එදා පැමිණි දුක් පැණි රස යැයි සිතූ නිසා අද අපි සතුටින් | සිළුමිණ

එදා පැමිණි දුක් පැණි රස යැයි සිතූ නිසා අද අපි සතුටින්

අවුරුදු 25ක් මම රැකියාවක් කළේ නැහැ. ඒ කාලේ බිරිඳ තමයි පවුලේ බර වැඩිපුර දැරුවේ...

දුක සැප සමව විඳින්න පුළුවන් බිරිඳක් ලැබීම විශාල භාග්‍යයක්...

- ඩග්ලස්

නාට්‍යයක් නිසා හදිසියේම අස්වීමේ සහතිකය අරන් ගෙදර එන්න සිදු වුණා...

මගේ වැඩි ආදරය මා තුළ සිටින නාට්‍යකරුවාටයි

 ‘‘සිහින දකින්න. ඒ සිහින යථාර්ථයක් කරගැනීම සඳහා සැලසුම් සකස් කරගෙන ඒ අනුව කටයුතු කරනවා නම් ජීවිතය සාර්ථක කර ගැනීම අසීරු නැහැ". ඒ, ඔහුගේ ජීවන දර්ශනයයි. ඒ දර්ශනය ඔස්සේ ජීවිතයේ සාර්ථකත්වය ළඟාකර ගත් ඔහු ප්‍රවීණ නාට්‍යවේදී, නීතිඥ ඩග්ලස් සිරිවර්ධන යි. ටවර් හෝල් පදනමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස මෙරට නාට්‍ය ක්ෂේත්‍රයට මහඟු සේවයක් ඉටු කරමින් සිටින ඔහුගේ දිවි සැරියේ සොඳුරු මතක මංපෙත්වල ඇවිද යන්නට මෙතැන් සිට ඔබට අවසරයි.

 

"පුංචි කාලේ ඉඳලම මට ඕන වුණේ විශිෂ්ටයන් අතර විශිෂ්ටයෙක් වෙන්න" ඒ වදන් පෙළ තුළ සැඟවී ඇත්තේ ජීවිතය විශිෂ්ටත්වයට පත් කළ රහසයි. විශිෂ්ටයකු වීම දක්වා පැමිණි ඒ ගමනේ සොඳුරු මතක ඔහු අවදි කළේ මෙලෙසිනි. " මා ඉපදුණේ මත්තේගොඩ නිවාස සංකීර්ණයේ විශාල වත්තක. දරුවො හත්දෙනකුගෙන් යුතු පවුලේ මා හතරවැනි දරුවා. අම්මා ගෘහණියක් විදිහට අපේ විශාල පවුල රැකබලාගෙන ජීවත් වුණා. මගේ පියා වතු පාලකයෙක් නිසා ජීවිතය පුරාවට ඔහුට වත්තෙන් වත්තට සංචාරය කරන්න සිදු වුණා. ඒ නිසා පුංචි කාලේ ඉඳන්ම මාත් ඒ ජීවිතයට හුරු වුණා. මා ඉපදුණේ පොල් වත්තක. ජීවත් වුණේ තේ සහ රබර් වතුවල. ඒ නිසාම තේ දළු කැඩීම, රබර් කිරි කැපීම වගේ වතු ආශ්‍රිත බොහෝ දෙවල් මට පුරුදු වුණා. ඒ නිසාම පුංචි කාලේ මා ආස වුණේ වතු පාලකයෙක් වෙන්නයි. "

එහෙත් ජීවිතය ඔහු ගෙනයන්නේ වෙනස්ම ඉසව්වකටය. අවිස්සාවේල්ලේ කුඩා පාසලකින් මුලකුරු කියවන ඩග්ලස් පසුව ඉංගිරිය සුමනජෝති විද්‍යාලයට ඇතුළත් වේ.

