වමේ දේශපාලනයේ නොමැකෙන ලකුණ | සිළුමිණ

වමේ දේශපාලනයේ නොමැකෙන ලකුණ

අපේ දිනපතා අලුත් පත්තරේ පටන් ගන්න ඕන නිල් මැණිකකින් නෙවෙයි. රතු මැණික් කැටයක කතාවකින්. උපාලි විජයවර්ධනයන් මේ කියන්නේ කවරාකාර සිද්ධි දාමයකින්ද මට තේරුම් ගත නොහැකි විය.

“මේ යාර විස්සක් විතර දුරින් මගේ ගේ පිටිපස්සෙ ඉන්න විවියන් ගුණවර්ධන.

රතු සෙන්පතිනිය ලෙසින් මුළු මහත් වමේ දේශපාලන ක්‍රියාවලිය ශක්තිමත් කරලීම උදෙසා විවියන් ගුණවර්ධන මෙන්ම ඇයගේ ස්වාමි පුරුෂයා වූ ලෙස්ලි ගුණවර්ධන දායකත්වය අපි අද අනුස්මරණය කරමු.

පිලිප්ගේ නැගණියට සිටි එකම දියණිය විවියන් ගුණතිලකය. ඇය අවුරුදු හය ලබත්ම මියුසියස් විද්‍යාලයේ ශිෂ්‍යාවක ලෙසින් ඉගෙනුම ලැබුවාය. දෙමාපියන්ගේ වැඩි කැමැත්ත පරිදි වයස හයේ සිටම ඇයට නේවාසිකව ඉගෙන ගන්නට සිදු විය.

ඇය පාසලේ සිටි දක්ෂතම ශිෂ්‍යාව වූවාය. සමහර දිනෙක ගුරුවරියක පාසලට නොපැමිණියහොත් ළමුන්ට ඉගැන්වීමට සිදු වූයේ ද ඇයටය. පාසලේ හැම අංශයකම එකසේ මතු වී කැපී පෙනුණු ඇය ශිෂ්‍ය නායිකාව වශයෙන් ද තෝරා ගනු ලැබීය.

පාසල් නිවාඩුට ගෙදර ගිය විවියන් පිලිප් මාමාගෙන් එතෙර තොරතුරු දැන ගත්තාය. පිටරට තොරතුරුවලට වඩා පිලිප්ගෙන් කියැවුණේ පිටරටවල දේශපාලන තොරතුරුය. දේශ දේශාන්තරයන්හි අධිරාජ්‍ය විරෝධී සටන් ව්‍යපාරය පෙළ ගැසෙනා හැටි, පොදු මහජනතාව තම ජීවිත අවදානම නොතකා අධිරාජ්‍යවාදී පාලකයන් සමඟ සටනට ප්‍රවිෂ්ඨ වී සිටින ආකාරය තම ලේලියට කියා දෙමින් සිටියදී ගැඹුරු කල්පනාවක නිරත වෙමින් එය අසා සිටි රොබට් මාමා දත්මිටි කන සැටි දෑතේ අතැඟිලි මිට මොලවන හැටි දුටු විවියන් හිස වනමින් ඇත්තටම සුරංගනා කතාවක් නොවන බව සපථ කළාය.

මිය ගිය අධිරාජ්‍යවාදීන් අනුස්මරණය කරන දිනයේ රටම විනාඩි පහක් නිහඬ වී ගෞරව දැක්විය යුතුව තිබිණ. සයිරන් නළා හඬ කණ වැකෙත්ම සියලුම රට වැසියන් නිහඬ වී ඔවුන් ගරු කළ යුතු විය. කළු ලෑලි අසලම සිටි දැරිය විවියන්, කළු ලෑල්ල දෙසට දිගු කළ ඇගේ දකුණු පාදය පෙරට තබන්නට වේලාව මඳ විය. කළු ලෑල්ල ඉස්මත්තේ රැඳවුණු කවකටු පෙට්ටි වේදිකාව දෙදරුම් හඬක් මතු කෙරිණ.

දඬුවම එතෙක් මෙතෙක් මියුසියස් බාලිකාවේ ශිෂ්‍යාවකට විශේෂයෙන් ප්‍රාථමික අංශයේ ශිෂ්‍යාවකට නොවූ විරූවකි. උදයේ සිට පාසල හමාර වන වේලාව දක්වා වේදිකාව මධ්‍යයේ දණ ගසාගෙන සිටීමයි.

