සතියේ කවි පොත | සිළුමිණ

සතියේ කවි පොත

කෘතිය - පිරිමි ඔක්කොම බුදු වුණාදෙන්

කර්තෘ - ධර්මපාල පතිරණ

ප්‍රකාශන - කර්තෘ ප්‍රකාශනයකි

විමසීම් - 0712956766

"පිරිමි ඔක්කොම බුදු වුණාදෙන්" ධර්මපාල පතිරණගේ පළමු කාව්‍ය සංග්‍රහයයි. මින් පෙර ඔහු විසින් "ඔවුහු කවන්දයෝ වූහ" නමින් කෙටිකතා සංග්‍රහයක් ද පළ කර ඇත. වසර තිහකට වැඩි කාලයක් ගුරු වෘත්තියේ නියැළි ඔහු ගේ විෂය වූයේ සිංහල භාෂාවයි. පාසලේ උසස් පෙළ පන්තියේ ඉගෙන ගන්නා කාලයේ පටන් කවිය කෙරෙහි විශේෂ ඇල්මක් දැක්වූ ඔහු නිරන්තරවම පුවත් පත්වලට කවි ලිවීමෙන් ලද අභ්‍යාසය ඔහුෙග් කවි පෝෂණය වීමට එක් මඟක් විය.

"මම උසස් පෙළ පන්තියේ ඉගෙනුම ලැබුවේ එක්දහස් නවසිය හැත්තෑ හතර හැත්තෑ පහ කාලයේ. ඒ කාලයේ පත්තර වලට ලියන්න පටන් ගත්ත මම අදත් පත්තර වලට කවි ලියනවා. ඒ ලිවීමෙන් මම අපමණ සතුටක් ලබනවා" ධර්මපාල කවියා පවසයි. තම කවියක් පුවත්පත් මාධ්‍යයක පළවනු දැකීම තරම් සතුටක් කවියෙකුට තවත් නැත. ඒ එදා සිටි කවියන්ටය. අද නම් බොහෝ කවි ලියැවෙන්නේ, යොවුන් කවියන් බිහි වන්නේ මුහුණු පොතිනි. කෙසේ වෙතත් එදා පුවත් පත්වල කවී ලියු කවියන්ගේ නිර්මාණ තුළ යම් විනයක් සංයමයක් තිබුණේ යැයි සිතෙන්නේ ඔවුන් ඒ සඳහා යොදා ගත් භාෂාව හා එය කියන විලාශය අනුවය "පිරිමි ඔක්කොම බුදු වුණාදෙන්" කාව්‍ය සංග්‍රහයේදී අපට එවන් කවි බොහොමයක් හමුවේ.

සාමාන්‍යයෙන් නම් සන්ධ්‍යාව අසුන්දර නැත. ඉර බැහැගෙන යන හැන්දෑ අඳුර ගෙට කැන්දන සන්ධ්‍යාව සුන්දරය. නමුදු ඒ සුන්දරත්වය ඇතැමුන්ට අසුන්දරය. ඒ ඔහු සතු කුමක් හෝ ළතැවිල්ලක් නිසාය. සැන්දෑව අසුන්දර වුයේ ඇයි දැයි කවියා එක එල්ලේම පාඨකයාට පවසන්නේ නැත. නමුදු ඔහු යම් යම් ඉඟි සපයයි. එක්කෝ පෙම්වතිය තරහා වී ඇත. නැත ඔහු එන්නේ නිවෙසටය. නිවසක් පාළුවන්නේ බිරියක් නැති විටය. එක්කෝ කවියා අවිවාහකය. නැතිනම් බිරිඳගෙන් නිවෙස හිස් වී ඇත. කුමක් වුණත් ඔහු ඒ පාළු සැන්දෑවට අකමැති ඔහුට අතීතය හා සම්බන්ධ බොහෝ දේ මතක් වන නිසා වන්නට ඇත. මාතෘකාව "අසුන්දර සන්ධ්‍යාව"

“ගෙටම ගොඩවී

අඳුරේම

අහුමුලු අතගාන

අශෝබන සන්ධ්‍යාව

බදු අරන් ජීවිතේ...

ඉඳුරන්ව බය කරයි

සිත ගෙලින් සිර කරයි

මට මාව නැති කරයි

අසුන්දර සන්ධ්‍යාව...

ගැහැනිය සුන්දරය. ඇය ළද බොළඳය. ඇය දරුවන් මෙළොවට බිහිකරන්නීය. ඇය දරුවන් පෝෂණය කරන්නීය. ස්වාමියා ගෙන් පිහිටක් හවුහරණක් නැති වුවත් ඇය දරුවන් අත නොහරියි. ඇය දරුවන්ගේ අනාගතය හදයි. එහෙත් ගැහැනියට සැනසිල්ලක් නැත. විටෙක සමාජයෙන් ගෞරව සම්මාන ලබන ඇයම, තවත් විටෙක සමාජය විසින් පිළිකුල් කරයි.

