සම්මානයේ චෞරත්ව­ය ට රජත පුස්තක හා ගොඩගේ ජූරියත් වග­කිව යුතුද? | සිළුමිණ

සම්මානයේ චෞරත්ව­ය ට රජත පුස්තක හා ගොඩගේ ජූරියත් වග­කිව යුතුද?

සම්මාන ප්‍රදානෝත්සව දෙකකින්ම සම්මානිත වු සුජාතා අලහකෝන් විසින් රචිත “ඒත් අපි පියාඹමු” නම් යොවුන් සාහිත්‍ය කෘතිය නිර්මාණ චෞරකරණයක් යැයි මේ වන විට හඳුනාගෙන තිබේ. එය එසේ සිදු වී ඇත්තේ විනිශ්චය මණ්ඩල දෙකක ම එය එසේ යැයි හඳුනාගත නොහැකි වූ පසුබිමක ය.

මෙහිදී රජත පුස්තක සම්මාන විනිශ්චය මණ්ඩලය ලෙස ගුණසේන විතාන, දෙනගම සිරිවර්ධන හා චන්ද්‍රිකා විජයසුන්දර කටයුතු කළ අතර, ගොඩගේ සම්මාන විනිශ්චය මණ්ඩලය ලෙස සෝමා ජයකොඩි, ඉඳුනිල් පියරත්න හා සුමුදු චතුරාණී ජයවර්ධන කටයුතු කර තිබේ. විනිශ්චය මණ්ඩලවල අයට සියලුම පොත් කටපාඩම් විය යුතු යැයි අප සිතන්නේ නැත. එබැවින් පළමු වගකීම අදාළ කතුවරයාගේ විය යුතුය; කතුවරයා තම නිර්මාණයට අවංක නොවීම මූලිකම ගැටලුවයි. ඒ සම්බන්ධයෙන් පළමු වෙඩි මුරය පත්තු වුණේ සමාජ මාධ්‍යයෙහි ය.

කෙසේ වෙතත් මෙහිදී ඇතැම් ලියුම්කරුවෝ ආභාසය හා අනුකරණය යන්න ද පටලවාගත් තත්ත්වයකට ද පත්ව සිටියහ. ඒ අනුව ඒ වනාහි විචාරය ද අවිචාරය ද යන්න සොයාගත නොහැකි තත්ත්වයක් ද නිර්මාණය වී තිබුණි. උදාහරණයක් වශයෙන් ධර්මසේන හිමියන්ට සද්ධර්මරතනාවලිය ලියැවෙන්නේ ජාතකට්ඨකතා පදනම් කර ගනිමිනි. සියබස්ලකර ලියැවෙන්නේ දණ්ඩීන්ගේ කාව්‍යාදර්ශය පදනම් කරගනිමිනි. නමුත් එකී ආභාසය කොපි කිරීම් හෙවත් අනුකරණ හැටියට ගැනෙන්නේ නැත. එසේ ගත් කල සුජාතා අලහකෝන් විසින් සිදු කොට ඇත්තේ නිර්මාණකරණයක් නොවේ. පිටපත්කරණයකි. එය මහ දවාලේ කළ පික් පොකට් ගැහිල්ලකි.

සාමාන්‍යයෙන් පික් පොකට් ගසා දුව යන්නකු පසුපස දුවන පිරිසක් සිටිති. ඇතැමුන් ඒ හඹා යෑම කරන්නේ සැබෑ ලෙසින්ම ඒ හොරකමට විරුද්ධ නිසා ය. නමුත් ඒ අතර තමන්ගේ හොරකම් වසා ගැනීමට කෑ ගසමින් දුවන අයෙක් හෝ කිහිප දෙනෙකු ද සිටිය හැකිය. මෙම චෞර නිර්මාණ කෝලාහලයේ දී එය ද අනාවරණය විය.

තවද එය හරහා ආයතනික මට්ටමින් සිදු කෙරෙන විනිශ්චයන් පිළිබඳව ද කතාබහ ඇවිල ගොස් තිබේ. සාහිත්‍ය මාසයේ දී විශේෂයෙන්ම පොත් ප්‍රකාශන සමාගම් මුල් කොටගෙන ඇතිවන විනිශ්චයන් සෑම විටකම වාගේ තෝරාගත් කල්ලියක් වෙනුවෙන් සිදු කෙරෙන ලොතරැයි ඇදිල්ලකට සමාන යැයි පොදු ලේඛකයන්ගෙන් මෙන්ම විචාරකයන්ගෙන් නැඟෙන චෝදනා උස් හඬින් නො ඇසෙන තැනකට ප්‍රකාශන අධිපතිවාදය විසින්ම කටයුතු කොට ඇත්තේ ඇතැම් විට සිය හිතවත් ලේඛකයන්ගේ ද සහාය ඇතිව ය. එනිසාම සුජාතා අලහකෝන් හරහා ගොඩ නැඟුණ මේ කලබැගෑනිය හුදෙක් ඇයට එරෙහිව එල්ල වුණ චෝදනාව ද ඉක්මවා යමින් අර සාහිත්‍ය අධිපතිවාදය හා කල්ලිවාදයට එරෙහිව නැඟුණ උස් හඬක් බවට ද පත්වනු දැකිය හැකි විය.

