වසර 113ක් ජීවත් වුවත් මළ බත­ක්වත් නොලබා අව­සන් ගමන් ගිය විලි­යම් | සිළුමිණ

වසර 113ක් ජීවත් වුවත් මළ බත­ක්වත් නොලබා අව­සන් ගමන් ගිය විලි­යම්

නම විලියම්; වයස 113 යි

මුනුපුරු මිනිපිරියන් ගණන 11 යි; ඔවුන්ගේ දරුවෝ 19 යි

කිරිඳිවැල ගම වුණත් උපන්ගම රුවන්වැල්ල

මැලේරියාව හැදිලා පණ බේරුණේ ඇන්. ඇම් නිසා

ඔහු ජ්‍යොතිෂය, යන්තර මන්තර ගැන විශ්වාස කළේ නෑ

 

ලංකාවේ වයස්ගතම පිරිමියා ලෙස වාර්තා වී සිටියේ කිරිඳිවැල කැන්දගොල්ල ගල්අමුණේ පදිංචි වී හුන් කිරිගල්බොඩ දේවගේ විලියම් ය. ඔහු 1907 මැයි 20 වැනි දින උපත ලැබුවෙකි. අවුරුදු 113 ක් දිවි ගෙවූ විලියම් සීයා පසුගිය 22 වැනිදා ඔහුගේ දිවිසැරිය නිමා කළේය. ඔහු මිය ගිය බව දන්වා ඔහුගේ මිනිපිරියක් ඒ බව දුරකථනයෙන් මා වෙත දැනුම් දුන්නේ ඔහු පිළිබඳව සිළුමිණ පුවත්පතට මෙම වසරේ මාර්තු 15 වැනි දින මා ලිපියක් ලියූ නිසාය.

 

“ඔක්තෝබර් 19 වැනිදා ඉඳලා තමයි සීයා අසනීප වුණේ. 18 වැනිදා රෑට කෑම කෑවා; ඇවිදලා හොඳට හිටියා. 19 වැනිදා උදේ තේ කෝප්පය දෙන්න නැඟිට්ටවනකොට නැඟිටින්න බැරිව ගියා. කතා කරගන්නත් බැරි වුණා. අපි නැඟිට්ටවන්න හදද්දි ඔළුව කෙලින් කරගෙන ඉන්න බැරි වුණා. ඔළුව පැත්තකට ගියා. ඊට පස්සේ අපි සීයා නැතිවන තුරුම දෙළුම් ඉස්ම, දොඩම්, සුප් වගේ බොන ජාති පෙව්වා. සේලයින් දෙන්න බඩු ගෙනල්ලා ගෙවල් ළඟ නර්ස් කෙනෙකුටත් කිව්වා. ඒත් සේලයින් දෙන්න ඉස්සෙල්ලා සීයා නැති වුණා.“ යනුවෙන් පැවසුවේ සීයාගේ මිනිපිරියක වන සුරේඛා ය.

කේ. ඩී. විලියම් සීයා මීට තුන්මාසයකට පෙරදී ද රෝගාතුර වී තිබේ. ඒ කකුලක සැරව පිරුණු බිබිලි ඇති වීමෙනි. එම තුවාල පිරිසිදු කිරීම සඳහා වතුපිටිවල රෝහලේදී හිරි වට්ටවා සැත්කමකට ද භාජනය කර තිබේ. එම සැත්කමෙන් අනතුරුව මාස එක හමාරක් පමණ සීයා කාලය ගෙවා තිබුණේ ඇඳෙහිමය.

“ඒ දවස්වල මම කැඳ වර්ග, සුප්, මාමයිට් එහෙම පෙව්වා. කොහොමහරි පොඩ්ඩ පොඩ්ඩ කෑම කැව්වා. ඊට පස්සේ තාත්තා නැඟිට්ටා; පස්සේ තාත්තා හොඳට හිටියා; ඇවිද්දා; සාමාන්‍ය විදියට කෑවා බිව්වා. කිසිම අසනීපයක් තිබුණෙ නැහැ.“ යනුවෙන් සීයාගේ ලේලිය, එච්.එම්. චන්ද්‍රලතා සඳහන් කළාය.

