20 ජාතික ආරක්ෂාව හා සංවර්ධනය වෙනුවෙනුයි | සිළුමිණ

20 ජාතික ආරක්ෂාව හා සංවර්ධනය වෙනුවෙනුයි

මහාචාර්ය ගාමිණි සම­ර­නා­යක

- 2015 දී සුළුතරයේ බහුතරයක් ඡන්දය ලබාගෙන මැතිවරණ ජයග්‍රහණය කිරීම ඉතිහාසයේ මෙතෙක් ඡන්ද ප්‍රතිඵල උඩුයටිකුරු කිරීමක්
- විසි වැනි සංශෝධනයෙන් ජනාධිපතිවරයාට 1978 තිබූ බලතල නැවත ලැබුණා
- අපිට අවශ්‍ය වෙන්නේ ද්විත්ව පුරවැසියකුගේ හැකියාවෙන් ප්‍රයෝජන ගැනීමයි

විසිවැනි සංශෝධනය පිළිබඳව විමර්ෂණය කිරීමේදී 19 වැනි සංශෝධනය පිළිබඳව ද සුවිශේෂයෙන් සලකා බැලිය යුතුයි. 19 වැනි සංශෝධනය ඇති වූයේ යම් කිසි විශේෂ තත්ත්වයක් යටතේදීය. එහෙයින් 19 ව්‍යවස්ථාව පිළිබඳව සලකා බැලිය යුතු වන්නේ 2015 ජනාධිපති මැතිවරණය සමඟ සංසන්දනය කිරීමෙනි.

2015 වර්ෂයේ ජනාධිපති මැතිවරණය පිළිබඳ සම්පූර්ණ සත්‍ය සැබෑ ලෙස විග්‍රහ වී නැත. මෙහිදී පැහැදිලි ලෙස විග්‍රහ කළ යුතු කරුණක් වන්නේ 2015 ජනාධිපති මැතිවරණ ජයග්‍රහණය ජාතික සහ ජාත්‍යන්තර දේශපාලනික කුමන්ත්‍රණයක ප්‍රතිඵලයකි. මේ රටේ ජනතාව ප්‍රජාතන්ත්‍රවාදිව ඡන්දය ලබා දීමක් පමණක්ම බව ලඝුකොට නොසැලකිය යුතුය. ජිනිවා මානව හිමිකම් ප්‍රකාශනයට ඇමරිකාව විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට ලංකාවේ සම්පූර්ණයෙන් සහය දැක්වූවා සේම ඒ යෝජනාව ගෙන එනු ලබන්නේ ඇමරිකාවේ සහ ලංකාවේ යෝජනාවක් ලෙසයි. ඇත්ත වශයෙන් ම එහිදී ලංකාවේ ජනවාර්ගික ගැටලුවට විසඳුම් ලෙස මේ යෝජනා ඉදිරිපත් වී කර තිබේ. පෙඩරල් ආණ්ඩු ක්‍රම යෝජනාව මඟින් ලංකාවේ ජනවාර්ගික ගැටලුවට විසඳුමක් ලැබෙතැයි වැරදි මතයක් එහිදී ගොඩනැඟී තිබිණි.

