කවි සිළුමිණ | සිළුමිණ

කවි සිළුමිණ

සුපූජිත සඟ රජිඳාණෝ

සිල් ගුණ නැණ උදුළ මහ නා හිමිපාණ

නිල් මැණිකක් වැ මෙ සසුන් සෑ දිලිපාන

පුල් සල් තුරෙකි මාහිමි සඳ නාපාන

දැල්විණි අඳුර, නිවුණා මහ සඳපාන

සෝම සඳ කිරණ සදිසි වැ මුදු බසිනි

තාම මට ඇසේ දුන් ඔවදන් මෙතිනි

පේම නීය සිනහව වත රැඳි හෙයිනි

‘පේම සිරි’නම මැ සිරියාවෙන් දිලිණි

මහ සඟ සමඟිය මැ මෙ රටට මහ බලය

කහ සිවුරිනු යි රැකුණේ බස රැස හෙළය

මහ නා සමිඳු සිය සැකි බුදු පුත් කුලය

යහ පත පිණිස ලොව යෙදැවූ සැටි පළය

හෙළ සකු මගධ සද සත් අතැඹුල කළහ

දුළ තෙවළා පිණිස හිස කරඬුව කළහ

රළ ගසගසා යන අත ඔබ නො සැලූණහ

දළ හිදැසක් පෙනේ, ඔබ මනු දිවි හළහ

නිමල හිමි සිරිත වැනුමට වදන් මඳී

කමල පා වඳිමි මම අත් මුඳුන් දිදී

පුවළ හිමි ගමන සැරැහිය හැකි නිබැඳී

විමල සිරිතක් මැ හැම සත බලති සැදී

(ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක ධුරීණ අග්ගමහාපණ්ඩිත අතිපූජ්‍ය නාපාන පේමසිරි මාහිමිපාණන් අපවත් වීම නිමිත්තෙනි)

තිරිකුණාමලේ ආනන්ද මහ නා හිමි

 

සඳ බැලීම

එදා

ගෙපැලක

කුඩා කවුළුවෙන්

නිකිණි පෝදා

සිනාසෙන

සුපුන් සඳ

බැලූ අප...

මෙදා

සියක් ගව්

දුර ඈත

මතුමහල් තල හිඳ‍‍

පුළුල් කදා කවුළුවෙන්

නරඹමුව

කඳුළු සලනා

නිකිණි සඳ!

තිස්ස නිහාල් වික්‍රමසිංහ

 

සංසාරික බැඳිම්

කොළ පාට තුරු පත් අතර

පාට කළ පාට කොළ

නුඹේ ගවුම වගේමයි

පෙර දාක මා හමුවෙන්න

ඔබ ඇදන් ආව....

මඳ සුළඟ ඇවිත් අද

මතක් කළ නුඹේ දෙතොල

නා දලු වල තියෙන

තුටු පහස විඳ විඳ

සීතලට ළං වෙන්න...

අතින් අත පටලමින්

ළං වේවී කොඳුරමින්

තුරු හිස් පුරා පිපෙන

මල් සුවඳ තුරු යහන සරසමින්

අපුරු සිත්තමක් වගේමයි

ආදරය විඳින විට

නුඹේ හුස්මේ රිද්මයට

දැහැන් ගත වෙන මේ සිත..

මංජුල සෙනෙවිරත්න

 

 

යළි එන්න

ඔබ හමුවි ආදරයේ

දුක් ගී පෙළ යළි ගයන්න

ආසයි ඒ දුක අතරේ

සැඟවුණු ආදරේ විඳින්න ...

කඳුළු ගඟකි මගේ ඇස් දෙක

ඔබට එපා එය පෙනෙන්න

ආසයි මම නොගැයු ගීය

සිහිකර මගේ නෙත් තෙමන්න...

කඳුළු සයුර මැද සරණා

සිත් යායට මල් පිපෙන්න

සිනා වැස්ස අරන් මගේ

හද කතරට යළි වඩින්න...

කේ. පි. ජනක ප්‍රසන්න

 

ආදර පෙම්වති

නුඹත් අම්මා කෙනෙක්

ආදර සිතුවිලි ඇති

ඒ වූණත් නුඹ මගේ

සිත රැඳි ආදර පෙම්වති...