කේ. ඩී. විලියම් සීයා කිරිඳිවැල කැන්දගොල්ල ගල්අමුණේ පිහිටි සිය නිවසේ ජීවත් වූයේ ලේලිය චන්ද්‍රලතා, මිනිපිරිය සුරේඛා සහ ඇගේ පවුල සමඟය. සීයා රැක බලා ගැනීමට නිවසේ සිටි ඔහුගේ පුතා (චන්ද්‍රලතාගේ සැමියා) කරුණාරත්න පිළිකාවකට ගොදුරු වීමෙන් 2004 වසරේදී මිය ගියේය. සිය පුත්‍රයා මහරගම අපේක්ෂා රෝහලේ සිටියදී පුතුට සාත්තු සප්පායම් කර තිබුණේ විලියම් තාත්තා ය. පුතාගේ මරණයෙන් පසු චන්ද්‍රලතා විදේශ රැකියාවකට ගොස් සිටියදී මුනුපුරු මිනිපිරියන්ට කන්න බොන්න දී ඔවුන්ව පාසල් යවා රැක බලා ගෙන තිබෙන්නේ විලියම් සීයා ය.

“සීයාට හොඳට උයන්න පුළුවන්. කජු මාළුව, ඌරුමස් කුකුළු මස් වෑංජන එහෙම හදනවා, හරිම රසයි.“ යනුවෙන් සුරේඛා පැවසුවේ ඒවායේ රස සිහි වී ඇති වූ සොම්නසිනි.

කේ. ඩී. විලියම්ට දරුවන් සයදෙනෙකි. එහෙත් මේ වන විට ජීවත් වන්නේ දරුවන් තිදෙනකු පමණි. ඉන් දෙදෙනෙක් මොනරාගල පදිංචි වී සිටිති. අනෙක් දරුවා පදිංචි වී සිටින්නේ රත්නපුරයේය. ඔවුන් සියලුදෙනාම පියාගේ අවමංගල්‍යයට පැමිණ තිබුණි. කේ. ඩී. විලියම් සීයාට මුනුපුරු මිනිපිරියන් 11 දෙනෙක් සිටිති. මුනුපුරු මිනිපිරියන්ගේ දූ දරුවන්ගේ ගණන 19 කි. විලියම් සීයාගේ බිරිඳ බේලින් නෝනා මෙලොව හැර ගොස් තිබෙන්නේ මීට වසර 35 කට පෙරය. ඒ ඇදුම රෝගය හේතුවෙනි. සිය බිරිඳගේත් දරුවන් තිදෙනකුගේත් මරණ උපේක්ෂා සහගතව විඳ දරා ගත් කේ. ඩී. විලියම් වසර 113 ක් ජීවත් වීමට තරම් වාසනාවන්ත විය.

ඔහු සියනෑ කෝරළයට අයත් කිරිඳිවැල කැන්දගොල්ල ග්‍රාමයේ ජීවත්වී අවසන් සුසුම්පොද සියනෑ කෝරළයට මුසු කළ ද ඔහු උපත ලැබුවේ තුන් කෝරළයට අයත් රුවන්වැල්ල මොරලිය ග්‍රාමයේය. ඔහුට වැඩිමහල් සහෝදරයකු සහ බාල සහෝදරයන් දෙදෙනකු සිටි නමුත් ඔවුන් මෙලොව හැර ගොස් තිබෙන්නේ විලියම් සීයාට පෙර ය. විලියම් සීයා රුවන්වැල්ල අම්බලම පිටුපස පාසලෙන් දෙවැනි කැලෑසියට පමණක් අධ්‍යාපනය ලැබූ බව එදා අප සමග කීවේ පාසල් වියේ කළ චණ්ඩිකම් ද සිහිපත් කරමිනි.

“ඒ කාලේ ඉස්කෝලේ දවල්ට බත් දෙනවා. දවසක් මම බත් බෙදන කොල්ලාට ගහලා කැලේ පැන්නා. ඊට පස්සේ දිගටම කැලේ පැන්නා. එතනින්ම ඉස්කෝල ගමන නැවතුණා.“ යනුවෙන් දඩබ්බරකම් ගැන ඔහු පැවසූ වදන් මට අද මෙන් මතකය. ඔහු අකුරු කළ පාසල අද හැඳින්වෙන්නේ රුවන්වැල්ල රාජකීය විද්‍යාලය යනුවෙනි.

විලියම් සීයා කැලණි ගඟෙන් එගොඩ පිහිටි රුවන්වැල්ලේ සිට සියනෑ කෝරළයට පැමිණෙන්නේ ද දබරයක් මුල් කර ගනිමිනි. එය ඇති කර ගෙන තිබුණේ පියා සමඟය. අමිතිරිගලට නුදුරුව පිහිටි කිරිඳිවැල කැන්දගොල්ල ග්‍රාමය එදා ඝන කැලෑවක් විය. කවදත් කැත්ත උදැල්ලට හුරු වූ විලියම්ගේ දෑතින් එකී කැලය කුරහන්, මඤ්ඤොක්කා, බතල වගා කළ හේනක් බවට පත් වූයේ ඉතා කෙටි කාලයකිනි. හේන් ගොවිතැන් කළ ඔහු රබර් වගාවට ද අත ගසා ඇත.

