මවුබිම රැකගත් අභිමානවත් නායකයා | සිළුමිණ

මවුබිම රැකගත් අභිමානවත් නායකයා

මහින්ද රාජපක්ෂයන් ජීවිතයේ විවිධ අවස්ථාවන්හිදී

හින්ද රාජපක්ෂයන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් ජීවිතය ඇරඹූවේ 24 හැවිරිදි වියේදීය. ලබන නොවැම්බර් 18 වැනි බදාදා සිය සිය 75 වැනි ජන්ම දිනය සමරන මහින්ද රාජපක්ෂයන් සිය දේශපාලන ජීවිතය ඇරඹුවේ බහ තෝරන වියේ සිට සිය පියාවූ පසුකලෙක වැඩබලන ඉඩම් ඇමතිවරයාද වශයෙන් කටයුතු කළ ඩී. ඒ. රාජපක්ෂය සමඟය.

සිරිමා බණ්ඩාරනායක රජය මගින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් 1972 ඉදිරිපත් කිරීමේදී එම යෝජනාව පිළිබඳ මුල් යෝජනාව 1970 ජුලි මස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ මහින්ද රාජපක්ෂයන්ය.

වර්තමාන පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨතම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වන්නේද ඔහුය. මහින්ද රාජපක්ෂයන් පාර්ලිමේන්තුවට 70 දශකයේ මුල් භාගයේදී පත්වන විට පාර්ලිමේන්තු ඉතිහාසයේ ළාබාලතම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වූයේ මහින්ද රාජපක්ෂයන්ට අමතරව හම්බන්තොටින් 1947දී පත්වූ 21 හැවිරිදි ලක්ෂ්මන් රාජපක්ෂ, නිකවැරටියෙන් 1956දී පත්වූ 22 හැවිරිදි මුදියන්සේ තෙන්නකෝන්ය.

1970 මැතිවරණයේදී බෙලිඅත්තෙන් ලැබුණේ පුදුමාකාර සහයෝගයකි. එය සම කළ හැක්කේ 2010 ජනාධිපතිවරණයට පමණි.

විශේෂයෙන්ම ඔහු තරුණයකු වීමත් පියාගේ නොකැළැල් දේශපාලන දිවියත් එයට හේතුවය. එදා සියයට 80ක් පමණ තැබුවේ කුඩා රැස්වීම්ය. සෑම රැස්වීමකටම 250ක පමණ පිරිසක් එක්වූහ. වැඩිහිටියන් එතුමා ඇමතුවේ මහින්ද මහත්තයා නමිනි. තරුණ අයට අයියා හෝ මල්ලී විය. සෑම රැස්වීමකම මේසය උඩ තිබුණේ අලියා ඔරේන්ජ් බාර්ලි බෝතල් සහ බැප්ටිස්ගේ රන් කුකුළා ලකුණ දරන කේක් ගෙඩි කිහිපයක් පමණී. රැස්වීම ආරම්භයට පෙරම එතුමා සංවිධායකවරුන් සමඟ ඒවා රසවිඳියි. 

එකල ශ්‍රීලනිපයට බෙලිඅත්තේදී තිබුණ ලොකුම හයිය වූයේ කේ. ඩී. හින්නි මහත්තයාය. නේරු හින්නි මහත්තයා, අම්බල ලියන මහත්තයා, සෙනරත් රාලහාමි, පුවක්දණ්ඩාවේ පුංචි මහත්තයා, කුඩාවැල්ලේ මුතුමාල මුදලාලි, සිරිසේන මුදලාලි, තංගල්ලේ අප්පුසිංඤෝ රාලහාමි සහ කිහිප දෙනෙකුගෙන්ම ලැබුණු සහාය ඉමහත්ය. ඩී.වී.පවුලේ සැවොම සහ කාල්ටන්හි වික්‍රමසූරිය පවුලේ වෛද්‍යවරුන් වන සේන, තිස්ස සහ සුනිල් ලබාදුන්නේ ද අයෝමය ශක්තියකි.

හැත්තෑවේ බළඇණියේ සිටි එම නඩේ කිහිපදෙනෙක්ම අද අප අතර නැත. පසුකලෙක ඒ කණ්ඩායමෙන් ඇමැතිවරයෙක් ද, නියෝජ්‍ය අමාත්‍යවරු දෙදෙනෙක් ද බිහිවිය. දකුණු පළාත් සභාවේ වර්තමාන ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ ද ඒ නඩයේ අයෙකි. ප්‍රතිවාදී අපේක්ෂකයා වූයේ රංජිත් අතපත්තුය; ඔහු වෛද්‍යවරයෙකි.

