රාජාණ්ඩු සදහටම අතුගා දාන්න අපේ රජ­යක් ළඟ ළඟම එනවා | සිළුමිණ

රාජාණ්ඩු සදහටම අතුගා දාන්න අපේ රජ­යක් ළඟ ළඟම එනවා

19 කියන්නේ මෙතෙක් කළ ජනතා හිතවාදීම සංශෝධනයයි...

මාධ්‍ය තමයි ‘යහපාලන’ ආණ්ඩුව පෙරළුවේ...

යහපාලනයේ කරපු හොඳ වැඩ අපිට මාකට් කර ගන්න බැරි වුණා...

 

20 වැනි සංශෝධන කෙටුම්පත පරාජය කිරීමට ඔබ කණ්ඩායමට නොහැකි වූයේ ඇයි?

අගෝස්තු 05 වැනිදා ආපු ප්‍රතිඵලය සමඟම අපිට පැහැදිලිව පේනවා 20 සම්පත කර ගැනීම පරාජය කිරීම මෙම කණ්ඩායමත් සමඟ ලෙහෙසි කටයුත්තක් නොවන බව. මන්ත්‍රී 149 ආණ්ඩුවට තිබෙන කොට තව එක මන්ත්‍රී ධුරයක් පමණයි අඩුපාඩු. මේ ආණ්ඩුවේ තිබෙන ඉතිහාසයත් එක්ක බලනකොට මන්ත්‍රීවරු බිලිබා ගැනීම සහ ඔවුන්ට දෙන නොයෙකුත් ප්‍රතිපාදනත් එක්ක, වරප්‍රසාද වරදානත් එක්ක අපි දැනගෙන හිටියා 20 ඔවුන් සම්මත කර ගන්නවා කියන එක.

අපි මුළු පාර්ලිමේන්තුවෙන්ම ඉල්ලා සිටියා හෘදය සාක්ෂියට එකඟව සෑම දෙනෙක්ම මෙයට විරුද්ධ වෙන්න කියලා. නමුත් අවාසනාවට හෘදය සාක්ෂිය නමට පෙන්නපු සිංහල මන්ත්‍රීවරු රඟපෑමක් කරපු බව තමයි දක්නට ලැබුණේ. මෙහි තිබෙන කනගාටුදායකම තත්ත්වය තමයි දැන හෝ නොදැන මේ තත්ත්වයට රට පත් කිරීම ලොකු අවාසනාවන්ත තත්ත්වයක්. මෙහිදී සාමාන්‍ය ජනතාවට සිද්ධ වුණු දැවැන්ත අසාධාරණයට කවුද වග කියන්නේ කියන ගැටලුව මතු වෙනවා.

 

රට සංවර්ධනය කරන්න, රට ඉදිරියට ගෙන යාමට 20 අවශ්‍යමයි කියල රජය පවසනවා. ඇත්තටම 20 ඕනමද?

එය රජය ගෙන යන ප්‍රෝඩාවක්; අමූලික බොරුවක්. මේ සම්බන්ධව අවසාන කතාව පාර්ලිමේන්තුවේදි කළේ මම. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ තවත් රාජපක්ෂවරුන් රැසක් ඇමතිවරු. එකම පිරිසක් මේ පාලනය ගෙන යනු ලබන්නේ. ලංකාවේ තිබෙන ප්‍රධාන පුරුක් තුන විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය. මේ තුන අතර තුලනයක් තිබෙන්න ඕන. අද මේ වන විට එම තුලනයෙන් දෙකක්ම එකම කට්ටියක් අතර තිබෙන්නේ.

මෙහෙම තිබියදි අධිකරණයටත් බලපෑම් කරන 20 ගෙන එනවා කියන්නේ ලෝකයේ මෙහෙම බලයක් තිබෙන කිසිම රටක් නැතිව ඇති කියලා. මේ නිසා මගේ අදහස 20 ක් අවශ්‍ය වූයේ නැහැ. තිබුණු බලය ඕනෑවටත් වඩා ප්‍රමාණවත්. මේ මහජනතාවගේ බලය සියල්ල මෙහෙම අත්පත් කර ගත්තාම ජනතාවට කිසිම දෙයක් කර කියා ගන්න නොහැකි වෙනවා.