“මෙහාට ආපු කාලේ හාල් ගන්න සල්ලි නැතිව මම කුරුම්බා කාලා බඩ පුරවාගෙන තියෙනවා. මම වගා කරන්නේ ආණ්ඩුවේ ඉඩම්වල කියලා මාව අයින් කරන්න හය වතාවක් ආවා. කොහොමහරි ඊටපස්සේ මට ඉඩම් අයිති වුණා. ඒ කාලේ මගේ ඉඩමේ කිතුල් ගස් 50 ක් විතර තිබුණා. මම කිතුල් රා මැද්දා. මම කිතුලට ගිහින් රා බාගෙන එනකම් කට්ටිය කළ ගෙඩි තියාගෙන පෝලිමේ ඉන්නවා.“ යනුවෙන් එදා මා සමග අතීතාවර්ජනයක යෙදුණු විලියම් සීයා අද සදාකාලික නින්දක සැතපී සිටියි.

අතුරේ ගිය විලියම් සීයා දක්ෂ සර්කස්කරුවකු බව සඳහන් කළේ ඔහුගේ ලේලිය චන්ද්‍රලතා ය. පුවක් ගසට නැඟ හිස පොළවට සිටින සේ දමා ඔහු රූටාගෙන බිමට බසින අයුරු විස්තර කළ චන්ද්‍රලතා, එම දසුන ඉතා භයංකාර බැවින් නිවැසියන් පමණක් නොව අසල්වාසින් පවා කෑගසන බව සඳහන් කළාය.

කේ. ඩී. විලියම් උග්‍ර සමසමාජ පාක්ෂිිකයෙකි. ඔහු සමසමාජ පක්ෂයට බැඳී තිබෙන්නේ ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා නිසාය. ඔහු රුවන්වැල්ලේ පදිංචි වී සිටි කාලයේදී මැලේරියා වසංගතයට ගොදුරු වී තිබේ. ඔහු මරණයෙන් ගැලවුණේ ඇන්. ඇම්. පෙරේරා මහතා බෙදා දුන් බේත්හේත්, මාමයිට් සහ පරිප්පු නිසා බව ඔහු එදා පැවසුවේය. ඊට කෘතගුණ දක්වනු වස් ඔහු ඇන්. ඇම්. පෙරේරාගේ දේශපාලන පක්ෂය වන සමසමාජ පක්ෂයට ඡන්දය පාවිච්චි කළේය. එහෙත් ඔහු ශ්‍රී ලංකාවට නිදහස ලබා දීමට උර දුන් ඩී. ඇස්. සේනානායකට ගෞරව කරන්නෙකි.

ශ්‍රී ලංකාව ඉංග්‍රීසින්ට යටත් විජිතයක්ව පැවැති කාලයේ ජපනුන් ලංකාවට බෝම්බ දැමූ අයුරු, කාපෙරි හමුදාව ලංකාවේ රැඳී සිටි අයුරු විලියම්ගේ මතකයේ හොඳින් තැන්පත් වී තිබුණි. එම පැරණි සිදුවීම් ඔහු අප සමඟ විස්තර කළේ කාපෙරි හමුදාව පාරේ යන විට සැඟවී සිටි අයුරු පවා සඳහන් කරමිනි.

කේ. ඩී. විලියම් සීයා පාරුවෙන් කොළඹ ගිය තැනැත්තෙකි. කොළඹ ගොස් බඩු පටවාගෙන පාරුවෙන් ගමට එන විලියම් පාරුකරුවන් සමඟ එකතු වී පාරු බත් කෑ බව සඳහන් කළේ උජාරුවෙනි.

1907 මැයි මස 20 වැනිදා උපත ලැබූ විලියම් සීයා 21 වැනි සියවසට අයත් වූ අයකු නොවේ. ඔහුගේ ජාතික හැඳුනුම්පතේ අංකය 071410358v ඊට සාක්ෂි දරයි. එහෙත් ඔහු 21 වැනි සියවසේ ජීවත් වන අය මෙන් ජ්‍යොතිෂය, යන්තර මන්තර ගැන විශ්වාස කරන්නේ නැත.

ඒ පසුපස හඹා යෑමක් නැත. කොටින්ම කිවහොත් ඔහුට හඳහනක්වත් නැත. නැකැත් ගැන විශේෂත්වයක් නැතත් ඔහු සිංහල අලුත් අවුරුද්දේදී එළඹෙන නොනගතයට කැමතිය. ඊට හේතුව නොනගතයේදී ගමේ කට්ටිය සමග එකට එකතු වී කැට ගැසීමට ඇති කැමැත්තයි. කය වෙහෙසා ගොවිතැන් කළ විලියම් සීයා අල, බතල, කුරහන්, මෙනේරි වැනි ආහාර ගත් නිසාදෝ මිය යන තුරුම අධිරුධිර පීඩනය, දියවැඩියාව, කොලෙස්ටරෝල් වැනි කිසිම රෝගයකට ගොදුරු වූයේ නැත. ඔහු අවුරුදු 5 වනතුරු මවුකිරි බී ඇත.