1916 වසර් සැප්තැම්බර් 18 වැනි දින විවියන් කොළඹ ද සොයිසා රෝහලේ දී උත්පත්තිය ලැබුවාය. ඇයගේ පියා දොන් ඇලන්සන් ගුණතිලක වෛද්‍යවරයෙකු වූ අතර එදින වන විට තිස්සමහාරාම රෝහලේ සේවය කළේය. විවියන්ගේ මව ඇන්ජලිකා ගුණවර්ධනය. ඇය බොරළුගොඩ රාළහාමිගේ එකම දියණියයි. පස් දෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමලා ලෙස මෙළොව එළිය දුටු විවියන්ට ‘විවියන්‘ ලෙස නම ලැබුණේ ද මවට උපස්ථාන කරමින් සිටි සාත්තු සේවිකාවගේ ද නම ද ‘විවියන්‘ වූ නිසාය. මව ඇයට දුන් නම වයලට් විවියන් ගුණතිලක ය. ටියුලින්, ඩැනිස්ටර්, රාජා සහ ලක්ෂ්මී ඇයගේ පවුලේ සෙසු සාමාජිකයන්ය.

ශිෂ්‍යාවන් අතර සිටි අති දක්ෂ ශිෂ්‍යාවක ලෙසින් සිටි විවියන්ට වයස අවුරුදු 16 ලබත්ම පාසල් ගමන නතර කරන්නට සිදු විය. “දැන් ඉගෙන ගත්තා හොඳටම ඇති.“ පියා තීරණය කළේය. විවියන්ගේ පාසල් ගමන නතර වූයේ ඇයගේ 16 වැනි වියෙහිදීය. තවදුරටත් ඉහළට ඉගෙන ගෙන විශ්වවිද්‍යාලයට ගියහොත් තම දියණියට විවිධ අක්‍රමිකතා සිදු විය හැකි බවටත් එදා සූරියමලට එරෙහිව පොපිමලක් පැළඳගෙන සිටි දොස්තර ගුණතිලක තීරණය කළේය. තවත් ඉහළට ගියහොත් විශ්වවිද්‍යාලයට යා හැකි බවට විශ්ව විද්‍යාලය මිශ්‍ර ආයතනයක් නිසා එය වැදගත් ගැහැනු ළමයකුට නොහොබින් තැනක් බවට පියා තීරණය කර හමාරය. එනිසා මියුසියස් විද්‍යාලයීය බෝඩිමෙන් විවියන් ගෙදර ආවාය. විවියන්ගේ පාසල් ගමන් නතරවීම නිසා පිලිප්, රොබට් මාමාවරු දුකට පත්වූහ. තම පියා සමඟ මාමලා දෙන්නා මේ ගැන කළ තර්ක විතර්ක හමාර වූයේ පියා මාමා වරුන්ට හොඳටම බැණ වැදී පන්නා ගැනීමෙනි.

දිනෙක රොබට් මාමා ප්‍රවේශ විභාගයට අවශ්‍ය පොත් මිටියක් හොර රහසේ විවියන්ට ගෙනත් දුන්නේය. විශ්ව විද්‍යාල ප්‍රවේශ විභාගයට පුද්ගලිකව අයදුම්පතක් ඉදිරිපත් කළ විවියන් එහි ලිපිනය ලෙස යෙදුවේ තම පුංචි අම්මලා පදිංචිව සිටි වැල්ලවත්තේ ගෙදර ලිපිනයයි. විභාග ප්‍රවේශපත් ලැබුණත් සතියක් පුරා ගෙදරින් බැහැරව සිටීම දුෂ්කර දෙයක් බව විවියන්ට දැනුණේ පසුවය.

රොබට් මාමා පුංචි අම්මාගේ ලිපියක් ද රැගෙන දිනක් තාත්තා හමුවීමට පැමිණ සිටි බව දුටු විවියන් හොඳටම තැති ගැණුනි. එය දෙතුන් වරක් කියවූ තාත්තා විවියන්ට කථා කළේය.