"මා හිතන විදිහට කලාව කියන්නෙ වයිරස් එකක් වගේ. කොයි මොහොතෙ වැළඳෙනවද කියන්න බැහැ. වැළඳුණාට පස්සේ ඒක සිරුර පුරාම දුවනවා. ඒ විදිහට කලාව කියන වයිරසය මගෙ ජානවලත් තියෙන්න ඇති. හතරේ පන්තියේ ඉන්න කොට ගුරුතුමියක් අපිට ‘මුතු කුමාරි‘ගේ නාට්‍යයේ රඟපාන්න කියලා දුන්නා. මා හිටියෙ‘ මුතු කුමාරි‘ගේ චරිතෙට. ඒක තමයි මගේ පළමුවැනි රඟපෑම. සර් කෙනෙක් ඒ දවස්වල පොල්අතු අහුරලා ඩෙක්ස් තියලා හදපු වේදිකාවක් උඩ ඒ කාලේ ෂේක්ෂ්පියර්ගේ නාට්‍ය පෙන්නුවා. ෂෙක්ෂ්පියර් ගැන ඒ පොඩි වයසෙදි කිසිම දෙයක් දන්නෙ නැතිවුණාට නාට්‍ය කියන්නේ හරි අපූරු දෙයක් කියලා හිතට දැනුණා. සාමාන්‍යපෙළට මට හොරණ විද්‍යාරත්නයට ඇතුළත් වෙන්න අවස්ථාව ලැබුණා. ඒ කාලේ මට හිතුණේ ලංකාවේ තියෙන ලොකුම පාසල ඒක කියලයි. අපේ පාසල ඒ කාලේ වොලිබෝල් ක්‍රීඩාවට සහ නාට්‍යවලට හරි ප්‍රසිද්ධයි. මහාචාර්ය සරච්චන්ද්‍ර මහත්මයාගේ ශිෂ්‍යයෙක් වූ චන්ද්‍රසේන දසනායක කියලා සර් කෙනෙක් අපිට නාට්‍ය ගැන ඉගැන්නුවා. ඒ දවස්වල හැදුණු නාට්‍යවල විශේෂම දේ තමයි කාලීන සිදුවීම් ඒ ආකාරයෙන්ම නාට්‍ය තුළට ගෙන ඒම. මහාචාර්ය සරච්චන්ද්‍ර, සුගතපාල ද සිල්වා, හෙන්රි ජයසේන, දයානන්ද ගුණවර්ධන, රංජිත් ධර්මකීර්ති වගේ ප්‍රවීණයන්ගේ නාට්‍ය ඒ කාලේ අපේ ළමා මනසට බර වැඩි වුණත් පුදුමකාර උත්තේජනයක් ලැබුණා. ඒ ආභාසය තුළ මාත් මිතුරන් කිහිපදෙනකුත් එකතු වෙලා පාසලේ නාට්‍ය කළා. මට පාසල් ජීවිතේ අවසන් කරලා අස්වීමේ සහතිකේ අරන් ගෙදර එන්න වුණෙත් නාට්‍ය නිසාමයි" ඔහු ඒ අතීතය ආවර්ජය කරන්නේ සිනාසෙමිනි.

"ඒ කාලේ ධර්මසිරි බණ්ඩාරනායක, ලාල් කුලරත්න සහ තරංග රුක්මල්ගමත් මාත් එක පන්තියේ හිටියේ. ඉස්කෝලෙ නිවාඩු දෙන දවසට අපි විවිධ ප්‍රසංගයක් හෝ නාට්‍ය උලෙළක් කරනවා. ඒ විදිහට අන්තිම අවුරුද්දෙත් නිවාඩු දෙන දවසේ අපි නාට්‍ය උලෙළක් සංවිධානය කළා. ‘දසයා සහ ලෙන්චිනා‘ නාට්‍යය රඟ දැක්වෙමින් තිබෙන අතර නාට්‍යය නතර කරන්න කියලා අපිට විදුහල්පති ස්වාමින්වහන්සේගෙන් නියෝගයක් ලැබුණා. ඒකට හේතු වුණේ නාට්‍යය අතරතුරදි මා කළ කතාවේ ගුරුවරු ගැන විවේචනාත්මක අදහස් ප්‍රකාශ වීමයි. ඒ ගැන ගුරු මණ්ඩලයෙන් එල්ල වු විරෝධය නිසා නාට්‍යය අතරමඟ නතර කිරීමෙන් සිසුන් තරමක් කලබලකාරීව හැසිරුණා. අන්තිමට ඒකට දඬුවමක් විදිහට එදාම අස්වීමේ සහතිකයත් අරන් මට ගෙදර එන්න සිද්ධ වුණා.