 

යහපාලන රජයට ප්‍රධාන ගැටලුවක් වූ අගමැති රනිල් වික්‍රමසිංහ සහ ජනාධිපති මෛත්‍රීපාලගේ ගැටුමට ප්‍රධාන හේතුවක් බවට පත් වූයේ 19 වැනි ව්‍යවස්ථාව බව වර්තමාන රජය පවසනවා. එය එසේ සිදු වූවාද?

නැහැ. එය කිසිසේත්ම එසේ වූයේ නැහැ. අනික 19 වැනි සංශෝධනය කියන්නේ මෙතෙක් ඉතිහාසය තුළ තිබූ ජනතා හිතවාදීම සංශෝධනයයි.

එහි අවාසනාවන්ත සිදුවීම තමයි මෙය නිසි අයුරින් පවත්වාගෙන යාම සඳහා නිසි නායකයෙක් පත් වූයේ නැහැ. රනිල් වික්‍රමසිංහ සහ මෛත්‍රීපාල සිරිසේන යන දෙපළගේ පෞද්ගලික ගැටුම් මෙන්ම ඔවුන් තුළ තිබූ දුර්වල නායකත්වය නිසා 19 ප්‍රයෝජනයට ගන්න බැරි වුණා. අනික් කාරණය තමයි සිදු කළ හොඳ වැඩ කිසිවක් සමාජගත වූයේ නැහැ. අද සහෝදරයන් දෙදෙනකු තමයි මේ රට පාලනය කරන්නේ. 19 තුළින් රට පාලනය කරලා පෙන්නලා ඔවුන් දෙදෙනාට ක්‍රියා කරන්න තිබුණා.

අපි ජනතා නියෝජිතයන් පමණයි. මෙය තාවකාලිකයි කියන කාරණය. නමුත් ව්‍යවස්ථා සංශෝධනය මගින් ඔවුන් දෙදෙනා ලෝකයට පෙන්නුවේ බලලෝභිත්වයයි.හොඳ පූර්වාදර්ශයක් ලබා දෙන්න තිබුණු අවස්ථාවක් තමයි අද මේ රජයේ නායකයින් නැති කරගෙන තිබෙන්නේ.

මේ රටේ ජනතාව වහල්ලු බවට පත් කරලා පවුල් පාලනයක් තමයි දැන් සිදු කරන්නේ. 18 ටත් එහා ගිය ඉතාමත්ම මන්ද මානසිකත්වයෙන් හදපු ව්‍යවස්ථා සංශෝධනයක් තමයි මෙම 20 වැනි සංශෝධනය.

 

ඔබ කියන විදියට 19 මගින් ගැටලුවක් නොවුණා නම් ඔබලාගේ රජය පරාජය වූයේ ඇයි?

මම දැඩි විශ්වාසයකින් යුතුව කියනවා අපගේ යහපාලන රජය බිඳ වැටෙන්න මූලිකම හේතුව වූයේ අපි කරපු හොඳ අපිට මාකට් කරගන්න යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වූයේ නැති එකයි. අපි විශාල මුදලක් හෝ විශාල ශ්‍රමයක් යෙදුවේ නැහැ; රටට අවශ්‍ය විදියට එම ප්‍රවෘත්ති නිර්මාණය කිරීමට.

අපි කරපු හොඳ දේවල් සමාජගත කරන්නට. අපගේ රජයේ වගකිව යුතු ප්‍රධානීන් දෙදෙනා අතර තමයි මෙහි වගකීම තිබෙන්නේ. ඔවුන් එය සිදු කළේ නැහැ. ඔවුන්ට ලැබී තිබූ ධුර කාලය තුළ ඔවුන් එකමුතු කමින් සහ සංවිධානාත්මකව ක්‍රියා කළේ නැහැ. කවුරු කකුලෙන් ඇද්දත් ඔවුන්ට ප්‍රචාරණය සහ සමාජගත කිරීම සිදු කරන්න තිබුණා. ඔවුන් එය සිදු කළේ නැහැ. මේ රටේ මාධ්‍ය තමයි යහපාලන ආණ්ඩුව පෙරළුවේ කියන එක මගේ මතයක්.

