මුරලිට ගල් ගසා ප්‍රභාකරන්ට පාවඩ එලන තමිල්නාඩු සිනමාව | සිළුමිණ

මුරලිට ගල් ගසා ප්‍රභාකරන්ට පාවඩ එලන තමිල්නාඩු සිනමාව

තමිල්නාඩුවේ සංස්කෘතික හැඩය යළිත් වරක් ලෝකයට හෙළිකරන සිදුවීම් මාලාවක් පසුගිය දා යළිත් හෙළිදරවු වුණේය. එකක් මුරලිගේ 800 චිත්‍රපටයට දැක්වූ විරෝධය ය. අනෙක මුරලිගේ චරිතය නිරූපණය කරන්න ගිය විජේ සේතුපති ද්‍රෝහියෙක් වන්නට ගොස් මරණීය තර්ජනත් සහිතව චිත්‍රපටයෙන් ඉවත් වූයේය. දැන් තමිල්නාඩුවේ ඇත්තන්ට සතුටුය. ඒ එක්කම තව මාසයකින් එළි දැක්වීමට නියමිත තවත් නිර්මාණයක් නිසා ඔවුහු කුල්මත් වී සිටිති. ඒ ඔවුන් සතුටු කරන්නේ බොබී සිම්හා රඟපාන, “සීරම් පුලි“ (Seerum Puli) චිත්‍රපටය ය.

 

සීරම් පුලි ප්‍රභාකරන්ගේ කතාවය. චිත්‍රපටයේ අධ්‍යක්ෂ වෙන්කටේෂ් කුමාර්ය. බොබී සිම්හා චිත්‍රපටයේ ප්‍රධාන නළුවා ලෙස ප්‍රභාකරන්ට පණ පොවන්නේය.

තිස් නව හැවිරිදි බොබී සිම්හා “සූධු කව්වම්“ “රිගර්තාන්ඩා“ “ බිවෙයාර් ඔෆ් ඩෝග්ස්“, “ආදමා ජයිචොමදා“ ඇතුළු දෙමළ, මලයාලම්, චිත්‍රපට ගණනාවක රඟ පෑ කොලිවුඩය දිනූ තරුවකි. කොලිවුඩ් සිනමාවට ඔහු එක්වන්නේ 2012 දීය. රිගර්තාණ්ඩා රංගනය වෙනුවෙන් ජාතික චිත්‍රපට සම්මාන උළෙලේ හොඳම සහයා නළුවාට හිමි සම්මානය ලබා ගැනීමත් සමඟ සිම්හා කොලිවුඩ් රංගනයෙන් ජාතික තලයේ හඳුනා ගැනීමකට ලක් විය. එතැන් සිට ඔහු සම්මාන ගණනක් හිමි කරගත්තේය.

‘සීරම් පුලි‘ අධ්‍යක්ෂණය කරන වෙන්කටේෂ් කුමාර් ‘උනක්කුල් නාන්’, ‘ලයිට්මන්’ සහ ‘නීලම්’ වැනි චිත්‍රපට නිසා විවේචනාත්මක අවධානයට ලක් වූ අධ්‍යක්ෂවරයෙකි. ඔවුන් වෙනුවෙන් සීරම් පුලි චිත්‍රපටය ස්ටුඩියෝ 18 සිනමා සමාගම විසින් නිෂ්පාදනය කර ඇත්තේය. අධ්‍යක්ෂවරයා මීට පෙර මාධ්‍යයට කී පරිදි ප්‍රභාකරන්ගෙ චරිතාපදානය කොටස් දෙකකින් නිෂ්පාදනය කිරීමට සැලසුම් කර ඇත. ඔහුට අනුව පළමු කොටසින් ප්‍රභාකරන්ගේ මුල් වකවානුව ආවරණය වේ. සිසුවකු කැරලිකරුවකු බවට පත්වී පසුව නායකයකු තෙක් පරිවර්තනය වන කොටස එහි අන්තර්ගතය. දෙවන කොටසින් දෙමළ ඊළම වෙනුවෙන් ඔහු කළ යුද්ධය දිග හැරේ.

