එකම කිරි සුවඳක වෙළෙන මතක ගොන්නක මිහිර | සිළුමිණ

එකම කිරි සුවඳක වෙළෙන මතක ගොන්නක මිහිර

අක්කගේ ආදරේ ගැන කියන්න මට වචන නැහැ

- රෝස්

නංගි කුස්සි අම්මා වෙන්න හරි කැමතියි

- අංජලී

 

සහෝදර බැඳීමේ සොඳුරු අත්දැකීම් බෙදා ගැනීමට මෙවර අප හා එක් වූයේ ජනප්‍රිය ගායන ශිල්පිනි කේ. සුජීවාගේ ආදරණීය දියණියන් වන අංජලී රාජ්කුමාර් සහ රෝස් දිව්‍යාංජලී ය. අක්කා නගෝ ඔවුන්ගේ සොඳුරු මතක අවදි කිරීමට එක් වූයේ ගොඩක් සතුටින්. මුලින්ම හඬ අවදි කළේ අක්කා, අංජලී.

 

"නංගි තමයි මගේ ඇස් දෙක. අපි දෙන්නගෙ වයස් පරතරය අවුරුදු දොළහක්. නංගි ඉපදුණ ගමන් අම්මට කලින් මම තමයි නංගිව වඩා ගත්තෙ. ඉස්සෙල්ලාම නංගි බිමට වැටුණෙත් මගෙ අතින්. ඒක වුණේ දවසක් මම නංගිව ඇඳේ තියාගෙන සෙල්ලම් කර කර ඉද්දියි. මම දන්නෙත් නැතුව නංගි පෙරළිලා ගිහින් ඇඳෙන් වැටුණා. ඒ දවස නම් මතක් වෙනකොටත් බයයි. අම්මට නංගි වෙනුවෙන් ඉඳුල් කට ගාන චාරිත්‍රය කරන්න ලැබුණේ නැහැ. අපි මැක්ඩොනල්ඩ් ගිය වෙලාවක නංගි කෙළ පෙරාගෙන හිටියා. මම ඉතින් ඔයත් කන්න කියලා එයාට රයිස් කැව්වා. ඒ විදිහට නංගිට ඉස්සෙල්ලම කැව්වෙත් මමයි. නංගි ඇවිදින්න ටිකක් පරක්කු වුණා. අම්මා ඒ ගැන හරි දුකෙන් හිටියෙ. මම දවසක් නංගිව බිම තියලා හිටවලා එක අතක් බිත්තියට තියලා අනිත් අතින් අල්ලගෙන නංගිව ඇවිද්දුවා. ඉස්සර නම් නංගි හරිම කෙට්ටුයි. අම්මගේ වැඩේම එයාට කවන එක. මමත් මට දෙන ඒවා කන්නේ නැතුව නංගිට කවනවා. දවසක් එහෙම කවලා නංගිව වඩාගත්තා විතරයි එයාට වමනෙ ගියා. හිතාගන්න පුළුවන්නෙ මම කවලා තියෙන තරම. නංගි ඉස්සෙල්ලාම කියපු වචනෙත් අක්කා. ඒ තරම්ම අපි දෙන්නා සමීපයි".

අංජලී කියපු දේවල් රෝස් අහගෙන හිටියේ හිනාවෙවී. ඇය පිළිතුරු දුන්නෙත් ඒ සිනාවෙන්මයි.

" අක්ක තමයි මගෙ දෙවැනි අම්මා. මට ඉන්න හොඳම යාළුවා. මගේ හැමදේටම උදවු කරනවා. අපි රණ්ඩු වෙන්නෙ නම් නැති තරම්. පොඩ්ඩක් මොනව හරි වුණත් ඒක ටික වෙලාවයි. අපිට තරහ වෙලා ඉන්න බැහැ. දඟ වැඩවලින් නම් දෙන්නම සමානයි. “කිරිල්ලියක් සේ කියවමින් සිටි රොස්ට එකවරම අක්ක ගැන නෝක්කඩුවක් කියන්න මතක් වුණා...“අක්කගෙ ප්‍රියතම කෑම පීසා. එයාට රහට උයන්නත් පුළුවන්. ඒත් උයලා දෙන්නෙ නම් නෑ අපිට"

නංගී ගෙ ඒ චෝදනාවට අංජලී උත්තර දුන්නේ මෙහෙමයි." මට උයන්න පුළුවන්. ඒත් ඒ කෑමවල ඉන්දියන් ගතිය වැඩියි. කිරි හොද්දක් හැදුවොත් ඒකෙ කිරිවලට වඩා තියෙන්නේ තක්කාලි. හැබැයි නංගිටත් හොඳට උයන්න පුළුවන්. එයා හදන ඔම්ලට් එකේ රස ගැන නම් කියලා වැඩක් නැහැ. කොහොමත් අපේ නංගි කුස්සි අම්මා ටයිප් එකට හරි කැමතියි."