“දුවේ, මෙන්න පුංචි අම්මා ලියුමක් එවල තියෙනව. කියවල බලපන්“ බියෙන් ත්‍රස්තව සිටි විවියන් ලියුම ගත්තේ වෙව්ලන අතිනි. රොබට් මාමා සිනාසෙමින් ඒ දෙස බලා සිටී. වේගයෙන් සුසුමක් හෙළූ විවියන් ළය සැහැල්ලු කර ගත්තාය. විවියන් අම්මාට ලියුම දුන්නාය. ඇයගේ මුහුණ අඳුරු වන සැටි දුටුවාය. “මොකද දන්නෙ නෑ. නංගි අසනීප වෙලා තියෙන්නෙ. ඉතින් දුවට පුළුවන් නේ පුංචි අම්ම බෙහෙත් බොනකම් සතියක් දෙකක් වැල්ලවත්තෙ නවතින්න යන්න.“

රොබට් මාමාත් සමඟ වැල්ලවත්තේ පුංචි අම්මාගේ නිවෙසට ගිය විවියන්, එහි සිට විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගයට උත්තර ලීවාය.

කලක් ගතවූ පසු එක් දිනක හදිස්සියකින් මෙන් ඉක්මන් ගමනින්විත් ගෙට ගොඩ වූ තාත්තා විවියන්ට නොසෑහෙන සේ බැණ වදින්නට විය. ඔහු අතේ තිබූ පුවත්පත ඇය දෙසට විසිකර “බලාගනින් උඹේ හපන්කම“ යැයි සැරෙන් කීවේය. පුවත්පත අතට ගත් විවියන් මහ හඬින් සිනාසුණි. ශිෂ්‍යයන් දස දෙනකුට පමණක් හිමිවන කුසලතා ශිෂ්‍යත්වයක් ද ලබමින් විවියන් විශ්ව විද්‍යාල ප්‍රවේශය සමත්වී සිටියාය.

“විභාගය පාස් වුණාට මම උඹ විශ්ව විද්‍යාලයට යවන්නෙ නෑ. දැනගනින්“ තාත්තාගේ කෙටි පිළිතුර එතනින් නිම විය. එහෙත් සිතේ ඇතිවුණ පිබිදීම තමා විභාගය සමත්වීම නිසා හටගත් සතුටට වඩා තාත්තාටත් අම්මාටත් හොරෙන් කළ වැඩක ජයග්‍රහණයක් වීම නිසාය.

අම්මා විවියන් ළඟට ආවාය. “මහ ලොකු හපන්කමක් කරල තියෙන්නෙ. අන්න තාත්ත බැණ බැණ ඉන්නවා.“ “තාත්තාට බණින්න තරම් වරදක් මම කළේ නැහැනේ. මම හොරෙන් විභාගයට හිටියෙ තාත්තා ඉඩ දෙන්නෙ නැති හින්ද.“

“තාත්ත කැමති නෑ. උඹ පිරිමි ළමයින්ගෙ ආස්සරේට වැටිල නරක් වෙනවට. ඒ හින්ද මිසක් උඹල ඉගෙන ගන්නවට තාත්ත විරුද්ධ නෑ.“ “එහෙනම් ඔය ඕන තරම් ගෑනු ළමයි ඉගෙන ගන්නෙ කොල්ලොත් එක්ක.“

“ඒක තාත්තගෙන් අහගනින්“ අම්මා සැර වූවාය. තාත්තාත් සමඟ ප්‍රශ්න කිරීමට විවියන්ට පුරුද්දක් නැත. දිනෙක හදිසියෙන් පැමිණි අමුත්තකු සමඟ විවියන්ගේ සිද්ධිය ඇගේ පියා උජාරුවෙන් එහෙත් කෝපයෙන් කතා බස් කරන සැටි ගේ ඇතුළට වී සිටි විවියන්ට ඇසුණි.

කාමරේ දොර රෙද්දෙන් හිස මෑත් කොට බැලූ ඇය අමුත්තා ප්‍රගතිශීලි අදහස් ඇති, වී. කුමාරස්වාමි බව දැන ගත්තේය. දොස්තර ගුණතිලක ළඟින් ඇසුරු කළ මිතුරන් කිහිපදෙනකු වූයේ ශාන්ත තෝමස් විද්‍යාලයේ විදුහල්පතිවරයකුව සිටි ජේ. ටී. ආර්. පෙරිම්බණායගම්, සිවිල් නිලධාරියකු වූ වී. කුමාරස්වාමි සහ ගම්පහ විනිශ්චය කරුවකු වූ ජේ. ඇන්. ආරුමුගම් යන අයයි.

