එදා ගත්තෙ ජීවිතේ හොඳම තීන්දුව බව අද තේරෙනවා | සිළුමිණ

එදා ගත්තෙ ජීවිතේ හොඳම තීන්දුව බව අද තේරෙනවා

ඔහු කාලයක් අපේ සිනමාවට සහ ටෙලි නාට්‍යයට නැතුවම බැරි කඩවසම් නළුවෙක්ව සිටියේය. සිය ජනප්‍රියත්වයේ හිණිපෙත්තේ ම සිටියදී ඔහු විදෙස් ගත වුණේය. ඔහු එදා කීවේ රැකියාවක් සඳහා දෙවසරකට විදෙස්ගත වන බවය. ඔහු යළිත් මවුබිමට පැමිණියේය. එහෙත් ඒ වසර විස්සකට පසුය. අවුරුදු 20ක් ගෙවී ගියා සැබෑය. ඔහු තවමත් කඩවසම්ය. ඔහු රජිත රොද්‍රිගූය.

 

මේ සොඳුරු මිනිසා සොයාගෙන අපි පන්නිපිටිය අරලිය උයනේ පිහිටි ඔහුගේ නිවෙසට ගියෙමු. කෙටි පිළිසඳරකින් අනතුරුව රජිත අතීත සැමරුමෙන් රසවත්වන සිය ජීවන පුවත පිළිබඳ සංවාදය ඇරඹුවේය. ලංකාවට පැමිණි පසු දායක වූ නිර්මාණ ගැන සිහි කරමින්ම ඇරඹුණු කතාව සිතට ප්‍රිය උපදවන්නේය.

“ලංකාවට ආවට පස්සේ ටෙලි නාට්‍ය කීපයකටම සම්බන්ධ වුණා. ඒ වගේම සුනිල් ආරියරත්න, සුනිල් ටී ප්‍රනාන්දු, සරත් වීරසේකර වගේ නිර්මාණකරුවන්ගේ චිත්‍රපට කිහිපයකටත් දායක වුණා. ඒවා ඉදිරියේදී තිරගත වෙයි. මේ දවස්වල ‘චෞර සමාගම‘ කියන වේදිකා නාට්‍යයේ සෙබස්තියන් කියන ආන්දෝලනාත්මක චරිතය වෙනුවෙන් මම සූදානම් වෙනවා.“ ඔහු කීවේය.

ඔහු විදේශ ගතවන්නේ ජනප්‍රියත්වයේ හිණිපෙත්තේ හිදිද්දීය. එවැනි තීරණයක් ගත්තේ ඇයි දැයි ඔහුගෙන් විමසිය යුතුම ප්‍රශ්නය ඇසුවෙමි.

“මම විදේශගත වෙන්නේ 1997දී. ඒ කාලේ වෙද්දී ලංකාවේ කලා ක්ෂේත්‍රය යම්කිසි අර්බුදයක තිබ්බේ. චිත්‍රපටි කෙරුණේ නෑ. ඒ කාලයේදී ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳ අධ්‍යනයක් කරලා හිටපු මම ඒ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න හිතුවා. මේ තීරණේ ගනිද්දි පොඩි කණගාටුවක් දැනුණා. ප්‍රධාන චරිත රඟපාන්න නියමිත වෙලා තිබ්බ ටෙලි නාට්‍ය කීපයක් මට අත්හරින්න වුණා. හැබැයි මම හිතනවා ඇත්තටම මම එදා ගත්තේ හොඳම තීරණය කියලා. ඔහු තෘප්තියෙන් පැවසුවේය. ඔහු කලා ක්ෂේත්‍රයට පිවිසුණු අයුරු ලද විරාමයක දී විමසුවෙමි.

“අපේ පවුලේ ඥාතීන් බොහෝ දෙනෙක් කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා හිටියේ. රංජිත් වීරසිංහ, ජීවානන්ද වීරසිංහ, ප්‍රේමලාල් දන්වත්ත ඒ අතරින් කීප දෙනෙක්. ඒ වගේම කේ.ඩබ්ලිව් පෙරේරා මගේ සීයා කෙනෙක්. පොඩි කාලේ මම වැඩිපුරම කාලේ ගත කළේ සීයලාගේ ගෙදර. ඒ නිසා නළු නිළියෝ ගොඩක් නිතර දකින්න මට අවස්ථාව ලැබුණා. හැබැයි කලාවට යොමු වෙන්න ඕන කියලා අදහසක් තිබුණේ නැහැ. මට ඕන වුණේ හමුදාවට බැඳෙන්න.“

රජිතගේ පියා දේශපාලනඥයෙක් වීම නිසා ඔහු දේශපාලනයට ප්‍රිය කළේ නැද්දැයි මා විමසුවෙමි..

“මගේ තාත්තා බර්ට්‍රම් ප්‍රනාන්දු. තාත්තා අවංකව සහ කැපවීමෙන් දේශපාලනයේ නිරත වුණා. අන්තිමට තාත්තගේ පොතේ තිබුණේ රුපියල් පහළොස්දාහයි. අම්මා ඔසාකා පංචමි. පවුලේ හිටියේ මමයි අක්කයි. මට එදා වගේම අදත් දේශපාලනයට සම්බන්ධ වෙන්න කියලා විවිධ පාර්ශ්ව වලින් ආරාධනා ලැබෙනවා. ඒත් දේශපාලනයට වඩා කලාව ගෞරවනීයයි.“

හමුදාවට යන්න ගිය රජිත කොහොමද නළුවෙක් වුණේ.. ඒ පැනයට රජිතගේ මුහුණේ සිහින් සිනාවක් ඇඳී ගියේය.

