ඉංජිනේරු වෙස්ගෙන විවාහ තුනක් කරගත් අනංග රියදුරා | සිළුමිණ

ඉංජිනේරු වෙස්ගෙන විවාහ තුනක් කරගත් අනංග රියදුරා

පුෂ්පකුමාර කළුතරගේ 50 හැවිරිදි පුද්ගලයකු වුවත් පෙනුම සහ කෙරුවාව නම් තරුණ වියේ පුද්ගලයකු බඳුය. එසේම ඔහු පෙනී සිටි රැකියාවද එසේ-මෙසේ නොවේ. ඒ, ගුවන්යානා පියාසර ඉංජිනේරුවරයෙක් ලෙසිනි.මීට වසර දෙකකට පමණ පෙරදී පුෂ්පකුමාර රුපියල් 15000ක මුදලකට සුඛෝපභෝගී පහසුකම්වලින් යුත් ඇනෙක්සියක් කුලියට ගෙන පදිංචියට ආවේ කටුනායක, කෝවින්න ප්‍රදේශයටයි. ඒ රැකියාවටද පහසු බවට එකී නිවෙස හිමියන්ට ද පවසමිනි. 

පුෂ්පකුමාරගේ එම ඇනෙක්සිය පුරාම රටවලින් ලැබුණු බඩු භාණ්ඩ විය. ඒ අතරේ නිවෙසේ සෑම තැනෙකම ඔහු ගුවන්යානා පියාසර ඉංජිනේරුවෙක් ලෙස ගුවන් යානාවන්හි නියමු කුටියේ සිට විදෙස් ගුවන් නියමුවන් සමඟ ගත් ඡායාරූපද දක්නට ලැබිණි. 17 ශ්‍රී දරන මෝටර් රථයක්, ත්‍රිරෝද රියක් පමණක් නොව යතුරුපැදියක්ද ඔහු සතු විය.

එලෙස බිරියද සමඟ කෝවින්න නිවෙසේ වෙසෙන පුෂ්පකුමාර හමුවීමට දිනකට නිවෙසට යාළු-මිත්‍රයන්ද බොහෝ සේ එන බව අවට වෙසෙන්නන්ටද පෙනිණි. තවද ගුවන් යානා පියාසර ඉංජිනේරුවෙක් ලෙස රැකියාව කළද ඔහු මෑත කාලයේ රැකියාවට යනෙන බවක් නම් අවට නිවැසියන්ට පෙනී ගොස් තිබුණේ නැත. එහෙත් ඔහු ඉතාම සුඛෝපභෝගී දිවියක් ගතකරමින් සිටියේය. මේ අතරේ මීට දින කීපයකට පෙර කටුනායක පොලිසියේ උපපොලිස් පරීක්ෂක මොහොමඩ් නිෂ්මිට තොරතුරු කරුවකුගෙන් හෝඩුවාවක් ලැබිණි.

"සර්... අමුතු පොරක් කෝවින්න පැත්තෙ නිවෙසක නැවතිලා ඉන්නවා... මිනිහා සුපිරි ජීවිතයක් ගතකරන බවක් පේන්නෙ. හැබැයි මිනිහා අපට පේන විදිහටනම් හරිහමන් රස්සාවක් කරන්නෙත් නෑ... ඒ වගේම ඔහු හම්බවෙන්න දවසකට බොහෝ දෙනෙක් ගෙදරටත් එනවා... මොනවාහරි හොර වැඩක්නම් වෙනවා වගේ... පොඩ්ඩක් හොයල බලන්න සර්..."

අනතුරුව උපපොලිස් පරීක්ෂක නිෂ්මි ලැබුණු තොරතුර පිළිබඳව සොයා බැලීය. තොරතුරෙහි යම් ආකාරයක සත්‍යතාවක් තිබෙන බව හැඟුණු හෙයින් උපපොලිස් පරීක්ෂකවරයා විසින් සැණින් කටුනායක පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අකිල රණසිංහ දැනුවත් කළේය. පොලිස් ස්ථානාධිපතිවරයා විසින් ප්‍රදේශය බාර උසස් පොලිස් නිලධාරින්ද දැනුවත් කිරීමෙන් පසු කටුනායක පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ඒ. එම්. එස්. කපිල ඇතුළු කණ්ඩායමක් යොදවා පුෂ්පකුමාර විසූ නිවෙස පසුගිය ඉරිදා (15) සවස් යාමයේ වටලනු ලැබීය.

