පාසල් විවෘත කිරීම කල් යයි | සිළුමිණ

පාසල් විවෘත කිරීම කල් යයි

කොවිඩ් 19 වයිසරය හේතුවෙන් පාසල් යළි ආරම්භ කිරීම කල් දැමීමට සිදුවනු ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල සී. පෙරේරා සිළුමිණට ප්‍රකාශ කෙළේය.

දෙවැනි වාරයේ පාසල් නිවාඩුව අවසන් වී පාසල් යළි විවෘත කිරීම නොවැම්බර් 9 වැනිදාට යෙදී තිබුණද ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වසංගතය හේතුවෙන් පාසල් විවෘත කිරීමට නොහැකි බවද ඔහු පෙන්වා දුන්නේය.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා පෙන්වා දෙන්නේ පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ ඉල්ලා ඇති බවත් සෞඛ්‍ය නිර්දේශ හේතුවෙන් පාසල් ආරම්භ කිරීම කල් දැමීමට සිදුවනු ඇති බවයි. මේ වන විට පාසල් සිසුන් කිහිප දෙනෙකුම කොරෝනා රෝගයට ගොදුරුව ඇති අතර පොලිස් බල ප්‍රදේශ 122කට නිරෝධායන ඇඳිරී නීතියද පනවා ඇත.

වැඩි දුරටත් සිළුමිණට අදහස් දැක්වූ අධ්‍යාපන ලේකම්වරයා පැවැසූයේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට කිසිදු බාධාවක් නොවීමේ අරමුණින් යළිත් දුරස්ථ අධ්‍යාපන කටයුතු විධිමත්ව ආරම්භ කෙරෙන බවයි. එසේම දුරස්ථ අධ්‍යාපනය ක්‍රියාත්මක කිරීමේදී පහසුකම් අඩු ග්‍රාමීය පළාත්වල දරුවන්ටද මේ අවස්ථාවට සම්බන්ධ වීමට විශේෂ ක්‍රමවේදයක්ද සකස් කෙරෙන බවත්ය.

ඔක්තෝම්බර් 9 වැනි දින සිට පාසල් නිවාඩුව ලබා දිය යුතු වුවත් වසංගත තත්ත්වය හේතුවෙන් සිසුන්ගේ ආරක්ෂාව තකා දෙවැනි පාසල් වාර නිවාඩුව ඔක්තෝම්බර් මස 5 වැනිදා ලබා දෙන ලදී. ඒ රජයේ පාසල් 10,175 ක් ඇතුළු සියලු පෞද්ගලික පාසල්වල ලක්ෂ 42 ක් වන දරුවන්ටය. උසස් පෙළ විභාගයෙන් අනතුරුව තුන්වැනි වාරය ආරම්භ වීමට නියමිතව ඇත්තේ නොවැම්බර් 9 වැනිදා වන අතර තෙවැනි පාසල් වාරය අවසන් වීමට නියමිතව ඇත්තේ දෙසැම්බර් 23 වැනිදාය. ඒ අනුව 2021 නව පාසල් වාරය ජනවාරි 4 වැනිදා ආරම්භ වීමට සූදානම් කර තිබුණි.

Comments