“හමුදාවට සම්බන්ධ වෙන එක ගැන අම්මයි තාත්තයි කැමති වුණේ නැහැ. මොකද ඒ දවස්වල යුද්ධය දරුණුවටම තිබ්බ කාලේ. ඔය වෙලාවෙදි මගේ අයියා කෙනෙක් වුණු ජයන්ත ගමගේ තමයි, රඟපෑම මට සුදුසුයි කියලා යෝජනා කළේ. ඒ කාලේදී සුනිල් ටී, සෝනියා දිසා චිත්‍රපටියකට නළුවෙක් හොයන්න සම්මුඛ පරීක්ෂණයක් තිබ්බා. දිග පෝලිමක කෙලවරේ මම හිටියේ. අහම්බෙන් එළියට ආපු සුනිල් ටී මාව දැකලා ඇතුළට එක්කන් ගිහින් තිර පරීක්ෂණයකට යොමු කළා. ‘මමයි රජා‘ චිත්‍රපටයට මම සම්බන්ධ වුණේ ඔය විදිහට. ඒ දර්ශන තලයට ආපු විජය කුමාරතුංග එයාගෙ පළමුවෙනි නිෂ්පාදනය වුණු ‘සමාව‘ සඳහා මාව සම්බන්ධ කර ගත්තා. විජය ඝාතනය වුණා. ඒ චිත්‍රපටය නැවතුණා. ඊට පස්සේ මම සෝනියා දිසා, සුනිල් ටී ප්‍රනාන්දු, රොබින් ප්‍රනාන්දු වගේ නිර්මාණකරුවන් රාශියකගේ නිර්මාණ වලට සම්බන්ධ වුණා. ඒ කිසිම වෙලාවක මම මගේ ඥාති සම්බන්ධකම් පාවිච්චි කරලා අවස්ථා ගත්තෙ නෑ. මම කවුද කියලා දැනගත්තම සෝනියා දිසා, විජය කුමාරතුංග එහෙම මට බැන්නා“ මේ පොඩි කාලෙ අපි හුරතල් කරපු කොල්ලා නේද? ඇයි කලින් කිව්වෙ නැත්තෙ කියලා... “

රජිත රොද්‍රගූ ගේ ගමන අමුතුය. අපට හමුවන්නේ වේදිකාවෙන් පුංචි තිරය හරහා සිනමාවට එන නළු නිළියන්ය. නමුත් රජිත පටන් ගන්නේ සිනමාවෙනි. ඔහු වේදිකා නළුවෙක් වන්නේ සිනමා රංගනයෙන් අනතුරුවය.

“ ‘සීමා‘ වේදිකා නාට්‍යයේ මාත් එක්ක රඟපාපු සඳුන් විජේසිරි අයියා මාව ‘ටිකිරි නිළමේ‘ ටෙලි නාට්‍යයට සුදුසුයි කියලා යෝජනා කළා. හැබැයි ඊට කලින් ‘ගම්පෙරළිය‘ ටෙලි නාට්‍යයේ චරිතයකට අවස්ථාවක් ලැබුණා. මම හිතන්නේ ඊට පස්සේ ‘සඳුන්ගිර ගිනිගනියි‘ ‘ඇතුගල පාමුල‘, ‘මල් කැකුලක්‘, ‘දෙනුවර මැණිකේ‘ වගේ කෙටි සහ දීර්ඝ ටෙලිනාට්‍ය විස්සකට වැඩි ගාණක මම රඟපෑවා.

ඒ නිර්මාණ වලට සම්බන්ධ වෙලා ලබපු අමතක නොවන අත්දැකීම මොකක්ද ? කතාව අතරෙ මම ඔහුව විමසුවෙමි. සිනාවකින් මුව සරසා ගත් ඔහු පිළිතුරු දුන්නේය.

“ ‘ඇතුගල පාමුල‘ ටෙලි නාට්‍යය කරද්දි තමයි මට මගේ බිරිය ශෂිකාව මුණ ගැහුණේ. දැන් අපිට දරුවො දෙන්නෙක් ඉන්නවා. මගේ ලොකු දුව මන්දාරා අවුරුදු 20යි, පුතා ශක්ති අවුරුදු 17යි. දෙන්නම අධ්‍යාපන කටයුතු හදාරනවා.

අවසාන වශයෙන් ඔහුව විමසුවේ එදා සහ අද නිර්මාණ පිළිබඳ ඔහුට දැනෙන වෙනස පිළිබඳවය...“

“ඒ කාලේ නළු නිළියන්ගේ ඉඳන් කාර්මික ශිල්පීන් දක්වා හැමෝම අතරේ තිබ්බේ පුදුම විදිහේ එකමුතුකමක්. අද මේ සමීප කම, එකමුතුකම නැහැ. ගොඩක් වෙලාවට ළඟ ඉන්න කෙනෙක් එක්කවත් කතා කරන්න උනන්දු වෙන්නේ නෑ. දවස ගෙවෙන්නේ ෆෝන් එකේ. “

ඔහු මේ නොකියා කියන්නෙ හෘදයාංගම නොවූ යාන්ත්‍රික සමාජ කලාවේ ස්වරූපය ගැනය. දැන් අපට ජීවිතය තෝරා ගන්නට වෙන්නේ ඒ ලේ මස් හිඟ සැකිලි කලා නිර්මාණ බහුතරයක් අතරය. අප රජිතගෙන් සමුගෙන එන්නේ ඒ කම්පනයත් සමඟය.

Comments