 

බහුතර සිංහල බෞද්ධ ඡන්ද පදනමකින් මේ රජය බලයට පැමිණි බව රජයේ නායකයන් ප්‍රකාශ කළත් 20 සම්මත කරගන්නේ මුස්ලිම් ජාතික මන්ත්‍රීවරු හයදෙනකුගේ සහයෙන්. කුමක්ද මේ සිදු වුණේ?

මම මෙය මීට ඉහතදී පාර්ලිමේන්තුවේදීත් ප්‍රකාශ කර තිබෙනවා. මේ වන විට ජනාධිපතිවරයාගේ ධුර කාලයෙන් වසරක් ගෙවී ගොස් තිබෙනවා. ඔහුට තව තිබෙන්නේ වසර හතරක් වැනි කෙටි කාලයක්.

පළමු මාස 12 දීම ජනාධිපතිවරයා අර්බුද රාශියකට මුහුණ දීලා තිබෙනවා. අද මේ වන විට එතුමා පිළිබඳව ජනතාව තැබූ විශ්වාසය සම්පූර්ණයෙන්ම නැතිවෙලා තිබෙනවා. අන්තිමට 20 සම්මත කරන්න අන්තවාදින්ව අවශ්‍ය වුණා.

 

20 වැනි සංශෝධනය සමඟ මැති ඇමතිවරු ආණ්ඩුවේ තීරණ විවේචන කිරීමත් සමඟ ආණ්ඩුව තුළ අර්බුදයක් ඇති බවට දේශපාලන පක්ෂ කිහිපයක්ම සඳහන් කළා. මේ සම්බන්ධව ඔබගේ අදහස?

මේ රජයේ බොහෝ දෙනකු සිංහ නාද දෙනවා. අවසානයේ බලු කෙඳිරියකින් අවසන් වෙනවා.

ඔය කෑගහපු මැති ඇමතිවරුන්ට කොන්දක් තියෙනවාද කියන ප්‍රශ්නය මතු වෙනවා. මොකද ඔය සියල්ල සිදු වන්නේ තමන්ගේ වාසියට, වරප්‍රසාදවලට, නොයෙක් ප්‍රයෝජන වලට තමයි කටයුතු කරන්නේ. අදාළ ඇමතිවරුන්ට මන්ත්‍රීවරුන්ට තිබුණානේ 20 ට එරෙහිව ඡන්දය ප්‍රකාශ කරන්න. ජනතාව වෙනුවෙන් ක්‍රියා කරනවා නම්. එහෙම නැහැ.

ඔවුන් සිදුකළේ රඟපෑමක්. විමල් වීරවංශ, ගම්මන්පිල ඇතුළු මේ කණ්ඩායම දක්ෂ රංගන ශිල්පියෝ කියලා ජනතාව දන්නවා. ආණ්ඩු බලය ලබා ගැනීම වෙනුවෙන් ඇමතිකම් ලබා ගැනීම වෙනුවෙන් තමයි ඔවුන් ක්‍රියා කරන්නේ. ඒක ඉතා පැහැදිලි කරුණක්.

මේ පිරිස් බොහොමයක් 17 වැනි සංශෝධනයටත් ඡන්දේ දීලා ඒක වෙනස් කරන්න. 18 ටත් දීලා ඒක වෙනස් කරන්න. 19 ටත් අත උස්සලා. අද 20 සම්මත කරන්නත් කටයුතු කළා. මේක මොන සක්කරයට ද පුළුවන්. විලි ලැජ්ජා නැතිව රෙද්දක් ඇඳන් කරන්න පුළුවන් වැඩක්ද මේ. මොවුන් ගැන කතා කරන්න කිසිම දෙයක් නැහැ නේද?

දේශපාලනය කියන්නේ ප්‍රතිපත්තියක්. එය තියෙනවාද නැද්ද කියලා ජනතාවට තීරණය කළ හැකියි. හදවතට එකඟව මෙවැනි තීරණ ගන්න පුළුවන්ද කියන කාරණයක් මෙතැනදී පැහැදිලිව පෙනෙවා.

අද මේ තුළින් ජනතාවට තේරෙනවා මේ රටේ දේශපාලනය කියන්නේ කුමක්ද කියන එක. ඔවුන් එදා අපිට මේ චෝදනාව සිදු කළාට අද ජනතාව වර්තමාන රජයේ සාමාජිකයින්ට මෙම චෝදනාව සිදු කරනවා.

