ඔෆිස් එකේ හැටියට වෙනස් වෙන ෆැෂන් | සිළුමිණ

ඔෆිස් එකේ හැටියට වෙනස් වෙන ෆැෂන්

 රැකියාවක නිරතවන, විලාසිතාවලට ලැදි යුවතියන්ට ඇඳුම් පැලඳුම් තෝරා ගැනීම තරමක් වෙහෙසකාරී කටයුත්තක් වෙන්නේ ලස්සන වගේම තමන්ගේ වෘත්තියේ ස්වභාවය අනුව ඒ ඇඳුම් ගළපන්න ගියහම. ඉතින් ඒ වෘත්තීමය පෞරුෂයට හානි නොවන විදිහට ඔබට ගැළපෙන විලාසිතා තෝරා ගන්න මේ පුංචි කරුණු ටික වැදගත් වේවි.

 

උසස් පෙනුමකින් යුතු සම්භාවනීය විලාසිතා

(Classic look)

ඔබ සේවය කරන්නේ ඇඳුම් පැලැඳුම් පිළිබඳ යම් යම් නීති රිතීන් පවත්නා අායතනයක නම් ඒ වෘත්තීමය බාවය රැක දෙමින් ඔබගේ සුන්දරත්වය මැනවින් ඉස්මතු කරන විලාසිතාව වඩා සුදුසුයි. කලිසමට යටකර අඳින බ්ලවුසය, ටයිට් සාය, ජැකට් විලාසිතා, තනි පැහැති ගවුම් විලාසිතා මෙයට උදාහරණයි. එවැනි ඇඳුම් තෝරා ගැනීමේදී කළු, සුදු, අළු, තද නිල්, බේජ් යන වර්ණවලට ප්‍රමුඛතාව දෙන්න. මඳක් උස් වූ පාවහන්, අත් ඔරලෝසුව සහිත සරල ආභරණ වලින් මේ විලාසිතාවට උසස් පෙනුමක් ද ආරෝපණය කරයි.

සරල ව්‍යාපාර පෙනුම

(Casual business look)

එදිනෙදා ජීවිතයේ අඳින ඇඳුම් කීපයක් සහ ආභරණ කීපයක් එකිනෙක ගළපා ගැනීමෙන් මෙම පෙනුම ලබා ගත හැකියි. උදාහරණයක් වශයෙන් සාමාන්‍ය ගමනට අඳින ඩෙනිම් කලිසමට, සිලික් / ශිෆෝන් වැනි රෙදි වර්ගයකින් බිලවුසයක් සහ එයට ගැළපෙන ජැකට් එකක් තෝරා ගත හැකියි. හැබැයි පෙනුම සම්පුර්ණ කර ගැනීමට නම් අඩි උස පාවහන් යුගලක් සහ තනි පැහැති අත් බෑගයක් වඩාත් සුදුසුයි.

 

අවිධිමත් විධිමත් පෙනුම

(Informal formal look)

විලාසිතාවලට වඩාත් නැඹුරු යුවතියන් වැඩි රුචිකත්වයක් දක්වන්නේ මෙන්න මේ ක්‍රමයට ඇඳුම් තෝරා ගන්න. හැබැයි ඉතින් මේ විදිහේ විලාසිතා ඔබේ රැකියා ස්ථානයට ඔබේ වෘත්තීමය පෞරුෂ්‍යත්වයට කොතරම් ගැළපෙනවද නැද්ද යන්න තීරණය කරන්න වෙන්නේ ඔබටමයි. විවිධ හැඩයෙන් යුත් ඇඳුම් පැලැඳුම් ගැළපෙන පරිදි මෙම විලාසිතාවට අනුව මිශ්‍ර කර අඳින්න පුළුවන්. ප්‍රමාණයට වඩා මඳක් විශාල තනි පැහැති ටී ෂර්ට් එකක් සමඟ ටයිට් සායක්, තද පැහැති කලිසමක් සමඟ මුද්‍රිත බ්ලවුසයක් ඔබට ගළපා ගත හැකියි. ඉහත විලාසිතා අනුව හැඩවන විට අඩි උස පාවහන් යුගලයක් පැලඳීම නම් අනිවාර්යයි.

 

සරල සුලලිත විලාසිතා

(Simple & feminine look)

සැහැල්ලු, සුන්දර ගවුම් මෝස්තර ප්‍රිය කරන යුවතියකට මෙම විලාසිතා කදිමට ගැළපෙනවා. දණහිස දක්වා දිගු හෝ දණහිසට මඳක් ඉහළින් යුතු ගවුම් විලාසිතා තෝරා ගන්නවා නම් ඔබේ පෙනුම වඩාත් ඔප් නංවා ගැනීමට කෙටි ජැකට් එකක් (crop jacket)භාවිත කරන්න. අඩි උස පාවහන් හෝ අඩිය වඩාත් උස නොවන සපත්තු (ballet shoes)මේ විලාසිතාවට කදිමයි.

 

කැපී පෙනෙන විලාසිතා

(Edgy office look)

ආයතනය තුළදී ඇඳිය යුතු ඇඳුම් පිළිබඳ විශේෂ නීති රීති පනවා නැතිනම්, රැකියාව නිර්මාණශීලි අංශයකට අයත් නම් වෙනස් ආකාරයේ විලාසිතාවන්ගෙන් සැරසෙන්න ඔබට අවස්ථාව තිබෙනවා. විවිධ මෝස්තර සහිත ඇඳුම්, ටී ෂර්ට්, ඩෙනිම් වගේම විවිධ මෝස්තරයේ පාවහන්, ආභරණ, අත් බෑග් ආදිය අඩුවැඩි වශයෙන් ඔබේ විලාසිතාවට එකතු කර ගන්න පුළුවන්.

Comments