දරු ස්නේහයෙන් ඔද්දල් වේවී

නුඹ මෙමට පෙම්

නොකරනවා වෙන්නැති

ඒ වුණත් නුඹ මගේ

හිත රැඳි ආදර පෙම්වති...

සසරේ බොහෝ දුර

ගෙවා එන්නැතී

අතර මඟදි ආයෙමත්

හමු වෙන්නැති

නුඹ දන්නේ නැතිවට හිතවති

නුඹ මගේ හිත රැඳි ආදර පෙම්වති..

විශ්ව ජයමිපති බණ්ඩාර

 

 

 ඇයත් අම්මෙකි

කඳුළු මිරිකා ඇළට විසිකර

හිරුගෙ රස්නෙන් පිළිස්සෙන

තව පතොක් මල් ඔට්ටුවට

මරාගන්නැති රිදෙන දෙනයන

සමන් මල් ඇති නොකිවුවත්

තිඹිරි ගෙදරත් තවත් කොච්චර

නොදුටු අබිමන් හිසෙන් අතැහැර

හිතේ සංකා මිටින් තද කර

ඔටුණු කොස් කොළ තබා හිස මත

හැඩ බැලූ දා නුඹ රජෙකු කරනට

සිතුනෙ, කසළ අහුලන සිතට විතරද

කුස තණ මිටක් ගෙන මිරිකන්නට

කසළ ශෝධක මෙමට සැමදින

රොසින් බැ, යෑ නිතර නිතරම

කයෙත් නෑ පුත, සුවඳ ඉතිරෙන

කැඩී ගිය දා අප රකින අත්තිවාරම

යද්දි පොලිතින් මලු පුරවගෙන

නහය වැහුවත් අහක බලමින

මගේ රන් කඳ කඳුළු නම් බැහැ

නවත ගන්නට ඇස් අගින් වැගිරෙන

වාසනා බාලසූරිය

 

 

 අමාවක අවැසිමයි

සඳකටත් තනි වෙන්න

කවියන්ගේ ඇස් බැල්ම

නොවැද සැඟවී ඉන්න

පිරිවරන තරු සෙනඟ

අතැර බෝ දුර යන්න

අමාවක අවැසිමයි

සඳකටත් තනිවෙන්න....

පුරපසෙහි වතපුරා

තවරගත් වත්සුනුද

පැලඳගත් සළුපිළිද

හැරපියා

කොහේ හෝ මේකුළු අතර

නෙත් සොරොව් බිඳලන්න

වැස්සක්ව වැගිරෙන්න.....

අමාවක අවැසිමයි

සඳකටත් තනිවෙන්න...

ලහිරු දෙද්දුවකුමාර

 

දෙවියනේ ඔබ හරිම කුරිරුයි

ලෝකයක් එක ලෙසින් මැරී බිම වැටෙද්දී

කාලයක් නොතියාම මිනී වළ දමද්දී

පාරකින් පාරකට වසා හිස නවද්දී

අනේ ඔබ උන්නෙ කොහෙ දෙමවුපියො අඩද්දී

පන්සලේ පල්ලියේ කෝවිලේ හැම තැනක

ළං වුණේ ඉල්ලන්න නවතන්න ලෙඩ දුකක

පෙම් කළේ ඔබලාට එක ලෙසින් ඇති හිතක

පරකළේ ඇයි දෙවුනි සිතක් හිනැහුණු මලක

මගේ බුදු හිමියනේ ජේසුණේ හැම විටක

අපේ සිත් කුමකටද තලන්නේ මේ ලෙසක

ඔබේ ගුණ බල මඟින් නවත්වා ලෙඩ දුකක

අපිට ආසයි ඉන්න පෙර සතුට ගෙන රැයක

ශක්ති සංකල්ප පෙරේරා

 

