ආද­රයේ අල්මා­රිය | සිළුමිණ

ආද­රයේ අල්මා­රිය

ජනප්‍රිය ලේඛකයකු වන මංජුල සේනාරත්න මෙරට පුවත්පත්කලාවේදියකු ලෙස කටයුතු කළ අතර, වර්තමානයේ ඔහු ජීවත්වන්නේ ප්‍රංශයේය. ලාංකික පාඨකයා වෙනුවෙන් මංජුල නිරන්තරයෙන්ම සිය නිර්මාණ කාර්යයන් මෙහෙයවන අතර කෙටි කතා හා නවකතා කෘති කිහිපයක්ම ලියා ඇත. ඔහුගේ 12.12.12 සහ බියූරෝ යන නවකතා දෙක පාඨකයන් අතර අතිශයින් ජනප්‍රිය විය.

විවාහයෙන් පසුව ගෙවී යන පළමු සතිය අවසානයේදී , අලුත් නවාතැනකට යන්නට අපි තීරණය කළෙමු. අපි දෙදෙනාම ඉහළ රැකියා කරමින් සාධාරණ වැටුප් ඉපැයූ නිසා නගරයේ 27 වැනි කොටසේ , නිස්කලංක පෙදෙසක , අලුතින් ඉදිවුණු ගොඩනැගිල්ලක , තුන්වැනි මහලේ වර්ග මීටර 80 ක මනරම් තට්ටු නිවාසයක පදිංචි වන්නට අපිට හැකියාව ලැබුණි. ඒ අපේ ජීවිතවල සුන්දරතම අවදිය යැයි දැන් මට සිතේ.

මේ අලුත් තට්ටු නිවාසයේ කිසිදු ගෘහ භාණ්ඩයක් තිබුණේ නැත. ඉතාම අවශ්‍ය දේ පමණක් මිලට ගෙන , කාලයාගේ අවෑමෙන් , හෙමින් සීරුවේ නිවස ලස්සන කර ගත යුතු බව අමලි , මගේ බිරිඳගේ අදහස විය. මසක් ගෙවී ගිය තැන , සති අන්තය ගත කරන්නට කිලෝ මීටර සියයක් පමණ දුරකට ගොස් ගිමන් නිවන්නට වාහනය ගාල් කළ මොහොතේ අපි ඉදිරියේ වූයේ විශාල ලී බඩු වෙළඳ සැලකි. "ආදරයේ අල්මාරිය" අපට හමු වූයේ එහිදීය.

එය වනාහි "පොප්ලියේ" ලීයෙන් සාදා ළා දුඹුරු පැහැයක් ගත් විශාල අල්මාරියකි. මීටර හතරක් පමණ දිගය. මීටර දෙකක් පමණ උසය. ඇතුළත තට්ටු බර ගණනකි. ලාච්චු අටකි. ඇඳුම් එල්ලා තබන්නට තවත් කොටසකි. සත්‍ය වශයෙන්ම එය වනාහි අල්මාරියක් නොව අල්මාරි රජෙකි.

"මොනවටද මේ තරම් ලොකු අල්මාරියක්..අපි දෙන්නා විතරයි නේ.." මම ඇසුවත් අමලි අනාගත සැලසුමක් සකස් කර තිබුණි . යට ඇඳුමේ , මේස් කුට්ටමේ සිට ශීත කබාය දක්වා වන අපි දෙන්නාගේ සියලුම ඇඳුම් පැලඳුම් පමණක් නොව , ඇඳ ඇතිරිලි , තුවා ,අත් පිස්නා මෙන්ම මේ මොහොතේ නොමැති , එහෙත් අපේ හදවත් වල දුව පැන නටනා දරුවන් ගේ ඇඳුම් පැලඳුම් පවා මේ අල්මාරි රාජනියගේ සෙවණට එක් කළ හැකි බව ඇය කීවාය.