නිවෙස වැටලු පොලිස් නිලධාරින් පුෂ්පකුමාර පොලිස් බාරයට ගෙන නිවෙසේ සෑම අස්සක් මුල්ලක් නෑරම සෝදිසි කළේය. එහිදී පුෂ්පකුමාර ගුවන් යානා පියාසර ඉංජිනේරුවකු ලෙස හැඳපැලඳ විදෙස් ගුවන් නියමුවන් සමඟ ලබාගත් ඡායාරූප රැසක්ම නිවෙසේ ප්‍රදර්ශනයට තබා තිබී හමු විණි. තව තවත් සෝදිසි කිරීමේදී පොලිස් නිලධාරින් තුෂ්ණිම්භූත වූයේ හමුවූ දේවලිනි.

එලෙස හමුවූ දෑ අතර ව්‍යාජව සැකසූ මුදල් නෝට්ටු තොගයක්ද, ප්‍රින්ටර්, ව්‍යාජ ඇඳිරිනීති බලපත්‍ර, ආසියාවේ හොඳම ගුවන් යානා පියාසර ඉංජිනේරුවා ඇතුළු පුෂ්පකුමාරට ලැබුණු බවට ව්‍යාජව නිර්මාණය කළ පදක්කම්ද සහ සහතික පත්ද විය. තවද කටුනායක ගුවන් තොටුපොළට යාමට-ඒමට සැකසු ව්‍යාජ අවසර පත්‍රයක් සහ විවාහ සහතික දෙකක්ද සොයා ගැනිණි.

ඒ අතරේ හමුවූ ඇඳිරිනීති බලපත්‍රවල තමනගේ පොලිස් ස්ථානාධිපතිවරයාගේ අස්සනද තිබෙනු නිලධාරින් දුටුවේය. ඉන් පොලිස් නිලධාරින් අත්අඩංගුවට පත් පුද්ගලයා බරැරුම් චරිතයක් බව හඳුනා ගත්තේය. සියලු දේ පොලිස් බාරයට ගෙන නිවෙසේ වූ මෝටර් රථය, ත්‍රිරෝද රථය සහ යතුරුපැදිය ද අත්අඩංගුවට ගත්තේය. කටුනායක පොලිසියට රැගෙන ආ පුෂ්පකුමාරගෙන් පොලිස් ස්ථානාධිපති අකිල රණසිංහ ඇතුළු විමර්ශන කණ්ඩායම ඔහුගේ ජාවාරමේ අගමුල සොයා පුළුල්ව විමසීම් කරන්නට වූයේය.

"මේ ගුවන් යානාවල සිටින පින්තූර මොනව ද?" පොලිස් ස්ථානාධිපතිවරයා විමසීය. "සර්... මං මිට අවුරුදු දහයකට විතර කලින් කටුනායක එයාර්පෝට් එකේ ක්ලිනින් සර්විස් එකක වැඩ කළේ... මට ඒ කාලේ ගුවන්යානා ඉංජිනේරුවන් දැක්කම හරිම ආශාවක් ඇතිවුණා මටත් ගුවන්යානා පියාසර ඉංජිනේරුවෙක් වෙන්න තිබුණනම් කියා... ඉතින් මං ඒ වගේ පින්තූර සඟරාවලින් හොයාගෙන ඒවට මගේ හිස කොටස එක්කරලා එඩිට් කළා... ඒ පින්තූර තමයි ඕවා..."

ව්‍යාජ ලෙස සැකසූ එකී පින්තූර පුෂ්පකුමාර ජාවාරම් රැසකටම යොදාගෙන ඇති බව ඔහු කොටුකර ගැනීමත් සමඟ පොලිසියට ලැබුණු තව තවත් තොරතුරුවලින් හෙළි විණි. ඒ අනුව පුෂ්පකුමාරගේ ගම් ප්‍රදේශය වෙන්නප්පුව බවටද අනාවරණය වූයේය. එසේම වෙන්නප්පුවේ ඔහුගේ නීත්‍යනුකූල විවාහක බිරිය දරුවකු සමඟ වෙසෙන බවටත් පොලිසියට තොරතුරු ලැබිණි. ‍ඇයගෙන් වෙන්ව මොහු වෙන්නප්පුවෙන්ද පලා විත් ඇති බවටද හෙළි විණි.

