ඡන්ද මැරයන් මෙල්ල කළ දූෂිතයන්ට පාඩම් ඉගැන්වූ “ජිල්ලා”ගේ වික්‍රම | සිළුමිණ

ඡන්ද මැරයන් මෙල්ල කළ දූෂිතයන්ට පාඩම් ඉගැන්වූ “ජිල්ලා”ගේ වික්‍රම

එක්සත් ජාතික පක්ෂය සිය දේශපාලන ඉතිහාසයේ පළමු දැවැන්තම පරාජය ලැබුවේ 1956 පාර්ලිමේන්තු මැතිවරණයේ බව ඉතිහාස ගත කරුණකි. එම මැතිවරණ ව්‍යාපාරයේදී සිය පක්ෂය වෙනුවෙන් එවකට අගැමති සර් ජෝන් කොතලාවල දකුණු පළාතේ සංචාරයේ යෙදෙමින් වැලිගම ඡන්ද කොට්ඨාසයේ එ.ජා.ප. රැස්වීමක් අමතන විට එහි ආරක්ෂක කටයුතු බාරව සිටි පොලිස් නිලධාරියා වුයේ ෆ්‍රෙඩි ජිල්ලාය.

එහිදී ඔහු හමුවට පැමිණි එ.ජා.ප. ආධාරකරුවෙකු වූ උප තැපැල් ස්ථානාධිපතිවරයෙක් සිය පක්ෂය මැතිවරණයෙන් දිනන බව දැඩි විශ්වාසයෙන් පැවසීය. ඒ ජයග්‍රහණය සහතික කිරීමට වැලිගම ඡන්ද කොට්ඨාසයේ හැකිතරම් හොර ඡන්ද දැමීමට ඔහු සහ ඔහුගේ සගයන් තීරණය කර ඇතිබව පැවසීමටද ඔහු පැකිලුනේ නැත. එපමණක් නොව ඔහු සිතා සිටි පරිදි “එ.ජා.ප. යට හිතවත් පොලිස් නිලධාරින්” සේවයේ යොදවා තිබීම ගැන ඔහු ජිල්ලාට ස්තුතිද කළේය! මේ කතාවෙන් ඔහු මෝඩයෙකු බව තේරුම් ගන්නට ජිල්ලාට වැඩි වේලාවක් ගියේ නැත. උප තැපැල් ස්ථානාධිපතිවරයාගේ මේ අමන උත්සාහයට වචනයෙන් නොව ක්‍රියාවෙන් ප්‍රතිචාර දක්වන්නට ජිල්ලා අදිටන් කළේය.

පසුවදා කාල් ලොරෙන්ස් සහ ඇලරික් අබේගුණවර්ධන (පසු කලෙක පොලිස්පති) යන පොලිස් නිලධාරීන් දෙදෙනා සමඟ ජිල්ලා කළ සාකච්ඡාවකින් පසු මැතිවරණ දිනයේ වැලිගමට විශේෂ අවධානයක් යොමු කරන්න තීරණය කෙරුණි. ඒ සඳහා තෝරාගත් උප පොලිස්පරීක්ෂකවරුන් කිහිප දෙනෙකු යොදවන ලදී. මැතිවරණය දා මාතර පාරට නුදුරින් පිහිටි වැලිගම තානායමට හැරෙන පාර අසල වූ ඡන්ද මධ්‍යස්ථානයකට ඇතුළු වූ ජිල්ලාට දක්නට ලැබුණේ ඒ ඉදිරිපිට නිකරුනේ ගැවසෙමින් සිටි දහ පහළොස් දෙනෙකුගෙන් පමණ යුත් පිරිසකි. මැතිවරණ නීතියට අනුව ඡන්ද දායෙකුට හැර වෙන කිසිවෙකුටවත් ඡන්ද පොළකට යාර 50 ක් (මීටර් 46ක් පමණ) ඇතුළත සිටිය නොහැක. එබැවින් ජිල්ලා මුලින් සිතුවේ මේ පිරිස ඡන්ද දායකයන් ලෙසය. එහෙත් ඒ ගැන ඔහු ඡන්ද පොළ භාර නිලධාරියාගෙන් විමසු විට ලැබුණු පිළිතුර මෙසේය. "මිස්ට ජිල්ලා මෙතන හොර ඡන්ද දැමිල්ල ජයටම කෙරෙනවා. මට දිවුරල කියන්න පුළුවන් මෙතන ඉන්න එක මිනිහෙක් අඩු වශයෙන් හතර වතාවක් වත් හොර ඡන්ද දැම්ම. මට මේ ගැන මුකුත් කරගන්න විදියක් නැහැ ඡන්ද නියෝජිතයා මේක වළක්වන්නේ නැති නිසා"