මිලෙන් අධික ඒ අල්මාරිය සේවකයන් පස් දෙනෙක් විසින් රැගෙන විත් නිදන කාමරයේ දිගු බිත්තියට සමාන්තරව සවි කළ විට මට හැඟුණේ නාඳුනන යෝධයෙක් පැමිණ මාර්ගය වසා ගත්තාක් වැනි හැඟීමකි. අපේ නිදහස් යුග දිවියට ඇතුල් වුණු නැන්දම්මා කෙනෙක් වැනිය ඒ අල්මාරිය. අනෙක් අතට අල්මාරිය හරි මැද සවි වී තිබුණු විශාල කැඩපත තුළින් නිතර දකින අපි දෙන්නාගේ දසුනට මම ප්‍රිය නොකළෙමි. සවස් යාමයක කරන්නට දෙයක් නැති නිසාම සිදුවන ප්‍රේම ආලිංගනය මැදදී මගේම මුහුණ කැඩපත තුළින් දැකීම මා බියට පත් කරවන්නට සමත් විය.

අමලි තම දෛනික ජිවිතයෙන් සැලකිය යුතු කොටසක් අල්මාරිය වෙනුවෙන් කැප කළාය. එහි ඇඳුම් අසුරන ආකාරය , රීතිය , පිළිවෙළ බොහෝ සැලසුම් සහගතව සිතා බැලූ ඇය , ඒ රීති සම්ප්‍රදායන්ට එරෙහිව මා ක්‍රියා කරන අවස්ථාවලදී බැණ වැදුනාය. ඇගේ අදහස වූයේ යම් අයෙකුගේ ජිවිතයේ සැලසුම් සහගත බව ඇඳුම් අල්මාරිය දෙස බැලීමෙන් වටහා ගත හැකි බවයි.

"ආදරය , යුග දිවිය කියන්නේ ඇඳුම් අල්මාරියක් වගේ. හැම දේකටම නියමිත , සුදුසු තැනක් තියනවා. කිසිම දෙයක් නොසුදුසු තැන් වල තියන්න හොඳ නැහැ. සමහර දේවල් අතට අහුවෙන මායිමේ ගන්න පහසු විදිහට තියන්න ඕනා. අනවශ්‍ය දේවල් වලට වැඩි තැනක් දෙන්න හොඳ නැහැ. වැදගත්ම දේවල් වලින් විතරයි අල්මාරිය පුරවන්න ඕනා.." මේ ඇගේ වචනයි. ඇය ජීවිතය ආදරය දෙස බැලුවේ අල්මාරියේ ඇඳුම් අසුරන ආකාරයෙනි. අඩුම තරමින් සතියකට වරක් , සාමාන්‍ය පිරිසිදු කිරීමකට අල්මාරිය හසු කළ අමලි , මාසයකට වරක් සියල්ල පිටතට ගෙන , විශේෂ දියරයක් ආධාරයෙන් හැම තට්ටුවක්ම පිරිසිදු කර, පිසදා වේළා, යළි ඇසුරුවාය. එය වනාහි පැය තුන හතරක ක්‍රියාවලියකි.

මේ ආදර අල්මාරියේ දකුණු කොටසේ හොඳින් ඉඩ කඩ ඇති තට්ටු තුනක් හිස්ව තැබීම අමලි ගේ තීරණයයි . එම තට්ටු වෙන්කර තිබුණේ අපේ හිත් වල දඟකාරකම් කළ දරුවන් මෙලොවට පැමිණි පසු ඔවුන් වෙනුවෙන් මිලදී ගන්නා ඇඳුම් පැලඳුම් වෙනුවෙනි. හිතේ සටහන් වුණු , සිහින මැවූ සියල්ලක්ම අත්පත් කර ගනිද්දී මෙලොවට නොපැමිණියේ දරුවන් පමණි. සිත්වලම ලැඟුම් ගෙන සිටියා මිස අපේ මුහුණු බලන්නට කිසිදු ආශාවක් ඔවුන්ට නොතිබුණා විය හැකිය.

එය බොහෝ ශක්තිමත් අල්මාරියකි. මුළු ගොඩනැගිල්ලම පිපිරීමකට හසුවී පොළොවට සමතලා වුවත් අල්මාරියට කිසිදු හානියක් නොවන බව පැහැදිලිය . තම ජිවිතයේ වැදගත්ම අජීවි වස්තුව , අල්මාරියට නිසි ගෞරුවය ලබා නොදුන් සෑම අවස්ථාවකම බැණුම් අසන්නට මට සිදුවිය.