 අම්මේ හනිකට එන්න

සුදු සඳ වසා කළු පැහැ වැහිවලා ඇදේ

අම්මා එතෙර ගිය දින රෑ සිතෙහි රැදේ

අදවත් ගෙනාවද කිරි පැනි අනේ හො‍ෙඳ්

මල්ලී අන්න නිදි ලණු පිට කබල් ඇඳේ

උලලේනියේ දොරකඩ කොස් ගසට වෙලා

හඬනා විටදි නුඹ අප සිත් බියෙන් පෙළා

අම්මා සිටිය නම් අපි ඈ ළඟට වෙලා

තුරුලුව හිඳිමු ගුලිවී ගෙල දෑත් වෙලා

තව නැත තාත්තා ආවේ ගෙදර අනේ

සුළඟත් සැරයි දිරු වහලත් සැලෙනු පෙනේ

මල්ලී ඔතා මගෙ ගවුමක රුවා ඉනේ

මිදුලට පනිමි අම්මේ ඔබ එන්න අනේ

දෙන්නට අපට සැප සම්පතක් රැස් කරලා

අම්මා ගියේ දෙවියනි අප තනි කරලා

කාලා පාන් පෙත්තක් තුරුලේ රැදිලා

ඉන්නට නැති නිසයි අප පෙර පින් කරලා

ඩයනී මාලිකා

 

කඳුළු බිඳ

අස්වැසිල්ල අත් විඳිනු මැන

ළං වෙන්ට බැරි

හුදෙකලා අහසක

හිස් ඉඩක් පුරවන්ට

පාරමී පිරූ

සඳ ද

සම බරැති

ප්‍රේමයේ ශේෂයන් සුරැකි

තරු රැස ද

නෙතඟ කඳුළක් උසුලන

දුරු - නුදුරු බවත් නො අසා

තුරු පත්

තණ පත් ද

ඒ කඳුළ ම උහුලන

මේ මහා ප්‍රේමය ළඟ

හිස නමන සඳ

කඳුළු බර කොහිද

අස්වැසිල්ලක් ම මිස

චමින්ද රොෂාන්

 

 මට හිතෙන හැටි..

ලැවැන්ඩර්, චෙරි බ්ලොසම්, මෙපල් වෙස් වළාගෙන

ආකාස වන පෙතේ තරු ලකුණු මකාගෙන

හේමන්ත අතවරෙන් මිදෙන්නට හිතාගෙන

වැහි ළිහිණියන් හිටියෙ වැරෙන් කන් යොමාගෙන

බස්සෙකු ගෙ ගීතයට මියුරු තනුවක් තබා

රැහැයියන් පැලඳගෙන සීත සෘතුවේ කබා

ත්‍රිකෝණාකාර කඳු බට පඳුරු හා සොබා

රාත්‍රිය උන් එක්ක පවත්වයි ගම්සභා

කවියකට හසුනොවන මාන ලොව තව ඇද්ද

පෘථිවි කක්ෂයෙන් පිට අප නොදුටු තැන් වෙද්ද

දරුණු ඇයි ඒ තරම් කළු කුහරයේ මැද්ද

සිතමු මොකටද ලොවට න්‍යෂ්ටික අවි යුද්ධ

පියුමි ජයකලණි වික්‍රම ආරච්චි

 

 සේයා රූ

මතක පොත සිහි කරන

අමතකම රුව ඔබේ

එදා අපි ගෙවූ දවස්

සේයා රූ තව තියේ....

මැකී ගිය හදවතේ

තවම හිඳිනා වගේ

ළඟම මහ නෑකමක්

වගේ සතුටක් දැනේ

දර්ශන රුවන් ජයපත්ම

 

ඉතිහාස පාඩම

ඔය තරම්ම

දොස් කිව්වට

විජයත් ඉතින්

ආදරේ ඇති කුවේණිට...

පැල් බැඳන් මිනිස්සු බැන්නට

පිහියෙන් අනින විට සිංහයට

රිදෙන්නැති හොඳටෝම

සිංහ බාහුට...

අපි නොදන්නවට නිතරම

විජය කුමාරයගෙ

ඉන්දියන් කුමාරිකාවටත්

සිරියහන පුරාවට

මතක් වෙන්නැති කුවේණිව...

කොළත්තෙන් සභ්‍ය වී‍

කැලේ කරක් ගහන විට

දන්නෙත් නැතුව ඇති ජීවහත්ත

දිසාලා නැඟණිය වග...

දෙදහස් විස්සක් වනවිටත්

යළි යළිත් කියවමින්

යළිඳු ලියමින්

එහෙමම තිබේ ඉතිහාසය...

කුසුම් නිශාන්ති පතිරාජ

 

 

විවාහකයාගේ පෙම්වතිය...