ජිල්ලා ඒ ගැන තව දුරටත් විමසු විට දැනගත්තේ එ.ජා.ප ආධාරකරුවන් වූ මැරවර පිරිස ඡන්ද නියෝජිතයාට තර්ජනය කරමින් ඔහුගේ කාර්ය කිරීමට ඉඩ නොදෙන බවයි. අවාසනාවකට එතැන රාජකාරියේ යෙදී සිටි උප පොලිස් පරීක්ෂකවරයාට තත්වය පාලනය කරගැනීමට නොහැකිවිය. වහාම ක්‍රියාත්මක වූ ජිල්ලා ඡන්ද පොළට ඇතුළු වීමේ දොරටුවේ සිට යාර 50ක් ඇවිද ගොස් සිය පාවහන් වලින් මිදුලේ ඉරි දෙකක් ඇන්දේය. ඉන්පසු ඒ ඉරිවලින් ඇතුළත සිටි මැරයන් සියතින්ම ඉන් පිටතට තල්ලු කළ ඔහු ඒ චණ්ඩින් ගෙන් එකෙකු හෝ නැවත ඉදිරියට ආවොත් ඒ පුද්ගලයා අත් අඩංගුවට ගෙන නඩු දැමීමට තමා පසුබට නොවන බව ඔවුන්ට පැවසීය. එදිනම ජිල්ලා වැලිගම ඡන්ද කොට්ඨාසයේ හැම ඡන්ද පොළකටම ගිය අතර ඒ තැන් වල රාජකාරියේ යෙදී සිටි උප පොලිස් පරීක්ෂකවරුන් සිය රාජකාරිය අකුරටම ඉටු කර තිබු නිසා නීති විරෝධී ක්‍රියා කිසිවක් වාර්තා නොවින.

ජයග්‍රාහකයාට පහර දෙන්නට තැත් කිරීම

මැතිවරණයේ පළමු දිනයේම වැලිගම ඡන්ද විමසීම පැවැත්වුණු අතර එය එ.ජා.ප. ය ජය ගැනීමට බලාපොරොත්තු තබාගෙන සිටි පාර්ලිමේන්තු අසුන් වලින් එකකි. එහෙත් ඔවුන් කිසිසේත්ම බලාපොරොත්තු නොවූ පරිදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ මහජන එක්සත් පෙරමුණ වැලිගම අසුන ජයගත්තේය. එහි නව මන්ත්‍රීවරයා ලෙස තේරුණේ ශ්‍රී.ල.නි. පක්ෂයේ පානි ඉලංගකෝන්ය. එදින රාත්‍රී මැතිවරණ ප්‍රතිපල වලට සවන් දෙමින් සිටි ජිල්ලාට හදිසියේම පසුදා පාන්දර තුනට පමණ කොළඹින් දුරකථන ඇමතුමක් ලැබිණ. ඒ පානි ඉලංගකෝන් ගේ පියා වූ වාසලමුදලි සයිමන් ඉලංගකෝන් ගෙන්ය. බියපත් ස්වරයෙන් ඔහු කියා සිටියේ සිය පුත්‍රයාගේ වැලිගම නිවස මහජන එක්සත් පෙරමුණු ජයග්‍රහණය ඉවසා ගත නොහැකි මැරවර කල්ලියක් විසින් වටලා ඇති බවත් ඔහුගේ ජීවිතය අවදානම් බවත්ය. වහා ක්‍රියාත්මක වූ ජිල්ලා පොලිස් පරීක්ෂකයකු යටතේ පොලිස් කැරලි මර්දන භට පිරිසක් පානි ඉලංගකෝන් ගේ නිවසට යැවීය. ජිල්ලා ද පසු දිනම එම නිවසට ගොස් පොලිසිය කිසිදු මැර ක්‍රියාවකට ඉඩ නොතබන බව ප්‍රදේශවාසීන්ට ඒත්තු ගැන්වීය.

