පාසල් තෙවන වාරය සඳුදා ඇරැඹේ | සිළුමිණ

පාසල් තෙවන වාරය සඳුදා ඇරැඹේ

ලංකාවේ සමස්ත පාසල් 10,165 අතුරින් බස්නාහිර පළාතේ හා හුදකලා කළ පොලිස්බල ප්‍රදේශවල පාසල් හැර සෙසු පාසල් 23 සඳුදා උපරිම සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් විවෘත කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල සී. පෙරේරා සිළුමිණට පැවැසීය.

සිසුන් වෙනුවෙන් තුන්වන වාරයේ පාසල් නිවාඩුව කලින්ම ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කළේ පවත්නා සෞඛ්‍ය තත්ත්වය මත පාසල් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙනි. ඒ අනුව තුන්වන පාසල් වාරය ආරම්භ කිරීමට නියමිතව තිබු දිනය වූයේ පසුගිය නොවැම්බර් 9 වැනිදාය. එසේ වුවත් සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් අනුව අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කළේ බස්නාහිර පළාතේ හැර සෙසු පළාත්වල පාසල් නොවැම්බර් මස 23 වැනිදා යළි විවෘත කිරීමටය.

ඒ අනුව කොවිඩ් වසංගතයේ දැඩි ව්‍යාප්තියක් ඇති බස්නාහිර පළාතේ පාසල් 1,356 ක් හැර සෙසු පාසල්වල 6-13 දක්වා ශ්‍රේණි නොවැම්බර් 23 වැනිදා තෙවැනි පාසල් වාරය සඳහා යළි විවෘත වේ. බස්නාහිර පළාත ඇතුළුව දිවයිනේ 6-11 වසර පාසල් 6,257 ක් ඇත. අතර මේවායේ පංතියක ශිෂ්‍ය සංඛ්‍යාව 15 ට අඩු පාසල් ප්‍රමාණය 28.6% කි. පංතියක ශිෂ්‍ය සංඛ්‍යාව 16-30 දක්වා වන පාසල් ප්‍රමාණය 43.6% කි. එසේම 12-13 ශ්‍රේණි පැවැත්වෙන පාසල් ප්‍රමාණය 2898 කි. එම පාසල්වල පංතියක සිසුන් 15 ට අඩු පාසල් 53.4% ක් වන අතර සිසුන් 16-30 පංති පැවැත්වෙන පාසල් 36.7% කි.

Comments