විද්‍යාරත්නය මට විශ්වවිද්‍යාලයක් වුණා. ඒ නිසාම පාසල ගැන හැමදාම මගේ හිතේ තිබුණේ අම්මාට සමාන ආදර ගෞරවයක්. කොලුකමට මාත් පොඩි දඩබ්බරකම් කළා. එක පාරක් බස්ටෑන්ඩ් එකේ ඉන්න කෙනෙක් අපේ ඉස්කෝලෙ ළමයකුට ගහලා ඒ තරහට අපි බස් දෙකක හුළං ඇරියා. ඒ එක්කම ඉස්කෝල 5ක විතර ළමයි එකපාර ටවුන් එකට ඇවිත් එතැන මහා කාලගෝට්ටියක් වුණා. පොලිසිය අපිව හොයාගෙන ඉස්කෝලෙට ආවට ප්‍රින්සිපල් හාමුදුරුවො අපිට බැන්නෙ නැහැ". මුලින්ම අර ළමයට ගහපු කෙනාව හොයන්න. ළමයින්ගේ විනය බලන්න ඕන නම් විද්‍යාරත්නෙ ටොයිලට්වලට ගිහින් බලන්න කියලා" පොලිසියට කිව්වා. පිරිමි පාසලක් වුණත් වැසිකිලියක අසභ්‍ය එක වචනයක් නොලියන්න තරම් විනයක් අපේ පාසල තුළ තිබුණා. ඒ වගේම විදුහල්පති ස්වාමින්වහන්සේ දරුවන් උනන්දු කළේ ඉගෙනුමට විතරක් නෙවෙයි ක්‍රීඩාවට සහ නාට්‍යයට වගේම තමන්ගේ හැකියා තුළින් ජීවිතය හදාගන්නයි. ඒ නිසාම පොලිස්පතිවරයෙක්, රාජ්‍ය පරිපාලන සේවයේ විශිෂ්ටයන් කිහිප දෙනෙක්, නාට්‍යවේදීන්, ගත්කතුවරුන්, ව්‍යාපාරිකයන් වගේ ඉහළ නිලතල අය වගේම ගමේ මාකට් එකේ එළවළු වෙළෙන්දා දක්වා විවිධ තරාතිරම්වල අය අපේ විද්‍යාලයෙන් බිහි වුණා. එදා නාට්‍යයක් නිසාම අස්වීම අරන් ගෙදර ආව මා පසුකලෙක සම්මානනීය නාට්‍යවේදියෙක් විදිහට විද්‍යාලයෙන් ඉහළම බුහුමන් ලැබුවා. ආදි සිසුවෙක් විදිහට ඒක මට විශාල සතුටක් "

පාසල් අධ්‍යාපනයෙන් පසුව තමන්ගේ ජීවිත සරි කරගනු සඳහා රැකියාවක නිරත වීමේ අවශ්‍යතාව සිරිවර්ධන පවුලේ දරුවන්ට දැනෙන්නට පටන් ගන්නේ පියා සේවයෙන් විශ්‍රාම ගැනීමත් සමඟය. උපාධි අපේක්ෂයකු ලෙස ඩග්ලස් සිරිවර්ධන මුලින්ම සේවයට එක්වන්නේ තුල්හිරිය පෙහෙකම්හලේ අභ්‍යාසලාභී කාර්මික ශිල්පියකු ලෙසටය. අක්කර 18ක පුරා පැතිරුණු 4000කට වැඩි කාර්ය මණ්ඩලයක් සිටි එම කර්මාන්තශාලවේ එක් සේවකයකු යනු එක් අංකයක් පමණක් වූ බව ඔහු කීවේ සිනාසෙමිනි.