අංජලී එහෙම කියද්දි රෝස් අංජලී ගැන තවත් රසවත් සිදුවීමක් මතක් කළා. "අක්කා කළුවරට ගොඩක් බයයි. සමහර වෙලාවට අම්මයි මමයි එයාට කියන්නේ නැතිව ටිප් ස්විව් එක ඕෆ් කරනවා. දවසක් හොඳටම වහින වෙලාවක කරන්ට් ගියා. අක්කා නිදාගෙන හිටියෙ. කරන්ට් එක ආවත් අපි ටිප් ස්විච් එක දැම්මෙ නැහැ. එදා අක්කා හොඳටම බයවෙලා ගෙදර එකම යුද්ධයක්. මම හින්දා අක්කට ඒ වගේ අකරතැබ්බ වෙනවා. අක්කා නම් මට එහෙම දේවල් කරන්නෙ නැහැ."

නංගිගේ දඟකාරකම් ගැන මතක් වෙද්දි අංජලී සිනහව නවතා ගැනීම අපහසු කටයුත්තක්. "නංගි දඟ මල්ලක්. මට මතකයි අපි ඉන්දියාවේ ඉඳන් ආව අලුත නංගි දවසක් මගෙන් ඇහුවා ගොළුබෙල්ලෙක් ඉන්නවා, ගෙදර අරන් යමුද කියලා. මම බෑ කිව්වට එයා ඇහුවේ නැහැ. ගොළුබෙල්ලව ටිෂු එකක ඔතාගෙන ගෙදර ගෙනත් අම්මටත් හොරෙන් කාඩ්බෝඩ් පෙට්ටියක දාගෙන හදන්න පටන් ගත්තා. නංගි හොරෙන් තණකොළ අරන් කාමරේට යනවා ගොළුබෙල්ලට කන්න දෙන්න. ටික දවසක් යද්දි අම්මට හොරේ අහුවුණා. ගොළුබෙල්ලට හැදෙන්න තෙතමනය ඕන, ඔහොම තියාගෙන ඌ මැරෙයි කිව්වත් නංගි නෙමෙයි කණකට ගත්තේ. අම්මයි මායි දවසක් එයාට ඇහෙන්න මෙහෙම කතා වුණා. එක ළමයෙක් කුරුල්ලෙක් හදලා ඒ කුරුල්ලා රෑ බූතයෙක් වෙලා ඇවිත් පවුලම මැරුවා කියලා. ඒ එක්කම මම ටිප් ස්විච් එකත් ඕෆ් කළා. ඊට කලින් මම ගොළුබෙල්ලවත් එළියට දැම්මා. නංගි හොඳටම අඬන්න ගත්තා "මම වැරැද්දක් කළා. මට සමාවෙන්න අම්මෙ" කියලා. ඒක නම් මට අමතක වෙන්නෙම නැහැ. නංගිගෙ චණ්ඩිකම් සේරම ගෙදරට විතරයි. එළියට බැස්සම බය ගුල්ලියක්. එළියට ගියාම නංගි ඉන්නේ හුළං ගිය බැලුමක් වගේ."

අංජලී එහෙම කියද්දිත් අපි බැලුවේ රෝස් දිහා ඒ හිනාවේ හරිම අහිංසක පාටයි.. ඇය අක්කා ගැන හිතේ තියෙන ආදරේ ප්‍රකාශ කරන්නත් අමතක කළේ නැහැ. "අක්කා මගෙ කොණ්ඩෙට හරි ආදරෙයි. හරියට සාත්තු කරනවා. එයා ගෙනත් දෙන ඕනෙම ඇඳුමකටත් මම හරිම ආසයි. අක්කගේ ආදරේ ගැන කියන්න මට වචන නැහැ"

අංජලී නංගි ගැන කිව්වෙත් ගොඩක් ආදරෙන්. "නංගි හරිම සංවේදීයි. ඕනේ කෙනෙක්ට ඕනම දෙයක් දෙනවා. මම ටිකක් සැරෙන් කතා කළත් එයා අඬනවා. එතකොට නම් මටත් ඇඬෙනවා. මට හැම වෙලාවෙම නංගිව දැනෙනවා. එහෙම නොවුණොත් තමයි පුදුමෙ."

Comments