එදා ගැමියන්ගේ සාද කතා ඇසූ පනාවිටිය අම්බලම | Page 2 | සිළුමිණ

එදා ගැමියන්ගේ සාද කතා ඇසූ පනාවිටිය අම්බලම

අප ඉදිරියෙන් වන්නේ කලා කෘතියක් බඳු නිමැවුමකි. හාත්පස තවමත් ඇත්තේ සිත් නිවා ලන පරිසරයකි. මෑතින් පිහිටි පන්සල් බිමේ ශාන්තිය සිත පුරවාලයි. පසෙකින් නිලට නිලේ බබළන කෙත් යාය පෙනේ. මේ පරිසරයම නිර්මාණ වී ඇත්තේ නැගෙන සරතැස සනහා ඉසිඹුලනු රිසියෙන්ම යැයි සිතේ.

මේ දකිමින් ඇත්තේ පුරාවෘතයක් බඳු පනාවිටිය දැව අම්බලමය. පුරාණ මාර්ග පද්ධතියේ තොරතුරු සහිතව ශේෂ වූ ගැමි කලාකරුවගේ ප්‍රභූත්වය රූපණය කරවන මෙවැනි නිර්මාණ අතළොස්සක් තාමත් ජාතියට ශේෂ වී තිබේ. ඒ අතර මෙම වාස්තු නිර්මාණය වි‌ශේෂ ය.

තම ගමන් සඳහා පා ගමනම තෝරා ගැනීම වූ අතීත ගැමි සමාජයේ මගියෙක් අතරමං වුණේ නැත. අපේ සංස්කෘතිය තුළ සෑම ගැමි නිවෙසක්ම මගියෙක් වෙනුවෙන් කැප වුණු නවාතැන් පළක් විය. ගෙට ගොඩවන ආගන්තුකයකුට බතක් බුලතක් නොදී, රෑ බෝ වී නම් නවාතැන් නොසපයා බැහැර කිරීම නිග්‍රහයට යුතු නොසිරිතක් සේ ගැමියෝ සැලකූහ. අම්මබලම් නිර්මාණය වන්නේ එවැනි සංස්කෘතියක් තුළය. මගියෙක් වෙනුවෙන් අම්බලමක් තැනීම, මං මාවත් තැනීම, පිංතාලියක් තැබීම මහා පුණ්‍යකර්මයක් සේ සැලකූ සමාජයක් අපට තිබිණි. ආගන්තුක සත්කාරය මහඟු ජීවන සිරිතක් සේ පවත්වාගත් අතීත සිංහල ගැමියාගේ හදවතේ තරම තවමත් ශේෂ වී ඇති මෙවැනි කලා කෘතිවලින් පෙනේ. භාවිතා කරනවුන්ට උපරිම පහසුවක් සැලසෙන පරිද්දෙන් මාර්ගයක්, ළිඳක් හෝ කුඹුරක් අසල අම්බලම් ඉදි විය. අම්බලම ගැමි රසවතුන්ගේ ජන විඥානය පුබුදු කළ, තොරතුරු හුවමාරුවන තැනක් විය. අලුත් සමාජ සම්බන්ධතා ගොඩනගන තැනක් විය. ඒ අතීතය පවත ජීවමාන කරන පුරාවස්තු සේ දැන් මේ අම්බලම් අතළොස්සක් අපට ඉතිරිව ඇත.‍.

පනාවිටිය දැව අම්බලම පනාපිටිය අම්බලම ලෙසින් පොදු ජන වහරේ පැනේ. ගොඩනැගිල්ල දැවයෙන් නිර්මිතය. මනරම් දැව කැටයමින් යුතුය. දඹදෙණියට අයත් දීකිරිකෑව, පනාපිටිය ප්‍රදේශයේ ශ්‍රී ලංකාතිලකාරාම විහාරස්ථානයට ආසන්නයේ පිහිටි අම්බලම තවමත් මනාකොට රක්ෂා වී තිබේ. මෙම ඉසිඹු හල මහනුවර යුගයට අයත් බව පුරාවිද්‍යාත්මක සාධක වලින් සනාථ වුවද එහි ඓතිහාසික කතා ප්‍රවෘත්තිය දඹදෙණිය රාජධානිය තෙක් දිවේ. දඹදෙනිය යුගය එකළු කළ මහා නරපති වූ දෙවන පරාක්‍රමබා යුගය තෙක් ජනවහරේ එන පුරාවෘතය පැනේ. ඒ කතාව මෙසේය. රටේ ඇතිවූ අභ්‍යන්තර කැරැල්ලක් මැඬ පැවැත්වමින් ආපසු පැමිණෙන විජයබා කුමරු සතුරෙකු එල්ල කළ නාග විෂ කැවූ හී පහරක් හේතුවෙන් මෙම ප්‍රදේශයේදී සිහි මුර්ජාවට පත්වූයේය. කෙසේ නමුදු කුමාරයා නැවත ප්‍රකෘති තත්ත්වයට පත්වීම හේතු කොටගෙන 'පණ ආ වැටිය' ලෙසින් හඳුන්වන ලද අතර පනාවිටිය වී පසු කළෙක භාවිතයේදී පනාපිටිය විය. තවත් ජනප්‍රවාදයක්ට අනුව පනාපිටිය ගිමන් හලේ නිමැවුම්කරුවා මහනුවර මඟුල් මඩුවෙහි කැටයම්කරුගේ පුත්‍රයාය. දෙදෙනා අතර ඇතිවූ ආරවුලක් හේතුවෙන් ඔහු පනාපිටිය ගිමන් හල නිර්මාණය කළ බව වැඩිහිටියෝ විශ්වාස කරති.

