3% විරෝධය සහ සජිත්ගේ පන්සල් යැදීම | සිළුමිණ

3% විරෝධය සහ සජිත්ගේ පන්සල් යැදීම

- දේශපාලන සටන් පාඨ නොමැතිව මේ කොරෝනා කාලේ බංකොළොත් වී සිටින විපක්ෂය කොරෝනා ගැනම සටන් පාඨ සොයා ගනිමින් කොරෝනාවලින්ම ගොඩ ඒමට උත්සාහ ගනිමින් සිටී.
- කාලෙකට පස්සේ ජවිපෙට ලිප්ටන් වටරවුම සහ ඇමෙරිකානු තානාපති කාර්යාලය මතක්වීම හාස්‍යජනකයි...
- දැන් පන්සල් වන්දනාවේ යන සජිත් ප්‍රේමදාස 'යහපාලන' කාලේ නිවාස හා සංස්කෘතික ඇමැතිවරයා ලෙස සිටියදී නැගෙනහිර විහාරස්ථානවල පුරාවස්තු කොල්ල කද්දී නිහඬව සිටියේය...
- පන්සල්වල පින් පෙට්ටි වලට සීල් තිබ්බේද සජිත් ඇමතිධුර දරන කාලයේදීමය...
- 'යහපාලන' ආණ්ඩු සමයේ සංඝයා වහන්සේලා 46 නමක් විවිධ හේතු පෙන්වමින් බන්ධනාගාර ගත කර තිබිණි...

‘‘හින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා පන්සල් ගානේ යනවා. අද එතුමා පන්සල් දේශපාලනය කරනවා. පින්කම් කියලා පන්සල්වලට ගිහිල්ලා දේශපාලනය කරනවා.'' යනුවෙන් ප්‍රකාශ කළේ දැන් දිගට හරහට පන්සල් යන වත්මන් විපක්ෂ නායක එදා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සහ සමගි ජන බලවේගයේ අගමැති අපේක්ෂක සජිත් ප්‍රේ‍මදාසය. මහින්ද රාජපක්ෂ පන්සල් යන එක ගැන එදා එක්සත් ජාතික පක්ෂයට තිබුණේ පුදුම අමාරුවකි. 2015 ජනවාරි 8 වැනිදා පැවති ජනාධිපති ධූරයෙන් පරාජය වී මහින්ද රාජපක්ෂ මැදමුලනට ගිය විට මුලින්ම පැමිණියේ මහා සංඝරත්නයයි. 

මහින්ද පරාජය වූවා නොව කුමන්ත්‍රණයකින් මහින්ද පරාජය කළ බව මුලින්ම ප්‍රකාශ කළේ මහා සංඝරත්නය ප්‍රමුඛ අනෙකුත් ආගමික නායකයන්ය.

2015 ජනවාරි 8 වැනිදායින් පසුව මහින්ද රාජපක්ෂ මුණ ගැසීමට මැදමුලනේ වලව්වට සහ තංගල්ලේ කාල්ටන් නිවසට පැමිණි මහා සංඝරත්නය පිරිත් නූල් ගැට ගසමින් ආශිර්වාද කළේ යළිත් මේ රට බේරා ගැනීම සඳහා ශක්තිමත්ව මැදිහත්වන ලෙසටය.

2015 පෙබරවාරි 18 වැනිදා නුගේගොඩින් මහින්ද සුළඟ ආරම්භ කෙරෙන විට ද එම වේදිකාවේ මහා සංඝරත්නය ප්‍රමුඛ අන්‍ය ආගමික නායකයන් සිටිනු දක්නට ලැබුණි.

2015 න් පසුව බිහිවුණු මෛත්‍රී - රනිල් 'යහපාලන' ආණ්ඩුවේ ප්‍රධානතම භූමිකාවක් කළ සජිත් ප්‍රේමදාස 'යහපාලන' ආණ්ඩුව මඟින් මහා සංඝරත්නයට පල නොකියා පලා බෙදන විට සිටියේ යාල කැලයේ ද ඒසේත් නැතිනම් විල්පත්තුවේ ද කියා දන්නේ සජිත් පමණි.