කුමාරස්වාමි, විවියන්ගේ පියා සමඟ තර්ක කළේය. උසස් අධ්‍යාපනය ලබන කාන්තාවන් කොතෙක් ඇද්දැයි ඔහු ගණන් හිලව් ඉදිරිපත් කළේය. තනියම ගෙදරට වී පාඩම් කොට මේ තරම් සමත්කමක් දැක්වූ විවියන් පාසලකට යවා උගැන්වූවා නම් කොතරම් ඉහළ සාමාර්ථයක් ලබා ගනු ඇත්දැයි ඔහු ඇසීය.

“මේක හරිම අපරාධයක්. එහෙම නම් මුලදිම මේ වැඩේ නවත්වන්න තිබුණා. දැන් මෙයා වෙනුවට වෙනත් කෙනෙකුට යන්න තිබූ අවස්ථාවක්වත් නැතිව ගොහින්. නැතිනම් ඒක දෙන්නෙකුට කරන අපරාධයක්. එකක් තමන්ගෙ දුවට. අනික ඒ වෙනුවට අවස්ථාවක් ලබන්න තිබූ කෙනෙකුට. දුව විශ්ව විද්‍යාලයට යවල තමන් සෙවිල්ලෙන් සිටියම ප්‍රශ්න ඉවරනේ“ කුමාරස්වාමි තර්ක කළේ, ඒ තර්කයෙන් පරාජය වූ විවියන්ගේ පියා විවියන් කැඳවීය.

“මෙහේට වරෙන් දුවේ. මේ මහත්තය කියන හින්ද මම උඹට යන්න දෙනව. උඹ දන්නව නේ තාත්තගෙ හැටි. පරිස්සමින් ඉගෙන ගනින්. එහෙම නැතිවුණොත් එදා ඉඳල ගෙදරින් දොට් බහින්න දෙන්නෙ නෑ තේරුණාද?“

මහිලා සමිති ව්‍යාපාරය ආරම්භ කළ මේරි රත්නම් ආර්යාව ගේ පුත්‍රයා රොබින් රත්නම්ය. ඔහු පැමිණ දීර්ඝ දේශනයක් පැවැත්වීය. දක්ෂ කථිකයකු වූ ඔහු මෙරට පවතින සමාජයක්‍රමය ගැන කළ හර බර දෙසුමේදී ලංකා දේශපාලනයේ නව වෙනස් කමක් ඇති කිරීමට පිට රටින් පැමිණ සිටින තරුණයින් කීප දෙනකු ගැන සඳහන් කළේය.

රටේ දුගී දුප්පත්කම නැතිකර දමා අලුත් සමාජ ක්‍රමයක් ගොඩ නංවන සැලැස්මක් ඔවුන් ඉදිරිපත් කර ඇති බවත් ජාතික වහල් බවේ සිටි යුගය හමාර කරමින් ජාතික නිදහස වෙනුවෙන් ඇප කැප වීමට ඔවුන් සංවිධානය වී සිටින බවත් එම කථාවේදී සඳහන් කළේය.

අද ඔවුන්ගේ ප්‍රථම සභා රැස්වීම පවත්වන බවත් සභාපති වශයෙන් කටයුතු කරන්නේ කොල්වින් ආර්. ද සිල්වා නැමැත්තකු බවත් ඔහු හෙළි කළේය. සුද්දන්ට විරුද්ධව වැඩ කිරීමට බුද්ධිමත් තරුණ තරුණියන් ලෙස අපත් එයට එකතු විය යුතු නේදැයි ඔහු සභාවෙන් ප්‍රශ්න කළේය. රොබින් රත්නම් මෙසේ සඳහන් කළ ලංකා සමසමාජ පක්ෂයේ උපත 1935 දෙසැම්බර් 18 දා සිදුවිය.

