ගම්පහ ජන දුක නිවන්න “5000” ගෙදරටම | සිළුමිණ

ගම්පහ ජන දුක නිවන්න “5000” ගෙදරටම

- මුලින් පවුල් 72345 කට පස්සේ පවුල් ලක්ෂ දෙකකට
- ජනපතිට අගමැතිට බැසිල්ට ඇමැති ප්‍රසන්නගෙන් පැසසුම්
- මුලින්ම පොලිස් බල ප්‍රදේශ 3කට අනිත් 16 ටත් ළඟදීම දෙනවා
- 5000 දීම පිළිබඳව සමගි ජන බලවේගයේ සතුට

5000 ලැබුණු අය රජයට තුති පුදති
මූලික මුදල් වෙන් කිරීම රුපියල් කෝටි 40 යි

ම්පහ දිස්ත්‍රික්කය මෙරට වැඩිම ඡන්ද දායකයන් පිරිසක් සිටින දිස්ත්‍රික්කයයි. පසුගිය මහ මැතිවරණයේදි ඡන්ද දායකයෝ 17,85,964 ක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඡන්දය දීමට සුදුසුකම් ලබා සිටියහ. එම මැතිවරණයේදී පොදු ජන පෙරමුණට වැඩිම වැඩි ඡන්ද ලැබුණේ ද ගම්පහ දිස්ත්‍රික්කයෙනි. ඒ වැඩි ඡන්ද ප්‍රමාණය 5,22000 කට අධිකය.

ගම්පහ දිස්ත්‍රික්කයේ 2012 ජන සංගණනය අනුව ජනගහනය 22,99,641 කි. එහි වර්ග ප්‍රමාණය වර්ග කිලෝමීටර 1381 කි. එහි ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ ගණන 13 කි. ග්‍රාම නිලධාරි වසම් 1177 කි.

මෙවන් විශාල වූ දිස්ත්‍රික්කයක් තුළ මේ වන විට කොරෝනා රෝගය නිසා ප්‍රශ්න ගණනාවක් ඇති වී තිබේ. බ්‍රැන්ඩෙක්ස් ආයතනයේ සේවිකාවකට පසුගිය 3 වැනිදා කොරෝනා රෝගය වැළඳී ඇතැයි දැනගන්නට ලැබීමත් සමග දිවුලපිටිය, මිනුවන්ගොඩ හා වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශවලට පොලිස් නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක විය. ඊට පසු ගම්පහ දිස්ත්‍රික්කයේ තවත් පොලිස් බල ප්‍රදේශ 16 කට පොලිස් ඇඳිරි නීතිය පැනවිණි. අලුත්ම තොරතුරු අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ ‍බ්‍රැන්ඩෙක්ස් ආයතනයේ සේවක සේවිකාවන්ගෙන් ප්‍රදේශය පුරා පැතිර යන වත්මන් කොරෝනා වසංගතය නිසා මෙන්ම ගම්පහ පොලිස් බල ප්‍රදේශ 19 කට ඇඳිරි නීතිය දැමීම නිසා ගම්පහ දිස්ත්‍රික්කයේ එම ප්‍රදේශවල ජීවත්වන ජනතාවට ගැටලු රැසක් ඇතිවී තිබේ.

එදිනෙදා කුලී රැකියාවක් කළ අයට ආදායමක් නැතිවීම, වෙළෙඳසැල්වල සේවය කළ අයට, ත්‍රි රෝද රථ රියදුරු, පෞද්ගලික බස්රථවල කටයුතු කළ අයට ජීවනෝපාය නැතිවීම, මෙන්ම වඩුවැඩ, විදුලි කාර්මික, ජලනල කාර්මික හා පින්තාරු ක්ෂේත්‍රවල කටයුතු කළ අයට රැකියා කිරීමට නොහැකිවීම ඒ අතර ප්‍රධාන ගැටලු විය.

මේ කොරෝනා රෝගය පැතිරීම නිසා ගම් 6ක් තුළ ගමනාගමන සංචරණ ක්‍රියා නවත්වා ලොක් ඩවුන් කර ඇති අතර ඊට අමතරව තවත් නිවාස 2857 ක් නිරෝධායනය කර තිබේ.

මේ තත්ත්වය නිසා එම පොලිස් වසම්වල ජනතාව සිය ජීවන කටයුතු වලදි ඉමහත් දුෂ්කරතාවකට ලක්වූහ.

