අහස දිනා ඉති­හා­සය වෙනස් කළ ලක් මවගේ දිය­ණි­වරු | Page 2 | සිළුමිණ

අහස දිනා ඉති­හා­සය වෙනස් කළ ලක් මවගේ දිය­ණි­වරු

ජීවිතය සමබර කරගන්න, ගැහැනියකට බොහෝ දේ කළ හැකියි...

- පියාසර නිලධාරිනී පවිත්‍රා ගුණරත්න

ඔබට යමක් අවශ්‍ය නම් ඒ වෙනුවෙන් කැප වෙන්න...

නිසැකවම එය මතු දා ලැබේවී

- පියාසර නිලධාරිනී රංගනා වීරවර්ධන

 

ඒදිරිමත් දියණිවරු අහස දිනා ගත්හ. ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉතිහාසය වෙනස් වූයේ ඒ මොහොතේය. අවුරුදු 69ක ගුවන් හමුදා ඉතිහාසය වර්ණනය කරමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මුල්ම ගුවන් නියමුවරියන් දෙදෙනා පත් වී සිටිති. ඒ ඓතිහාසික අවස්ථාව එළැඹුණේ පසුගිය 15වැනි ඉරිදා චීන වරාය විද්‍යා පීඨ කඳවුරේ දී ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න හා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයක දී මේ නිලධාරිනියන් දෙපළට පියාසර නිල ලාංඡන පැලඳවිණ.

දැන් ඔවුහු සැහැල්ලු ගුවන් නියමුවරියන් දෙදෙනකු ලෙස ගුවන් හමුදා සේවයට එක්ව සිටිති. මේ නිලධාරිනියන් දෙපළ ආර්. ටී. වීරවර්ධන හා ඒ. ඩී. පී. එල්. ගුණරත්නය.

මේ අතරින් පියාසර නිලධාරිනී ආර්. ටී. වීරවර්ධන යළිත් ශ්‍රී ලංකා ගුවන් හමුදා වංශ කතාව අලුත් කළාය. ඒ ගුවන් හමුදාවේ එතෙක් මෙතෙක් මුල්ම වරට සෑම අතින්ම අති දක්ෂ කැඩෙට් නිලධාරිනිය ලෙස පිදුම් ලබා රන් අසිපත හිමි කර ගැනීමෙනි.

මේ ගමන ගැහැනියකට සුමට ගමනක් නොවේ. මේ ජයග්‍රහණය ඉබේ ඔවුන් වෙත ළඟා වූවාද නොවේ. යෞවනියන් ලෙස ජීවිතය දෙස බැලූ ජීවන අභියෝග විග්‍රහ කරගත් ඒ ඉලක්ක ජයග්‍රහණය කළ දිරිමත් ගමනක ප්‍රතිඵලය. රසඳුනේ අප මේ වික්‍රමාන්විත යෞවනියන් දෙදෙනා හා කතා බහක යෙදෙන්නට සිතුවේ එබැවිනි.

මුලින්ම අප සමඟ කෙටි පිළිසඳරකට එක් වූයේ ගුවන් නිලධාරිනී ඒ. ඩී. පී. එල්. ගුණරත්න හෙවත් පවිත්‍රා ලක්ෂානි ගුණරත්නය. ඇගේ ගම නුවර අම්පිටියේ දළුගොල්ලය. ගුවන් නිලධාරිනී පවිත්‍රා ලක්ෂානී සිය අතීතය අප සමඟ ආවර්ජනය කළාය. ඒ අභිමානය මුසු තෘප්තියකිනි.

“ මම පවුලේ වැඩිමලා. මගේ නංගි නමින්දා. ඇය උසස් අධ්‍යාපනය හදාරනවා. තාත්තා අනුර ගුණරත්න. ඔහු සංචාරක මාර්ගෝපදේශකවරයෙක්. අම්මා ප්‍රදීපා දසනායක, ඇය අප වෙනුවෙන්ම කැප වෙමින් ගෙදර හිටියා. මම මුලින්ම ඉස්කෝලෙ ගියේ මහනුවර හිල්වුඩ් විද්‍යාලයට. ශිෂ්‍යත්වේ සමත් වෙලා මහනුවර පුෂ්පදාන බාලිකාවට ඇතුළු වුණා.

