නුඹට උරුම නුඹෙ ලෝකය තවමත් දුර ඈතයි | සිළුමිණ

නුඹට උරුම නුඹෙ ලෝකය තවමත් දුර ඈතයි

 ගැහැනියට ඇත්තේ පුදුම ජීවිතයකි. ඇයට හැමදා සිදුවන්නේ කාගේ හෝ ආදරය රැකවරණය මත ජීවත් වීමටය. විවාහයෙන් පසු ඇගේ රැකවරණය රැඳි ඇත්තේ සැමියාගේ අතේය. නමුත් ඇතැම් විට පවුල් ජීවිතය තුළ ගැහැනිය අනාරක්ෂිතය. ඇතැම් විටෙක ගැහැනියක් මහ මඟට ඇඳ වැටෙන්නේ ද කොහෝ හෝ සිටින පිරිමියෙකු නිසාය. අනාරක්ෂිත ගැහැනිය, සිය ආත්මය විකුණන්නේ දරුවන් හදා වඩා ගන්නටය. තම ජීවිතය මහ මඟ විකුණුව ද ඇයට ද ජීවිතයක් ඇත.

 

ඇයට ද අනෙක් ස්ත්‍රීන්ට මෙන් ආදරය සෙනෙහස දැනෙනවා ඇත. නමුදු සමාජය හැමදාමත් ඈ දෙස බැලුවේ වපර ඇසිනි. එවන් ගැහැනියට ආදරය සෙනෙහස අකැප ද? ඔවුන්ට කාගේ නම් අවධානයක් යොමුවේද? නගරසරන්නියකට ආදරය කරන මිනිසෙකු සිටියේ නම් ඒ මිනිසා දෙස ද සමාජය බලන්නේ වපර ඇසිනි. නමුත් එවන් චරිත අතර අප නොසිතන චරිත ඇත්තෝද හමුවේ .

එදිනෙදා සමාජයේදී අපට මහ පුදුම මිනිසුන් හමුවේ. ඇතැම් මිනිසුන් තුළ ඇති මනුස්සකම ගැන පුදුමය. ඒ මනුස්සකම කරුණාව ගැන වැඩි වැඩියෙන් දැනෙන්නේ සමාජය තුළ හිදින බහුතරයකගේ දුර්වලකම් දකින විටය.

කෙනෙක් තවත් කෙනෙකු වෙනුවෙන් කිසිදු ලාභ ප්‍රයෝජනයක් නැතිව තම කාලය මුදල් ශ්‍රමය වැය කරන්නේ නැත. නමුදු එසේ කිසිවක් බලාපොරොත්තු නොවී සියල්ල අනුන් වෙනුවෙන් කැප කරන ඇතැමෙක් අපට මේ සමාජය තුළදි හමුවේ. සියල්ල කළ ඔවුන්ට අවසානයේ ඉතරි වනුයේ හිතට පුංචි සතුටක් පමණක් වන්නට ඇත. මේ එවන් මිනිසෙකුගේ කතාවකි. ගීතය අසන්නට ලැබුණේ අන්තර්ජාලයෙනි.

අප අසන බොහෝ ගීතයන්ට කුමක් හෝ කතාවක් ඇත. එය එක්කෝ රචකයා අත්දුටු දෙයකි. විශාරද රොෂාන් ජයකොඩි ගයන ගීතය තුළ ප්‍රේමය මනුස්සකම මෙන්ම අපට සිතන්නට බොහෝ දේ ඇත. ගීතයේ මතුපිටින් පෙනෙන අරුතට වඩා වඩා අරුතක් ගීතය පසුබිමේ ඇති බව දැනුන නිසාම එහි පද රචකයාගෙන් ගීතය ගැන විමසුවෙමු.

විශාරද රෝහණ ධර්මකීර්ති විසින් තනු නිර්මාණය කර ඇති

 

“යාල්දේවි දුම්රියෙන්.....බහින දේවතාවි

වන බඹරුන් රොන් අරගෙන යන්නට යයි ඉගිල්ලී

නුඹ තනියම ඉස්ටේෂම තුළට වෙලා තනිවී

මම එනතුරු හැන්දෑවට හිටපන් මගෙ දේවී....“

 

ගීතයේ පද රචකයා වන්නේ නිකවැරටියේ සම්පත් චන්ද්‍රතිලකය. “යාල්දේවී දුම්රියෙන් බහින දේවතාවියේ “ ගීතය පිළිබඳ සම්පත් පවසන්නේ මෙවන් කතාවකි.

