සුව හමුව | සිළුමිණ

සුව හමුව

ඇඟිලි ඉරීම නැවැත්විය හැකිද?

ප්‍රශ්නය :-

මගේ පුතාගේ වයස අවුරුදු හතර හමාරකි. පුතු මවුකිරි අත් හැරිය දා සිට ඇඟිල්ල උරන්නට පටන් ගත්තේය. ඇඟිල්ලට තිත්ත අබිං ගෑවත්, ඇඟිල්ල බැඳ දැමුවත් එය නතර කර ගැනීමට හැකි වූයේ නැත. දැන් පුතු උරන මහපට ඇඟිල්ලේ ගැටයක් පවා මතු වී තිබේ. පුතු ළදරු පාසල් යන විට ඇඟිලි ඉරීම නවතීවි යැයි අපි සිතුවෙමු. දැන් පුතු ළදරු පාසල් යෑම අරඹා වසරක් ගත වී තිබේ. එහෙත් ඇඟිලි ඉරීම නැවතුණේ නැත. එය නැවැත්විය හැක්කේ කෙසේද? වෛද්‍ය උපදෙසක් අපේක්ෂා කරමි.

අත්තිඩිය - හිරුණි ලක්ෂිකා කුමාරසිංහ

පිළිතුර :-

ඔබේ දරුවා මානසින ගැටලුවක් නිසා ඇඟිලි උරන්නේදැයි සොයා බැලීම වැදගත්ය. යම් අහිමි වීමක් නිසා හෝ යම් පීඩනයක් නිසා එය සිදු කරන්නේ නම් එයට ප්‍රතිකර්මයක් යෙදිය යුතුය. එසේ නැතිව ඇඟිලි උරන්නේ නම් එම පුරුද්ද ස්වාභාවිකවම අත් හැරෙන නිසා බිය විය යුතු නැත. සාමාන්‍යයෙන් තව අවුරුදු කීපයකින් එය මග හැරී යනු ඇත.

හෘද රෝගි බිරිඳට සිහි මඳ ගතියක්

ප්‍රශ්නය :-

මගේ බිරිඳ 72 හැවිරිදි විශ්‍රාමික ගුරුවරියකි. ඇගේ හෘද ස්පන්දනයේ අක්‍රමවත් බව නිසා ඇයට Amiodarone, Androprill සහ Atova යන ඖෂධ දී ඇත. දැන් සති 3 කට පෙර ඇයට මුත්‍රා අඩස්සියක් ඇති වී රෝහල්ගත කළ අතර ඇයට ප්‍රතිකාර ලබා දීමෙන් පසු යථා තත්ත්වයට පත්විය. එහෙත් ඇයට සිහිකල්පනාව අඩු විය. දරුවන් හෝ මා හඳුනන්නේ නැත. නැවත රෝහල් ගත කළ විට සීනි මට්ටම අඩු බව පැවසීය. ඇයට දෙවරක් රුධිරය ද ලබා දී තිබිණි. දැන් ඈ නිවසේ සිටින අතර තවමත් විටින් විට අමතක වන ගතිය තිබේ. දැන් ඇයට කෙළින් වාඩි වී සිටීමටවත් නොහැකිය. කැවීම් පෙවීම් කරන්නේ කොට්ට දමා ඇයව හේත්තු කළ පසුවය. වෛද්‍යවරුන් පවසන්නේ ඈ දුර්වල නිසා මෙම තත්ත්වය ඇති වී තිබෙන බවයි. මගේ බිරිඳගේ රෝග තත්ත්වය කුමක්ද? ඇයව සුවපත් කර ගැනීමට අප කළ යුත්තේ කුමක්දැයි දැනගැනීමට කැමැත්තෙමි.

හාලිඇල - සේන රත්නායක

පිළිතුර :-

ඔබේ බිරිඳගේ වියපත් වීමත් සමඟ සිහි මඳ ගතිය හෙවත් ඩිමෙන්ෂියා තත්ත්වයක් ඇති වූ බව පෙනේ. මුත්‍රා ආසාදනය වීම සහ ඇගේ හෘද රෝගි තත්ත්වය මත ඩිමෙන්ෂියා උග්‍ර වූ අවස්ථාවක් වශයෙන් මෙය හඳුනා ගත හැකිය. ඔබ එවා ඇති සීමාසහිත තොරතුරු අනුව රෝගය පිළිබඳව නිවැරදි තීරණයකට එළැඹීම අසීරුය. ඇයට දෙවරක් රුධිරය දුන් බව සඳහන් කර තිබේ. රුධිරය දීමට සිදු වන්නේ ඇය මන්දපෝෂණයෙන් පෙළෙන නිසාය. ඇය මන්දපෝෂණයෙන් පෙළෙන්නට හේතුව විමර්ශනය කළ යුතුය. ඇත්ත වශයෙන්ම ඔබේ බිරිඳට ඇති වී තිබෙන්නේ සංකීර්ණ රෝගි තත්ත්වයකි. එබැවින් ඈ පරීක්ෂා කිරීම වැදගත් වේ. ඇගේ රෝගි තත්ත්වයන් විසඳා ගැනීමට කායික රෝග විශේෂඥ වෛද්‍යවරයකු හෝ මනෝ වෛද්‍යවරයකු වෙත යොමු වන්න.

හක්ක පනින නිසා කන්නෙ නැහැ

ප්‍රශ්නය :-

මගේ මව දෑස් නොපෙනෙන 76 හැවිරිදි කාන්තාවකි. දියවැඩියාව රුධිර පීඩනය වැනි රෝග කිසිවක් නැත. ඇයට තිබෙන ලොකුම ප්‍රශ්නය වෙන්නේ හක්ක පැනීමයි. නිතරම හක්ක පැනීම නිසා ඇය ඝන ආහාර ගැනීමට කැමති නැත. කිරි, කැඳ, මාමයිට් වැනි ද්‍රව ආහාර පමණක් ගනියි. එයින් මවට අවශ්‍ය පෝෂණය නොලැබී ඇය දුර්වල වී ඇත. දෑස් නොපෙනෙන අයකු නිසා ඈ ඇඳටම වී කල්ගත කරයි. හක්ක පැනීම සුව කර ගත හැකිද?

නාරංගොඩපාළුව - විජිත ලියනගේ

පිළිතුර :-

ඔබේ මව පරීක්ෂා කිරීම ඉතා වැදගත්ය. එබැවින් රක්තවාතවේද හෝ විකලාංග විශේෂඥ වෛද්‍යවරයකුට මව පෙන්වීම සුදුසුය. නිවැරදි ප්‍රතිකාර සඳහා යොමු වුවහොත් මවගේ රෝගය සුවපත් කර ගත හැකිය.

ඔබේ වෛද්‍ය ගැටලුව පහත දැක්වෙන ලිපිනයට යොමු කරන්න.

සුව හමුව, සිළුමිණ, ලේක්හවුස්, කොළඹ.

Comments