පාලමක් නිසා වැනසෙන පොල්ගස්දූව සෙනසුන | සිළුමිණ

පාලමක් නිසා වැනසෙන පොල්ගස්දූව සෙනසුන

රත්ගම කළපුවේ සුන්දරත්වය දෙගුණ තෙගුණ වන්නේ එකී කළපුවේ පිහිටි පොල්ගස්දුව ආරණ්‍ය සේනාසනය නිසාය. අක්කර හතරහ මාරක වපසරියකින් යුත් භුමියක පිහිටා ඇති මෙකී ආරණ්‍ය සේනාසනය නිල්වන් අහස්තලය මත පිහිටි රුක්ගොමුවක් වැනිය. ජාත්‍යන්තර වශයෙන් ප්‍රසිද්ධියට පත් වසර සියයක ඉතිහාසයකට උරුමකම් කියන පොල්ගස්දුව ආරණ්‍ය ස්විස්ටර්ලන්ත ජාතිකයකු විසින් රන්පවුම් 75කට මිලදී ගෙන ඤාණාතිලෝක හිමියන් වෙත පූජා කරන ලද්දකි. පොල්ගස්දුව ආරණ්‍යයේ ආදි කර්තෘවරයාණන් වහන්සේ ඥාණාතිලෝක හිමියෝ ජර්මන් ජාතිකයෙකි.

මෙකී ආරණ්‍ය සේනාසනයේ ටිබෙට් ජාතික ඇස්. මහින්ද හිමියන් පවා වැඩ සිට ඇති අතර අදටත් දෙස් විදේස් භික්ෂුන් වහන්සේ ත්‍රිපටක ධර්මය අධ්‍යයනය කරමින් භාවනායෝගිව වැඩ වසති. පොල්ගස්දුව ආරණ්‍ය සේනාසනය මඟින් ප්‍රදේශවාසීන්ගේ අධ්‍යාත්මික සංවර්ධනය සඳහා ඉටුවන්නේ සුවිශේෂි කාර්යභාරයකි.

එසේවුව ද මේ වනවිට රත්ගම ප්‍රාදේශීය සභාවට අයත් කටුදම්පේ ගලගොඩවත්තේ සිට හෙන්නාතොට ගොරකගස් බොක්ක දක්වා රත්ගම කළපුව හරහා මිටර්100ක දිගින් යුතු යකඩ පාලමක් ඉදිකිරීමට සැලසුම් කිරීම හේතුවෙන් ගැටලුකාරී තත්ත්වයක් උද්ගතව තිබේ. එකී මාර්ගයේ කොටසක් මේ වනවිට ඉදිකර ඇති අතර යෝජිත මාර්ගය හා පාලම ඉදිකිරීමට විරෝධය පළ කරමින් රත්ගම බල ප්‍රදේශයේ විහාරාධිපති හිමිවරුන් හා රත්ගම කළපුව අවට විහාරාධිපති හිමිවරුන් 20 දෙනෙකුගේ අත්සන් සහිත ලේඛනයක්ද අගමැතිවරයා ඇතුළු බලධාරින් වෙත යොමු කර තිබේ. මෙහි ඇත්ත නැත්ත පිළිබඳ සොයා බැලීමට පසුගියදා අප රත්ගම කළපුවේ සංචාරයක නිරත විමු.

පොල්ගස්දුව ආරණ්‍ය සේනාසනාධිපති රත්ගම විවේකවිහාරි හිමියෝ අප සමඟ පැවසුවේ මෙවැනි කතාවකි.

" වනසත්ව හා වෘක්ෂලතා ආඥා පනතේ විධිවිධාන ප්‍රකාරව මෙය අභය භුමි ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා. මෙහි මත්ස්‍ය භුමියක් තියෙනවා. මෙකී මාර්ගය හා පාලම ඉදිකිරීම නිසා පාරිසරික වශයෙන් විශාල හානියක් වෙනවා.