ඉස්කෝලෙදි බොහෝ දේවල් කළමනාකරණය කරගත්තා. මලල ක්‍රීඩාව තමයි මම ප්‍රිය කළ ක්‍රීඩාව. ඉස්කෝලේ විවාද කණ්ඩායමේ හිටියා. ශිෂ්‍ය නායිකාවක් විදිහට කටයුතු කළා. අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටියේ ජීව විද්‍යා අංශයෙන්. විභාගය සමත් වුණාට මගෙ හිතේ කාලෙක ඉඳන් තිබුණු ලොකුම ආසාව ගුවන් හමුදාවට බැඳෙන්න... ඒ ආසාව හොඳටම තීව්‍ර වුණේ ගුවන් හමුදා පියාසර නිලධාරිනියන් බඳවා ගැනීමට තිබූ නිවේදනයත් එක්ක.“ ඇය කියන්නීය.

ඒ පාසල් සමය බෙහෙවින්ම ආනන්ද ජනක එකක් වූ බව කියැවිණි. ඇය පාසලේ විෂය බාහිර ක්‍රියාකාරකම් මෙන්ම විෂයානුබද්ධ කටයුතුවලදී ද දැක්වූ පරිචය පිළිබඳ ආඩම්බරකාර කතා ඇසී තිබිණි.

“ දරුවා පුංචි සන්දියේ ඉඳන්ම ගොඩක් දස්කම් පෙන්නුවා. ඇය ගැන මමයි අම්මයි හිටියෙ හරිම ආඩම්බරෙන්. කිසිම ගුරුවරයෙක් ඇයට කවදාවත් වරදක් කියලා නෑ. ක්‍රීඩාව වගේම අධ්‍යාපනයත් සමරබරව කරන්න ඇයට හැකි වුණා. සියල්ලන්ටම වඩා තරුණ දරුවෙක් ලෙස ඇය තුළ තිබූ විනය, සහ වගකීම අපි දුටුවා. අපේ මුල්ම අභිලාෂය වුණේ ඇයව වෛද්‍යවරියක් කරන්න. එහෙත් විභාගයෙන් අනතුරුව ඇයම ගත් තීන්දුවක් තමයි ගුවන් හමුදාවට සම්බන්ධ වීම. ඒ තීන්දුවට අපි ආශීර්වාද කළා. “ අපට එසේ කීවේ පියාසර නිලධාරිනී පවිත්‍රා ගේ පියා අනුර ය. ඒ ඉදිරිගාමී දැකුම් සහිත මවුපියන්ගේ ආශීර්වාදය රටේ ඉතිහාසය වෙනස් කිරීමට තරම් බලවත් වූ බව ඔවුන්ගේ යොවුන් දියණියගෙන් ප්‍රකාශ වී තිබේ.

පියාසර නිලධාරිනී පවිත්‍රා ඇයගේ පුහුණු කාල සීමාව පිළිබඳ කතා කරන්නේ ගෞරවයෙනි. “ මම ගුවන් හමුදාවට සම්බන්ධ වෙන්නේ වසර 2017 ජූලි මස 19 දා. මේ පුහුණු කාලයේ මතකයන් බොහොමයි. අපේ පුහුණුව හය මසක මූලික සටන් පුහුණුවකින්, හය මසක න්‍යායික දැනුම සහිත පුහුණුවකින්, හය මසක මූලික පියාසර පාඨමාලාවකින් හා හය මසක උසස් පුහුණු පාඨමාලාවකින් සමන්විත වුණා.

