රසඳුනට සුභ පැතුම් | සිළුමිණ

රසඳුනට සුභ පැතුම්

රසඳුන කිසිදවසක බාල ජනප්‍රියත්වය පසුපස ගියේ නෑ

සිංහල සිනමාවේ නිළි රැජින, මාලනී ෆොන්සේකා

 

සති අන්ත ජාතික පුවත්පතක් විදිහට සිළුමිණ පුවත්පත ඇරඹුමේ සිටම සුවිශේෂී මාධ්‍ය මෙහෙවරක් ඉටු කළ පුවත්පතක්. ඒ සමඟ රසඳුන අතිරේකය ප්‍රේක්ෂකයන් වෙත ලබා දීමත් පාඨක ආකර්ෂණයට හේතුවක් වූ බව නොරහසක්. රසඳුන අතිරේකය ඔස්සේ සිනමා කලාව පිළිබඳ බහුතර පාඨක පිරිසක් ආමන්ත්‍රණය කරන්න සිළුමිණට හැකිවුණා. ලේක්හවුස් ආයතනයේ පුවත්පත් මගේ කලා දිවියේ ඇරඹුමේ පටන්ම මා සමඟ සුහදව කටයුතු කළ ආයතනයක්.

රසඳුන සමඟ එක් වූ පුවත්පත් මාධ්‍යවේදීන්, සංස්කාරකවරු ආදරයෙන් මතක් කරන්න මා මෙය අවස්ථාවක් කර ගන්නවා. කලාකරුවන්ගේ පෞද්ගලික තොරතුරු දැනගන්න පාඨකයෝ කවදත් බොහෝ විට කැමැතියි. එහිදි කලාකරුවන්ට නිසි ගෞරවය ලබා දෙමින් ඒ තොරතුරු පාඨකයන්ට ලබා දුන් පුවත්පත ලෙස රසඳුන හැමදාමත් ඉදිරියෙන්ම සිටිනවා. මඩ ගහලා ලබන බාල ජනප්‍රියත්වය රසඳුන කවදාවත් කළේ නැහැ.

අපිට කලා ලෝකය තුළ කිසියම් ගෞරවයක් ලැබෙනවා නම් ඒ දේ ලබන්න රසඳුන වගේ කලාවට බැඳුණු අාකර්ෂණීය පුවත්පත් ඉවහල් වුණා. එය අනාගත පරම්පරාවේ නවකයන්ටත් ලැබෙනව නම් ඔවුන්ට කලාවේ නිර්මාණශීලී ගමනක් යන්නට එය ඉවහල් වේවි. රසඳුන සහෘද සැමට මේ විසි හතර වෙනි උපන්දිනයට මා සුබ පැතුම් එක් කරන්නේ හදවතින්මයි.

 

ප්‍රබුද්ධ කලාව ජනගත කරන්න රසඳුන කළ මෙහෙය විශිෂ්ටයි

ප්‍රවීණ රංගවේදී, රවීන්ද්‍ර රන්දෙණිය

රසඳුන පුවත්පත් නාමය අපේ පුවත්පත් කලාවේ මකා දැමිය නොහැකි නමක්. ලේක්හවුස් ආයතනය ඒ දැවැන්ත පුවත්පතට සෙවණ දෙනවා. අවුරුදු විසි හතරක් සම්පූර්ණ වීම අතිශ⁣යෙන්ම සැමරිය යුතු කාරණාවක්. කලා ක්ෂේත්‍රය තුළත් රසඳුන අතිරේකය ඉතාමත් ජනප්‍රිය මුද්‍රිත අංගයක්. අපේ රටේ ප්‍රබුද්ධ කලාවක් පිළිබඳ අදහස ජනගත කරන්නට ඔවුන් ලබාදුන් සහය විශිෂ්ටයි කියලා මම සඳහන් කරන්න කැමතියි. එය සුවිශේෂී ජාතික මෙහෙවරක්. හෙටත් අපි බලාපොරොත්තු වන්නේ මේ මහා මෙහෙවර රසඳුන නිර්භයව ඉටු කරාවි කියලා. මගේ උණුසුම් සුබ පැතුම් හදවතින්ම රසඳුන සියලු දෙනාටම පුද කරන්න කැමතියි.