“සීරම් පුලි” සම්බන්ධව විරෝධයක් හා ආන්දෝලනයක් මේ සිනමා පටය නිෂ්පාදනය කළ අය මුල සිටම බලාපොරොත්තු වූ බව පෙනුණි. බොබී සිම්හා ‘සීරම් පුලි‘ හි ප්‍රභාකරන්ගේ චරිතය රූපණය කරන ඡායාරූප මාලාවකින් මීට වසර දෙකකට පෙර ද ඉන්දීය මාධ්‍යවල පළ විය. ඒ හරියටම 2018 අවුරුද්දේ වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ උපන්දිනය දවසය. ඒ සමඟම ලංකාවේ මෙන්ම තමිල්නාඩුවේ පිරිස් ඇවිළුනහ. ඒ අත්දැකීම යළිත් දිස්වෙමින් ඇත. අපේක්ෂිත ලෙසම මේ සිනමා පටය සම්බන්ධ ආන්දෝලනයක් එම චිත්‍රපටය මුදාහැරීම සම්බන්ධ මාධ්‍ය වාර්තා පළ වීමත් සමඟ ඉන්දියාවේත් ලංකාවේත් ඇති වී තිබේ.

තවම මේ සිනමා පටය කිසිවෙක් දැක නැත. එහෙත් ඉතාම පටු ජාතිවාදී සිතුවිලි අතර හිර කළ වැඩිමනත් පිරිසක් තමිල්නාඩුවේ ජීවත්වෙමින් ඇත. ඔවුන්ගේ දේශපාලනය ඔවුන්ට ප්‍රභාකරන් වීරයෙක් කර තිබේ. ‘සීරම් පුලි‘නිෂ්පාදනය වන්නේ ඒ වෙළෙඳ පළේ අලෙවි වීමටය. අනෙක් අතට මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ අධ්‍යක්ෂවරයාගේ අතීත හැසිරීම ගැන අත්දැකීම් ලෝකයට තිබේ. ඒ අනුව මේ චිත්‍රපටයේ හැඩය ගැන පූර්ව නිගමනයකට එළැඹී අපේ රට තුළත් ඊට එරෙහි දැවැන්ත විරෝධයක් නිර්මාණය වෙමින් ඇත. චිත්‍රපටය පිළිබඳ සමාජ මාධ්‍ය තුළ ගොඩනැගෙන සංවාදය උණුසුම්ය. එය බොහෝ විට ගලා යන්නේ රත් වූ හැඟීම් මතය.

තමරායි තමිල්නාඩුවේ ප්‍රකට කිවිඳියෙකි. ඇය ඩෙකෑන් ක්‍රොනිකල් වෙබ් අඩවිය හරහා විජේ සේතුපතිට විවෘත ලිපියක් ලීවාය. ඇය සේතුපතිගෙන් ඉල්ලා සිටින්නේ මුරලිදරන්ගේ චරිත නිරූපණයෙන් ඉවත් වූ සේතුපතිට ශ්‍රේෂඨ ප්‍රභකරන්ගේ චරියට පණ පොවන්නට ඉදිරිපත් වී ජනතාවගේ හිතේ නොමැකෙන සටහනක් තබන කලාකරුවෙක් වෙන ලෙසය.

ඊට ප්‍රතිචාර දක්වන ලාංකේයන්ගේ අදහස් ද ආවේගාත්මකය.

“ඉන්දියාව ඇයි මේ කටයුත්තට ඉඩ දෙන්නෙ.. මේ ත්‍රස්තවාදීන් ඔවුන්ගේ අගමැතිවරයා ඝාතනය කළා...“අයෙක් ඉන්දියාවෙන් අසා තිබිණි.

“මෙය බිම වැතිරී පෙරළෙමින් හිනා විය යුතු අඳුරු හාස්‍යයක්...“ තවත් අයෙක් කීවේය.

“ මෙකේ තියෙන්නෙ ඌ මැරුණු හැටි ද.“ඍජුව සිනමා පටයේ අධ්‍යක්ෂවරයා විමසන අයත් වූහ.

“ලෝකයේ සිංහලයන් ජනගහනය අනුව මිලියන 16.2 ක්.. ඔවුන් අතර ප්‍රභාකරන් ත්‍රස්තවාදියෙක්... ලෝකයේ දෙමළ ජනගහනය ලෙස හඳුන්වන මිලියන 100 ක් අතර ඔහු තලෙයිවර් (නායකයා) ලෙස හඳුන්වන ශ්‍රේෂ්ඨයෙක්. මගේ ගණිතය නිවැරදි නම් මෙම චිත්‍රපටය බොක්ස් ඔෆීස් වාර්තා කඩනු ඇති“

තමිල්නාඩු තරුණියක් කියා තිබිණි.