1994 කාලයේ මම වැල්ලවත්ත ප්‍රදේශයේ හෝටලයක සේවය කරමින් සිටියේ. මේ හෝටලයට එහායින් තිබුණේ පැල්පත් නිවාස පෙළක්. එහි පදිංචිකරුවෙක් වන සැමී අපෙ හෝටයේ වතුවැඩ කරන්න පැමිණෙනවා. මට මේ පරිසරය අලුත්. විවේකයෙන් ඉන්න වෙලාවල වල මම තාප්පයෙන් එපිට බලනවා. එතකොට පේනවා වැල්ලවත්ත ඉස්ටේෂම. මෙහෙම බලාගෙන ඉන්න විට මම හැමදාම දකින ජෝඩුවක් ඉන්නවා. ඔවුන් දෙමළ. ඒ පිරිමියා හැමදාම තමන්ගේ බිරිඳ කියලා හිතෙන කාන්තාව සමඟ ස්ටේෂමට එනවා. ඔහු ඇයව කෝංච්චියට නංවනවා. ආයෙමත් හැන්දෑවට ඇය රැගෙන යන්නත් එනවා. ඔවුන් අතර පුදුම ළෙන්තගුකම මම දකිනවා. අත්දෙක අල්ලාගෙ ඒ දෙන්නා පාරේ යන්නේ. අර පිරිමියා දහවලේ දියණිය කියලා හිතන්න පුළුවන් වයස අවුරුදු අටක පමණ දැරියක්ව පාසල් එක්ක ගෙන යනවත් මම දකිනවා. මේ මනුස්සයා එක්කෝ මාළු අල්ලනවා. එහෙම නැත්නම් යකඩ කෑලි විකුණනවා. මේ පුංචි පවුල හරි සුන්දර ජීවිතයක් ගතකරනවා කියලා තමයි මට දැනුනේ.

ඒ ගෙවල් පේලියේ ඉදලා අපේ හෝටලේ වැඩට ආව සැමීගෙන් මම දවසක් මේ අය ගැන තොරතුරු ඇහුවා. ඒ වෙලාවේ තමයි මම හිතාගෙන හිටපු හැමදෙයක්ම වැරදියි නේද කියලා මට දැනුනේ; “ඒ දෙන්නා එක සැමියයි බිරිඳයි නෙමෙයි. ඒ ගෑනු කෙනාට මනුස්සයෙක් නෑ. එයා ගණිකාවක්. පොඩි ගෑනු ළමයා එයාගෙ දුව. ඒ ළමයාගේ තාත්තා කවුද කියන්න දන්නේ නෑ. පිරිමි කෙනා ගැනූ කෙනාවයි දරුවාවයි හරි ආදරෙන් බලා ගන්නවා. ඒ වුණාට ඒ මනුස්සයා ඉන්නේ ගෑනු කෙනාගේ ගෙදර නෙමෙයි. ඒ දෙන්නා අතර අනියම් සබඳකමක් නෑ.

එයා ජීවත් වෙන්නේ මාළු අල්ලලා ඒ විකුණලා ගන්න මුදලින් . එහෙම නැත්නම් යකඩ කැලි එකතු කරලා විකුණලා ගන්න මුදලින්. පොඩි ගෑනු ළමයා ඉස්කෝලේ ඇරලවන්නේ, එක්කගෙන එන්නේ ඒ මනුස්සයා. ඔය ගෑනු කෙනා හවස එන්න පරක්කු වුණොත් පිරිමි කෙනා හරිම දුකෙන් ඉන්නවා. ඔහු මහ පුදුම ජීවිතයක්. ... “ සැමී ඔය කතාව කිව්වාට පස්සේ මට පුදුම හිතුණා. කිසිම ලාභයක් නැතිව, හැමෝම අපහාස කරන, දවස ගානේ එක එක් අයත් එක්ක යන මේ ගැහැනියට ආදරය කරන මනුස්සයා ගැන මට ආදරයක් ඇති වුණා. මට මේ සිද්ධිය හැමදාම මගෙ හිතේ රැදිලා තිබුණා. කාලයක් ගිහිල්ලා මම මේ පද පෙළ ලිව්වා. ඉන් පසු මම එය මුහුණු පොතේ දැම්මා. ඒ දැකලා තමයි රොෂාන් ජයකොඩි අයියා මගෙන් ඒ ගැන ඇහුවේ. ඔහු මේ සියලු කතන්දර අසා ගීතය ගයන්න ඉල්ලා ගත්තා.

සම්පත් පවසන්නේ ගීතය හා බැඳුණු පසුබිම් කතාවයි.

“සම්පත් ගේ පද කියවා අවසානයේ මට හිතුණා එය ගීතයකට සුදුසුයි කියලා. රෝහණ ධර්මකිර්ති පද පෙළට හරි අපූරු තනුවක් නිර්මාණය කළා. ගීතයට එයින් වඩාත් හොඳ එළියක් ලැබුණ බව මගේ අදහසයි.“ විවිධ තේමාවන් ඔස්සේ ගීත ගණනාවක්ම ගායනා කර ඇති තොරතුරු තාක්ෂණවේදියකු වන රොෂාන් ජයකොඩි පවසන්නේය.

Comments