 

 

හරවත් වැදගත් ලිපි අන්තර්ගත වටිනා අතිරේකයක්

ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදක සුනිල් ටී ප්‍රනාන්දු

 

" මම සිනමා ක්ෂේත්‍රයට ඇවිත් දැන් වසර 35ක්. එදා සිට අද දක්වාම මම සිළුමිණ පාඨකයෙක්. ඒ වගේම මේ වසර 24 පුරාවට මම රසඳුන අතිරේකයෙත් හොඳ පාඨකයෙක් කීවෝත් නිවැරදියි. ඒ තරම්ම ආශාවෙන් මම රසඳුන කියවන්නෙක්. එක පැත්තකින් බලද්දි රසඳුන මට සරසවිය පුවත්පතටත් වඩා වැදගත් පත්තරයක්. එයට හේතුව සිළුමිණ පුවත්පතේ ඇතුළත් ලිපි, විශේෂාංග තරම්ම වැදගත් ලිපි, විශේෂාංග රසඳුන අතිරේකයෙත් ඇතුළත්. රසඳුන මෙතරම් කලක් පාඨකයන් අතර ජනප්‍රිය වීමට හේතුව ද එය විය හැකියි. තවත් කාලාන්තරයක් රසඳුන පාඨකයන් අතර ජනප්‍රිය වේවා යැයි මා පතනවා.."

 

රසඳුන මම ආසාවෙන් බලන දැනුම පුළුල් කරන පත්තරයක්

ප්‍රවීණ ටෙලි, සිනමා අධ්‍යක්ෂ උදයකාන්ත වර්ණසුරිය

"කෙටියෙන් කියනවා නම් රසඳුන කියන්නේ මම ආශාවෙන් කියවන තවත් පත්තරයක්. වසර ගණනාවක සිට රසඳුන මට බොහොම සමීපයි. කලාව, ජීවිතය මෙන්ම රටේ ලෝකෙ ගැන විශේෂ තොරතුරු රැසක් ද රසඳුනෙන් නිරන්තරයෙන් අපේ දැනුමට එක් කරනවා. හැම ක්ෂේත්‍රයක්ම ආවරණය කරන රසඳුන ඉදිරියටත් වඩාත් සුන්දර, හරවත් පුවත්පතක් ලෙස දිගුකල් වැජබේවා කියා මා සුබ පතනවා."

 

 

රසඳුන මගේ කලා ජීවිතයේ සුවිශේෂී සංධිස්ථානයක්

ජනප්‍රිය සිනමා නළු හේමාල් රණසිංහ

 

පාඨකයන් පුවත්පත් සමඟ බැඳී සිටින්නේ ඒ මාධ්‍ය මගින් ජනතාව ආකර්ෂණය කරගන්නට ඔවුන්ට තියෙන ශක්‍යතාව නිසාමයි. රසඳුන අතිරේකය මෙතනදී අමතක කරන්න බැහැ. අවුරුදු විසි හතරක් පුරා කලාවත් සමඟ එකට එක්ව ආ ගමන විශාලයි. එය විශාල ශක්තියක්. මගේ කලා ජීවිතයේ සුවිශේෂී සන්ධිස්ථානයක් විදිහට ලේක්හවුස් ආයතනයේ රසඳුන අතිරේකය නම් කරන්න මා පැකිලෙන්නේ නෑ.

රසිකයන් අපි ගැන බොහෝ තොරතුරු පුවත්පත් හරහා බෙදා හදා ගන්න බව රහසක් නෙවෙයි. රසඳුන එය නිවැරැදිව ගෞරවාන්විතව කරන බව මට විශ්වාසයි.

රසඳුන හැමදෙනාටම සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරමින් ඉදිරියටත් කලාවත් සමඟ සුබවාදී ගමනක් යන්නට හැකි වේවායි සුබ පතනවා.