එක් පසකින් වනයත් අනික් පසින් කළපුවත් පිහිටා තිබිම නිසා මෙම පාලම හා මාර්ගය ඉදිකිරීමෙන් එය අපරාධ රැසකට කදිම තෝතැන්නක් වෙනවා. ඒ විතරක් නෙවෙයි සංචාරකයන් කළපුව හරහා බෝට්ටු සවාරි යෑම පටන් ගත්තොත් එයින් ආරණ්‍ය සේනාසනයේ භාවනායෝගිව වැඩ වසන ස්වාමින් වහන්සේලාට විශාල බාධාවක් වෙනවා. ගම් දෙකක බෙදීමක් ඇති වෙනවා. රත්ගම කළපුවට තවත් හික්කඩුවක් වෙන්න ඉඩ දෙන්න බැහැ. අනික් කාරණය තමයි මේ මාර්ගය ඉදිවන්නේ අනවසරයෙන්. මේ සඳහා රත්ගම ප්‍රදේශීය සභාව විසින් මුලද පාලමක් ඉදිකිරිමට අනුමැතිය දී තිබෙනවා. අපි ප්‍රාෙද්ශීය සභාවට ගිහින් මේ මඟින් වන හානිය පෙන්වා දුන්නා. පසුව රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති ටී. නිමල් යළි සභා රැස්විමක් කැඳවා එම අනුමැතිය අත්හිටුවීමට කටයුතු කළා. කුමාරකන්දට කටුදම්පේ සිට දැන් තියෙන මාර්ගයෙන් විනාඩි 10න් යන්න පුළුවන් රත්ගම හන්දියට. පාර කෙටි කරන්න ගිහින් විශාල විනාශයක් කරන්නයි මේ හදන්නෙ. මේ සඳහා වනජිවි හා පරිසර යන ආයතනවල අවසරය ලබාගෙන නැහැ. මේ සඳහා කටුදම්පේ පිරිසක්ද විරුද්ධයි. පාලම දමන තැනින් කඩොලාන කැපෙනවා. මේ ගමේ සුන්දරත්වය විනාශ කරන්න දෙන්න බැහැ. මේ සඳහා රත්ගම ප්‍රාදේශීය සභාවේ එක් මන්ත්‍රීවරයකු හැර අනික් සියලු මන්ත්‍රීවරු විරුද්ධයි. "

මෙකී මාර්ගය හා පාළම ඉදිකිරීම සඳහා මුලිකත්වය ගෙන කටයුතු කරන හික්කඩුව නගර සභාවේ සභාපති විනි කාරියවසම් ඒ පිළිබඳ අදහස් දැක්වීය.

"යෝජිත පාලම ඉදිවන්නේ රත්ගම කළපුව හරහා නෙමෙයි. රක්ෂිත අභයභුමියෙන් කිලෝමිටර් 02ක් පමණ පිටිතින් තමයි පාලම ඉදිකිරීමට සැලසුම් කරලා තියෙන්නේ. මානම්ඔය අතුගංගාව හරහා තමයි පාලම ඉදිවන්නේ. ඊට අදාළ ගැසට් නිවේදනය මා ළඟ තියෙනවා. එක කඩොලාන ගහක් කැපෙන්නේ නැහැ; පාරිසරික වශයෙන් කිසිදු හානියක් වෙන්නේ නැහැ. දැනට කිලෝමීටරයක් පමණ පාර ඉදි කරලා තියෙනවා. දැනට ලක්ෂ 39ක විතර වැඩකරලා තියෙනවා. නගර සභාවෙන් වැය වෙලා තියෙන්නේ රුපියල් 1,75000ක මුදලක්. හිතවතුන්ගේ දානපතියන්ගේ ආධාර උපකාර මත තමයි මාර්ගය ඉදිවන්නේ. කටුදම්පේ ඉන්නේ අන්ත දුප්පත් මිනිසුන්. මේ මාර්ගය හා පාලම ඉදිකිරිම නිසා ඒ ජනතාවට විශාල සෙතක් වෙනවා. කිලෝමිටර් 06ක් යන දුර කිලෝමිටරයකින් යන්න පුළුවන්. ඇල්පිටිය මාර්ගයට ඉතා පහසුවෙන් යන්න පුළුවන්. උපකාරක පන්තිවලට කාර්යාවලට යන අයට මෙන්ම ගම්මුන්ට මේ මඟින් විශාල සේවාවක් සිදු වෙනවා. මම පාරවල් සිය ගණනක් ඉදිකරලා තියෙනවා. දැනට මෙකි මාර්ගය ගලබොඩවත්ත දක්වා ඉදිකරලා තියෙනවා. ඒ ඉඩම පුද්ගලික ඉඩමක්. අපි වනජීවියෙන් හා වාර්මාර්ගයෙන් ඉල්ලීමක් කරලා තියෙනවා; එම ඉඩමේ රක්ෂිතය මායිම්කරලා දෙන්න කියලා. අඩි 20ක රක්ෂිතයක් ගන්න පුළුවන්. ඒ හරහා මාර්ගය ඉදි කරනවා. මාර්ගය ඉදිකිරීමෙන් පසු කිසිදු සමාජ විරෝධි කටයුත්තක් සිදුවන්නේ නැහැ. එවිට ආරක්ෂක අංශවල අයටත් මාර්ගය දිගේ ගිහින් සොයා බලන්න පුළුවන්. "රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති ටී. නිමල් ඒ පිළිබඳ මෙසේ කීවේය.