මේ අතර පසුගිය 11 වැනිදා පෙරවරුවේ සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංගගේ දුරකථනය නාද විය. අනෙක් පසින් කථා කළේ මෙවර උසස් පෙළ ලියන සිසුවියකි. “මගේ තාත්තා නැහැ. අම්මා බ්‍රැන්ඩික්ස් එකේ. අම්මාට නිරෝධායනයට ගෙනිච්චා. මට විභාගයට යන්න විධියක් නැහැ. උදව්වක් දෙන්න ඇමැතිතුමා” හඬමින් කීවාය. ඇමැති ප්‍රසන්න වහාම එම ප්‍රදේශයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාට කතාකර එම දැරියව විභාගයට ගෙනයාටමත් විභාගය අවසන් වීමෙන් පසු ආපසු රැගෙන ඒමටත් සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කරන ලෙස දැන්වීය.

ඊට අමතරව ගම්පහ ‘ලොක් ඩවුන්’ කළ ප්‍රදේශවල ජනතාවගේ දුක් ගැහැට පිළිබඳව සමාජ මාධ්‍ය මගින්ද අනාවරණය විය. “මගේ ගාව රුපියල් විස්සයි තියෙන්නේ. මම කොහොමද ළමයින්ට කන්න දෙන්නේ” වැනි විවිධ අදහස් ඒ අතර විය.

මේ කරුණු පිළිබඳව සිය පෞද්ගලික අවධානය යොමු කළ සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා ප්‍රමුඛ ගම්පහ දිස්ත්‍රික් පොදු ජන පෙරමුණු මන්ත්‍රිවරු මේ අයට යම් සහනයක් ලබාදෙන ලෙස රජයෙන් ඉල්ලූහ. විශේෂයෙන් ඇමැති ප්‍රසන්න මේ පිළිබඳව හිටපු ඇමැති ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපති බැසිල් රාජපක්ෂයන් ද දැනුම්වත් කළේය. ඊට අමතරව ඔහු එම ආධාර ලැබෙන තුරු නොසිට සිය හිතවතුන් හා මහජන නියෝජිතයන් සම්බන්ධ කර ගනිමින් සංචරණ සීමා ඇති ප්‍රදේශවල දුප්පත් පවුල්වලට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා දීමේ වැඩපිළිවෙළක් ද සකස් කළේය.

මේ පිළිබඳව ඇමැති ප්‍රසන්න පසුගිය කැබිනට් මණ්ඩල සාකච්ඡාවේදි ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් දැනුම්වත් කිරීමට පියවර ගත්තේය. එතුමන්ලා පැවසුවේ මුදල් අමාත්‍යාංශය හරහා මේ පිළිබඳව සහනයක් ලබා ගැනීමට කටයුතු කරමු යනුවෙනි.

මේ අතර මේ පිළිබඳව ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා ද කාරුණික අවධානය යොමු කළේය. ඒ අනුව එතුමා මුලින්ම ගම්පහ දිස්ත්‍රික්කයේ නිරෝධායනය වන පවුල් 2781 සඳහා අත්‍යවශ්‍ය ආහාර හා ඖෂධ ලබාදීමට ප්‍රතිපාදන මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව රුපියල් ලක්ෂ 50ක් ඒ නිරෝධායන පවුල් සඳහා ආහාර ලබාදීමට මුදල් අමාත්‍යාංශය අනුමත කරනු ලැබීය. ඒ මුදල් වලින් ඒ සහන සැලසීමට දිසාපතිවරයා වහාම පියවර ගත්තේය.

දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් හා ඇමැති ප්‍රසන්න රණතුංග දිස්ත්‍රික්කයේ ජනතාව විඳින දුෂ්කරතා පිළිබඳව දිගටම ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා ද හමුවී සාකච්ඡා කළහ. පසුව තීරණය වූයේ මේ ගැන මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලීමක් කළ යුතු බවයි.

ඒ අනුව කොරෝනා වසංගතය හා ඇඳිරි නීතිය නිසා අපහසුතාවයට පත්වී ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් 72,345 සඳහා රුපියල් 5000 බැගින් ලබාදීමට අවශ්‍ය මුදල් ලබාදෙන ලෙස දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටියේය. බැසිල් රාජපක්ෂ මහතා ද මේ පිළිබඳව කරුණු ඉදිරිපත් කළේය.

මුලින්ම මේ තත්ත්වයට මුහුණ පෑ ඔක්තෝබර් 4 සිට ඇඳිරි නීතිය බලපාන මිනුවන්ගොඩ, දිවුලපිටිය, වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශවල පදිංචි පවුල් 72,345 ට මෙම ආධාර ලබාදීම උචිත බවද ලේකම්වරයා හා ඇමැති ප්‍රසන්න පෙන්වා දී තිබිණි. ඊට අමතරව සංචරණ සීමා ඇති කළ ගම් හයට ද මේ ආධාර අවශ්‍ය බව පෙන්වා දුන්නේය.