නිල ඇඳුම් ඇඳගත් පොලිස් මැරයා

ජිල්ලා දකුණු පළාතට පැමිණ ටික දිනකට පසු කඹුරුපිටියේ සුරාබදු පරීක්ෂකයකු වූ ලියම්බ්රුගන් ඔහුට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. ඒ එක්තරා පොලිස් පරීක්ෂකයකු සිය රාජකාරි වලට බාධා පමුණුවන බවයි. මොහුගේ සැක කටයුතු ක්‍රියා ගැන කලින් අසා තිබු ජිල්ලා ඊට වඩා බරපතළ කරුණකට මේ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට සුදුසු අවස්ථාවක් එනතුරු ටිකක් ඉවසා සිටින්නැයි ලියම්බ්රුගන්ට දැන්වීය. 'ආර්' යම් තරමක දේශපාලන හයියක් තිබු නිලධාරියෙකි. ඔහුගේ නම සඳහන් නොකරන ජිල්ලා ඔහු හඳුන්වන්නේ 'ආර්' යනුවෙනි. ඔහු වංක චරිතයක් වුවා පමණක් නොව පොලිස් නිල ඇඳුම් ඇඳි මැරයෙකු විය. කප්පම් ගැනීමට සහ මිනීමැරුම් සැලසුම් කිරීමට වුවද මොහු පසුබට නොවීය.

වැඩි දිනක් යන්නට පළමු ඔහුට විරුද්ධව ක්‍රියාකිරීමට ජිල්ලාට අවස්ථාව උදා විය. ඒ 'ආර්' ට විරුද්ධව එල්ල වූ ස්ත්‍රී දූෂණ පැමිණිල්ලකි. ඊට අනුව නඩු විභාගයක් සඳහා මාතර උසාවියට පැමිණ ගැමි තරුණියක් හක්මන පොලිසියේ ස්ථානාධිපති ගේ නිල නිවස්නයට ඇය කැඳවාගෙන ගිය 'ආර්' එහිදී ඇයව දූෂණය කර ඇත. ඒ දිනවල හක්මන පොලිස් ස්ථානාධිපති නිවාඩු ගොස් සිටි බැවින් මේ සිද්ධියට කිසිදු සම්බන්ධයක් නොවීය.

පැමිණිලිකාරිය සහ ඇගේ භාරකාරිය සාක්කි දෙමින් තරුණිය දූෂණයට ලක් කළ නිවස්නයද පෙන්වුහ. එහෙත් වෛද්‍ය සාක්කි වලින් කියවුණේ ඇය අතවරයට ලක්වන විට කන්‍යාවියක නොවූ බවත් ඇය බලහත්කාරකමකට ලක් වූ බවට ඇගේ සිරුරේ කිසිදු ලකුණක් නොවූ බවත්ය. මේ තත්වය මත 'ආර්' ට විරුද්ධව උසාවියේ නඩු පවරනවා තබා විනය ක්‍රියා මාර්ගයක් ගැනීමට පවා මඟක් නොවීය.

එහෙත් ජිල්ලා මේ පුද්ගලයාට ලේසියෙන් ලිස්සා යන්නට ඉඩ තැබුවේ නැත. ඔහු තමා ළඟට කැඳවූ ජිල්ලා ඔහුට තර්ජනාත්මක අවවාදයක් කළේය.

“තමුසේ මුළු පොලිසියටම නින්දාවක්. මම තීරණය කරා තමුන්ගේ වැඩ තහනම් කරලා ස්ත්‍රී දූෂණයක් සම්බන්ධයෙන් නඩු දාන්න. ඒ විතරක් නෙවෙයි ඒ ගැන හොඳ ප්‍රචාරයක් දෙනව තමුන්ව අවමානයට පත්කරන්න. මම නඩු විභාගයත් හැකි තරම් දික් ගැසෙන්න ඉඩ හරිනවා”.