“ජීවිතයේ මුල්ම ආකර්ෂණීය මතකය තමයි දියතලාව මූලික සටන් පුහුණුවක යෙදුණු කාලය. ගැහැනියකට තිබිය යුතු ආත්ම විශ්වාසය සහ පෞරුෂය පිළිබඳ ගැඹුරු වැටහීමක් මේ වකවානුවේදි මගෙ ජීවිතයට ලැබුණා. කවදාවත් ජීවිතේ අමතක නොවන දවස තමයි ගුවන් යානයක පුහුණුවීම් කළ මුල්ම දවස. එදා චකිතය බිය සමඟ මිශ්‍ර වුණු ආශ්චර්යවත් ඒ හැඟීම වචනයට ගොනු කරන්න හරිම අමාරුයි. “

“ අරමුණු වෙනුවෙන් ගොඩාක් කැපවීම් කළා. අධ්‍යයනයන් කළා. ගුවන් නියමුවරියක් ලෙස පියාසර ලාංඡනය පැලැඳි දවසෙ ඒ සියලු කැපවීම්වල ප්‍රතිඵල අත් කරගත්තා නේදැයි මහා විශාල සතුටක් දැනුණා. දැන් මගෙ අභිලාෂය රටට වගකියන පුරවැසියෙක් ලෙස ගුවන් හමුදාවේ කීර්ති නාමය රැකගෙන හොඳ ගුවන් හමුදා නියමුවරියක් වීමයි.“ පියාසර නිලධාරිනි පවිත්‍රා ගුණරත්න නොසැලෙ හඬින් කීවාය.

දැන් ඔබ තරුණ නායිකාවක්. ගැහැනියක් ලෙස ගැහැනිකයට දිය හැකි පණිවුඩය කුමක් ද? මම ඇය විමසුවෙමි.

“ගැහැනියකට කරන්න පුළුවන් දේ විශාල පරාසයක පැතිරෙනවා. ඇයට තමන්ගේ පෞද්ගලික ජීවිතය මෙන්ම රාජකාරි ජීවිතය සමරබව පවත්වා ගත හැකි නම් ඇයට අර්ථවත් සමාජ ජීවිතයක් ගත කරන්න පුළුවන්. වැදගත්ම දේ... ජීවිතය සමබර කරගැනීමයි“ ඇය පවසන්නීය

යළිත් ගුවන් හමුදා වංශ කතාව අලුත් කළ විශිෂ්ටම යෞවනිය හා පිළිසඳරට ඉන් අනතුරුව අවස්ථාව එළැඹිනි. ඇය, පියාසර නිලධාරිනී ආර්. ටී. වීරවර්ධන හෙවත් රංගනා තත්සරණි වීරවර්ධනය. ගුවන් හමුදාවේ මුල්ම වරට සෑම අතින්ම අති දක්ෂ කැඩෙට් නිලධාරිනිය ලෙස පිදුම් ලබා රන් අසිපත හිමි කර ගත්තේ මේ විශිෂ්ට යුවතිය ය.

ඇය උපදින්නේ අම්පාරේය. මුලින්ම අකුරු කරන්නට යන්නේ අම්පාරේ ක්ලාර්ලා පෙර පාසලටය. සහෝදරියක හා සහෝදරයකු සතු පවුලේ මද්දුමයා ඇයය. පියාසර නිලධාරිනි රංගනා සිය අතීතය සිහි කරමින් පිළිසඳරට එක් වූවාය.

“ කුඩා කාලේ අම්පාරේ ගත කළත් මම මූලික අධ්‍යාපනය ලැබුවේ ගම්පහ ශ්‍රී බෝධි විද්‍යාලයේ. ශිෂ්‍යත්ව විභාගය සමත් වෙලා වේයන්ගොඩ මධ්‍ය මහා විද්‍යාලයට ආවා. සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගත්තේ වේයන්ගොඩ මධ්‍ය මහා විද්‍යාලයෙ. සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මත උසස් පෙළ කරන්න ගම්පහ රත්නාවලී බාලිකාවට යන්න මට අවස්ථාව ලැබුණා. උසස් පෙළින් අනතුරුව තමයි මම හිතුවේ ගුවන් හමුදාවට සම්බන්ධ වෙන්න අවශ්‍යයයි කියලා. “

ඇය සංක්ෂිප්ත කළ ඇගේ ළමා කාලය සම්බන්ධ වෛර්ණ මතක ඇගේ මව චිත්‍රා අයිරාංගනී එදිරිසිංහ කීවේ කඩා හැළෙන සතුට ඉබේ ඉතිරෙන්නට ඉඩ දෙමිනි.