මේ සියලු කරුණු පිළිබඳව සලකා බැලූ රජය මහා භාණ්ඩාගාරය මගින් මෙලෙස මෙම කොරෝනා ‍රෝගය හා ඇඳිරි නීතිය දැමීම නිසා අසහනයට පත් අඩු ආදායම් ලාභීන්ට රුපියල් 5000 ගෙවීම සඳහා රුපියල් කෝටි 40 ක මුදලක් ලබාදීමට පසුගිය සඳුදා තීරණය කළේය. ඒ අනුව එම මුදල් ගෙවීම 20 වැනිදා සිට ආරම්භ විය.

මේ පිළිබඳව සිළුමිණට කරුණු දැක්වූ සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පැවසුවේ දිස්ත්‍රික්කයේ ජනතාව විඳින අපහසුතා පිළිබඳව මුලින්ම තම අවධානය යොමුවූ බවත් ඒ අනුව තමා හා දිස්ත්‍රික් ලේකම්වරයා රජයෙන් කළ ඉල්ලීම පිළිබඳව සලකා බලා මේ සහනය සැලසීම පිළිබඳව ජනාධිපතිවරයාට අගමැතිවරයාට හා හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතාට ස්තුතිවන්ත වන බවයි.

“දිවුලපිටිය, වේයන්ගොඩ, මිනුවන්ගොඩ පොලිස් බල ප්‍රදේශවලට ඔක්තෝබර් 4 වැනිදා සිට ඇඳිරි නීතිය දැමීය. ඒ සමඟම මිනුවන්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ පේරලන්ද වත්ත, හැල්කන්දන, ගනිහිමුල්ල හා මීරිගම පොලිස් බල ප්‍රදේශයන් කූරිකොටුව මාලිගාතැන්න අත්තනගල්ලේ එළුවාපිටිය ගම්මාන ලොක්ඩවුන් කරලා. ඒ ජනතාවට පසුගිය දිනවල එදිනෙදා වියළි ආහාර පාන පවා සොයා ගැනීමට විවිධ දුෂ්කරතා රැසකට මුහුණ පෑවා. ඒ පිළිබඳව මම පෞද්ගලිකවත් එසේම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගෙනුත් දැනගන්නට ලැබුණා.

පසුව මම මේ පිළිබඳව හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතාත් දිස්ත්‍රික් ලේකම් තුමාත් සමඟ කථා කරලා මේ අයට රු. 5000 දෙන්න වැඩපිළිවෙළක් සකස් කරන්න කියලා ජනාධිපතිතුමාගෙන් අගමැතිතුමාගෙන් හා මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කළා. ඒ සමඟම මමම කැබිනට් මණ්ඩලයේදිත් ඒ ඉල්ලීම පෞද්ගලිකවම කළා. ඒ අනුව තමයි අපිට මේ කෝටි 40 ක මුදල අඩු ආදායම් පවුල් 72,292 ට 5000 ගානේ බෙදා දෙන්න ලැබුණේ. 

ගම්වල රාජ්‍ය නිලධාරින්ගේ ස්වේච්ඡා සංවිධානවල උදව් ඇතිව දේශපාලන බේදයෙන් තොරව අඩුම ආදායම් පවුල්වලට තමයි මේ 5000 දෙන්නේ. ප්‍රථම අදියරේ 5000 ලබා දෙන්නේ වැඩිම කලක් දුෂ්කරතාවලට පත් මිනුවන්ගොඩ, දිවුලපිටිය හා වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශවල අයටයි. ඉදිරියේදි අනික් අයටත් ලබාදෙනවා.

රජය මොන ආර්ථික අපහසුතා තිබුණත් රටපුරා කොරෝනා මර්දනයට මුදල් වියදම් කළත් මේ ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව සඳහා මෙවැනි රුපියල් කෝටි 40ක් ලබාදී ඇත්තේ ජනතා දුක් ගැහැට දුෂ්කරතා මැඩලීමට ජනපතිගේ නායකත්වයෙන් යුත් වත්මන් රජය ගත්ත සුවිශේෂි පියවරක් ලෙසයි.” බවද ප්‍රසන්න රණතුංග ඇමැතිවරයා කියයි.

‍ෙම් පිළිබඳව අදහස් දක්වන ගම්පහ දිස්ත්‍රික්කයේ ලේකම් සුනිල් ජයලත් මහතා පවසන්නේ මෙවර ප්‍රථම අදියර යටතේ අඩු ආදයම් ලාභි පවුල් 72,345 මේ 5000 ලැබෙන බවත් ඊළඟ අදියරේ ගම්පහ දිස්ත්‍රික්කයේ තවත් පවුල් ලක්ෂ 2 කට පමණ රුපියල් 5000 ලැබෙන බවත්ය.