එක් සෙනසුරාදාවක ජිල්ලා පොලිස් ස්ථාන කිහිපයක පෙරෙට්ටු පරීක්ෂණයක යෙදෙමින් අලුතින් විවෘත කරන ලද අම්බලන්තොට පොලිසියටද ගියේය. එසේ ගිය විට 'ආර් 'පෙනෙන්නට නොසිටි බැවින් ඒ ගැන විමසු විට දැනගන්නට ලැබුණේ ඔහු නඩු කටයුත්තකට මාතර ගිය බවයි. මෙය ජිල්ලාගේ සැකයට හේතු වුයේ සෙනෙසුරාද දිනවල උසාවි රැස් නොවන බැවින්ය. පෙරෙට්ටුව අවසන් වී ජිල්ලා පොලිස් ස්ථානයෙන් පිටවන විට සවස හය පසු වී තිබු නමුත් ඒ වන තුරුත් 'ආර්' නැවත පොලිස්ථානයට පැමිණ සිටියේ නැත.

රාජකාරියෙන් පසු ජිල්ලා හම්බන්තොට තානායමට වී කලපුවේ අලංකාරය නරඹමින් සිටින විට එතැනට දිව ආ හම්බන්තොට පොලිස් ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ලියනගේ අම්බලතොට සිදු වූ තුච්ඡ අපරාධයක් පිළිබඳ දුරකථන පණිවුඩයක් ජිල්ලාට දුන්නේය. ඊට සම්බන්ධ අපරාධකරු සහ ඊට යොදාගත් පිහියද පොලිසියෙන් අත්අඩංගුවට ගෙන තිබිණ. තරුණ මවක සහ ඇගේ මාස කිහිපයක් වයසැති ළදරුවා විසු නිවසකට මහා දවාලේ ඇතුළු වූ අපරාධකරු තම අත්වල ලේ තැවරීම වළකනු පිණිස දරුවාගේ මුහුණ රෙද්දකින් වසා නිවසේ තිබී අහුලාගත් මේස පිහියකින් කිරි සප්පයාගේ උගුරු දණ්ඩ කපා දැමුවේ එක් කනක සිට අනෙක් කන දක්වා පිහිය ඇදීමෙන්ය.

අපරාධකරු දරුවාගේ මවටද පිහියෙන් ඇන මරා දැමීමට තැත් කළ නමුත් ඇය ඔහුගෙන් ගැලවී "මිනී මරනවෝ" යයි කෑගසමින් අඩි පාරක් දිගේ දිව ගොස් ඇත. මිනී මැරුවා ඇය පසුපසින් දිව ගියද අසල්වාසීන් විසින් ඔහු අල්ලා මෙල්ල කොට පොලිසියට බාර දෙන ලදී.

ඒ දිනවල එම පළාතේ සහකාර පොලිස් අධිකාරීවරයා සහ තංගල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක නිවාඩු ගොස් සිටි බැවින් ජිල්ලා සිද්ධිය වූ ස්ථානයට ගොස් පරීක්ෂණ පවත්වන ලෙස ලියනගේට නියම කළේය. ලියනගේ පිටත්ව ගොස් ටික වෙලාවකින් පසු අම්බලන්තොට නගරයේ වෙළෙඳුන් පිරිසක් ජිල්ලා හමුවට පැමිණියේය. ඔවුන්ගේ පැමිණිල්ල වුයේ එම පෙදෙසට මාරුවීමක් ලැබූ පොලිස් පරීක්ෂක 'ආර්' අලුතින් විවෘත වූ පොලිස් ස්ථානයේ වැඩ බාරගත් පසු අබලන්තොට පොලිස් පාරිපාලනය ඉතා දූෂිත වූ බවයි. එනම් වෙළෙන්දුන්ගේ මොකක් හෝ සුළු වරදක් අල්ලාගෙන ඔවුන්ට නඩු දමන බවට තර්ජනය කරමින් ඔහු රුපියල් දාහේ සිට රුපියල් පන්දහස (අද එය දහදාහේ සිට පනස්දහස මෙනි) ඔවුන්ගෙන් මාසිකව කප්පම් ගන්නා බවයි.