'යහපාලන' ආණ්ඩුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සඳහා මුළු පාර්ලිමේන්තුවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් ලෙස ස්ථාපිත කරමින් කටයුතු කරන විට; ව්‍යවස්ථා සම්පාදක අනු කමිටුවක් ද පත්කර ගන්නේ බෙදුම්වාදී බලවේගවලට සහාය ලබා දෙන ආකාරයෙනි.

එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත මඟින් බුද්ධාගමට මෙතෙක් කල් ආණ්ඩුක්‍රම වවස්ථාවෙන් ලබා දී තිබු ප්‍රමුඛත්වය නැතිකොට සියලුම ආගම් හා බුද්ධාගම එක හා සමාන වන ආකාරයට යම් යම් කැටයම් යොදමින් සිංහල බෞද්ධ ජනතාව මෙන්ම සුළු ජන කොටස් රැවටීමට උත්සාහ ගන්නා විට ද සජිත් බකන්නිලාගෙන සිටියේය.

යම් යම් ජාත්‍යන්තර ගිවිසුම්වලට එරෙහිව, රණවිරුවන් පාවාදීමට එරෙහිව, රාජ්‍ය දේපළ විකිණීමට එරෙහිව මහා සංඝරත්නය හඬ නඟන විට මහා සංඝරත්නය නිහඬ කිරීමට 'යහපාලන' ආණ්ඩුව කටයුතු කළේ විවිධ අභූත චෝදනා එල්ල කරමින් මහා සංඝරත්නය සිරගත කරමින්ය. එසේ බන්ධනාගාර ගතකරන ලද සංඝයා වහන්සේලා සංඛ්‍යාව 46ක් පමණ වෙති.

එම සිරගත කිරීම් සඳහා ක්‍රමවේද කිහිපයක් භාවිත කළ අතර එක් අපූරු ක්‍රමවේදයක් 'යහපාලන' ආණ්ඩුවට කඩේ ගිය ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයින් (NGO) විසින් හඳුන්වා දෙන ලදී.

අලි, ඇතුන් පන්සල්වල තබා ගැනීම තහනම් කළ යුතුය. එහෙම අලි, ඇතුන් පන්සල්වල තියාගෙන ඉන්න හාමුදුරුවන්ට එරෙහිව නඩු දැමිය යුතුය. මේ ආකාරයෙන් ප්‍රකාශ නිකුත් කරන ලද එම රාජ්‍ය නොවන සංවිධාන සමඟ එක්ව එවකට 'යහපාලන' ආණ්ඩුවට යෝජනා කළේ මහනුවර දළදා පෙරහැරේ අලි ඇතුන් ගෙන යාම වැළැක්වීම සඳහා කටයුතු කරන ලෙසයි.

අවසානයේදී කතරගම මහා දේවාලයේ සිටි ᱿වාසනා᱿ ඇතා ද රහස් පොලිස් නිලධාරීන් කතරගමට ගොස් ලොරියකින් කොළඹට පටවා ගෙන ඒමට කටයුතු කර තිබුණි.

විචිත්‍ර ධර්ම කථිකයන් වහන්සේ වූ පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමි, පන්නිපිටිය දෙව්රම් වෙහෙරේ පූජ්‍ය කොලොන්නාවේ සිරි සුමංගල හිමි ඇතුළු සංඝයා වහන්සේලා කිහිප නමක්ම පසුපස පොලිසිය ලුහුබැන්ඳේ එම පන්සල්වල සිටි අලි ඇතුන් ගැන තොරතුරු සෙවීමටය.

එම අවස්ථාවේදී රටට එරෙහි බලවේගවලට අවශ්‍ය වූයේ මහනුවර දළදා පෙරහැරේ අලි, ඇතුන් ගමන් කිරීම නැවැත්වීමටය.

අපේ උරුමය ලෝකයටම කියාපානු ලබන මහනුවර දළදා පෙරහැරෙන් අලි, ඇතුන් ඉවත් කිරීමෙන් ඔවුන්ට අවශ්‍ය වූයේ මේ රටේ සිංහල බෞද්ධ සංස්කෘතික පදනමට පහර දීමටය.

