දැන් ගු ණ නෑ මිනි­සුන්ගේ අධම සිරිත් ඇත රජ වී | සිළුමිණ

දැන් ගු ණ නෑ මිනි­සුන්ගේ අධම සිරිත් ඇත රජ වී

 බුදු ගුණ අනන්තය අපරිමිතය. එවන් වූ අපරිමිත බුදු ගුණ සිහි කිරීමට බුද්ධ චරිතය අලළා ලියැවුණු කවි ගී බොහෝය.

මිනිසුන් අද සිටින්නේ ගිනිගත් සමාජයකය. එකිනෙකා පරයමින් ඉදිරියට යන්නට මාන බලන මේ සමාජයේ අද දවස වන විට ජීවිත කොයි මොහොතේ නිමවේ දැයි කිව නොහැකිය. ද්වේෂයෙන්, මෝහයෙන් අනුන් පරයා යන්නට කටයුතු කරන මිනිස් වර්ගයා කවදා මේ සත්‍ය තේරුම් ගනීවි දැයි කිව නොහැකිය. එවන් වාතාවරණයක් යටතේ සිහියට නැඟෙන්නේ මහා කාරුණිකයාණන් වහන්සේය. දැවෙන ලෝකයට පිළිසරණක් ඇත්තේ උන්වහන්සේ දෙසු දහම අනුගමනය කිරීම, ඒ දහම් මඟ යෑමෙන් බව බෞද්ධයන් තුළ විශ්වාසයක් ඇත.

එවන් වූ හැඟීම සමුදායක් පෙරදැරි කරගෙන රහතන්ගම නාගිත ස්වාමීන් වහන්සේ විසින් රචනා කරන ලද ගීතය ගයන්නේ එක් ගායකයකු නොව ප්‍රසිද්ධ ගායකයන් රැසක් විසිනි. නාගිත ස්වාමීන් වහන්සේ විසින් පදරචනා කරන ලද ගීතය තනු නිර්මාණය කරන්නේ යොවුන් සංගීත ශිල්පියකු වන ඉසුරු වික්‍රම ය.

ගීතය ගායනා කරන්නේ රොෂාන් ප්‍රනාන්දු, කවීෂ කවිරාජ්, මංගල ඩෙනෙක්ස්, නිලාන් හෙට්ටිආරච්චි, රෝමේෂ් සුගතපාල, ජීවන ප්‍රනාන්දු, තුෂාර සුබසිංහ, උදේශ් නිලංග, බුද්ධික උෂාන්, රනිල් ප්‍රියංකර, අමිල මුතුගල, හෂාන් තිළිණ යන ගායක පිරිසය.

ගායන ශිල්පීන් මෙතරම් පිරිසක් එක්වී ගයන මේ බොදු ගීතය පිළිබඳ ගී පදරචක රහතන්ගම නාගිත ස්වාමීන් වහස්සේ පවසන්නේ මෙවන් කතාවකි.

“බුදුරජාණන් වහන්සේ ගේ උතුම් ගුණ සිහිකර ගීතයක් ලිවීමේ වුවමනාව කාලයක සිට මට තිබුණා. මේ සිතුවිල්ල හිතේ තිබුණත් එය දවසින් දවස කල් ගියා. දවසක් මම විහාරස්ථානයෙන් පිටත් වෙලා මගේ ගමට වැඩම කළා. අපි ඉන්නේ වැවක් තියෙන සොඳුරු ගම්මානයක. ඒ පරිසරයේ සිටින විටයි මගේ හිතට මේ මුල් වචන ටික ආවේ.

 

“ගවු සියත් ගවු ඇවිදිමින්

හැමෝටම සරණක් වෙමින්

දෙසුවේ දම් කඳ කුලුණු ගුණෙන්

ලොවේ හැම සත එගොඩ කරනට

පාර පෙන්නූ ගෞතම මුනි සමිඳේ

සාධු සාධු වඳිමු වඳිමු

සුගත මුනි බැතිනා“

 

ඉන් පස්සේ තමයි මේ ගීතයේ ඉතිරි වචන ටික සම්පූර්ණ කළේ. මම බුද්ධ චරිතය ගැඹුරින්ම අධ්‍යයනය කළා. බොහෝ පොත පත කියෙව්වා. ගමෙන් හොරණ පන්සලට වැඩියාට පසු තමයි ඉතිරි පද ටික ලියැවුණේ.

මේ ලියූ පද ගැන මා ඉසුරු වික්‍රම සහෝදරයට කිව්වා. ඔහු මෙයට සංගීතය නිර්මාණය කරන්න කැමැති වුණා. ඉන් පස්සේ තමයි දෙදෙනාම සාකච්ඡා කරලා ගායන ශිල්පීන් 13 දෙනා සමඟ මේ ගීතය නිර්මාණය කළේ. එක් ගායන ශිල්පියකු ගයනවාට වඩා පිරිසක් මෙම ගීතය ගායනා කිරීම හොඳ බව මට වැටහුණා.“ රහතන්ගම නාගිත ස්වාමීන් වහන්සේ පවසන්නේය.

Comments