ජනෙල් රෙදි වලින් බේරී කාමරයට පැමිණි හිරු කිරණ ආධාරයෙන් අප දෙස බලා සිටි අල්මාරිය රාත්‍රී කාලයේ එලාම් ඔරලෝසුවේ සීතල නිල් පැහැ ආලෝකය තුළින් අප දෙස බලා සිටියේ මහා කන්දක් පරිද්දෙනි. ඒ කන්දේ රුදුරු සෙවනැල්ලෙන් අපේ ජිවිත වැසී යනු ඇතැයි වරෙක මට සිතුණි . ඒ කන්ද නාය යාමකට හසු වී අපව යට කර ගන්නා අයුරු මම හීනෙන් දුටුමි. හොල්මන් චිත්‍රපට වල දැක්වෙන , දහවල් කාලයේ නිදා සිට රාත්‍රී කාලයේදී අවදි වී ජීවිත ගිල ගන්නා අජීවී වස්තුවක් ලෙසින් අල්මාරිය මා බියටපත් කළේය .

"ඔයා මටද වැඩිය ආදරේ , අල්මාරියටද...?" දිනක් මම ඇසීමි.

"අල්මාරියට.". ඇය ගත් කටටම කීවාය. " ඔයාගේ ජිවිතේ මට නැති ඉඩක් මේ අල්මාරියේ තියනවා. එයා ඕන වෙලාවක මාව භාර ගන්න ලැහැස්ති වෙලා ඉන්නේ. එයා දෑත් විහිදාගෙන ඉන්නවා මම එනකං ..." ඇය එදා කී හරුපයේ තේරුම වටහා ගන්නට උත්සාහ නොකළෙමි .

සෑම සිකුරාදාවකම, ඉක්මනින් රැකියාව නිම කර දහවල් දෙකට පමණ නිවසට පැමිණීම අමලි ගේ සිරිතයි.

මෙවැනි එක් සිකුරාදාවක ඇයට කලින් නිවසට පැමිණ, අල්මාරියේ හිස් තට්ටු ඉවත් කර, එහි සැඟවී, එකවරම දොර විවර කරගෙන පිටත පැමිණ බිය ගන්වා "සර්ප්‍රයිස් " එකක් දීමේ අනුවන අදහසක් මට ඇතිවිය. එය බොහෝ සරල සැලැස්මකි. ඇය දුර සිට පැමිණෙනු කවුළුවෙන් දුටු මම අල්මාරිය ඇතුළේ සැඟව ගතිමි. නිවසට ගොඩ වී, පාවහන් ගලවා, නාන කාමරයට ගොස් දෑත් සෝදා ගෙන පැමිණ යහනේ දිගා වුණු අමලි ගේ වෙහෙසකාරී මුහුණ මට කුඩා යතුරු සිදුරින් පෙනේ.

අනතුරුව ඇය දුරකථනය අතට ගත්තාය. කතා කරන්නේ කා සමඟ දැයි වැටහීමක් මට තිබුණේ නැත. "මට මේ ජීවිතේ එපා වෙලා..වෙලාවකට මැරෙන්න හිතෙනවා.." ඇය කිවේ එපමණකි.

දුරකථනය අනෙක් කෙළවරේ සිටි තැනැත්තා හෝ තැනැත්තිය කියන දේ විනාඩියකට වැඩි කාලයක් අසා ගෙන සිටි මගේ බිරිඳ අනතුරුව කාමරයෙන් පිට වූවාය . නිවසේ දොර වැසෙන හඬ කියා පෑවේ ඇය නිවසින්ද පිට ගිය බවයි.

ඇයට ජීවිතය එපා වන්නට හේතු මොනවාදැයි මම ඇගෙන් නො ඇසුවෙමි. මා අල්මාරියේ සැඟවී සිටියා යැයි පැවසීමේ වුවමනාවක් ද මට නොවිණ . අල්මාරිය සැඟවී සිටින්නට සුදුසු තැනක් නොවේ. ඇයට එය පුදසුනකි. කුමක්දෝ හඳුනාගත නොහැකි හේතුවක් නිසා ඇය මට වඩා අල්මාරියට ආදරය කරන බව කීවාය . මේ අල්මාරිය අපේ ජීවිත වලට අවාසනාව රැගෙන පැමිණි වස් කවියක්ද..? මේ අල්මාරිය අපි දෙන්නා ගේ ජිවිත දෙකඩ කරන්නට සතුරෙකු විසින් මතුරා එවන ලද ලී ගොඩක්ද ..? මේ අල්මාරිය අපේ ජිවිත වල නීරස බව දැක සිනහ වෙනවා නොවේද..? මේ යෝධ අජීවී වස්තුවේ ගුප්ත සෙවණැල්ලෙන් ගැලවෙන්නේ කෙසේද..?