හද වට කොට තැනූ

ඉනි වැට පැන‍

මීදුමක් සේ සීරුවට

නුඹ... විත්

සිත් බිම් කඩට පතිත කළ

අහඹු ප්‍රේමයේ බිජුවට...

සිනා මලක්ව

පෙති දෙපෙති දලු ලා...

පිපී... දෙතොල් පෙති’තර

පවන් සලයි

ආතුරව ගැහෙන

මුළු හදම විලංගු ලා...

ඉනික්බිති,

වැළලුණු ඊයේට වඩා

උපදින හෙට දිගුයි...

නුඹේ සුසුමින්

හද ගිනි පුළිඟු ඇවිෙළයි ...

මහින්ද බණ්ඩාර විජේරත්න

 කළ යුත්තේ කුමක් ද

කළු නොවන,

කළු වීමෙන් ඉක්බිති

පොළොවට පතිත නොවන

වලාකුළක්

වේ ද ලොව කොතැනක...?

ඉනික්බිති ඒ වලාකුළ

සොම්නස ද දොම්නස ද

මහා ව්‍යසන ද

අත්පත් කර නොදෙන්නේ ද

ලෝ වැසි දනෝ වෙත...?

එය දැන දැන ම

යළි යළිත්

එවන් වලාකුළු

නිර්මිත නොවන්නේ ද

තව තව...?

ඉදින් අපි

කුමක් කරමු ද

ඒ වලාකුළු

නිර්මිතයට එරෙහිව...?

ජයසිරි අලවත්ත

 පාරුව

ගඟ දියේ පාරුවක් ඉහළ යයි, පහළ එයි,

ගම රටට එති අයෙක්, ගම රටෙන් යති අයෙක්,

ගඟ ඉවුරු ඉම දෙගම හඳුනාය එකිනෙකා,

උදේ සිට රෑ අඳුර එන තුරා දනෝ යති එති ගඟ මතින්.

දුර ඈත සිදු වේය බොහෝ කලකෝලහල, විපත්

ඉතිහාසයේ පුවත් ලියැවී, වෙනස් වී යළි යළිඳු ලියැවේ

ඉහිරුණු රුධිර දහරා මත පෙණ නගා

බිඳී විසිරී යයි රන්වන් බුබුළු මොහොතින්

ශිෂ්ටාචාරයේ අලුත් සාගත, සා පිපාසා

වපුරති වස විස, පැණි රසැති දුක් කඳුළු

ඉවුරු මත හිඳ බලති එකිනෙකා දෙස දෙගම

මුළු මහත් විසල් ලොව යන්තමින්වත් නොහඳූනන.

ඇදී යයි පාරුවද හැමදාම දිය මතින

ගම රටට එන අයද, ගම රටෙන් යන අයද රැගෙන.

(ප්‍රකට ඉන්දියානු කිවියර රබීන්ද්‍රනාත් තාගෝර් විසින් රචිත කාව්‍ය නිර්මාණයක් ඇසුරිනි)

රබීන්ද්‍රනාත් තාගෝර් ඉන්දියාවේ පහළ වූ විශිෂ්ටතම කවීන්ද්‍රයා ලෙස පිදුම් ලබන රබීන්ද්‍රනාත් තාගෝර් ඉන්දියානු පුනරුදයේදී වඩාත්ම කැපීපෙනුණු සාහිත්‍යමය මෙහෙවරක් ඉටු කළ මහා නිර්මාණ ශිල්පියා ලෙසද සැලකෙයි. කල්කටාවේ ජොරැසැන්තෝහිදී වර්ෂ 1861 මැයි 07 වැනිදා උපත ලැබූ මෙතුමා විසින් සිය ජීවිත කාලය පුරාම කවි, ගීත, කෙටිකතා, නාට්‍ය ඇතුළු නිර්මාණ රැසක්ම බිහි කරනු ලැබීය. වර්ෂ 1931 දී නොබෙල් ත්‍යාගයෙන්ද පිදුම් ලැබූ මේ මහා කවීන්ද්‍රයා වර්ෂ 1941 අගෝස්තු 07 වැනිදා කල්කටාවේදීම අවසන් හුස්ම හෙළීය.

අජිත් නිශාන්ත

Comments