 

 

රසඳුන අපේ හදවත්වලටත් කතා කරන පුවත්පතක්

ජනප්‍රිය රංගන ශිල්පිනී ශලනි තාරකා

රංගන ශිල්පිනියක් විදිහට රූපවාහිනිය හෝ සිනමාවේදී අපිව දකින්නේ ඇත්තටම නිර්මාණයක් ඇතුළත දී. එහෙම ජනප්‍රියත්වයක් ලබන කලාකරුවන් ගැන රසිකයන් දැනගන්න ආසාවෙන් ඉන්නවා. අපට පෙර හිටිය පරම්පරාව ගැන අපි බොහෝ කරුණු දැනගත්තෙත් පුවත්පත්වල පළවන කලා තොරතුරු වලින්. ඇතැම් කලාකරුවන් ගැන තොරතුරු පුවත්පතෙන් කපාගෙන පරෙස්සම් කරන අවස්ථාත් අපි දකිනවා.

පුවත්පත්වල අපිත් එක්ක කතා කරන මාධ්‍ය හිතවතුන් නිසා තමයි රසිකයන්ගේ ප්‍රතිචාරත් බොහෝ විට දැන ගන්නේ. රසඳුන පුවත්පත මගේ නිර්මාණ ජීවිතයට ඉතාමත්ම හෘදයාංගම වූ පුවත්පත් අතිරේකයයි.

මගේ කලා ජීවිතය ආරම්භයේ සිට අද දක්වා මගේ නිර්මාණය ජීවිතේ ආපු කෙටි ගමනේ රසඳුන කොටස් කරුවෙක්. රසඳුන පාඨක සිත්වලට වගේම අපේ හදවතටත් කතා කරන පුවත්පතක්. රසඳුනට සුබ උපන් දිනයක්.

 

 

රසඳුන තවත් දිගු කාලයක් රසඳුනක්ම වේවා!

ලෝක විවාහක රූ රැජන කැරොලයින් ජූරී

 

24 වැනි වසර සමරන රසඳුන ට මාගේ හෘදයාංගම සුබ පැතුම්!! මම විවාහක රූ රැජන කිරුළ පැලැඳි මෙහොතේ සිට සිළුමිණ සහ රසඳුන අතිරේකය ඔස්සේ මා වෙනුවෙන් ලබා දුන් සහාය හා දායකත්වයට මා බෙහෙවින් ස්තුති වන්ත වෙනවා...

කිරුළු පැලැඳී ඒ සුවිශේෂි මොහොත තෙක් ජීවන මගේ විදි සොඳුරු කටුක මතක ඇතුළත් මගේ දිවි ගමන පිළිබඳ විචිත්‍ර විශේෂාංගයක් පළ කළ මුල්ම පුවත්පත සිළුමිණ හා රසඳුන යන ඒ කෘතවේදී හැඟීම මගේ මතකයේ සැමදා රැඳේවී.. රසඳුන තවත් දිගු කාලයක් රසඳුනක්ම වේවා!!

 

 

 

පවුලේ සැමටම කියවිය හැකි වටිනා අතිරේකයක්

ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී චාන්දනි බණ්ඩාර

 

"අවුරුදු 24ක් කියන්නේ රසඳුනෙයි මගේ දුවගෙයි දෙන්නගෙම වයස එකයි. රසඳුන කාලයක සිට ගොඩක් ආශාවෙන් බලන අතිරේකයක්. සිළුමිණ පුවත්පත තරමටම රසඳුනත් මට සමීපයි. මගේ ලිපි වගේම මගේ දැනුමට, රසාස්වාදයට උපකාරී වන ලිපි, විශේෂාංග රාශියක් ගතවූ කාලය පුරාවට මම රසඳුනෙන් කියෙව්වා. රටේ, ලෝකේ වැදගත් චරිත, ආදර්ශමත් චරිත ගැන රසඳුන තුළින් දැනගත්තා.

බාල, මහලු භේදයක් නැතිව පවුලේ හැමෝටම කියවන්න පුළුවන් වටිනා අතිරේකයක්. රසඳුනට අවුරුදු 24ක් කියලා නම් හිතුවේ නැහැ. රසඳුන ඒ තරම්ම ලස්සනයි. තවත් දිගු කාලයක් රසඳුන සාර්ථකව පවත්වාගෙන යන්න ලේක්හවුස් ආයතනයටත් රසඳුන කාර්ය මණ්ඩලයටත් ශක්තිය, ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා."

 

Comments