විවාහයෙන් පසුව ගතවී යන තෙවන වසරේ එක දිනක සවස් යාමයේ ඇය නිවසට පැමිණියේ නැත.

කීප වරක්ම ඇමතූ මුත් දුරකතනයට පිළිතුරු නොදෙන විට මම කළේ අල්මාරිය විවර කර බැලීමයි. ඇය මට නොකී රහස පැවසීමට තරම් අල්මාරිය නිහතමානී විය. අල්මාරියේ තට්ටු දෙකක් පුරා පිළිවෙළට අසුරා තිබූ ඇගේ ඇඳුම් , පැලඳුම් කිසිවක් පෙනෙන්නට තිබුණේ නැත. එල්ලා තිබූ කබා කීපයක්ද අතුරුදහන්ය.

තමා නිවසින් පිටවී ගොස් , මිතුරියකගේ නිවසේ තාවකාලිකව නවාතැන් ගන්නා බවත් , සොයන්නට වෙහෙස නොවන්නැයි කියා ලියූ කුඩා ලියුමක් අල්මාරියේ ඇතුළත අලවා තිබුණි. ජීවිතය වෙනස් කර ගන්නට තමා ගත් තීරණය ඇය මට දැනුම් දුන්නේ අල්මාරියේ ආධාරයෙනි.

දික්කසාද වන්නට තීරණය කළ මොහොතේ අමලි මගෙන් කිසිවක් ඉල්ලා සිටියේ නැත .

බෙදා ගන්නට මහා ලොකු වත්කමක් අපිට නොවුණු බව සැබෑවකි. එහෙත් ඇය අල්මාරිය ඉල්ලා සිටියාය. වෙන්වීමේ වේදනාවෙන් බරිත වී සිටි මට වුවමනා වූයේ මේ මූසල අල්මාරියට ඇය මෙතරම් දැඩි කැමැත්තක් දක්වන්නේ ඇයිද යන්න දැන ගැනීමට පමණි . එහෙත් එය පිළිතුරු නැති ප්‍රශ්නයකි.

නාඳුනන පිරිමින් හය හත් දෙනෙක් පැමිණ, ගොඩනැගුවාටත් වඩා ප්‍රවේශමෙන් සුපරික්ෂාකාරී ලෙස අල්මාරිය ඇණයෙන් ඇණය , ලීයෙන් ලීය ක්‍රමානුකූලව ගලවන අයුරු අපි දෙදෙනා බලා සිටියෙමු. එසේ අපි දෙදෙනා ඉදිරියේ බිඳ වැටෙමින් තිබුණේ එක් කලෙක "ආදරයේ අල්මාරිය" යනුවෙන් අපි හැඳින්වූ නිධානයයි. මේ මූසල අල්මාරි රාජයා යළි ඇය ගොඩනගන්නේ කොහිද..? කාගේ ගෙදරකද..? එහි පිරවෙන්නේ කාගේ ඇඳුම් ද...? පෙර පරිදිම තට්ටු කීපයක් ඇය නොඉපදුණු දරුවන් වෙනුවෙන් වෙන කර තබයිද....?

"මේ අල්මාරිය හදපු මුල් වතාවේ වගේ හයියට තියන එකක් නැහැ දෙවැනි වතාවේ ගලවලා ආයේ හැදුවාම...ඇණ බුරුල් වෙයි. තට්ටු කඩා වැටෙයි. .." ඇය කීවාය.

හුරතල් වදන් . කෙළිලොල් හැසිරීම් වලින් දවස පුරවාගෙන සිටි මේ ගැහැනිය හදිසියේම සංකීර්ණ වදන් ගෙනහැර දක්වන්නේ කෙසේදැයි සිතා ගන්නට මට නොහැකි විය. "මේ අල්මාරිය ගෙදර ගෙනැල්ලා මුල් වතාවට එකේ දොරවල් ඇරපු වෙලාවේ මගේ හිතේ හුඟක් බලාපොරොත්තු ඇති වුණා . අල්මාරිය ගැන නෙමෙයි. අපේ ජිවිත ගැන."