ඒ සඳහා පහසුවෙන්ම කළ හැකිව තිබුණේ අලි, ඇතුන් ගෙන් තොරව මහනුවර දළදා පෙරහැර එක් වසරකදී හෝ පැවැත්වීමටයි.

මෙම සිදුවීම් සිදුවන විට දැන් පන්සල් ගානේ වැඳ වැටෙමින් දුවන සජිත් ප්‍රේමදාස සිටියේ කොහිද?

මුහුදු මහා විහාරය ඇතුළු උතුරු, නැගෙනහිර පළාත්වල විහාරස්ථාන රැසක පුරා වස්තු විනාශ වන විට; ඇතැම් පිරිස් බලහත්කාරයෙන් එම පූජා භූමිවලට අදාළ ඉඩම් අත්පත් කර ගන්නා විට එදා නිවාස හා සංස්කෘතික ඇමැති වශයෙන් සජිත් සිටියේ කොහිද?

රංගිරි දඹුලු විහාරය, අලුත්ගම කන්දෙ විහාරය ඇතුළු පන්සල්වල පින් පෙට්ටිවලට සීල් තබන විට සජිත් සිටියේ කොහෙද?

ඇතැම් අවස්ථාවන්වල පන්සල්වල පින් පෙට්ටිවලට සීල් තබන විට සජිත් සංස්කෘතික අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ බව ද අමතක නොකළ යුතුය.

මේ රටේ පන්සල්වල පින් පෙට්ටිවලටත් සීල් තබන යුගයක් ඇති කළේ සජිත්ද ඇමැතිධුරයක්් දැරූ මෛත්‍රී - රනිල් ආණ්ඩුවයි.

එම යුගය වෙනුවෙන් අපමණ අගයක් එක් කිරීමට වෙහෙස නොබලා සජිත් ප්‍රේමදාස කටයුතු කළ බව අමතක නොකළ යුතු ය.

'යහපාලන' ආණ්ඩුව රටට සිදු කළ විනාශයෙන් ගැලවීමට දැන් සජිත් කෙතරම් පන්සල් ගානේ ගොස් වැඳ වැටුණ ද 'යහපාලන' ආණ්ඩුව රටට සිදු කළ හානිය ඇතුන් ලවාවත් ඇද්ද විය නොහැකිය.

'යහපාලන' ආණ්ඩුව විසින් රටට එරෙහිව පාර්ලිමේන්තුවේ දී සම්මත කරන ලද සෑම පනතකට ම සජිත් ප්‍රේමදාස අත ඉස්සුවේය.

භික්ෂූන් වහන්සේ සිරගත කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා නොදීම සඳහා යෝජනා ඉදිරිපත් කරන විට සජිත් නිහඬව බලා සිටියේය.

''මං එදා විරුද්ධ වුණා'' යනුවෙන් ඇතැම් අවස්ථාවන්වලදී සජිත් පොර ටෝක් දෙන අවස්ථා වර්තමානයේ දී අප දැක ඇත.

නමුත් 'යහපාලන' ආණ්ඩුව විසින් රටට එරෙහිව ගනු ලැබූ එකදු තීරණයකට එරෙහිව සජිත් කටක් හෙල්ලුවේ නැත.

කැබිනට් මණ්ඩලයේ දී හෝ 'යහපාලන' ආණ්ඩුවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී හෝ පාර්ලිමේන්තුවේ දී හෝ 'යහපාලන' ආණ්ඩුව රටට සිදු කරන ලද හතුරු කම්වලට එරෙහිව සජිත් කටක් ඇරියේ නැත.

සජිත් එහෙම කට ඇරියේ නම් ඒ බව එම රැස්වීම්වල වාර්තාවල හෝ පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්තාවේ හෝ සඳහන් විය යුතුව තිබුණ ද එවැනි කිසිදු සඳහනක් සොයා ගැනීමට නොහැකිය.

අඩුම ගානේ ඒ සම්බන්ධයෙන් සජිත් යම් ප්‍රකාශයක් මාධ්‍යවලට සිදු කළා නම් එය මාධ්‍ය මඟින් අනිවාර්යෙන් ප්‍රසිද්ධියට පත් විය යුතුයි. නමුත් එවැනි මාධ්‍ය වාර්තාවක් නොවූයේ සජිත් එවැනි ප්‍රකාශයක් සිදු නොකළ නිසාය.