මූලික වශයෙන් මේ ව්‍යවස්ථා සංශෝධන පිළිබඳව විග්‍රහයට පෙර ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව යනු කුමක්ද යන්න අපි පැහැදිලි කර ගත යුතුය. අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලිඛිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකි. එනම් එය ආණ්ඩු ක්‍රමය පිළිබඳව ලේඛනයක් එනම් කෙටුම්පතක් වෙයි. එහෙයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනු ලිඛිත ලියැවිල්ල වන බව ඇතැමුන්ගේ අදහසයි. නමුත් ඒ අර්ථයෙන් බැලූවිට බ්‍රිතාන්‍ය ව්‍යවස්ථාව ලිඛිත ලියවිල්ලක් ලේඛනයක් නොවන අතර එය අලිඛිත ව්‍යවස්ථාවකි. නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වෙයි. සාමාන්‍යයෙන් පුළුල් අර්ථයෙන් ගත් විට ව්‍යවස්ථාවක් යනු හුදු ලේඛනයක් කෙටුම්පතක් පමණක් නොවන බව ඉන් පැහැදිලි වෙයි. එය නීතිමය ලේඛනයක්ම නොවෙයි. නීතිවේදීන්ට පමණක් නොව දේශපාලන විද්‍යාඥයන්ට එය ඉතාමත් වැදගත් කරුණක් වෙයි. ඒ නිසා සැබෑ ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවක් යනු ලේඛනයට පරිබාහිර දෙයකි. ලේඛනයට පරිබාහිර වන අතරම එය අයත් රටේ සමාජයේ විවිධ සමාජ කණ්ඩායම් ජනවාර්ගිකයන් අතර සමබරතාවක් ඇති කළ කරන අතරම එමඟින් ව්‍යස්ථාව පැවැතීම සහ ක්‍රියාත්මක වීම සිදු වෙයි.

සුවිශේෂයෙන් 19 වැනි ව්‍යවස්ථාව ගෙන එනු ලැබූයේ අපේ රටේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහායි. 19 ව්‍යවස්ථාවේ මූලික සංශෝධනය ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ මූලික අවස්ථාවේදී ඒ සඳහා ජනමත විචාරණයක් පැවැත්විය යුතුය යන අදහස ඉදිරිපත් විය. විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතරයකින් සම්මත වීමෙන් අනතුරුව ජනමත විචාරණයකටද යා යුතුයි. ඒ තත්ත්වය යටතේ එය නැවත සංශෝධනය වී 19 වැනි ව්‍යවස්ථාව ලෙස ඉදිරිපත් වූයේ රනිල් වික්‍රමසිංහ ආසන 144 ලබා අගමැතිවරයා වීමෙන් අනතුරුවය.