 

එක්සත් ජාතික පක්ෂය දැවැන්ත පක්ෂයක්. ඇයි මේ තත්ත්වයට ඇද වැටුණේ?

එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් මේ සියලු දේවල් වලට වගකිව යුතුයි. මේ පක්ෂය තුළ කාලයක් තිස්සේම බින්න බැහැගෙන සිටියා ජනතාව ප්‍රතික්ෂේප කරපු සමාජයෙන් කොන් වුණු පිරිසක්. මේ පිරිස කණ්ඩායමක් හැටියට තමයි ක්‍රියා කළේ. දේශපාලන ගමන නවත්වන්න ඕන තැනකදී නොනවත්වා යාම නිසා තමයි රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ඔහුගේ කණ්ඩායමට අද මේ ඉරණම අත්වෙලා තිබෙන්නේ.

උදාරතර ශ්‍රී ලංකාවේ පැරණිම දේශපාලන පක්ෂයක් තමයි එක්සත් ජාතික පක්ෂය කියන්නේ. නමුත් අද මේ පක්ෂයට අත්වෙච්ච ඉරණම ඉතාම කනගාටුදායකයි. දැන්වත් ඔවුන්ට පුළුවන් නව නායකත්වයකට ගිහිල්ලා රුවන් විජේවර්ධන වැනි නායකයෙක්ව ඉස්සරහට දාගෙන පුළුල් වූ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න. මොකද පාර්ලිමේන්තුව අද පුස්සක් බවට පත්කරලා තිබෙන්නේ. අද මේ සටන ගෙන යන්න තිබෙන්නේ ලෝකයත් එක්ක, ජනතාවත් එක්ක මහා පාරවල්, ගම් බිම්වල ජනතාව සමඟයි. ආගමික නායකයන්, සමාජ ක්‍රියාකාරීන් මේ සියලු දෙනා එක්වයි. එක්සත් ජාතික පක්ෂය මේ ප්‍රශ්න සියල්ල අමතක කරලා ඉන්න නව නායකයන් සම්බන්ධ වෙලා.

සමගි ජන බලවේගය ක්‍රියාත්මක කරන පුළුල් ජාතික වැඩපිළිවෙළට සහය ලබා දෙමින් පක්ෂ භේදයකින් තොරව මේ තිබෙන විනාශයෙන් රට ගලවා ගැනීමේ ක්‍රියාදාමයට පෙරමුණ ගතහොත් නැවත වතාවක් එක්සත් ජාතික පක්ෂයට ඔවුන්ගේ පරණ තැනට එන්න පුළුවන් කියන එක පැහැදිලියි. එක්සත් ජාතික පක්ෂය පිළිබඳව අපිටත් මේ විශ්වාසය තිබෙනවා.

 

හොරු අල්ලනවා කියලා බලයට ආපු පසුගිය රජයත් වර්තමාන රජයත් අල්ලපු හොරෙක් නැහැ නේද?

ජනතාවට මේ චෝදනාව තව කාලයක් තිස්සේ සිදු කරන්න වෙනවා. මොකද වැරදි කරපු මිනිස්සු අල්ලනවා අපි දැකලා නැහැ. මේකේ පොඩි පොඩි හේතුවලට දේශපාලන පළිගැනීම් වලට තමයි අත්අඩංගුවට ගනු ලබන්නේ. මෝඩ චූන් එකක් තමයි ජනතාවට දෙන්න හදන්නේ. ඔය වගේ දේවල් අපගේ යහපාලන රජය තුළත් සිදු වුණා.

නීතිමය ක්‍රියාදාමයක් තුළ පැහැදිලිව නඩු අසා නිසි ආකාරයෙන් පිළිවෙළකට දඬුවම් ලබාදීමක් සිදු කළේ නැහැ.

පොඩි පොඩි හේතු සඳහන් කරමින් හිරේ දානවා. අන්තිමට ඔවුන් දේශපාලන වීරයන් ලෙස එළියට එනවා. මාධ්‍ය සංදර්ශන පෙන්වනවා. එහිදී ඔවුන් දේශපාලන චරිත වෙමින් ප්‍රසිද්ධියක් ලබා ගන්නවා. අපගේ ආණ්ඩුව කරපු දේම තමයි මේ ආණ්ඩුවත් කරගෙන යන්නේ. හොරු අල්ලනවා කියන්නේ වෙනම කතාවක්.