මහින්ද රාජපක්ෂ‍යන්ගේ දේශපාලන ජීවිතයේ සුවිශේෂි ලක්ෂණයක් වන්නේ කිසිදු තීරණාත්මක අවස්ථාවකදී ඔහු චිත්ත ‍ධෛර්ය අහිමිකර නොගැනීමය. බාධාවන්හිදි අපේක්ෂා සුන්කර නොගැනීමය. ඔහුගේ ජීවිතය යනු රිද්මයකි. ජීවිතයේ ගලා බැස්ම දියඇල්ලකට සමානය. ගලා බසින්නේ වරෙක සැඬවය; වරෙක අහිංසකවය; වරෙක නිහඬවය; වරෙක ප්‍රචණ්ඩය. එහෙත් රිද්මයානුකූලය. එමෙන්ම එය මී වදයක් සේ ඉමිහිරිද නැත. කොහොඹ දලු සේ තිත්තද නැත. හැටේ දශකයේ නාලන්දාවේ විදුහල්පති වශයෙන් සේවය කළ ලියුම්කරුගේ පියාවූ ගුණපාල වික්‍රමරත්න සමඟ නාලන්දේ ආදි සිසුවකු වූ මහින්ද රාජපක්ෂයන්ගේ සම්බන්ධය පසුකලෙක සිදු විය.

ඉනික්බිති අසූවේ දශකයේ සිට දශක හතරකට ආසන්න කාලයක් මාධ්‍යවේදියකු වශයෙන් ඔහු සමඟ කටයුතු කිරීම පිළිබඳව ලියුම්කරුට ඇත්තේ අසිරිමත් මතකයකි.

භගවත් ගීතාවේ සඳහන් කළ පරිදි ඔහු වැඩකළේ ඉන් ලබන ප්‍රතිඵලය බලා නොවේ. ඔහු තමන් තේරුම් ගත්තේය; තම සතුරා තේරුම් ගත්තේය. සටන් දහසක් කර ජයග්‍රහණ දහසක්ද ලබා ගත්තේය. ‍එහෙත් ඔහුට මිතුරු වෙසින් සිටි සතුරන් හඳුනා ගැනීමට නොහැකි විය. ගුරු මුෂ්ටිකයෙක් නොවන නිසා මූසිලයන් බවට පත්වූ ගෝලයන් පිළිබඳව කම්පාවක්ද ඔහුට නැත. පැරණි කියමනකට අනුව සංසාරය නැමති විෂ ගසේ මිහිරි ගෙඩි දෙකකි. ඉන් එකක් කියමන්වල රස විඳීමය. අනෙක හොඳ මිනිසුන් සමඟ ඇසුරය. එවැනි හොඳ මිනිසුන් සිය ගණනක් නොව දහස් ගණනක් 2015 ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂයන් පැරදුණ විට ඔහු තනිකර ගියේ නැත.

අනූව දශකයේ මුල් භාගයේදී මානව හිමිකම් සුරැකීමේ සිට පාද යාත්‍රා උද්ඝෝෂණ දක්වා පෙරළිකාර මඟකට ඔහු යොමු විණි. මාළුවාට පිහිනන්නට ඉගැන්විය යුතු නැත. සියලු ව්‍යසන ගැඹුරු පත්ලෙහි සඟවාගෙන රැලි නඟන මුහුද සේ ඔහු අයෝමය ශක්තියකින් හෙබිය.

එහි ප්‍රතිඵලයක් ලෙස 17 වසරක එජාප පාලනය අවසන් කර ශ්‍රීලනිපයට 1994 යළි රජයක් පිහිටුවීමට ද ඔහුගේ ජවසම්පන්න බලයට හැකියාවක් ලැබුණි. එදා සිට අද දක්වා සෙසු කරුණු කාරණා ගැන මෙනෙහි කළ යුතු නැතැයි සිතේ. මන්ද මෑත ඉතිහාසය ගැන බොහෝ දෙනා හොඳාකාරව දන්නා බැවිනි.

වසරකට තිබෙන්නේ දින 365කි. ඉන් රජයේ නිවාඩු දින සහ සෙනසුරාදා, ඉරිදා අතහැරි විට ඉතිරි වන්නේ දින 261කි. එයින්ද දින 42 අනුමත නිවාඩු ඇත. එවිට හැම රජයේ සේවකයෙකුටම වැඩ කළ යුත්තේ දින 219කි.

ඒ අනුව වැඩ කළ යුත්තේ සියයට 60කි. සියයට 40ක් නිවාඩුය. වරෙක ලෝක බැංකු උපදේශය වූයේ රාජ්‍ය සේවය රටට බරක් බැවින් එය කප්පාදු කළ යුතු බවය. අලුතින් බඳවා නොගත යුතු බවය.