සමසමාජ පක්ෂයට හිතවත් තරුණ කාන්තාවන් අතර විවියන් මුල්තැනක් හිමිකර ගත්තාය. විශ්ව විද්‍යාලයෙන් පිටවී හොර රහසේම රැස්වීම්වලට යාමටද ඇය පුරුදු වූවාය. සමසමාජ පක්ෂයේ ප්‍රථම කාන්තා සාමාජිකාව වූයේ ද ඇයයි. සමසමාජ පක්ෂයට එක්ව සමාජ කටයුතුවල නිරතවත්ම නොදැනුවත්වම විවියන්ගේ සිතට එක්වූ තරුණ පෙම්වතකු වූයේ පක්ෂයේ උද්යෝගිමත් පුද්ගලයකු වූ ලෙස්ලි ගුණවර්ධනය.

ක්‍රිස්තියානු පවුලකට අයත් වූ ලෙස්ලි ගුණවර්ධන හා ආදරයෙන් එක්වීම පියාට දැන ගැනීමට ලැබීමෙන් විවියන්ට සිදුවූයේ ගෙදරින් එළියට අඩියක්වත් යාමට ඉඩ නොදීමය. මේ වන විට විසිතුන් වන වියේ සිටි විවියන්ට සිදුවූ තර්ජන පිළිබඳව ලෙස්ලි ශ්‍රේෂ්ඨාධිකරණයට හබයාස් කෝපූස් අයැදුම්පතක් ඉදිරිපත් කළේය. මෙම නඩු කටයුතු සඳහා ලෙස්ලිගේ පාර්ශ්වයෙන් ඉදිරිපත් වූ නීතිඥයා වූයේ හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධනය. ඔහුගේ සහායට සිටියේ සේදවත්තේ ධම්මරුචි නමින් පසුව පැවිදි වූ ජයවර්ධනගේ සොහොයුරු නෝබට් ජයවර්ධනය. නඩුවෙන් ජයගත් විවියන්, රෙජී සේනානායක හා ඔහුගේ බිරිය සමඟ ඔවුන්ගේ නිවසට ගියාය. සතියක් ගතවත්ම 1939 ජනවාරි 30 වැනි දින කොළඹ නිපොන් හෝටලයේදී ලෙස්ලි සමඟ විවාහ වූහ.

විවාහයෙන් පසුව ටික දිනක් එහි ගත කළ නව යුවල ඉනදියාවේ ත්‍රිපූර් නගරයේ පැවැති ජාතික සංගම් සම්මේලනයට සහභාගිවීම සඳහා ගියහ. මෙතැන් සිට ඇරඹෙන්නේ ලංකා සමසමාජ පක්ෂයේ ආරම්භකයන් සමඟ එක්වී ඉන්දියානු නිදහස් සටනට ශ්‍රී ලංකා සහභාගිත්වය ලබා දීමට වූ අරගලයට විවියන්ගේ සහාය දීමයි.

මාර්තු 8 වැනිදා ජාත්‍යන්තර කාන්තා දිනයකදී ඇමරිකන් තානාපති කාර්යාලයට විරෝධතා ලිපියක් භාර දී සාමකාමීව ආපසු එන අතර කොල්ලුපිටිය පොලීසියෙන් මාධ්‍ය කැමරාකරුවකු කිසිදු හේතුවක් නැතිව අත්අඩංගුවට ගත් අතර විවියන් ඔහු බේරා ගැනීමට පොලිසියට ගිය විට එක් පොලිස් නිලධාරියකු ඇය බිම පෙරළා සිය පාදය ඇය මත තබා ඇය ද අත්අඩංගුවට ගන්නා ලදී. විවියන් ඔහුගෙන් ඇසුවේ “උඹටත් අම්ම කෙනෙක් ඉන්නවාද?“ යනුවෙනි.

තමන් නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගැනීම ගැන ඇය ශ්‍රේෂ්ඨාධිකරණයට අයදුම්පතක් ඉදිරිපත් කළ අතර ඇයට අලාභය ලෙස රජය විසින් රු. 2500 ක් ගෙවිය යුතු බවට තීරණය විය. පසුවදා විවියන් අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකට ජනාධිපති ජයවර්ධන විසින් උසස්වීමක් දෙන ලදී.

නාගරික මන්ත්‍රීවරියක ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙසත් මෙරට ව්‍යවස්ථාදායකයේ යුග මෙහෙවරක් නියෝජනය කළ විවියන් වලයට් ගුණවර්ධන මහත්මිය 81 වන වියේදී මාස ගණනක් මුළුල්ලේ අප සමඟ කළ කථිකාවතෙහි සංක්ෂිප්තය.

 

Comments