“ රංගනා ඉගෙන ගන්න දක්ෂ දරුවෙක්... අපේ පරමාර්ථය වුණේම ඇයට හොඳින් අධ්‍යාපනය ලබා දෙන්න. විෂය බාහිර ක්‍රියාකාරකම්වලට දක්ෂකම් පෙන්නුවත් අධ්‍යාපනය ප්‍රමුඛ වීම අපේ පරමාර්ථය වුණා. ඒත් දුව හරිම ආසාවෙන් හිටියා වායු රයිෆල් ක්‍රීඩාවක් විදිහට ප්‍රගුණ කරන්න. අපි එයට අවශ්‍ය ඉඩකඩ හදලා දුන්නා. දුව සමස්ත ලංකා මට්ටමින් එම ඉසව්ව කළා. ඇය විදේශ තරගාවලියකට යන්න සූදානම් කරපු ලංකාවේ කණ්ඩායමටත් ඇතුළත් වුණා. එහෙත් යම් ප්‍රායෝගික ගැටලු කීපයක් නිසා එම තරගාවලියට ලංකාවේ කණ්ඩායම සහභාගී වුණේ නෑ. ඒ අතර බී සාමාර්ථ තුනක් එක්ක ජීව විද්‍යා අංශයෙන් ඇය උසස් පෙළ සමත් වුණා. වෛද්‍ය පීඨයට නොතේරුණත් පේරාදෙණිය හා කොළඹ විද්‍යා පීඨයට ඇයව තේරුණා. ඒත් ඇගේ කැමැත්ත වුණේ ගුවන් හමුදාවට සම්බන්ධ වෙන්න. අපි ඒ කැමැත්තට ඉඩ දුන්නා. ඇය එදා ගත් තීරණය හා අපි ඇයට දුන් ආශීර්වාදය ගැනත් අද මට තියෙන්නෙ කියාගන්න බැරි සතුටක්. මේක අම්මා කෙනකුට ලැබෙන විරල පිනක් .

පියාසර නිලධාරිනී රංගනාගේ අම්මා කීවේ එසේය.

රංගනා සිය ගුවන් හමුදා ජීවිතයේ ආරම්භක සැමැරුම් සහිත මතකයන් පිළිබඳ කතා කරන්නේ මහත් අභිරුචියකිනි. එය යෞවනියක කියවිය යුතුම පාඩමක් වැන්න.

“ මම දැනගත්තා පළමුවරට ශ්‍රී ලංකා ගුවන් හමුදාවට පියාසර නියමුවරියන් සඳහා සම්මුඛ පරීක්ෂණයක් කැඳවන බව. ගුවන් හමුදාවට බැඳෙන්න මගෙ යටි හිතේ තිබුණු ආසාව මේ තොරතුරත් එක්ක වැඩි වුණා. මම ඒ සඳහා ඉල්ලුම් කරන්න තීන්දු කළා.

“ඉතින් ඊට කලින් මා කිසිම සම්මුඛ පරීක්ෂණයකට මුහුණ දී නෑ. ඒ නිසා විධිමත්ව ලෑස්ති වෙලා සම්මුඛ පරීක්ෂණයට මුහුණ දී ඒ අවස්ථාවට තේරුණා. ඒක භාග්‍යයක්. මම හය මාසයක් දියතලාව සටන් පුහුණු පාසලේ අවි පුහුණුව ඇතුළු ගොඩබිම් පුහුණුව ලැබුවා. හය මසක් අංක 01 පියාසර පුහුණු පක්ෂාංගයේ දි න්‍යායික දැනුම ලැබුවා. වසරක් හයිද්‍රාබාද් ඉන්දීය ගුවන් හමුදා විද්‍යා පීඨයේ න්‍යායික හා ප්‍රායෝගික පුහුණුව ලැබුවා. තවත් අවුරුද්දක් අංක බළගණයේ දි න්‍යායික හා ප්‍රායෝගික පුහුණුව ලැබුවා. ඒ පුහුණුව කියන්නෙ ජීවිතයේ ඕනෑම අභියෝගයක් කළමනාකරණයට අපූරු දැනුම් පරාසයක් විවර වෙන තැනක්...“

“ඔබ Soerd of honour presented by Gp Gapt N Rahim රන් අසිපත දිනාගෙන ගුවන් හමුදා ඉතිහාසය වෙනස් කළ නිලධාරිනියයි. ඒ අවස්ථාව ගැන ඔබට කියන්න විශේෂ දෙයක් ඇති... “ මා විමසු විට ඇය මෙසේ කීවාය.