එහෙත් අලුයම ලූ කෙළ පිඩක් මෙන් මහින්ද එම උපදෙස් බැහැරලීය. ලක්ෂ 7 රාජ්‍ය සේවකයන් සංඛ්‍යාව ලක්ෂ 16කින් ඉහළ නැංවිණි. වසර කිහිපයක් තිස්සේ විරැකියාවෙන් පෙළෙන රැකියා විරහිත උපාධිධාරියකු බෙහෙතකටත් දැන් සොයා ගැනීම අසීරුය.

රටේ සංවර්ධනයට සැම කොටසක්ම එක්කර ගත්හ. උඩරට හත්මාලුවද, මාතර ඇඹුල්තියල්ද, පුත්තලමේ බටු මෝජුවද, යාපනයේ එළුමස් වරුවල්ද, කැකිරාවේ කුරක්කන් පිටිද අනුභව කරන්නෝ එක පවුලක කොටස්කරුවන් බවට පත්විය. දෙමළ බෙදුම්වාදය සුනු විසුනු කළේය. තිස් වසරක යුද්ධයට තිත තැබුවේය.

එහෙත් දෙමළ බෙදුම්වාදීන්ද ඔවුන්ගේ ගැත්තන් සහ ඉත්තන්ද, බටහිර අධිරාජ්‍යවාදීන් සහ ඔවුන්ගේ ඔඩොක්කු කුක්කන්ද එයට කැමති වූයේ නැත. ඒ සිය ආයුධ ජාවාරමට තිත වැටී තිබූ නිසාය.

මහින්ද රාජපක්ෂ 2015 ජනාධිපතිවරණයෙන් පරාජය වීම ප්‍රතිගාමී බලවේගයන්ට දැනුණේ අසීමිත සතුටක් වූවාට සැක නැත. මහින්ද සිය විශිෂ්ටත්වය උදාකර ගත්තේ සිය ජීවිත කාලයේදීය. අන්ධකාරය වනාහි අරුණෝදයේම කොටසකි. කිසිවකුට රාත්‍රී මාවතේ ගමන් නොකොට අරුණෝදය කරා ගමන් කළ නොහැකිය. යළිත් වසර පහක් යන්නට මත්තෙන් මහින්ද රාජපක්ෂයන් රටට ඒ බව පසක් කර සිටියේය. ඔහුට 2015 සිට 2019 දක්වා එල්ල වූ අභූත චෝදනා ඉතිහාසය විසින් නිදොස් කර ඇත.

කියමනක් අනුව දිගු කාලීනව සැඟවිය නොහැකි තුනකි. ඒ ඉර, සඳ සහ සත්‍යය වේ. සත්‍ය තේරුම්ගත් රටවැසියෝ බහුතරයක් අදටද මහින්ද රාජපක්ෂයන්ගේ දේශපාලන අරමුණු වෙනුවෙන් පෙනී සිටින්නේ එබැවිනි. මවුබිම රැකගත් අභිමානවත් නායකයා ලෙස ඔහු යළිත් ගෞරවයට පත්ව තිබේ. ජනතාවට සේවය කිරීමෙන් හෙතෙම අසමසම තෘප්තියක් ලැබීය. සැමවිටම ජිවිතය පිළිබඳ තිබුණේ තෘප්තිමත් හැඟීමකි. වරෙක එය අවදානම් සහගත විය.

එහෙත් ඒ අවදානම සුන්දර බවට පත් කරගන්නට ඔහු සුරුවෙකි. අලුත් ජවයකින් මහපොළොව ප්‍රබෝධවත් වන්නේ වැසි වැටෙන තරමයටය. එවිට අලුත් පැළ ඉපැදේ. ඒවා පසුව මහ වෘක්ෂයන් බවට පත්වේ.

මහ පොළොව අලුත් කළ යුතුමය. ඒ සඳහා තවතවත් වැසි අවැසිමය. සුබ අනාගතයක පෙරවදන වන්නේ ද එයයි. ඒ සඳහා මවුබිම රැකගත් අභිමානවත් දේශපාලන නායකයා වශයෙන් පියවර දසදහසක් ඉදිරියට යන්නට ගිරුවාපත්තුවෙන් බිහි වූ මහින්ද රාජපක්ෂයන්ට හැකිවනු ඇත. සිය දිවියේ හැත්තෑපස්වැනි විය සපුරන ඔහු වෙනුවෙන් සියලු ප්‍රගතිශීලීන්ගේ සුබාශිංසන ලැබෙන බව නොඅනුමානය.



Comments