මේ පැමිණිල්ල ඇසු ජිල්ලා අනෙක් පොලිස් ස්ථානවල පෙරෙට්ටු පරීක්ෂාව දින කීපයකට කල් තබා අම්බලන්තොට මේ නීති විරෝධී ක්‍රියා මැඬලීමට ඉටා ගත්තේය. එදින රාත්‍රී එකොළහට පමණ ආපසු පැමිණි ලියනගේ පැවසුවේ මිනීමැරුම සිදු වූ ස්ථානයට 'ආර්' ද පැමිණි බවයි. එතැනට පැමිණෙන ලෙස ලියනගේ ජිල්ලාගෙන් ඉල්ලා සිටි නමුත් ඔහු ඊට උනන්දු නොවීය. අම්බලන්තොට වෙළෙඳුන් තමා හමුවීමට පැමිණි බව ජිල්ලා ලියනගේට දැන්වූ විට ඔහු ශෝකාකූලව පැවසුවේ "ඒක තමයි මම සර්ට කිව්වේ එතනට එන්න කියල පරීක්ෂණයට."

ලියනගේ එතැනට යනවිට 'ආර්' පදමට බීමත්ව සිටි බවත් පසුව දැනගන්නට ලැබුණු පරිදි මිනීමැරුම සැලසුම් කළේද ඔහු බව හෙළි විය. මිනීමැරුමේ පසුබිම් කතාව පළාතේ ධනවත් මුදලාලි කෙනෙක් පහත් යයි සම්මත කුලයක තරුණියක් ඔහුගේ අනියම් බිරිය ලෙස තබාගෙන ඉඳීමයි. ඔහු ඇයට කෙතරම් ඇලුම් කළේද යත් එම සම්බන්ධය කැඩීමට ඔහුගේ ඥාතීන් ගත් සියලු උත්සාහයන් ව්‍යර්ථ විය. අවසානයේදී ඔවුන් කළේ මවත් දරුවාත් මරා දැමීමට සැලසුම් කිරීම සඳහා 'ආර්' ට කප්පමක් දීමයි. ඒ අනුව ඔහු බෙලිඅත්තේ කුලියට මිනී මරන්නෙකුට එම ඝාතන සිදුකිරීමට කොන්ත්‍රාත්තුවක් දී ඇත.

මේ ආරංචියත් සමඟම ජිල්ලා මුලස්ථාන පොලිස් පරීක්ෂක ඩූල් සමඟ වහා මිනීමැරුම සිදුවූ ස්ථානයට ගියේය. එසේ ගිය පසු එතැන 'ආර්' පෙනෙන්නට නොසිටි බැවින් ඔහු ගැන විමසු විට එතැන සිටි කොස්තාපල් වරයෙක් ඊට පැහැදිලි පිළිතුරක් නොදී 'ආර්' ඒ කිට්ටුව කොහේ හෝ ඇතැයි පැවසීය. එහෙත් එහි රැස් වී සිට සෙනඟ පැවසුවේ 'ආර්' හොඳ හැටි බීමත්ව එතැනට පැමිණ විනාඩි කිහිපයකින් පසු නැවත පිට වී ගිය බවයි.