"ඒ කාලේ මා ලියපු 'අන්තෝ ජටා' නාට්‍යයට හොඳම නාට්‍ය පිටපතට හිමි රාජ්‍ය සම්මානය ලැබුණා. පසු කාලයක ආයතනයෙන් ලැබුණු උසස්වීමක් අනුව මා බම්ලපිටියේ තුල්ටෙක්ස් ප්‍රදර්ශනාගාරයේ සේවයට ආවා. උදේ හවස වැඩට එන්නෙ යන්නේ ලුම්බිණිය ළඟින්. ලුම්බිණියේ පෙන්වන නාට්‍ය දැක්කම මට නාට්‍යවලට තියෙන ආශාව තවත් වැඩි වුණා. මා හවසට ගෙදර යන්නේ නාට්‍යයක් බලලම තමයි. ඒ කාලේ ඇඳුම් ගන්න තුල්ටෙක්ස් එකට ආව ජනප්‍රිය කලාකරුවන් පසුකලෙක මගෙ සමීප හිතවතුන් වුණා. 1976දී මගේ පළමු වේදිකා නාට්‍ය 'අඹු සැමියො' නිර්මාණය කළා. 1980දී මට රැකියාව අහිමි වුණාට පස්සේ මා නීති විභාගය ලියලා නීති විද්‍යාලයට ඇතුළත් වුණා. ඒ කාලේ ජීවිතේ පහසු වුණේ නැහැ. දරුවො දෙන්නෙක් එක්ක මායි බිරියයි ජීවත් වුණේ කුලී ගෙදරක. බිරිය කරපු රැකියාවෙන් තමයි අපි ජීවත් වුණේ. නීති විද්‍යාලයේ දෙවැනි අවුරුද්දෙදි මා 'සුභ සැන්දෑවක් 'කියලා නාට්‍යයක් කළා. නීති විද්‍යාලයේ ඉන්නකම් මගේ ඉගෙනීමට වියදම් කළේ නාට්‍ය දෙකෙන් ලැබුණු ආදායමයි.“

“ 1983දී රටේ පැවති ජාතිවාදී අරගල දැකලා උපන් කම්පනය තුළින් මා 'හිට්ලර්' නාට්‍ය නිර්මාණය කළා. රාජ්‍ය නාට්‍ය උලෙළේදී හිට්ලර් නාට්‍ය තරග කෙළේ ප්‍රවීණ නාට්‍යවේදී සුගතපාල ද සිල්වා මහත්මයාගේ 'මරාසාද්' කියන දැවැන්ත වේදිකා නාට්‍යය සමඟයි. නමුත් මට ‘හිට්ලර්‘ ‍වෙනුවෙන් සම්මාන කිහිපයක්ම හිමි වුණා. 1994දි නීති විද්‍යාලය තුළ නීතිරංග කියලා සංගමයක් පිහිටුවා ගෙන නීතිඥයන්ගේ දක්ෂතා එළිදක්වන්න කටයුතු කළා. ඒ උලෙළේ සංවිධාකයවරු වුණේ ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරියයි මායි. එහි පළමුවැනි පියවර අග්‍රවිනිශ්චරකාරතුමාගේ ප්‍රධානත්වයෙන් එල්ෆීස්ටන් රඟහලේදී පැවැත්වුණා. එහිදී හිටපු මහඇමති විග්නේෂ්වරන් සිතාරයක් වයමින් ගීතයක් ගායනා කළා. නීතිපති තුමත් නාට්‍යයක් හැදුවා. මාත් අවුරුදු 15ක් තිස්සේ නොකඩවා නීති රංග පීඨය වෙනුවෙන් කෙටි නාට්‍යයක් කළා. ඒ කාලයේ එච්. ඒ. පෙරේරා, වසන්ත විට්ටච්චි, පරාක්‍රම ඇතුළු මා ලංකාව පුරාම යමින් නාට්‍ය වැඩමුළු පැවැත්වුවා. ඒ වගේම වසර 20කට ආසන්න කාලයක් යෞවන සමාජ සම්බන්ධ බාහිර උපදේශකයකු ලෙසත් කටයුතු කළා."