සජිත් එසේ වුණාට මහින්ද නම් එහෙම නොවේ. ඒ සඳහා උදාහරණ රැසක් ම තිබෙන අතර මෙම උදාහරණය ඉන් එකක් පමණි.

1994 දී බලයට පත් වුණු පොදුජන එක්සත් පෙරමුණු රජයෙන් මහින්දට කුඩම්මාගේ සැලකිලි එල්ල වූ බව රහසක් නොවේ.

විටෙක කම්කරු ඇමති වූ මහින්ද විටෙක ධීවර ඇමති වූයේය. නමුත් තමන්ට ලද දෙයින් සුවිශේෂී වැඩ කොටසක් සිදු කළ හැකි බව මහින්ද ප්‍රායෝගිකවම පෙන්වූ අමාත්‍යවරයෙකි.

ඒ ආණ්ඩුවේ මහින්ද ඒ ආකාරයෙන් කටයුතු කරන විට මංගල ප්‍රබල අමාත්‍යධුර රැසක් හිමිකර ගනිමින් කටයුතු කළේය.

මංගලට අද වගේම එදත් බුද්ධාගම පෙන්නන්නට බැරිය.

නාගරික සංවර්ධනය යටතේ පුංචි බොරැල්ල මංසන්ධියේ බෝ ගස පිහිටි භූමිය කඩා ඉවත් කර නාගරික සංවර්ධනය පුළුල් කළ යුතු බවට මංගල යෝජනා කර තිබුණි.

පුංචි බොරැල්ලේ බෝ ගස කපා දමා පුංචි බොරැල්ල සංවර්ධනය කිරීමට එරෙහිව ආණ්ඩුව ඇතුළෙන්ම මුල්ම වෙඩි වෙඩිමුර පත්තු කළේ මහින්ද රාජපක්ෂයි.

මහින්ද සජිත් වාගේ බකන් නිලාගෙන නොසිටි නායකයකු බව ඔහුගේ ක්‍රියාවෙන්ම අවස්ථා රැසකදී ම ඔප්පු කර තිබේ.

කෙසේ හෝ බෝ ගස ඉවත් කර පුංචි බොරැල්ලේ සංවර්ධන සැලැස්ම මංගල සමරවීරගේ උපදෙස් අනුව ක්‍රියාත්මක වන විට මහින්ද සිටියේ පාර්ලිමේන්තුවේය.

මහා සංඝරත්නය ද මෙම පුවත මහින්දට දැනුම් දී තිබුණි.

මෙම පුවත දැනගත් මහින්ද රැගත් රථය පාර්ලිමේන්තුවේ සිට පුංචි බොරැල්ලට පැමිණියේ විදුලි වේගයකිනි.

ඒ වන විටත් ඩෝසරය ක්‍රියාත්මක වී තිබුණි. මහින්ද රැගත් රථය ඩෝසරය අසලටම ගමන් කළේය. ඒ වන විටත් ඩෝසරය පුංචි බොරැල්ලේ බෝ ගස දෙසට ගමන් කරමින් තිබුණි.

මහින්ද රථයෙන් බැස ඩෝසරය නතර කොට එක් අතකින් සරමේ කොන උස්සාගෙන ඩෝසරයට නැඟ රියැදුරුට කීවේ, "කරුණාකරලා මේ බෝ ගස කපන්න එපා, විනාශ කරන්න එපා, ඕනෑම සංවර්ධනයක් කරන්න; හැබැයි අපේ ආගමික උරුමය විනාශ කරන්න දෙන්න බැහැ, එය ආරක්ෂා කරගනිමින් ඕනෑම සංවර්ධනයක් කරන්න," කියාය...

එදා මහින්දට පින්සිදු වන්නට පුංචි බොරැල්ලේ බෝ ගස අද ද දැකිය හැකි අතර, පුංචි බොරැල්ල ප්‍රදේශයේ මාර්ග පුළුල් කර සංවර්ධන කටයුතු සිදු කෙරුණේ බෝගස කිසිදු බාධාවක් කර නොගෙනය.