“අපේ දිස්ත්‍රික්කයේ පොලිස් ඇඳිරි නීතිය බල පවත්වන ප්‍රදේශවල ජනතාව එදිනෙදා ජීවන කටයුතුවලදී විඳින දුෂ්කරතා පිළිබඳව සලකා බලා ඒ අයට 5000 ලබාදෙන්න කියලා මමත් ඇමැති ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු පිරිසක් රජයෙන් හා මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටියා. ඒ පිළිබඳව ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය අවධානය යොමු කර රුපියල් කෝටි 40ක් අඩු ආදායම් ලාභි පවුල්වලට 5000 බැගින් දීමට අපට ලබාදී තිබෙනවා. ඒ මුදල මුලදීම ඇඳිරි නීතිය ක්‍රියාත්මක කළ දිවුලපිටිය, මිනුවන්ගොඩ හා වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශවල අඩු ආදායම් ලාභි පවුල් 72,345 ට ලබාදීම දැන් සිදුකරගෙන යනවා. අපේ දිස්ත්‍රික්කයේ තවම පොලිස් බල ප්‍රදේශ 16 කට පොලිස් ඇඳිරි නීතිය දමා තිබෙනවා. ඒ ප්‍රදේශවල අඩු ආදායම් ජීවනෝපාය අහිමි පවුල් ලක්ෂ දෙකකට අධික පිරිසකට මේ රුපියල් 5000 වැඩපිළිවෙළ ලබාදීම අපි ළඟදීම සිදුකරනවා.

“පසුගිය අප්‍රේල් මැයි මාසවල 5000 ලබාදුන්නු ආකාරයට ගමේ රාජ්‍ය නිලධාරින් හා ස්වේච්ඡා සංවිධානවලත් දේශපාලන අධිකාරියෙන් යුත් කමිටුවක් මගින් ගමේ අඩු ආදායම් දුප්පත් පවුල් තෝරාගෙනයි මේ 5000 ක් ගෙවන්නේ. නිරෝධායනය වූ පවුල්වලට මෙහිදී ප්‍රමුඛත්වය දක්වනවා. තෝරා ගැනීමේ ගැටලු ඇත්නම් අභියාචනා ඉදිරිපත් කරන්න පුළුවන්.

ග්‍රාම නිලධාරි සමෘද්ධි නිලධාරි, කෘෂිකර්ම පර්යේෂණ හා සංවර්ධන සහකාර, පවුල් සෞඛ්‍ය නිලධාරි යන අයත් ප්‍රදේශයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුනුත් මේ තෝරා ගැනීමේ කමිටුවට අයිති වෙනවා ගම්පහ දිසාපති සුනිල් ජයලත් මහතා පවසයි.

මේ පිළිබඳව අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසුවේ අඩු ආදායම්ලාභින්ට 5000 බෙදා දීමට රජය ගත් පියවර අගය කරන බවයි. “කෙසේ වුවත් මේ 5000 බෙදීමේ වැඩපිළිවෙළ දේශපාලන බේදයකින් තොරව සාධාරණව ක්‍රියාත්මක කළ යුතුයි. ජීවනෝපාය අහිමි වූ අයට නිවැරැදිව ආකාරයට මේ 5000 දීම සිදු කළ යුතුයි.”

එමෙන්ම දිවුලපිටිය, මිනුවන්ගොඩ, වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශවලට පමණක් නොව පොලිස් ඇඳිරි නීතිය ඇති දිස්ත්‍රික්කයේ අන් සියලු පොලිස් බල ප්‍රදේශවල අඩු ආදායම් ලාභි පවුල්වලටත් ඉක්මනටම මේ 5000 ලබාදිය යුතු බවද හර්ෂණ රාජකරුණා මන්ත්‍රිවරයා පැවසීය.

මේ වැඩපිළිවෙළ යටතේ අඩු ආදායම් ලාභි පවුල්වලට රුපියල් 5000 ලබාදීමේ වැඩපිළිවෙළ 20 වැනිදා සිට 23 වැනිදා දක්වා ග්‍රාම නිලධාරින්ගේ මෙහෙය වීමෙන් ක්‍රියාත්මක විය. එලෙස ආධාර ලැබුණු අඩු ආදායම් ලාභි ජනතාව රජය මේ ගත් ක්‍රියාමාර්ගයට ස්තුතිය පළ කළේය.

ඊට අමතරව මේ ප්‍රදේශවල ආබාධිත හා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ද රුපියල් 5000 දීමනාව ලබාදීමට කටයුතු කර තිබීම ප්‍රදේශවාසිහු අගය කරති. විවිධ ආර්ථික ගැටලු මධ්‍යයේ වුවද රජය ගත් මේ සුවිශේෂි පියවර සියලු රට වැසියන්ගේ ප්‍රසාදයට හේතු වනු නොඅනුමානය.

සේයා රූ - සමන්ත වීරසිරි

Comments