එහි දී සිදු වූ සුවිශේෂ කරුණක් නම් ආණ්ඩු පක්ෂය පත්වීමෙන් පසුව පාර්ලිමේන්තුවේ බහුතරයක් ලැබූ පක්ෂය විපක්ෂනායකධූරය ලැබීම සිදුවිය යුතු වුවද එම සම්ප්‍රදාය කඩ කරමින් පාර්ලිමේන්තු බහුතරයක් ලැබූ පක්ෂයට විපක්ෂ නායක ධූරය හිමි නොවීය. පාර්ලිමේන්තු සම්ප්‍රදාය කඩකරමින් ඒ අවස්ථාවේ පාර්ලිමේන්තුවේ සුළුතරයක් ඇති පක්ෂයේ නායකයා විපක්ෂ නායක තනතුරට පත්කරනු ලැබිණි. 19 ව්‍යවස්ථා සංශෝධනය ගෙන එනු ලැබුයේ ක්ෂණිකවයි. 19 ගෙන ඒමේදි එජනිස එක්තරා ආකාරයට රැවටීමකට ලක් කරමින් මේ ව්‍යවස්ථා සංශෝධනය කරන ලදී. එජනිසට ලංකාවේ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමක අවශ්‍යතාවක් විය. මැතිවරණ ක්‍රමය වෙනස් කරන බවට පොරොන්දු දීමෙන් මේ 19 වැනි සංශෝධනය ඉදිරිපත් කරන ලදී. එජාපය 19 වැනි ව්‍යවස්ථාව ගෙන එමින් සිදුකිරීමට උත්සාහ කළ සියල්ල ඉටු කරගත නොහැකි විය. එහෙත් ජනාධිපතිධූර කාලය අවුරුදු පහකට සිමා කිරීම සිදුකරන ලදී. ඒ කෙසේ වෙතත් එහි විශේෂ කරුණු ගණනාවක් ඇත. කොමිසන් සභා ව්‍යවස්ථාදායක සභා ඇති කිරීම මැතිවරණ කොමිසම වැනි කොමිසන් ඇති කිරීමද මේ ව්‍යවස්ථාව හරහා සිදුවිය. එමෙන් ම ශ්‍රේෂ්ඨාධිකරණයට විනිසුරුවන් පත් කිරිමේ බලය ජනාධිපතිවරයාගෙන් ඉවත් කිරීම වැනි කරුණු ගණනාවක් මෙහි ඇතුළත් විය. 19 ව්‍යවස්ථාව යනු සම්පූර්ණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමේ පෙරහුරුවක් ලෙස සැලකිය හැකිය. 2015 ජනාධිපති මැතිවරණය එක්තරා ආකාරයකට ඒකීය ක්‍රමය පෙඩරල් ක්‍රමයකට පරිවර්තනය කිරීම යටතේ යම් කිසිවකුට දෙන ලද ප්‍රතිඥාවක් මත ඇති වූවක් විය හැකිය. පෙඩරල් ක්‍රමයක් ඇති වූයේ නම් ආණ්ඩුකාරවරුන්ගේ බලය අහෝසි වෙයි. ඒ අනුව පළාත් සභා ක්‍රමය යටතේ මහ ඇමැතිවරුන්ගේ පාලනයක් ඇති වෙයි. ඊට අමතරව තවද උතුරු නැගෙනහිර එක් කිරීම වැනි කරුණු ගැබ් වී තිබුණි. උතුරු නැගෙනහිර එකතු කිරීම යනු ඒ මූලධර්ම උල්ලංඝනය කිරීමකි. ප්‍රායෝගික වශයෙන් ගත් විට දෙමළ සහ සිංහල කතා කරන මිනිසුන් ලෙස බෙදී මේ රට සිංහල සහ දෙමළ කතා කරන ජනතාව ලෙස බෙදෙනු ලැබෙයි. නැගෙනහිර සිංහල, දමිළ සහ මුස්ලිම් සියලු ජනවර්ග ජීවත් වෙන ප්‍රදේශයකි. එම ප්‍රදේශය උතුරට යා කිරීම ඉතාමත් වැරදි ක්‍රියාවකි. මානව විද්‍යාත්මකව සංස්කෘතිමය ලැදියාවන් දෙස බැලීමේදී ඒ ප්‍රදේශවල ජනතාවගේ ලැදිකම ඇත්තේ උතුරට නොව දකුණටයි.

මේ ව්‍යවස්ථාවේ සඳහන් වන තවත් කරුණක් නම් ජනාධිපති ආණ්ඩුවේ නායකයා වුවද, රාජ්‍ය නායකයා වුවද, කැබිනට් මණ්ඩලයේ නායකයා වුවද ඔහුට කැබිනට් ඇමැති ධූරයක් දැරීමට නොහැකිය. සංක්‍රාන්ති සමයක් වූ නිසා හිටපු ජනාධිපතිවරයාට පරිසර ඇමැතිධූරය සහ ආරක්ෂක ඇමැතිධූරය තබා ගැනීමට හැකිවිය.

තවද එම ව්‍යවස්ථාව අනුව අගමැතිගේ බලය වැඩි විය. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ මූලික අරමුණ බව සඳහන් කරමින් මේ ව්‍යවස්ථාව සංශෝධනය කෙරිණි. එය එක්තරා විදිහකට මේ සංශෝධනය ව්‍යවස්ථා සංශෝධන නැවත අංශක 180 දක්වා කරකැවීමකි. ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවෙන් ඉදිරිපත් කරනු ලැබූ ජනාධිපති විධායක ක්‍රමය වෙනුවට පාර්ලිමේන්තු විධායකයකට ව්‍යවස්ථාව සම්පූර්ණයෙන් පරිවර්තනය කිරීමට මෙහිදී උත්සාහ කෙරුණු නමුත් එය සාර්ථක නොවිණි.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ යටි අරමුණ වූයේ රටේ පෙඩරල් ආණ්ඩු ක්‍රමයකට අවශ්‍ය ව්‍යස්ථානුකූල පසුබිම සකස් කිරීමක් බව ඉතා පැහැදිලිය.