අනිත් අතට සාහිත්‍යයික විනිශ්චයක් ලබා දීම යනු කොන්තරාත්තුවක් නොවේ. ඒ වෙනුවෙන් තිබිය යුතු ප්‍රාමාණික දැනුම ඒ විනිශ්චයන්ගෙන් ප්‍රකට විය යුතු ය. එතන දී කල් තියා සැලසුම් කළ විනිශ්ච වෙනුවෙන් දීමනාවක් ලබා දී අහුලා ගත්තවුන්ගෙන් විනිශ්චය මණ්ඩල නිර්මාණය කිරීමට එරෙහිව ද හඬක් මතු විය යුතු ය. සියලු විනිශ්චය මණ්ඩල එසේ යැයි මෙයින් අදහස් නොවේ.

කෙසේ වෙතත් මෙම නිර්මාණ චෞරකරණයේ පළමුවැන්නා සුජාතා අලහකෝන් නොවේ. අන්තිමයා ද ඇය නොවන බවට සැක නැනිවම ඔට්ටු තැබිය හැකි ය. නිදසුනක් ලෙස නාට්‍ය කලාවට සම්බන්ධ කෘතියක් ලියු මහාචාර්යවරයකුට එරෙහිව ද මෙවැනිම චෝදනාවක් නැඟුණි. එය ඉංග්‍රීසි කෘතියක් මුළුමනින්ම පරිවර්තනය කොට තමන්ගේ නමින් ඉදිරිපත් කොට තිබුණේ යැයි ප්‍රධාන ධාරාවේ පුවත්පතක් හරහා මහත් ආන්දෝලනයක් ඇති කළ ඒ සිද්ධිය ද මේ හා සමාන නොවන්නේ දැයි සිතා බැලීම වටී.

සිය උගත්කමේ සිවිල් බලය යොදා ගනිමින් සාම්ප්‍රදායික කලා ශිල්පීන්ගේ අත් පිටපත්, මෙන්ම කෘති රැගෙන විත් තමන්ගේ ශාස්ත්‍රීය කෘති ලෙසින් ඉදිරිපත් කරන්නවුන් මේ රටේ නැද්දැයි සොයා බැලීමට මෙය හොඳ අවස්ථාවකි. ඒ ආකාරයේ නිර්මාණ මෙන්ම ශාස්ත්‍රීය චෞර හැසිරීම් වලින් අපේ මේ සාහිත්‍ය ක්ෂේත්‍රයට අඩුවක් නැත. එනිසා සමස්තයක් වශයෙන් මේ චෞරකරණයට එරෙහිව සංවාදශීලි හඬක් නැඟීම හුදෙක් පෞද්ගලික ඉස්මතු වීම් වෙනුවෙන් හඬ නඟනවාට වඩා හැම අතින්ම වැදගත් ය. මන්දයත් ඉහතදීත් කී ආකාරයට මේ අවාසනාවන්ත තත්ත්වයේ පළමුවැන්නා හෝ අන්තිමයා මේ චූදිත ලේඛිකාව නොවන බැවිනි.

සාහිත්‍ය සමය වෙනුවෙන් පොත් ප්‍රකාශකයන්ගේ මැදිහත්වීම අතිමහත් වැදගත්කමක් වේ. ඒ නිසාම එහි වටිනාකම් ආරක්ෂා කරගැනීම පොදුවේ වැදගත් සාහිත්‍යවේදීන්ගේ ද යුතුකමක් වන්නේ ය. මෙතනදී විශේෂයෙන් ම සාහිත්‍යකරුවන්ගේ ආචාර ධර්ම පද්ධතියක් වෙනුවෙන් ඔවුන්ගේ පෙනී සිටීම අවශ්‍යම කටයුත්තක්ය කියන තැනට කරුණු යෙදී තිබේ. එසේම ඔවුන්ට ද එය අදාළ ය. එසේ නොවුණහොත් ආයතනික කීර්ති නාමයන්ට පවා සිදුවිය හැකි බරපතළ තත්ත්වය මෙම සිද්ධියෙන් මැනවින් පෙන්නුම් කොට තිබේ. ඉදින් එවැනි පසුබිමක හුදෙක් පුද්ගල සාධකයක් මත පවතින මේ කෝලාහලය පුළුල් කාර්යයක් ඉටු නොකරනු ඇත. තව දවස් කිහිපයකින් මෙය නැති වී යනු ඇත. යළිත් සිදු වු ආකාරයෙන් ම ඒ සියල්ල සිදු වෙනු ඇත.

ඒ අනුව සිදු විය යුතුව ඇත්තේ ප්‍රදර්ශනකාමී හිස් සාහිත්‍ය සැණකෙළියකට පාර කපා ගැනීමක් නොවේ. පොප් කෝන් ගානට සාහිත්‍ය කෘති පත් කිරීමක් නොවේ. කීර්ති නාමයක් සහිත පොත් ප්‍රකාශනයක් වෙනුවෙන් ආචාර ධර්ම පද්ධතියක් ඇති කරගැනීමේ අරමුණින් පුළුල් සමාජ සාහිත්‍යයික කතිකාවතක් නිර්මාණය කර ගැනීමයි. ඒ වෙනුවෙන් පෙනී සිටීමයි. ඊට ලේඛකයන්ගේ මැදිහත්වීම අවශ්‍ය ය. පාඨකයන්ගේ සවිඥානකත්වය මෙන්ම පොත් ප්‍රකාශකයන්ගේ දායකත්වය ද අවශ්‍යම ය.

 

රජත පුස්තක හෝ ගොඩගේ සම්මාන විනිසුරු මඬුල්ලේ සාමූහික පිළිතුරු නිවේදනයකට ඉඩ ප්‍රස්තාව විවෘතය.එය උපරිම වචන 800 නොවැඩි විය යුතු බව කරුණාවෙන් සලකන්න.

Comments