මෙය ඉතාමත්ම අර්බුදකාරී තත්ත්වයක්. මට පෙනෙන්නට තිබෙන්නේ ඒ පැත්තත් හොරු ඇල්ලුවේ නැහැ. මේ පැත්තත් හොරු ඇල්ලුවේ නැහැ. මේ පැත්තත් ඇත්ත හොරු අල්ලන්නේ නැහැ. මේ හේතුව නිසා ජනතාවට දේශපාලනය පිළිබඳව එන්න එන්නම දැඩි කළකිරීමක් ඇති වෙනවා. හැබැයි ශ්‍රී ලංකාවේ ජනතාව ඉතා ඉක්මණින් වෙනස් වන කණ්ඩායමක්. මේ නිසා සැබෑ හොරුන්ට දඬුවම් ලබාදීමට මේ ආණ්ඩුවට ලොකු වගකීමක් තියෙනවා කියන එක පැහැදිලිව කියනවා.

 

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හත්දෙනකුම 20 ට පක්ෂව ඡන්දය ලබා දීමත් සමඟ සමගි ජන බලවේගය දැඩි අර්බුදයක බව ජනමාධ්‍ය වාර්තා කරනවා. මේ කියන කාරණාව සත්‍යයක් ද?

අර්බුදකාරී තත්ත්වයකට වඩා වෙනස් තත්ත්වයක් තිබෙන්නේ. ඔය කියන අර්බුදයක් නම් නැහැ. නමුත් අපි දැඩි විනයක් ඇතිව ක්‍රියා කරන පක්ෂයක්. මෙලෙස ගිය අයට අපි දැඩි විනය ක්‍රියාමාර්ගයක් ගන්නවා.

අනෙක් කාරණය තමයි එක්සත් ජාතික පක්ෂය කියන දැවැන්ත දේශපාලන පක්ෂයෙන් පෝෂණය වුණු ආභාසය ලද පක්ෂයක් තමයි සමගි ජන බලවේගය කියලා කියන්නේ.

නැගෙනහිර පළාතේ කඳුකරේ උතුරේ මේ කිසිම පළාතක අපි අපගේ දේශපාලන හස්තය දැඩිව ක්‍රියාත්මක කළේ නැහැ.

අපි සමඟ සන්ධාන ගතවන සහයෝගය ලබා දෙන පක්ෂ සමඟ නිදහසේ ක්‍රියා කළේ. නමුත් අපි ඔවුන්ටත් බලපෑම් නොකළ දේශපාලන ගමනක් යාමට ඉඩදීම නිසා අද අපිට ගැටලුවක් වෙලා තිබෙනවා.

පිරිසක් මෙලෙස ආණ්ඩුවට එක්වීම. එය සමගි ජන බලවේගයේ ප්‍රතිරූපයට හානියක්.

මේ නිසා අපි ඉදිරියේදී ගම් මට්ටමින් සිදු කරන ක්‍රියාදාමයේදී අපි අපේම මුස්ලිම් නියෝජිතයන්, අපි අපගේම වතුකරයේ නියෝජිතයන් නිර්මාණය කිරීම සඳහා ඉදිරියේදි කටයුතු කරනවා.

ඇත්තටම අපි මේ ඉරණමට ගොදුරු වූයේ අපි සාමූහිකව ඉන්න නිසා. අපි කතෝලිකයන්, මුස්ලිම් ජාතිකයන්, දෙමළ ජාතිකයන්, සිංහල ජාතිකයන් කියලා වෙන වෙනම හිතන්නේ නැහැ. වෙන වෙනම කණ්ඩායම් නැහැ. සමස්ත ශ්‍රී ලාංකිකයන් කියන පදනමින් තමයි අපේ පක්ෂය ඉදිරි ගමන සැලසුම් කරලා ක්‍රියාත්මක වෙන්නේ. එහිදි යම් පක්ෂයක් තමන්ගේ පටු දේශපාලන වාසිය වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා නම් එවැනි කණ්ඩායම් අපි ඉවත් කරන්න සූදානම්.

 
 
 

Comments