එයට හොඳම නිදසුන ජනාධිපති මැතිවරණය; සාමාන්‍ය ජනාධිපති මැතිවරණයකට වඩා වෙනස් වූ ප්‍රතිඵලයක් ගෙන එ්මයි. 2015 මැතිවරණය සුළුතරයේ බහුතරයක් ඡන්දය ලබා ගෙන ජයග්‍රහණය කරන ලද මැතිවරණයකි. මේ සුළුතරයේ බහුතරයක් ඡන්දය ලබාගෙන මේ මැතිවරණය ජයග්‍රහණය කිරීම අතිශයින්ම වෙනස් මැතිවරණ ප්‍රතිඵලයකි. සුළුතරයේ බහුතරයක් ඡන්දය ලබාගෙන මැතිවරණ ජයග්‍රහණය සිදුවීම මැතිවරණ ඉතිහාසයේ මෙතෙක් ඡන්ද ප්‍රතිඵල උඩුයටිකුරු කරන ලද සිදුවීමකි. බහුතරයේ බහුතරයක් ඡන්දය ලබාගෙන මෙතෙක් මැතිවරණ ජයග්‍රහණයන් සිදුවී ඇත. මැතිවරණ ප්‍රතිඵල සිතියම දෙස විචාරශිලීව බැලූවිට අපිට පැහැදිලි වශයෙන්ම දැකගත හැකි වන කරුණක් වන්නේ සුළුතරයේ බහුතරයේ ලබාගෙන ජයග්‍රහණය කිරීම මෙවර සිදුවීමයි. එතැනදී අපිට දැකගත හැකි වන්නේ සුළුතරයේ බහුතරය ගැනීම සඳහා යම් මැතිවරණ පොරොන්දුවක් දී ඇති බවයි. තවත් සුවිශේෂ කරුණක් නම් තමන්ගේ ඡන්ද බලයෙන් පත් කරන ලද මහජන නියෝජිතයන් පැත්තකට දමා බාහිර පුද්ගලයන්ට ඒ අවස්ථාව ලබා දී ඇති ආකාරය අපි දුටුවෙමු. ප්‍රජාතන්ත්‍රවාදය එක්තරා මූලධර්මයක් වන්නේ නිතර නිතර මැතිවරණ පැවැත්වීමයි. පසුගිය රජය විසින් කිසිදු අවස්ථාවක මැතිවරණ පැවැත්වීමට උත්සාහ කර නැත. මෙම කාලය තුළ පැවැතිය යුතු මැතිවරණ පැවැත්වීමට කටයුතු කළේ නැත. පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට ජනාධිපතිවරයාට හැකිවුයේ අවුරුදු හතරාමාරකට පසුවයි. 19 වැනි ව්‍යස්ථා සංශෝධනයෙන් ස්වාධීන කොමිසන් සභා පත් කරනු ලැබූයේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට බව ඔවුන් සඳහන් කරයි.