මේ එවන් ගැහැනියක දුටු කවියා කියන කතාවකි. ඔහුට හමුවන ඇය මැටිල්ඩාය. මැටිල්ඩා ජීවත් වන්නේ බුලත්විට විකුණාය. ඇගේ ජීවිතයේ ඇති අනන්ත අප්‍රමාණ දුක් කන්දරාවන් ඇය කියයි. ඇය ඇගේ දුක කියන්නේ බුදු හාමුදුරුවන්ටය. ඇයට බුදු පුදට අලුත් මල් නැත. හිත කෙළෙස් වලින් පිරී ඇත. විවිධ සිතුවිලි පහළ වන ඒ හිත සෝදා හැරියාට වැඩක් නැත. නෙළුම් මල් පිපෙන්නේ මඩේය. නමුදු තවමත් ඒ මඩවුණ හිතේ හොඳ සිතුවිලි උපදින්නට ඉඩක් සැකසී නැත. පෝයදාට පන්සලේදී ඇය අසන බණ පද ඇගේ සිත රිදවයි. ඇගේ ගැහැනු ආත්මය ගැන ඈ තුළ ඇත්තේ ළතැවිල්ලකි. විවිධ හැල හැප්පිම් වලට ලක් වූ ඇගේ ජීවිතය බුලත් හපයක් වැනිය. විවිධ සංඛේත උපමා රූපක වලින් කවියා කියන්නට යන්නේ මැටිල්ඩා නම් දරිද්‍රතාවෙන් පෙළෙන, එනිසාම විවිධ ඛේදවාචකයන්ට ලක් වූ ගැහැනිය ගැනයි. මැටිල්ඩා කියන්නේ ගැහැනුන්ට බුදු වීමට වත් ඉඩක් නැත. එයට හේතුව ගැහැනියක වීමයි. නමුත් වෛරයෙන් නොව ඇය පවසන්නේ "පිරිමි ඔක්කොම බුදු වුණාදෙන්" කියාය. මැටිල්ඩා ලවා කවියා මේ කියවන්නේ සමාජයට අපහාසයක් ලෙසින් නොව සෝපාසයෙනි. ඒ යෙදුම කවියට එළියක් ගෙනේ යැයි සිතේ. මාතෘකාව "පිරිමි ඔක්කොම බුදුවුණාදෙන්"

පහත දැක්වෙන්ගේ ඒ කවියෙන් උපුටාගත් කොටසකි.

උපන්දා සිට උරුම කරුමය

පෙරත් බවයක කරපුවාදැයි

කවුද දන්නේ හාමුදුරුවනේ

බුලත් හපයක් වගේ හිතුණට

හරි බරයි දැන් ජීවිතේ.....

විට කඩේ පාමුලත් අඳුරුයි

ඒ වුණත් දොර වහං කොහොමද

කල් වැඩියි තව රෑ වුණාදෙන්...

 

පෝය දවසෙ පන්සලේදී

ඇනුණ බණ පදයක් පපුවටම

ගෑනු බුදුවෙන්නේම නෑලූ

ගෑනු ලිංගය නිසාවෙන්...

තරහා අවසර හාමුදුරුවනේ

පිරිමි ඔක්කොම බුදු වුණාදෙන්

ගෑනු බෝ පැළවලට පිටදී

මං මැටිල්ඩා

විට කඩේ....

දැන් දැන් ජීවිත වල වටිනාකමක් නැත. විශේෂයෙන්ම මනුස්සකම මවුවත්කම විකිණී ඇත. මුදලට එවන් සමාජයක බිලිඳු මළ සිරුරක් කුණු කානුවකින් හමු වීම ද අරුමයක් නොවේ. කුමන හෝ හේතුවක් නිසා දසමසක් කුසදරා සිටි දරුවා ලොව එළිය දුටු දා මියයන්ට හැර හෝ මරා දමා කුණු කානුවට දමා යන්නේ මාතෘත්වයට නිගාකරමිනි. එවන් පුවතක් ඔස්සේ කවියා මෙලෙස ලියයි. දරු ගැබ දරා සිටින මෑණියක් පිහිට පතන්නේ පත්තිනි මෑණියන්ගෙනි. නමුත් අද මේ සංකර සමාජයේ පත්තිනි මෑණියන් සඳසි කාන්තාවන් නැත. පත්තිනි මෑණියන් සතු වටිනාම වස්තුව සලඹය. ගැහැනිය සතු වටිනාම වස්තුව විලි බිය, නමුදු දැන් ඒ සියල්ල මේ සමාජය තුළ විකිණි අවසන්ය. කවියා පුවතක් ඔස්සේ ලියන්නේ එවැනි කතාවකි. මාතෘකාව සලඹ විකිණෙන කොළඹ.

“අනඟ තරු පිපෙන

තරු පහේ හෝටලේ

කළල තඹුරු කැකුළිඳු

පරව කාණුවේ

හත් පත්තිනි මෑණියනේ

සලඹ නුඹ විකිණෙයි

යකඩ බඩු කඩේ”

විවිධ මාතෘකා යටතේ ලියැවුණ සමාජයේ විවිධ පැතිකඩයන් පිළිබඳ විවරණය කරන, කවි පන්ති රැසක් ‘පිරිමි ඔක්කොම බුදු වුණාදෙන්’ කාව්‍ය සංග්‍රහයේදී අපට හමුවේ.

Comments