වේදිකාවට බැඳුණු ඔහුගේ සිත පුංචි තිරය වෙත නැඹුරු වන්නේ 1993 වසරේදී පමණය. දේශපාලන හේතුන් මත 'මහමෙර පාමුල හා ‘අවසඳ' නම් ටෙලිනාට්‍ය තහනමට ලක්වීමත් සමඟ ඊට එරෙහිව ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදය ආරම්භ වන්නේ 1993 දෙසැම්බර් 07 වැනිදාය. ඩග්ලස් සිරිවර්ධන එම සංසදයේ ආරම්භක ලේකම්වරයා ලෙසත් තිස්ස අබ්සේකර ආරම්භක සභාපති ලෙසත් පත්වූ අතර එහි වත්මන් සභාපති ලෙස කටයුතු කරන්නේ ඩග්ලස් සිරිවර්ධනයන්ය. ‘යශෝරාවය‘, සිවුමංසල‘, ‘නිදිකුම්බා මල්‘, ‘දේදුණු පාලම‘ ආදී ජනප්‍රිය ටෙලි නාට්‍ය රැසක් ඔහු විසින් රචනා කළේය. මේ දක්ෂ නාට්‍යකරුවා පරිපාලන ක්ෂේත්‍රය වෙත යොමු වන්නේ ගොඩනැඟිලි ද්‍රව්‍ය සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු බවට පත්වීමෙනි. පසුව බස්නාහිර පළාත් සමුපකාර කොමිසමේ සභාපති තනතුරට පත්වන ඔහු ඒ වන විට රාජ්‍ය නාට්‍ය අනු කමිටු මණ්ඩලයේ සභාපති ධුරයද දරමින් සිටියේය. 2005 වසරේදී ටවර් හෝල් පදනමේ අධ්‍යක්ෂ ජනරාල් ධුරය සඳහා ආරාධනා ලැබුණු විට පෙර කී තනතුරු දෙකම අත්හැර තමා ඒ තනතුර භාර ගත් බව ඩග්ලස් සිරිවර්ධනයන් පැවසුවේ සොම්නසිනි.

" තමන් කැමතිම මාධ්‍ය තුළ රැකියාවක් ලැබීම විශාල සතුටක්. මගේ ජීවිතේම වුණේ නාට්‍ය කලාව. නාට්‍ය වෙනුවෙන් සේවයක් කරන්න පුළුවන් තැනක රැකියාව ලැබීම මා සලකන්නේ මගේ භාග්‍යයක් විදිහටයි. ටවර් හෝල් පදනමේ අධ්‍යක්ෂ ජනරාල් විදිහට මට නාට්‍ය කලාව වෙනුවෙන් බොහෝ දෙවල් කරන්න අවස්ථාව ලැබුණා. නාට්‍ය පාසල ආරම්භ කර උපාධිය දක්වා නාට්‍යය විෂයය දියුණු කිරීම, ටවර් හෝල් සහ එලිෆීස්ටන් රඟහල සම්පූර්ණයෙන්ම නවීකරණය කිරීම, ශබ්දාගාරය නවීන තත්ත්වයට ගෙන ඒම, කලාකරුවන් සඳහා දීමනාවක් ලබා දීම, කලාපුරේ කලාකරුවන්ට ඔවුන්ගේ ඉඩම් අයිතිය සින්නක්කරව ලබා දීම, නාට්‍ය කලා මහෝත්සවය තුළින් කලාකරුවන්ට අභිමානයක් ලබා දීම, ප්‍රේක්ෂා නාට්‍ය උලෙළ පැවැත්වීම ඇතුළු තවත් බොහෝ දේ කිරීමට මට අවස්ථාව ලැබුණා. රැකියාවක් විදිහට මා කැමතිම මේ රැකියාවට. ඒ වගේම මගේ වැඩි කැමත්ත මා තුළ සිටින නාට්‍යකරුවාගේ චරිතයටයි."

තෘප්තිමත් ජීවිතයක් ගත කළද නාට්‍යකරුවකු නාට්‍යයක් නිර්මාණය කිරීමට ගන්නා වෙහෙස තරමටම ඇතැම් විට ජීවිතය වෙහෙසකාරී වූ බව ඔහුගේ හැඟීමයි. එහෙත් දුක සැම සමව බෙදාගැනීමට හැකි බිරිඳක ලැබීම ජීවිතයට මහඟු ආශිර්වාදයක් වූ බව ඔහු පැවසුවේ හැඟීම්බරවය.