එල්ටීටීඊය යනු යුරෝපා සංගමය, කැනඩාව, එක්සත් ජනපදය සහ ඉන්දියාව ඇතුළු රටවල් 32 ක් විසින් තහනම් කළ ලොව බිහිසුණුම ත්‍රස්ත සංවිධානයක් ලෙස හඳුනාගත් සංවිධානයකි. එහි නායකයා වේලුපිල්ලේ ප්‍රභාකරන් බව සැබෑය. ඔනෑම චරිතයක් මුල් කරගෙන නිර්මාණාත්මක සිනමා කෘතියක් බිහිවීම සිදුවිය හැකි දෙයකි. එවැනි චරිත ගවේෂණයෙන් සහෘද පරිකල්පනයේ මාන පුළුල් කරන ප්‍රභාමත් නිර්මාණ බිහිකරගත හැකිය. ලෝකය මළ ගෙයක් කළ ම්ලේච්ඡම ඒකාධිපතියා වූ හිලට්ලර් සම්බන්ධව ලෝක සම්භාවනාවට ලක් වුණු සිනමා කෘති බිහි වුණේය. බින් ලාඩ්න්, පොල්පොට්, ඉඩි අමින්, චරිත ඇසුරින් සම්මානිත නිර්මාණ එළිදැක්වුණේය. එහෙත් එවැනි සංකීර්ණ චරිත ඇසුරින් සමාජ සාධාරණ නිර්මාණයක් කළ හැකි නිර්මාණයක් බිහි වන්නේ පුළුල් දැක්මක් සහිත මානව චරිත ලක්ෂණ සියුම් ලෙස විමසිය හැකි පරිණත නිර්මාණකරුවකුට පමණි. ගැටලුව උපදින්නේ මෙතැනය. ‘සීරම් පුලි‘අධ්‍යක්ෂණය කරන වෙන්කටේෂ් කුමාර් එකී පරිණතභාවයකින් යුතුව නිර්මාණකරනයේ යෙදෙන මානවවාදී නිර්මාණකරුවෙක් බව ඔහුගේ අතීත නිර්මාණවලින් පැහැදිලි කර නොතිබීමය. මේ තත්ත්වය යම් ගැටලු සහගත තත්ත්ව ඇති කිරීමේ ඉඩ කඩ පිළිබඳ ඉඟි පහළ කරමින් තිබේ. මේ සිනමා පටය තමිල්නාඩු සිනමා කරුවන් ගෙන යන අන්තය මත රටවල් දෙකක් අතර පවතින සංහිඳියාව කඩතොළු වීම හෝ නොවීම තීරණය වනු ඇත.

කෙසේ වෙතත් තමිල්නාඩු සිනමා රසිකයන්ගේ හැසිරීම ඔවුන් ‘සීරම් පුලි‘ සිනමා පටයෙන් අපේක්ෂා කරන වීරයා පිළිබඳ අදහසක් ඇති කරයි. මුරලිදරන්ගේ චරිතය රඟපෑමට සූදානම් වූ විජේ සේතුපති ද්‍රෝහියෙක් වන්නේ එහි පිළිබිඹුවක් ලෙසය. එසැණින්ම කරළියට එන ප්‍රභකාරන්ගේ චරිතාපදානය සහිත “සීරම් පුලි“ සිනමාපටයට විසිල් පාරවල් වදින්නේත් ඒ අපේක්ෂාවන්ගේ දිගුවක් ලෙසය.

මේ පසුබිම් හැසිරීම රූගත වීමට නියමිත සිනමා කෘතිය ගැන අපට ඉඟි කරමින් තිබේ. මේ වියරු වැටී සිටින්නේ සිහින සුන් කරගත් මිනිස්සුය. ඔවුන්ගේ වීරයා නැත. ඔහු මිය ගොස්ය. වීරයා මැරුණු මිනිස්සු සමූහයක් ඔවුන්ගේ ෆැන්ටසිය සිනමා කෘතියක් හරහා උපදවා ගැනීමේ අනුකම්පා සහගත උත්සාහයක නිරත වී සිටිති. වැදගත් වන්නේ මේ උත්සාහය පටු දේශපාලනික පරිවර්තනයක් දක්වා වර්ධනය කරන ලාභ විනාශකාරී සාහිත්‍යයක් නොකිරීමට ජාතික වශයෙන් ඉන්දියාව හා ලංකාව විචක්ෂණව හැසිරීමය.

Comments