ඉන් පසු ඩූල් සමඟ අම්බලන්තොට පොලිස් ස්ථානයට ගිය ජිල්ලා එහි රාජකාරි සටහන් පොත බැලීය. එහි අපහැදිලි අකුරින් ආර් ලියා තුබුෙණ් තමා 'පරීක්ෂණයට' යන බවයි. එහි වෙනත් කිසිවක් ලියා නොතිබිණ. එය ඔවුන්ගේ සැකයට පාත්‍ර වූ බැවින් දෙදෙනාම 'ආර්' ගිය නිල නිවස්නයට ගොස් ජිල්ලා පිටතින් සිටියදී ඩූල් පමණක් ඇතුළට ගියේය. එසේ යන විට 'ආර්' වෙරිමතින් නිදාසිටියේය. ඔහුගෙන් මත්පැන් ගඳ වහනය විය. ඩූල් ඔහු අල්ලා තුන්වරක් සොලවමින් නැගිටුවන්නට තැත් කෙළ් "එස්. පී." (ජිල්ලා) ඇවිල්ල යයි කියමිනි. එහෙත් ඔහු අවදිවන පාටක් නොවීය. ඉන් පසු ජිල්ලා කිසිවක් නොලියා තිබු 'ආර්' ගේ සටහන් පොත තම භාරයට ගෙන නැවත පොලිස්ථානයට ගොස් එහි රාජකාරි පිරික්සුම් පොතේ ලීවේ රාජකාරි සටහන් පොතේ බොරු සටහනක් තැබීමේ වරදට 'ආර්' ගේ වැඩ වහා තහනම් ක බවයි. ස්ත්‍රී දූෂණයකට සහ මිනී මැරුමකට කොටු කරගත නොහැකි වූ 'ආර්' විනය කඩ කිරීමේ වරදට කොටු වුයේ එසේය.

පසු දින එළිවන්නට පළමු නැවත හම්බන්තොට පැමිණි ජිල්ලා ඇඳේ හාන්සි වී සිටින විට උදේ අටට පමණ කාමරයේ ජනේලයට තඩි බාන ශබ්දයක් ඇසිණ. ඒ ගැන සොයා ඔහු බැලූ විට එසේ කර ඇත්තේ 'ආර්' බව දැනගත්තේය. ඒ තඩි බාන ශබ්දයෙනුත් ඔහුගේ කට හඬිනුත් ඔහු ඒ මොහොතේත් සිටියේ වෙරි මතින් බව ජිල්ලාට වැටහින. ඔහුගේ වුවමනාව කුමක්දැයි විමසා සිටි විට තම වැරදි හදා ගන්නට තව එක් අවස්ථාවක් දෙන්නයි ජිල්ලාගෙන් ඇයදීය. එවිට ජිල්ලා කියා සිටියේ ඔහුට අන්තිම අවස්ථාවත් දුන් බවත් තවදුරටත් බුරුලක් දිය නොහැකි බවත්ය. එවිට ඔහු තව දුරටත් බැගෑපත් වෙමින් කියා සිටියේය. තමාට දරුවන් නව දෙනෙකු සිටින බවය. ඒ ගැන ඔහු සිතන්නට තිබුණේ අහිංසක කිරි කැටියෙකු මරා දැමීම සැලසුම් කිරීමට පෙර බව ජිල්ලා ඔහුට තදින් කියා සිටියේ ඒ දරුවා මරා දමා තිබු හද කකියවන අන්දම ඊට පැය කීපයකට පෙර දැක තිබු බැවින්ය.

තමාට කිසිදු සහනයක් නොලැබෙන බව දැනගත් 'ආර්' ඔහුට කලින් පිහිට වූ පැවිද්දා සොයා ගියේ ඊළඟ සඳු දින ජිල්ලා තිස්සමහාරාම පෙදෙසේ පරීක්ෂණ සංචාරයක යෙදෙන බව 'ආර්' දැනගෙන සිටි නිසාය. ජිල්ලා සිය මෝටරියෙන් තිස්සට යනවිට ඔහු බලාපොරොත්තුවෙන් වීරවිල ගොවිපළ අසල නැවතී සිටි විහාරාධිපති මේධංකර මෝටරිය නැවැත්වීය. ඔහු ජිල්ලාගෙන් ඉල්ලා සිටියේ කතරගම දෙවියන්ගේ නාමයෙන් 'ආර්' තව එක අවස්ථාවක් දෙන ලෙසය. එවිට ජිල්ලා මේධංකරට පෙන්වා දුන්නේ ස්ත්‍රී දූෂණයක් ගැන පැමිණිල්ලක් තිබියදීත් ඔහුට සමාව දුන් නමුත් දැන් ඔහු මිනීමැරුමකට අදාළව පොලිස් විනය කඩකිරීම ගැන අතටම හසු වී ඇති බැවින් තව දුරටත් කිසිසේත්ම සමාව නොදිය හැකි බවත්ය.