එවැනි තත්ත්වයක් ඇතිවූයේ මහින්ද එම ආණ්ඩුව තුළ සිටගෙන ම සිංහල බෞද්ධ උරුමයන් රැකගැනීමට නොබියව ඉදිරිපත් වූ නිසාය. 

එම නිසා මහින්ද කවදා කොහොම පන්සල් ගියත් සජිත්ට ප්‍රශ්න කළ නොහැකිය.

මේ රට හැමදාමත් ආරක්ෂා කළ මහා සංඝරත්නය මහින්දගේ දේශපාලන දර්ශනය වෙනුවෙන් ආශිර්වාදය කිරීම වරදක්ද?

එදා මහින්ද පන්සල් යන බවට දහ අතේ චෝදනා එල්ල කළ සජිත්ට පන්සල් යාමට සිත් පහළ වී ඇත්තේ මැතිවරණ දෙකකින්ම අන්ත පරාජය වීමෙන් පසුවය.

නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයට ගොස් සජිත් පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ට වැඳ වැටෙමින් ප්‍රකාශ කළේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය ගැනය.

එදා මහින්ද රාජපක්ෂයන් අභයාරාමයට යද්දී ඊට එරෙහිව සජිත් ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ නායකයන් හඬ නැඟූ අයුරු, මෙදා අභයාරාමයට යන විට සජිත්ට මතක් වූවාදැයි දන්නේ සජිත් ම පමණි.

ඒ විතරක් නොවේ, 1988 - 89 භීෂණ සමයේ දී මහා සංඝරත්නයේ විශාල පිරිසක් ආණ්ඩුවේ මැර කල්ලි විසින් දස වද දී මරා දමන විට; එවකට රට පාලනය කළ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස තමාගේ පියා බව සජිත්ට මතක් වූවාද?

එදා ආණ්ඩුවේ මැර කණ්ඩායම් විසින්, ධර්ම චක්‍රය, කරකවන බව කියමින් සංඝයා වහන්සේට පහර දෙමින් කළ අමානුෂීක ක්‍රියා සජිත්ට මතක් වුණි ද?

1987 මැයි 01 වැනි දින ජාත්‍යන්තර කම්කරු සැමරුම එවකට පැවැති ජේ. ආර්. - ප්‍රේමදාස ආණ්ඩු මගින් තහනම් කෙරුණු අවස්ථාවේදී එම තහනමට සහ ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි ප්‍රමුඛ දේශප්‍රේමී බලවේග නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානය තුළම මැයි දිනය සැමරුවේය.

ඒ මොහොතේ එතැනට පොලිසිය කඩා පැන සිදු කළ වෙඩි ප්‍රහාරවලින් කිත්සිරිමෙවන් රණවක සරසවි ශිෂ්‍යයා ඇතුළු දෙදෙනෙක් මිය ගොස් තවත් පිරිසක් තුවාල ලැබූ බව සජිත්ට අමතක වුණාද? නැතිනම් මතක් වුණා ද කියා දන්නේ සජිත් ම පමණි.

සජිත් එසේ පන්සල් යැදීම ගැටලුවක් නොවේ. එය ඉතා හොඳය. තමන්ගේ වාසියට පන්සල් යන්නේ නොමැතිව මහින්ද වාගේ හැමදාමත් පන්සල් සමඟ සමීප සබඳතාවක් පැවැත්වීමට සජිත් කටයුතු කරනවා නම් එය සජිත්ගේ දේශපාලන සෞඛ්‍යයට හිතකර වනු ඇත.

සජිත් එසේ පන්සල් යදිමින් සිටින විට ජවිෙප සාමාජිකයන් හෙවත් සියයට තුනේ සහෝදරවරුන්ට වසර 5 කට පමණ පසුව ලිප්ටන් වටරවුම, කොටුව දුම්රියපොළ ඉදිරිපිට, ඇමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට මතක් වී තිබේ.

'යහපාලන' ආණ්ඩුව සමයේ දී පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය හිමි වූ 3% රතු සහෝදරවරුන්ට ඒ කාලය තුළ කිසිදු ඇමෙරිකානු විරෝධයක් මතු නොවුණි. අඩුම ගානේ MCC ගිවිසුම ගැනවත් දැඩි විරෝධයක් ඔවුන් ගෙන් දිස් නොවුණි.