"ඔයා හිතන්නේ අපි දෙන්නා වෙන් වුණේ මේ අල්මාරිය හින්දා කියලද...?" මම ඇසුවෙමි.

"නැහැ. අල්මාරියකට පුළුවන්ද දෙන්නෙක්ව වෙන් කරන්න..ඒත් මේ අල්මාරිය මට ජීවිතේ ගැන ලොකු පාඩමක් කියලා දුන්නා.."

"මොකක්ද..?"

"ජිවිතේ සමහර දේවල් කවදාවත් ලබා ගන්න බැහැයි කියලා. සමහර තට්ටු කවදාවත් පුරවන්න බැහැයි කියලා. හිතේ ඉන්න දරුවෝ කවදාවත් මේ ලෝකෙට එන්නේ නැහැයි කියලා...හිස් තට්ටුව දිහා බලාගෙන හිටියට වැඩක් වෙන්නේ නැහැයි කියලා..."

අමලි පමණක් නොව අල්මාරියද යන්නට ගොසින් දැන් දෙවසරක් ගත වී තිබේ. ඇය ගැන කිසිදු ආරංචියක් නොවූ හෙයින් ඇයව සොයා යන්නටද මට වුවමනාවක් තිබුණේ නැත.

උස් පහත් වීම් මැද්දේ වුවද ජීවිතය හෙමින් සීරුවේ ඉදිරියට ඇදෙන්නට වූ විට මම නිසොල්මනේ එයට මුහුණ දුන්නෙමි. එහෙත් එක් දිනක අපි අල්මාරිය මිලට ගත් වෙළඳ ආයතනයෙන් ලැබී තිබුණු කුඩා ලිපියක කියවුණේ මා වෙනුවෙන් ලිපි ගොනුවක් ඔවුන් සතුව තිබෙන බවයි.

එය වනාහි තවත් එක වෙළඳ ප්‍රවර්ධන උපක්‍රමයක් යැයි සිතූ මා කිසිදු වැඩිදුර විමසීමකින් තොරව එය කුණු කූඩයට දැමුවෙමි. එසේ වුවද නිවසට වුවමනාව තිබූ අත්‍යවශ්‍ය භාණ්ඩ කීපයක් වෙනුවෙන් මාස කීපයකට පසු වෙළඳ සැලට ගොඩවුණු මොහොතේ ආදර අල්මාරියම වැනි, ඒ හා විශාලම තවත් අල්මාරියක් පෙර තිබුණු ස්ථානයේම තිබෙණු දැක එහි ළංවීමි.

ිසිදු වෙනසක් නැත . එය අප සතුව තිබූ අල්මාරියමය. නිකමට මෙන් දොරක් විවර කළ විට මගේ නාස් පුඬු සිප ගත් සුවඳින් හිස කරකැවෙන්නට විය. දෙනෙත් කඳුළු කැට පැමිණ තිබුණි. ඇඳුම් ආරක්ෂා කර ගන්නට අමලි යොදා ගත් විලවුන් වර්ගයේ සුවඳ මතින් මම අතීතයට ඇවිද ගියෙමි.

"මේ අල්මාරිය පරණ එකක්. අවුරුදු ගානකට කලින් ගත්ත කෙනා ආයෙත් ගෙනැත් දුන්න එකක්. ඒ නිසයි අඩු මිලකට දාලා තියෙන්නේ..." සේවකයෙක් කිවේය. ඔහුගේ මග පෙන්වීම මත උඩු මහලට නැග ගත් මගේ වුවමනාව වූයේ නිසි බලධාරි තැන මුණ ගැසීමයි.

"සමාවෙන්න. මාස කීපයකට කලින් ඔබ මට ලිපියක් ඒවා තිබුණා ලිපි ගොනුවක් ගැන කියලා...?"

"ඔව්. මට මතකයි. එය අපිට ලැබුණේ අර පල්ලෙහා පේන ලොකු අල්මාරියේ ලාච්චුවක හැංගිලා තිබිලා.