එහි විසංවාදය මැතිවරණ කොමිසමේ සම්බන්ධයෙන් අත් විදිමු. එහි සාමාජිකයන් තුන්දෙනෙක් විය. එහි එක් සාමාජිකයකු ඉතාමත් ප්‍රභල සාමාජිකයෙක් විය. එහිදි නිතර ඉදිරිපත් වූයේ ඔහුගේ මතය පමණි. ඇතැම් විට නඩු මගට පවා ගිය බව පෙනෙයි. ඔහුට නඩුමගට යෑමට බලය කෙසේද හිමිවූයේ යන්න ගැටලුවකි. ඒ මැතිවරණ කොමිසමද මැතිවරණ තැබීමට අකමැති කොමිසමකි. පළාත් සභා මැතිවරණය පැවැත්වුණේ කුමන හේතුවක් නිසාද? එසේ ම ටිඑන්ඒ පක්ෂය උතුරේ පළාත් සභා කාලය ඉක්මවා ගොස් තිබුණ ද මැතිවරණයක් නොඉල්ලීමට හේතුව කුමක්ද? එසේ නොකරන ලද්දේ ඔවුන්ට මීට වඩා බලගතු ව්‍යවස්ථාවක් මගින් ඔවුන් ප්‍රාර්ථනා කරන ආකාරයේ පෙඩරල් ක්‍රමයක් ලබා ගැනීමට අවශ්‍ය වීමයි. එසේ වුවත් ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් ඇති කිරීම මෙහි අරමුණ බව රටට පෙන්වීමට උත්සහ කරනු ලැබුණි. නමුත් අපිට නුපුරුදු එක්තරා කෘතිම දේශපාලනික අත්හදා බැලීමක් මේ අය විසින් සිදු කරන ලදී.

කෙසේ වෙතත් මේ 19 වැනි ව්‍යවස්ථාවේ විකෘති ස්වභාවය ප්‍රකෘති තත්ත්වයට පත් කිරීමක් 20 වැනි සංශෝධනය මඟින් සිදු විය.

විසි වැනි සංශෝධනයෙන් ජනාධිපතිවරයකුට ලැබී තිබුණ බලතල නැවත ලැබී ඇත. 20 වැනි ව්‍යවස්ථාවේදි ඇති කරන ලද්දේ ජනාධිපතිවරයකුට 1978 ව්‍යවස්ථාවේ දී ලැබී තිබූ බලතලය.

විශේෂයෙන් 20 වැනි ව්‍යවස්ථාවේ සඳහන් වන ද්විත්ව පුරවැසිභාව සම්බන්ධයෙන් බොහෝ අය සඳහන් කරන්නේ මෙය රාජපක්ෂවරුන් ඉලක්ක කරගනිමින් සිදු කරන ලද්දක් බවයි. නමුත් 20 ද්විත්ව පුරවැසිභාවය ඇමරිකාවෙත් පවතී. රටවල් කිහිපයක භාවිත වෙයි. ද්විත්ව පුරවැසියකුට හැකියාව සහ අදාළ රටට ඇති හිතෛෂී භාවය වැදගත් වෙයි. අපිට අවශ්‍ය වෙන්නේ ද්විත්ව පුරවැසියකුගේ හැකියාවන් වලින් ප්‍රයෝජනයට ගැනීමයි. 19 වැනි සංශෝධනයෙන් සිදු කිරීමට උත්සහ කළේ කිසිදු රාජපක්ෂවරයකුට දේශපාලන කිරිමට නොහැකියාවක් ඇති කිරීමටය. ලාංකිකයකුට ද්විත්ව පුරවැසිභාවය තිබුණද ඒ අය වැඩිම ලැදියාවක් ඇත්තේ ලංකාවට නම් ඒ අයගේ සේවය ලබා ගතයුතුයි.

මේ 20 වැනි සංශෝධනය සුබවාදිව මේ රටේ ජාතික සංවර්ධනයට ජාතික ආරක්ෂාව වැඩි දියුණු කිරිමට කර ඇති සංශෝධනයකි. එය අපි සර්ව සුබවාදීව දැකිය යුතුයි. මෙය තුනෙන් දෙකේ බලයෙන් සම්මත වීමත් විපක්ෂයේ බලය එහිදි තවත් හීන වීමත් සිදුවිය. මේ සංශෝධනය සම්මත වීම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා ඇති වූ යහපත් පිබිදිමක් ලෙස හැඳින්විය හැකිය.

Comments