"පොල්ගස්දුව ආරණ්‍ය සේනාසනය කියලා කියන්නේ ලෝක පුජිත බෞද්ධ මධ්‍යස්ථානයක්. එයට යම්කිසි කැළලක් වෙනවා නම් මම විරුද්ධයි. පොල්ගස්දුව ආරණ්‍ය සේනාසනයේ නායක හිමියන් කියනවා නම් මේ තුළින් හානියක් වෙනවා කියලා ඒ ගැන සියලු දෙනාගේ අවධානය යොමුවිය යුතු වෙනවා. එහි ඇත්ත නැත්ත සොයා බැලිය යුතුයි.බෞද්ධ පරිසරයට නොගැළපෙන විදියට වෙනසක් වෙනවා නම් ඒ ගැන සලකා බැලිය යුතුයි. ස්වාමින් වහන්සේ ඉදිරිපත් කරන මතය පිළිබද අපි හැමදෙනාගෙම අවධානය යොමුවිය යුතුයි. ස්වාමින් වහන්සේ පෙන්වන්නේ ඉදිරිය හා අනාගතයට තිබෙන අවදානම ගැනයි. ඒ නිසා මේ සඳහා විකල්ප සැලසුමක් ගැන සොයා බැලිය යුතුයි. මේ ගැන ස්වාමින්වහන්සේ සමඟ සියලු පාර්ශ්ව සාකච්ඡා කර විසඳුමක් ලබාදිය යුතුයි. "

රත්ගම ප්‍රාදේශීය මන්ත්‍රී තිලක් පුෂ්පකුමාර (ස්වාධීන) ද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළේය.

"ගලබොඩවත්ත වත්තේ ඉඩම් බෙදා දීමේදී මෙහි මාර්ගය වෙන් කරලා තිබුණා. නමුත් එම මාර්ගය කටුදම්පේ මාර්ගයට සම්බන්ධ නොවීම නිසා මෙම මාර්ගය භාවිත කළේ නැහැ. අපේ පන්සලේ තිලක හාමුදුරුවෝ නගරාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කළා, ගාලු පාරට ඉක්මනින් යන්න පුළුවන් පාරක් හදලා දෙන්න කියලා. ගලබොඩවත්ත හා ගොරකගස්බොක්ක යා කරලා තමයි මෙම පාලම ඉදිකිරිමට සැලසුම් කරලා තියෙන්නේ. ඒ සඳහා පාලම් ව්‍යාපෘතිය යටතේ අනුමැතිය ලැබිලා තියෙන්නෙ. කටුදම්පේ මහ ඇළ රක්ෂිතයේ අඩි 13ක් තියෙනවා. එහි අඩි 12ක් අරගෙන පාවිච්චි නොවු පාරට සම්බන්ධ කළා. කිසිම කඩොලාන ගහක් කැපුණේ නැහැ. අඩුම තරමේ කොස් ගසක්වත් කැපුවේ නැහැ. ගොවියන්ගේ කැමැත්ත මත ඇළ වේල්ල පළල් කළා. රත්ගම අභය භුමිය හරහා පාලම ඉදිවන්නේ නැහැ."

පොහොර නිෂ්පාදන හා සැපයුම්, රසායනික පොහොර හා කෘමිනාශක භාවිත නියාමන රාජ්‍ය ඇමති නිතීඥ මොහාන් පී. ද සිල්වාගෙන්ද අප මේ පිළිබඳ විමසුවෙමු.

"පාරවල් හා පාලම් හැදෙනවිට ගම් පළාත් දියුණු වෙනවා. නමුත් පොල්ගස්දුව ආරණ්‍ය සේනාසනයේ ස්වාමින් වහන්සේ කියන කාරණය පිළිබඳවත් අවධානය යොමුවිය යුතුයි. ග්‍රාමීය පාලම් ව්‍යාපෘතිය යටතේ පාලම් 04ක් ඉදිකිරීමට නගරාධිපතිතුමා ලිපියක් ගෙනවිත් දුන්නා.මම එය අත්සන් කරලා යැව්වා. මේ ගැන හැම පැත්තෙන්ම බලන්න ඕන. පාරවල්, පාලම් හැදෙන එක හොඳයි. නමුත් එයින් පරිසර හානියක් වෙනවා නම් ඒ ගැනත් සොයා බැලිය යුතුයි. "

ඒ, ඇමතිවරයාගේ අදහසයි. පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනයේ හෙට දවස ගැන එයට ආදරය කරන සියලු දෙනා අවදියෙන් බලා සිටින බවද අවධාරණය කරමු.

Comments