"එතකොට ඔය ගෙදර හිටපු ගෑනු මනුස්සයා කවුද?" විමර්ශන නිලධාරිහු පුෂ්පකුමාරගෙන් විමසූහ.

"සර්... ඒ මගේ බිරිය... හැබැයි ඒ මං තුන්වැනි වතාවට විවාහ වෙච්ච කෙනා..." ඔහුගේ එම ප්‍රකාශයත් සමඟ පොලිස් නිලධාරින් මුහුණට මුහුණ බලා ගත්තේය. අනතුරුව සැල වූයේ වෙන්නප්පුවේ නීත්‍යනුකූල බිරියගෙන් වෙන්ව පුෂ්පකුමාර ගුවන්යානා පියාසර ඉංජිනේරුවකු ලෙස පෙනී සිටිමින් රත්නපුර ප්‍රදේශයේ තවත් ධනවත් කාන්තාවකද විවාහ කරගෙන ඇති බවයි.

එම කාන්තාවටද හොර රහසේ ව්‍යාජ ඉංජිනේරුවා ලෙස පෙනී සිටිමින් මොරටුවේ තවත් ධනවත් කාන්තාවකද විවාහ කරගත් මෙකී වංචනිකයා අත්අඩංගුවට පත්වන විට එකී කාන්තාව සමඟ විසුවාය. යම් යම් තොරතුරු පුෂ්පකුමාර ගැන ඇය දැන සිටියත් ඔහු විවාහ කීපයක් කරගත් පුද්ගලයකු බව දැනගෙන ඇත්තේ පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් පසුවයි.

ඇය සමඟ කෝවින්නෙ ඇනෙක්සියේ වෙසෙන අතරේ සිංගප්පූරුවේ සිටින කාන්තාව මොහුගේ ජඩ වැඩ කිසිවක් නොදැන පුෂ්පකුමාරට මාස්පතා යහමින් මුදල්ද එවා ඇති බවටද පොලිසියට අනාවරණය විය. ඇය එලෙස මුදල් එවා ඇත්තෙ මෙරට තුළ සුඛෝපභෝගී නිවෙසක් සාදා පුෂ්පකුමාර සමඟ සැපවත් දිවියක් ගතකිරීමේ අරමුණෙනි. කෙසේ හෝ පුෂ්පකුමාර මේ වන විට එම මුදල්ද යොදවා රත්නපුරේ ඉඩමක් මිලටගෙන නිවෙසක්ද ඉදිකරන බවද විමර්ශනවලදී හෙළි විණි.

කාන්තාවන් කීප දෙනෙකු විවාහ කරගත්තෙ කුමක් අරබයාද යන්න විමර්ශන නිලධාරින් විමසූ විට ඔහු එය සාමාන්‍ය දෙයක් ලෙස සලකන්නෙ ඒ ගැන කිසිදු තැකීමක් නොකරමිනි.

පරිගණක තාක්ෂණය පිළිබඳ හසළ දැනුමකින් යුත් මෙකී සොර දෙටුවා ඉඳහිට කුකුළු මස් ලොරියකද රියැදුරු රැකියාවකද නිරත වී තිබුණේය. පසුගිය කොවිඩ් සමයත් සමඟ අතමිට මුදල්ද හිඟ හෙයින් රුපියල් 15000ක කුලියක්ද ගෙවමින් ඉහළ පැලැන්තියේ පුද්ගලයකු සේ විසූ හෙයින් පුෂ්පකුමාර තවත් ජාවාරමකට අත ගසා තිබුණේය. ඒ ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණයටයි.