නිවසේ පිසින ඕනෑම ආහාරයක් කෑමට ගත් ඔහු මුරුක්කු, පකඩ, කොකිස් පවා සපා කෑවේ ඔහුගේ දත් සවිමත් නිසාය. කොතරම් නිරෝගිව සිටියත් ජීවිතය සදාකාලික නැත. මාරයා පැමිණ හඬ ගැසූ විට යා යුතුය.

ඔක්තෝබර් 01 වැනි දිනට යෙදී තිබුණු ජාත්‍යන්තර වැඩිහිටි දිනය නිමිත්තෙන් කිරිඳිවැල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සංවිධානය කළ උත්සවයට ද ඔහු සිය ලේලිය සමග සහභාගි විය. එය ඔහු සහභාගි වූ අවසාන උත්සවය විය. ලංකාවේ වයස්ගතම පිරිමියා ලෙස වාර්තා තබා සිටි කේ. ඩී. විලියම් උපහාර ලැබූ අවසාන අවස්ථාව එය විය. වසර 113 ක් ජීවත් වූ කේ. ඩී. විලියම් සීයා ඔක්තෝබර් 22 වැනි දින පෙරවරු 10.40 ට පමණ සදහටම දෙනෙත් පියා ගත්තේය.

කොරෝනා වසංගතය පැතිරි යන, ගම්පහ දිස්ත්‍රික්කය පුරා ඇඳිරි නීතිය පනවා ඇති අවස්ථාවක විලියම් සීයාගේ මරණය සිදු වූ බැවින් නිරෝධායන නීතිරීතිවලට අනුකූලව අවසන් කටයුතු සිදු කිරීමට නියම විය.

“තාත්තා නැති වුණ ගමන් මම ග්‍රාම නිලධාරි මහත්තයාට දැනුම් දුන්නා. ඔහු පී.එච්.අයි. මහත්තයා සමග ආවා. පුළුවන් තරම් ඉක්මනට අවසන් කටයුතු කරන්න කිව්වා. ගම්පහ දිස්ත්‍රික්කයේ අවදානම් කලාපවල ඉන්න අයව ගෙන්වගන්න එපා කිව්වා.

මළ ගෙදරට එන අයට අත් හෝදන්න එළියෙන් ටැප් එකක් හයි කරන්න කිව්වා. අවමඟුල් උත්සවයට 50 කට අඩුවෙන් සහභාගි කරවන්න කිව්වා. ඒ කිව්ව හැටියට අපි සේරම දේවල් කළා. 22 වැනිදා හවස අවසන් කටයුතු කරන්න කියලා කිව්වාම මම පී.එච්.අයි. මහත්තයා එක්ක කිව්වා 23 වැනිදා කරන්නම්, මොනරාගල රත්නපුර ඉඳලා තාත්තාගේ දරුවො එන්න ඉන්නවා කියලා. ඒ පාර ඒකට එකඟ වුණා. ගමේ හැමෝම සැරින් සැරේ ඇවිත් තාත්තාට අවසන් ගෞරවය දක්වලා ගියා. 23 වැනිදා අවමඟුල් උත්සව වෙලාවේ පවුලේ අය විතරයි හිටියේ. ආදාහනාගාරයට යන විටදීත් ගැහැනු දෙදෙනකුටත් පිරිමි හතර දෙනකුටත් විතරක් සහභාගි වෙන්න කියලා කිව්වා. ඒ නිසා දුවයි මමයි පවුලේ පිරිමි හතරදෙනකුයි විතරක් ගියා.“ යනුවෙන් විලියම් සීයාගේ ලේලිය, චන්ද්‍රලතා විස්තර කළාය.

ලංකාවේ වයස්ගතම පිරිමියා වූ කේ. ඩී. විලියම් වසර 113 ක් දිවි ගෙවා නිරෝධායන නීතිරීතිවලට අනුකූලව ඇඳිරි නීතිය මධ්‍යයේ අවසන් ගමන් ගියේ ය. ඌරාපොල ආදහනාගාරයේදී හය දෙනකුගේ ගරු බුහුමන් මැද අවසන් ගමන් ගිය විලියම් සීයා වෙනුවෙන් මළබතක් ඉදුණේ නැත. 28 වැනි බදාදා පැවැති සත්දින දානමය පින්කම විහාරස්ථානයට සීමා විය.

Comments