නොවැම්බර් මස 24 වැනිදාය. මඩවල හේවගේ ලියොන් ප්‍රනාන්දු සහ කුසුමාවතී ප්‍රනාන්දු යන යුවතිපතින්ගේ පිරිමි දරුවන් පස්දෙනා අතර බාලයා වූයේ පෝල් ය. ඔහු අධ්‍යාපනයේ මුල් පොත කියවා ගන්නේ මොරටුව වේල්ස්කුමර විද්‍යාලයෙනි. කලාකරුවන් රැසකගේ පාරාදීසයක් බඳු මොරටු පුරවරයේ උපත ලැබූ නිසාමදෝ පෝල් ද කුඩා වියේ සිට සංගීතයට අපමණ ආශාවක්, උනන්දුවක් දක්වන්නට විය. වයස අවුරුදු 15 පමණ වන විට ඔහු සතු ගායන හැකියාව හිත මිතුරන් අතර පැතිර ගියේය.

පාසලේදී විවේක කාලයේදී මිතුරන් සමඟ එක්වී පන්තියේ ඩෙක්ස්වලට ගසමින් තාල අල්ලමින් ගී ගැයූ පෝල් යෞවනයට පිවිසෙන විට සංගීත පිපාසයෙන් වඩාත් ආසාධ්‍ය තත්ත්වයට පත්ව සිටියේය. 1969 දී මොරටුව බෞද්ධ මන්දිරයේ පැවති 'ටැලන්ට් 69'ආධුනික ගී තරගය පෝල්ගේ සිතේ පැවති ගායකයකු වීමේ සිහිනයට පියාපත් දුන් සුවිශේෂී අවස්ථාවක් විය. දහඅට හැවිරිදි තරුණයකු වූ ඔහු එහිදී ගායනා කළේ ප්‍රවීණ ගායන ශිල්පී එම්.එස්. ප්‍රනාන්දුගේ 'අශෝක මල් මාල නෙළාලා' ගීතයයි. එම ආධුනික ගීත තරගයේ ප්‍රථමයා ලෙස කිරුළු පලඳින්නට තරම් ඒ මොහොත වාසනාවන්ත විය. එතැන් සිට ඔහු කෙමෙන් කෙමෙන් මෙරට සංගීත ලෝකයේ ජනප්‍රිය ගී තරුවක් බවට පත්වන්නට විය. රසිකයන් අතර ඔහු අතිශයින් ජනප්‍රියත්වයට පත් වූයේ 'මාලා මම ඔබ ගැනම සිතාලා' ගීතයෙනි. එය ඔහුගේ පළමු ගීතය වීම ද විශේෂත්වයකි. එතැනින් පසු 'එගොඩ ගොඩේ මල් නෙළනා','පුන් සඳ පායලා','තොප්පි වෙළෙන්දා','ගොළු හදවත විවිර කරන්න', 'මාගේ පාසල් කාලය','රන් කිරිල්ලියේ', 'සුපුන් සඳ','සුපෙම්බරාවි','කිරි සයුර කළඹා','සුදු රෝස මලක්', 'පෙම් ගී නාදය','ආවේ වන බඹරෙක් වාගේ','රුවන් මාලිගා' ආදී ජනප්‍රිය ගීත රැසක් සිය රසිකයන්ට තිලිණ කළේය. මියුරු හඬකින් මෙන්ම කඩවසම් පෞරුෂයකින්ද යුතු යෞවනයකු වූ පෝල් ප්‍රනාන්දු තරුණ තරුණියන් අතර ඉහළම ජනප්‍රියත්වයක් ලැබීය.

වැඩි වශයෙන් බයිලා ආරයට නැඹුරු ගීත ගායනා කිරීම නිසා ඔහු 'බයිලා කුමරු'නමින්ද හඳුන්වනු ලැබූ අතර 70-80 දශකයේදී මෙරට අතිශයින් ජනප්‍රිය ගායන ශිල්පියකු විය. එහෙත් පෝල් ප්‍රනාන්දුගේ ගායන කුසලතාව බයිලා ගායනය කෙරෙහි පමණක් සීමා වූවක් නොවීය. අනූව දශකයේදී ඔහු ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සරල ගී ගායනය තුළින් තව තවත් රසික හදවත් වෙතට සමීප විය. කැසට් පට සහ ප්‍රසංග වේදිකාවට අමතරව ඔහු සිය ගායන ප්‍රතිභාවෙන් රිදී තිරය ද ආලෝකවත් කළේය. 'වානරයෝ' චිත්‍රපටයේ 'තරු මුතු සැණකෙළියේ' ගීතය මඟින් චිත්‍රපට පසුබිම් ගායනයට පිවිසි පෝල් ප්‍රනාන්දු 'හරි යනකොට ඔහොම තමයි','නැව ගිලුණත් බෑන් චූන්' ආදී චිත්‍රපට සඳහා ද ගායනයෙන් දායක විය. එදා මෙදා තුර පෝල් ප්‍රනාන්දු නම් මෙම අපූර්වතම ගායන ශිල්පියා විසින් 500කට අධික ගීත සංඛ්‍යාවක් ගායනා කොට ඇති අතර නිකුත් කර ඇති කැසට් පට සංඛ්‍යාව 50කට අධිකය.

ක්ලැරන්ස් විජේවර්ධන, මෙල්රෝයි ධර්මරත්න, සුනිල් ධර්මසේන, ප්‍රියා පීරිස්, නිස්සංක විමලසූරිය වැනි ජනප්‍රිය සංගීත අධ්‍යක්ෂවරු රැසක්ම පෝල් ප්‍රනාන්දු විසින් ගායනා කළ ගීත සඳහා සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වී ඇත. හේමසිරි හල්පිට, ප්‍රියා පීරිස්, රවී රණසිංහ ආදී ප්‍රවීණයන්ගේ ගී පද සංකල්පනා රැසක් පෝල් ප්‍රනාන්දු සිය මධුර හඬින් ගායනා කළේය. ජනප්‍රිය ප්‍රවීණ ගායන ශිල්පිනියන් වන අනුලා ප්‍රනාන්දු, ඉන්ද්‍රානි පෙරේරා ආදීන් සමඟ ගැයූ යුග ගීද රසිකයන් අතර වඩාත් ජනප්‍රිය විය.

කලා ලෝකයේ කා අතරත් හිත හොඳ මිනිසකු ලෙස ප්‍රකටව සිිටි ගායන ශිල්පී පෝල් ප්‍රනාන්දු මොරටුව කලා එකමුතුවේ සාමාජිකයකු ලෙසද කටයුතු කළේය. සෞන්දර්යවාදියකු වූ ඔහු දේශපාලනය පිළිබඳ කතා කිරීමට පවා රුචි නොවූ කලාකාමියකු විය. ජීවිත රඟමඬලින් බැස ගියද ඔහු ඉතිරි කර ගිය මිහිරි ගී මතකය සදාතනිකව ඔහුගේ නාමය බබළනු ඇත. රුවන් මාළිගාවලටත් වඩා වටිනා ඒ ගී මිහිරෙන් හෙටත් මෙරට ගීත ලෝලීන් සැනසෙනු ඇත. ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුගිය දා සිදු කෙරිණි.

Comments