“ එය මගේ ජීවිතේ අති විශේෂතම අවස්ථාව. මවුපියන් මා වෙනුවෙන් කළ කැපවීම් බොහොමයි. මා හිතන්නෙ මෙය මා ඔවුන්ට ලබා දියම යුතු ගෞරවයයි. එය ලබා ගැනීමට පුහුණු වීම් කාලය තුළ විතරක් නෙමෙයි එදිනෙදා ජීවිතයේදීත් මට බොහෝ දේ ලබා දුන් අය හිටියා. ඒ හැමෝටම මේ අවස්ථාවේ ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම රත්නාවලි බාලිකා විද්‍යාලයේ ගුරුමණ්ඩලය, වේයන්ගොඩ බණ්ඩාරනායක විද්‍යාලයේ ගුරු මණ්ඩලය, විශේෂයෙන් සිහි කරන්න ඕන. මගේ සහෝදර සහෝදරියෝ මං වෙනුවෙන් ගොඩාක් කැපවීම් කළා. හැමදාම මාත් එක්ක හිටියා. ඉන්දියාවේ දී මට පුහුණු වීම් කළ නිලධාරීවරයාටත් විශේෂ ස්තුතියක් පිරිනමන්න ඕන. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වර්තමාන ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ නිලධාරීතුමාටත්, පෙර සිටි ගුවන් හමුදාපතිවරු වන එයාර් මාර්ෂල් කපිල ජයම්පති නිලධාරි තුමාටත්, එයාර් චීෆ් මාර්ෂල් සුමංගල ඩයස් නිලධාරීතුමාටත් අංක 1 බළගණයේ අණ දෙන නිලධාරිතුමන් වන ගෘෘප් කපිතාන් අමල් පෙරේරා නිලධාරිතුමා ඇතුළු සියලුම නිලධාරින්ටත් ස්තුති වන්ත විය යුතුයි. යළිත් මට කියන්න තිබෙන්නෙ මෙය කළ බොහෝ කැපකිරීම්වල එක් ජයග්‍රාහී ප්‍රතිඵලයක්. ගෞරවනීය අවස්ථාවක්. මගේ මවුපියන්ට ගෞරවයක් අත් කර දෙන්න හැකි වූ අවස්ථාවක්...“

අවසාන වශයෙන් අපි පුරාවෘතයක් බඳු මේ තරුණ නිලධාරිනියගෙන් මෙසේ විමසා සිටියෙමු. “ගැහැනියක් ලෙස යෞවනියකට ඔබට දිය හැකි පණිවුඩයක් ඔබටත් තිබෙනවා ද?“ ඇය පිළිවදන් දුන්නාය.

“ බොහෝ දෙනෙක් හිතන්නෙ ගැහැනියක් සිටිය යුත්තේ ගෘහණියකගේ භූමිකාවේ කියලා. නමුත් ඇය සතු ශක්‍යතාව ඉතාම විශාලයි. ඇය නිවෙස තුළත් බාහිර සමාජයෙත් විවිධ භූමිකා රඟ දක්වනවා. සමබරව පවත්වා ගන්නවා. කාන්තාවක් වීම විශේෂයි. ඔබට එය අවශ්‍ය නම් ඒ දේ වෙනුවෙන් කැප වී වැඩ කරන්න. නියතවම ඔබට යම් දිනෙක එහි ප්‍රතිඵල ලැබෙනවා.“

මේ ප්‍රභාමත් යෞවන නිලධාරිනියගේ දීප්තිමත් දෙනෙතින් ප්‍රකට ආත්ම විශ්වාසය හැඟීමක් හමුවේ බිඳ වැටෙන තරුණ තරුණියන් වෙත පෙන්විය හැකි නම් කොපමණ අගේ දැයි කල්පනා කළෙමි.

Comments