ඒක ආයේ ගෙනාව මහත්මියගේ අංකයක් තිබුණේ නැහැ. ඒත් අවුරුදු ගානකට කලින් ඔබ මිලදී ගනිද්දී ලබා දුන් ලිපිනය අපි ළඟ තිබුණා . මිනිසා මගේ අතේ තැබුවේ වෛද්‍ය වාර්තා කීපයකි. මාස හයක ප්‍රථමාධාර භටයෙකු ලෙසින් ලබා තිබුණු පුහුණුව නිසා ඒ වාර්තා වටහා ගැනීමේ අපහසුවක් මට නොවිණ . මුල් අවදියේම සොයා ගනු ලැබූ පිළිකාවක් සුව කරනු පිණිස ගර්භාෂය ඉවත් කරන්නට සිදුව ඇති බව වෛද්‍යවරයා විසින් අමලි වෙත ලබා දුන් සටහන්ය එහි වූයේ . එය සිදුව තිබුණේ අපේ වෙන්වීමෙන් සිවු මසකට පසුවයි.

"මම දුටුවා ඔබ අල්මාරිය ඇරලා බලනවා. මම මේ ආයතනයේ වැඩ භාරගෙන තාම මාස අටයි. මම ලිපි ගොනු වල දැක්ක දෙයක් තමයි ඔය අල්මාරිය ඔබට කලින් තවත් දෙදෙනෙක් අතට ගොහින් තිබුණු බව..."

"ඒ කියන්නේ අපි අරන් තියෙන්නේ පාවිච්චි කරපු එකක්..?"

"ඔව්..පුදුමයකට වගේ කිසිම කෙනෙක් ඒක දිග කාලයක් තියා ගන්නේ නැහැ. ආයෙත් අපිටම විකුණනවා. කීප වතාවක්ම ගලවලා එකතු කරපු හින්දා දැන් ඒ අල්මාරිය කලින් තරම් ශක්තිමත් නැහැ...."

තරුණ යුවළක් ඒ අල්මාරිය දෙස බලමින්, පිරික්සමින් , සේවකයෙක් වෙතින් නොයෙක් දේ විමසනු පහත මාලයේදී මම දුටිමි. ඔවුහු එය මිලදී ගන්නට අදහස් කරයි නම් එය වළක්වා ලීමේ දැඩි වුවමනාවක් මට ඇති විය. අමලි බොහෝ විට ඇය වුවමනාවෙන්ම මේ ලිපි ගොනුව අල්මාරියේ අමතක කර දමා යන්නට ඇත.

යම් හෙයකින් එය මා වෙතට පත් වූ පසුව අපට දරුවන් ලබා ගන්නට නොහැකි වූයේ ඇයි දැයි යන්න වටහා දීමට ඇය ගත් උත්සාහයක් විය හැකිය.

පණිවුඩය එවන්නට ඇය යොදා ගත්තේ අල්මාරියයි. ඒ අල්මාරිය නම් කිසිවෙකුත් දිගු කලක් ළඟ තබා නොගත් වස්තුවකි. කිසිවෙකුගේත් දීර්ඝ කාලීන ආදරයට හසු නොවුණු දරුවෙකු බඳුය එය.

"ඔයා කැමතිද අතන තියන ඇඳට...." සෝනියා මා අසලට පැමිණ විමසුවාය.

"ඔව්. එක ලස්සනයි. නිල්පාට නේ.." මම පිළිතුරු දුනිමි.

"අපේ ඇඳ ළගින්ම තියා ගන්න පුළුවන්. බබා ඇහැරිලා අඬන්න ගත්තාම බලන්න ලේසියි.. " ඇය කීවාය. මම ඇගේ සඳ මෙන් පිරිපුන් මුහුණ දෙස බලා හය මස් හැවිරිදි කුසට අත තැබුවෙමි. හිතේ සැරිසැරූ දරුවා සුවෙන් නිදන අයුරු මට දැනුණි .

 

ඔබේ කෙටිකතා පහත ලිපිනයට යොමුකළ හැකිය.

සිළුමිණ කෙටිකතාව,

ලේක්හවුස්, කොළඹ 10.

දුරකතනය 0112429264

විද්යුත් තැපෑල :

[email protected]

Comments