කටුනායක පොලිසිය නිවෙස වටලන මොහොතේ ඊට යොදාගත් මුද්‍රණ යන්ත්‍රයක් සහ එලෙස මුද්‍රණය කළ ව්‍යාජ පන්දහසේ නෝට්ටුවක් දහසේ නෝට්ටු දෙකක් සහ පන්සියයේ නෝට්ටු 33ක්ද හමු විණි. ඊට අමතරව ගුවන් තොටුපොළට යාමට-ඒමට ව්‍යාජ අවසර පත්‍රයක් සහ ව්‍යාජ ඇඳිරිනීති බලපත්‍ර ම්‍රදණය කර තිබුණේ කූට උපක්‍රමයක් යොදමිනි.

ඒ පිළිබඳව කටුනායක පොලිස් ස්ථානාධිපති අකිල රණසිංහ කීවේ,"මේකා මුලතිව් ඕඅයිසීගේ සීල් එකට මගේ අස්සන ස්කෑන් කරලා දාලා... ඒ වගේම සීදුවේ පීඑච්අයි මහත්මයාගේ අස්සනත් මුලතිව් පීඑච්අයිගේ සීල් එකට ස්කෑන් කරලා දාලා..."

තවද ආසියාවේ හොඳම ගුවන්යානා පියාසර ඉංජිනේරුවරයා ඇතුළු ඔහු ලැබුණු සඳහන් පදක්කම්ද පුෂ්පකුමාර විසින්ම ව්‍යාජව නිර්මාණය කර ඇති බවද පොලිසිය අනාවරණය කරගත්තේය. එසේම ප්‍රංශයේ එයාර්බස් සමාගම, රුසියාව, බ්‍රිතාන්‍ය වැනි දියුණු රටවල ගුවන්යානා නිෂ්පාදන සමාගම්වලින් ඔහු වෙත නිකුත්කර ඇති බවට ව්‍යාජව සකස් කළ සහතිකද විශාල ප්‍රමාණයක් විය. පුෂ්පකුමාර නීත්‍යනුකූල විවාහයෙන් පසු කාන්තාවන් දෙදෙනාම විවාහ කරගත් බවට වන විවාහ සහතිකද ඔහු විසින්ම ව්‍යාජව නිර්මාණය කර තිබූ බවකි.

පුෂ්පකුමාර සමඟ ඇනෙක්සියේ විසූ තෙවන විවාහක බිරිය වන කොළඹ නගරයේ වෙළෙඳසලක්ද තිබෙන බවට සැලවෙන මොරටුවේ කාන්තාව පොලිසියට කීවේ, "අනේ සර්... මං මේ මිනිහට අහුවුණානේ... එයාර්පෝට් එකේ වැඩ කරනවයි කියපු නිසා මගේ ඉඩමකුත් ඔය මිනිහා නමට ලිව්වා..."

නිවෙසේ හිමියන්ටද ගුවන්යානා පියාසර ඉංජිනේරුවරයකු ලෙස පෙනි සිටිමින් සුපිරි දිවියක් ගතකළ ඔහු පිළිබඳව නිවෙස් හිමියන්ද පොලිසියට කියා ඇත්තෙ, "එයා එයාර්පෝට් එකේ ලොකු තනතුරක් දරන කෙනෙක් කියලයි අපි හිතුවේ... ඒකයි අපි අපේ නිවෙස ඔහුට කුලියට දුන්නෙ...." ‍‍‍

කටුනායක පොලිස් ස්ථානාධිපතිවරයා පුෂ්පකුමාරගෙන් විමසූවේ, "ඇයි මේ වගේ ජාවාරම් කළේ" කියායි.

"සර් මට ඕන වුණේ සල්ලිකාරයෙක් වගේ පෙනි සිටිමින් සුඛෝපභෝගි දිවියක් ගතකරන බව ලෝකෙට පෙන්නන්නයි..."

ඔහුගේ එවන් ආටෝප සිතිවිලි නිසාවෙන් අවසානයේ අමාරුවේ වැටුණේ කාන්තාවන් තිදෙනෙක් සමඟ ඔහුගේ දරුවායි. පසුගිය 16 වැනිදා මිනුවන්ගොඩ අධිකරණයට ඉදිරිපත් කළ පුෂ්පකුමාර ලබන 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කෙරිණි.

Comments