මෙම ඉසිඹු හල පිහිටි ස්ථානය අසලින් අතීතයේ දඹදෙණියත් අනුරාධපුරයත් යා කරමින් මාර්ගයක් තිබූ බවට ප්‍රකටය. අම්බලම ගොඩනඟා ඇත්තේ කැඩූ ගල් කැට වලින් පිරවූ චතුරශ්‍රාකාර බිම් සැලැස්මක් මතය. එහි අඩියක් පමණ උසැති රවුම් පාෂාණ සතරක් සිවු කොණෙහි සවි කර දැව තලාඳ සතරක් ඒ මත තබා පාදමය සකස්කර අම්බලම නිර්මාණයට පියවර ගෙන තිබේ. පාදමයේ තලාඳයක් සතරැස් අඩියක පමණ ගණකමකින් යුක්‍තය. දැවයෙන් නිර්මාණය කිරීම හේතුවෙන් ගංවතුර, ජල ගැලීම් වැනි ස්වභාවික උවදුරු මෙන්ම වේයන් වැනි කෘමී සතුන්ගෙන් ආරක්ෂා කිරීම පිණිසත් නවාතැන් ගන්නා පිරිස් සර්පයන් වැනි සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීමටත් ටැම්පිට ස්වරූපයෙන් ඉදි කරන්නට ඇතැයි විශ්වාස කළ හැකිය. දැවමය පාදමය මත සවිකරන ලද කුලුනු විසි හයක් මත පියස්ස ගොඩනගා තිබේ.

ලක්දිව අනෙකුත් අම්බලම් හා සැසඳීමේදී පනාපිටිය අම්බලම කැපී පෙනෙන්නේ එය මනරම් දැව කැටයමින් අලංකෘත වීමය. ඒවා දෙවැනි වන්නේ ඇම්බැක්ක දේවාලයටත්, මහනුවර මඟුල් මඬුවේ ලී කැටයම් වලටත් පමණක් බව විද්වත්හු කියති. අටපට්ටම් හැඩයෙන් නිමවා ඇති කුලුනු බද මධ්‍යය විවිධ කැටයමින් අලංකෘතය. කැටයමින් නිර්මිත එම කොටස චතුරශ්‍රාකාරය. කුලුනු හිස නෙළුම් මල් කැටයමින් යුක්ත පේකඩයකින් වහලට සම්බන්ධ කර තිබෙනු දක්නට හැකිය. ජනේල මත දක්නට ලැබෙන කැටයම් සමකාලීන සමාජයීය ලක්ෂණ විදහා පාන අතරම නොයෙකුත් මෝස්තර ආදියෙන් සරසා තිබෙන බව නිරීක්ෂණයේදී පැහැදිලිය. ආචාර සමාචාර විධි, මල්ලව පොර, නළඟන, නැට්ටුවා, පෙරහැර හා බෙරකරුවා ඒ අතර වේ. මහනුවර යුගයේ කලාකරුවා නිර්මාණකරණයේදී බහුලව යොදාගත් මනඃකල්පිත රූප වලින් බොහෝ දුරට අපගමනය වෙමින් තත් කාලීන සමාජයීය ලක්ෂණ යොදාගැනීම කැටයම්කරුවාගේ නිර්මාණ ස්වාධීනත්වය පිළිබිඹු කරන බව පැහැදිලිය. නාග දඟරය මෙහි ඇති කැටයම් අතර සුවිශේෂත්වයක් උසුලයි. සමකාලීන අනෙකුත් ගොඩනැගිලිවල දැකිය හැකි කැණිමඬල ලෙසින් හඳුන්වන ලීයෙන් තැනූ වෘත්තාකාර තනි ඇණය වෙනුවට කැටයමින් පරිපූර්ණ මඩොල් කුරුපාවකින් වහලයේ පරාල තිස් දෙක එකට සම්බන්ධ කර තිබේ. කේතුකාකාර වහල සෙවිලි කර තිබෙනුයේ පෙති උළු වලිනි.

කාලයාගේ ඇවෑමෙන් විනාශ මුඛයට ගොස් තිබූ මෙම මාහැඟි නිර්මාණය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ 1962 - 1963 කාලයේදී ප්‍රතිසංස්කරණය කර ඇති බව සඳහන්‍ ය. එහි පෞරාණික හැඩයට හානි නොවන පරිද්දෙන් කළ විද්‍යානුකූල සංරක්ෂණය කිරීම ඇගැයිය යුත්තකි.

යුග ගනණක් මුළුල්ලේ මේ පුරාණ වෙල් යාය පිස එන මඳ නලෙහි පහස විඳිමින් අතීත රසකාමීහු මේ කැණිමඬල යට සරතැස නිවාගන්නට ඇත. මියුරු සල්ලාපයේ යෙදෙන්නට ඇත. ඒ සාද කතා සියවස් ගණනක් පුරා මේ දැවමුවා ටැම් අසා සිටින්නට ඇත. මේ හුදු මාවත් මඩුවක් පමණක්ම නොවේ. පුරාණ ජන සංස්කෘතික ප්‍රවාහයේ ජීවමාන සංකේතයකි. මේ සජීවී උරුමය හෙට දවස වෙනුවෙන් රක්ෂා කරගත යුත්තේ එබැවිනි.

 

Comments