ගබ්සා චෝදනා ලැබූ මන්ත්‍රීවරයා

ජිල්ලා දකුණු පළාතේ රාජකාරියේ යෙදී සිටියදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු තමාට නීති විරෝධී ගබ්සාවක් කළ බවට කාන්තාවක් ගාල්ල පොලිසියට පැමිණිලි කළාය. කෙසේ වෙතත් මේ මන්ත්‍රීවරයා ගැමියන් අතර ජනප්‍රිය දේශපාලකයෙකු වුවා පමණක් නොව හැකි හැම අවස්ථාවකම ඔවුන්ට උදවුද කළේය. මිත්‍රශීලී අයෙකු වූ ඔහු ඉඳහිට ජිල්ලාගේ කාර්යාලයට පැමිණ සතුටු සාමීචයේ යෙදීමටද අමතක නොකළේය. එහෙත් ඔහුගේ ස්ත්‍රීලොල් බව සහ ගැමි තරුණියන් තමා වෙත ආකර්ෂණය කරගැනීමට ඔහුට තිබු හැකියාවද කිසිවෙකුටත් රහසක් නොවීය. ඔහු ඒ බව සැඟවීමට ද උත්සාහ නොගත්තේය.

ගබ්සාව සිදුකළ දොස්තර ඊට කලින්ද එවැන්නක් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි අයෙකි. එනමුත් ඔහු ජිල්ලා යටතේ සේවය කරමින් සිටි සහකාර පොලිස් අධිකාරිවරයෙකුගේ පියාද විය. මන්ත්‍රීවරයාට විරුද්ධ පැමිණිල්ල දැමු තරුණිය සහ ඇගේ මව ගබ්සාව සිදු කළ ස්ථානය පොලිසියට පෙන්වූ අතර එහි තිබී ගබ්සාව කිරීමට භාවිත කළැයි කියූ උපකරණද පොලිසිය සොයාගත්තේය. මේ පරීක්ෂණයට අදාළ ලිපි ගොනුව නීතිපතිට ලබා දෙන ලදුව ඔහුගේ අනුමැතියෙන් මන්ත්‍රීවරයාට විරද්ධව නඩු පවරන ලදී. පැමිණිලිකාරියන්ට මන්ත්‍රීවරයා බලපෑම් කරාවිය යන සැකයෙන් ඔවුන් සාක්කියට කැඳවන තෙක් ඇල්පිටියේ වතු නිවාසයන් රහසේ පදිංචි කරවනු ලැබුහ. නඩු විභාගය පැවැත්වෙද්දී ජිල්ලාට චුදිත මන්ත්‍රීවරයා මුණගැසින. එයින් ජිල්ලා අපහසුවට පත්වුයේ පොලිසිය ඔහුට විරුද්ධව නඩු පවරා තිබු බැවින්ය. එහෙත් ජිල්ලා පුදුමයට පත්කරමින් මන්ත්‍රීවරයා ඉතා සැහැල්ලුවෙන් මිත්‍රශීලී ලෙස පැවසුවේ තරුණිය සඟවා සිටි ස්ථානය තමා දන්නා බවත් එය ඔහුට ප්‍රශ්නයක් නොවන බවත්ය. ඔහු තවදුරටත් කීවේ තමා සමඟ ලිංගිකව එක්වූ කිසිම තරුණියක් තමාව අමතක නොකරන බවත් එනිසාම ඇය තමාට විරුද්ධව සාක්කි නොදෙන බවත්ය. ඔහු කියූ ලෙසම ගබ්සාවට ලක් වූ තරුණිය ඇය පොලිසියට කියූ දේ උසාවියේ නොකී නිසා සාක්කි නොමැති බැවින් මන්ත්‍රීවරයා පමණක් නොව දොස්තරද නඩුවෙන් නිදහස් වුහ.

මේ ලිපිය වසර 1947 සිට 1960 දක්වා මැතිවරණ රාජකාරී වල යෙදුණු එමෙන්ම වෙනත් අමතක නොවන අත්දැකීම් ලැබූ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ෆ්‍රෙඩී ජිල්ලාගේ මතක සටහන් (WITHOUT FEAR OR FAVOUR) ඇසුරිනි.

 ජානක පෙරේරා

Comments