"තුල්හිරිය පෙහෙකම්හලේදී සේවය කරද්දියි මට මගේ ප්‍රේමය හමු වුණේ. ඇය ජයන්ති සිරිවර්ධන. අපි 1978දී විවාහ වුණා. 1980දී මට රැකියාව නැති වුණා. නීතිඥයෙක් ලෙස දිවුරුම් දුන්නත් මට ඒ තුළින් ඉදිරියට යන්න ආශාවක් තිබුණේ නැහැ. ඊට හේතුව මගේ හදවතේ ජීවත් වූ නාට්‍යකරුවාගේ චරිතය වඩා ප්‍රබල වූ නිසා. අවුරුදු 25ක් මා රැකියාවක් කළේ නැහැ. නමුත් මගේ බිරිය රැකියා කරමින් දරුවනුත් බලාගනිමින් විශාල කැපකිරීමක් කළා. ඒ ගැන මා ඇයට ණය ගැතියි. මගේ නාට්‍ය කටයුතුවලටත් ඇය හැකි පමණින් සහයෝගය දුන්නා. විවාහ වෙලා අවුරුදු 15කට පස්සෙයි මට අපේම කියලා ගෙයක් හදාගන්න පුළුවන් වුණේ. විවාහ වු දා සිට මා එක බිරියක් එක්කයි ජීවත් වෙන්නෙ. ඒ වගේම ජීවිත කාලය පුරාම මා එකම දුරකථන අංකයක් පාවිච්චි කරන්නෙ. පැමිණි දුක් පැණි රහයි කියලා වසර 42ක විවාහ ජීවිතයක් අපි දැන් ගෙවනවා. ඇය බොහොම නිහඬ, සරල චරිතයක්. හැමදාම පිටුපසින් සිට මට ශක්තිය දුන්නා මිස ප්‍රසිද්ධියට කිසිම ආශාවක් නැහැ. ඇයත් දැන් විශ්‍රාමිකයි. සරලව සතුටින් අපේ ජීවිත ගත වෙනවා. මැරෙනකම් නාට්‍ය කලාව වෙනුවෙන් හැකි පමණින් සේවය කිරීම තමයි මගේ බලාපොරොත්තුව"

ඩග්ලස්- ජයන්ති දෙපළගේ දියණිය තුෂාරි නීතිඥවරියක ලෙසත් පුතු චන්දන ඉංජිනේරුවරයකු ලෙසත් කටයුතු කරයි. ඩග්ලස් සිරිවර්ධන සමඟ කතා කළ දෑ බොහෝය. ඒ සියල්ල පසක් කරන්නේ ඔහුගේ සෞන්දර්වාදී හදවතේ ගුණ සුවඳය. ඒ සියල්ල කැටිකොට ඔහුගේම වදන්වලින් මේ සටහන අවසන් කරමි.

"ජීවිතේ පුරාම අනුන්ට කරදයක් නැති මිනිහෙක් විදිහට ජීවත් වෙන්නයි මට ඕන වුණේ. මා හැමදාම වැඩ කළේ අරමුණක් ඇතිවයි. විශිෂ්ටයන් අතර විශිෂ්ටයෙක් වෙනවා කියන අරමුණු ඇතිව වැඩ කළ මගේ ඒ අරමුණ අද සඵල වී තිබෙනවා. වැඩිහිටියෙක් විදිහට දැන් මා මරණයට සූදානම් වෙනවා. බදාගන්න නොව අතහරින්න පුරුදු ‍වෙනවා. මා සතුව හොඳ පුස්තකාල මා ටවර් හෝල් පුස්තකාලයට පරිත්‍යාග කරන්නයි ඉන්නෙ. මැරෙන බව අවබෝධ කරගත් මිනිහෙක් විදිහට ජීවත් වීම හිතට පුදුමාකාර සැහැල්ලුවක්. ඒ සැහැල්ලුව මා විඳිනවා. "

Comments