ඔවුන්ට තිබුණේ රාජපක්ෂ විරෝධයක් පමණි. රාජපක්ෂ විරෝධය ගැන කියමින් අනුර කුමාර දිසානායක සහෝදරයා කෑ මොර දුන්නේ ලෝකයේම සිටින භයානකම දේශපාලනඥවරුන් රාජපක්ෂවරුන් කියන්නා සේ ය.

එම රාජපක්ෂ විරෝධයට පමණක් මුවාවී 'යහපාලන' ආණ්ඩුවේ බොහෝ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවන් වෙනුවෙන් අනුර කුමාර දිසානායක ඇතුළු රතු සහෝදරවරු පෙනී සිටියහ.

දැන් ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ට එරෙහිව එක පාරටම 3%රතු සහෝදරවරුන් කෑගසන්නේ MCC ගිවිසුම අත්සන් කිරීමට ආණ්ඩුවේ ආරාධනාවෙන් පොම්පියෝ මෙරටට පැමිණි බව සඳහන් කරමිනි. දකුණු ආසියාතික සංචාරයක් සඳහා රටවල් පහක සංචාරය කිරීමට පැමිණි පොම්පියෝ මෙරට දින දෙකක් ගත කිරීමෙන් අනතුරුව දැන් මාලදිවයිනට ගොස් එම රටෙනුත් තවත් රටකට ගොස් තිබේ.

අත්සන් කරන ලද MCC ගිවිසුමක් නැත. 'යහපාලන' ආණ්ඩුව සමයේ දී MCC ගිවිසුමට පණ දීමට කළ සැලසුම් එකින් එක වත්මන් ආණ්ඩුව ඉවත් කරමින් සිටී.

එය යහපත් දෙයක් නොවේ ද? MCC ගිවිසුම අත්සන් නොකරන බව වත්මන් රජය නිල වශයෙන් ප්‍රකාශ කර තිබියදි 3% රතු සහෝදරවරුන් ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට රස්තියාදු වූයේ ඔවුන් දිනකට හෝ සටන් පාඨයක් සොයා ගැනීමේ, එදා වේල ටුවර්ස්, අරගලයක නිරත වී සිටින නිසාය.

රතු සහෝදරවරුන්ට අඩු ඡන්ද හිමි වීමට ද බලපෑවේ ඔවුන් තුළ දැඩි ව පැවති රාජපක්ෂ විරෝධය නොවේ ද?

කොරෝනා වයිරසය හේතුවෙන් නියමිත සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් අනුව 3% රතු සහෝදරවරුන් විරෝධතා පවත්වන නිසා අඩු පිරිසක් පොම්පියෝට එරෙහි විරෝධතාවට සහභාගි වූ අතර එසේ නොවුණා නම් ගාලු පාර දෝරේ ගලන්නට ජනතාව රැගෙන එන බව මෙම රතු සහෝදරවරු ප්‍රකාශ කරති.

දේශපාලන සටන් පාඨ නොමැතිව මේ කොරෝනා කාලේ බංකොළොත් වී සිටින විපක්ෂය කොරෝනා ගැනම සටන් පාඨ සොයා ගනිමින් කොරෝනාවලින්ම ගොඩ ඒමට උත්සාහ ගනිමින් සිටී.

එදා මහින්ද පන්සල් යන විට දොස් කියපු සජිත් අද පන්සල් යන්නෙත්, එදා ලිප්ටන් වටරවුම අමතක වූ 3% රතු සහෝදරවරුන්ට යළි විරෝධතා මතු වී තිබෙන්නේත් එකම කාසියේ දෙපැත්ත ඔවුන් නියෝජනය කරන නිසාද කියා සමාජය තුළ බරපතළ සැකයක් මතුව තිබේ.

එම සැකය දුරු කළ හැක්කේ සජිත්ට හා 3%රතු සහෝදරවරුන්ට පමණි. එය කොතෙක් දුරට සාර්ථකවේද කියා දැන්ම කියන්න බැරිය.

Comments