20න් මැති සබය උණුසුම් වූ හැටි | සිළුමිණ

20න් මැති සබය උණුසුම් වූ හැටි

20 වැනි සංශෝධනට පක්ෂව ඡන්දය දුන් විපක්ෂ මන්ත්‍රීවරුන්; වමේ සිට ඩයනා ගමගේ, ෆයිසාල් කාසීම්, ඉෂාක් රහුමාන්, අරවින්ද් කුමාර්, මොහොමඩ් අලි සබ්රි, එච්.එම්.එම් හාරිස්, එම්.එස් තව්ෆික්, නසිර් අහමඩ්

- විපක්ෂයේ 8 කගේ සහය නව ව්‍යවස්ථාවට
- රිෂාඩ් නිරෝධායන ඇඳුමින් පාර්ලිමේන්තුවට

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත කිරීම සම්බන්ධයෙන් පැවැති පාර්ලිමේන්තු වාද විවාදය පසුගියදා පැවැත් වූයේ මැති සබය පමණක් නොව රටටම උණුසුම් පුවත් මතු කරමිනි. 22 වැනිදා රාත්‍රී 7.36 පමණ වන විට සංශෝධන ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඉලෙක්ට්‍රොනික ක්‍රමයට ඡන්ද විමසීම පැවැත්වූ අතර 20 න් උණුසුම් වූ රට තවත් උණුසුම් කරමින් 20 වන ව්‍යවස්ථා සංශෝධනය 2/3 ට වැඩි ප්‍රමාණයක් එනම් ඡන්ද 156 කින් පාර්ලිමේන්තුවේදී සම්මත විය.

දෙදිනක් පුරාවට විවාදයට බඳුන් වූ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ඡන්දය ලබාදීම සඳහා පාර්ලිමේන්තු නියෝජිතයින් 213 දෙනෙකු සහභාගී වූ අතර පක්ෂව ඡන්ද 156 ක් හා විපක්ෂව ඡන්ද 65 ක් ලැබුණේ පාර්ලිමේන්තු සභා ගැබ දෙවනත් කරමිණි. 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාළ ඡන්ද විමසීමේදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ ඇතුළු සමගි ජනබලවේගයට සහය පළ කරන දේශපාලන පක්ෂ කිහිපයක මන්ත්‍රීවරු 08 දෙනෙක් මෙම පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබීම කොයි කාගේත් කතාබහට තුඩු දුන්නක් විය. සමගි ජන බලවේගයේ නියෝජ්‍ය ලේකම් ඩයනා ගමගේ, ඉෂාක් රහුමාන් සමගි ජන බලවේගයේ තවත් පාර්ශවයක් වන දෙමළ ප්‍රගතිශීලි පෙරමුණේ ඒ. අරවින්ද් කුමාර්, මෙන්ම, සමගි ජන බලවේගයේ තවත් පාර්ශවයක් වන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නසිර් අහමඩ්, ෆයිසාල් කාසීම්, එච්.එම්.එම් හාරිස් සහ එම්.එස් තව්ෆික්, හා මුස්ලිම් ජාතික සන්ධානයේ මොහොමඩ් අලි සබ්රි යන මන්ත්‍රීවරුන් මෙලෙස පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමද විශේෂත්වයක් විය.

ඉන් අනතුරුව 20 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඇති ද්විත්ව පුරවැසි බාධක ඉවත් කිරීම සම්බන්ධ වගන්තිය වැඩි ඡන්දයෙන් සම්මත වූයේ විපක්ෂය විසින් ඒ සඳහා ඡන්ද විමසීමක් ඉල්ලා සිටි නිසාය. ඊට පක්ෂව ඡන්ද 157ක් හා විපක්ෂව ඡන්ද 64 ක් ලැබිණ. අඛිල ඉලංගයි මහජන කොන්ග්‍රසයේ එස්.එම්. එම් මුෂාරෆ් මන්ත්‍රීවරයා එම වගන්තියට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබිම විශේත්වයකි. 

විපක්ෂය සතු සමස්ත ආසන සංඛ්‍යාව 75 කි. ඉන් ආසන 2 ක්ම පුරප්පාඩුව පවතියි. ඉතිරි ආසන සමග සමගි ජන බලවේගයට ආසන 54 ක්, ජාතික ජනබල වේගයට ආසන 3 ක්, ද්‍රවිඩ ජාතික සංධානයට ආසන 10 ක්, දෙමළ එක්සත් ජනතා පෙරමුණට ආසන 2 ක්, දෙමළ ජනතා ජාතික සංධානයට ආසන 1ක්, මුස්ලිම් කොන්ග්‍රසයට ආසන 1ක්, සමස්ත ලංකා මුස්ලිම් කොන්ග්‍රසයට ආසන ආසන 1 ක් හා මුස්ලිම් ජාතික සංධානයට ආසන 1 ක් ලෙස බෙදි ගොස් පැවතියි.

පල්ලන්සේන බන්ධනාගාරයේ නිරෝධායනය වෙමින් සිටි රිෂාඩ් බදියුදීන් පාර්ලිමේන්තුවට ගෙන ඒමට සියලු පක්ෂ එකඟ වි තිබුණු අතර මේ පිළිබඳ මුල්ම ඉල්ලීම සිදු කළේ විපක්ෂයේ ලක්ෂ්මන් කිරිඇල්ලේ මන්ත්‍රීවරයාය. වෙනදා පළමු ආසනය වෙන්වන ඔහුට මෙවර වෙන් වී තිබු‍ණේ 78 වන ආසනයයි. හිටපු ජනාධිපති, ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන ඡන්දය ලබා දිමට පාර්ලිමේන්තුවට පැමිණි නොසිටි හෙයින් ඔහුගේ ඡන්දයද මේ වෙනුවෙන් වැටී නොතිබිණි. පසුගිය දිනවල 20 වන සංශෝධනයට තමා විරුද්ධ බවට ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වමින් ආන්දෝලනයක් ඇති කළ ඇමතිකම් නොලද ආණ්ඩු පක්ෂ මන්ත්‍රී විජේදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවේ 20 වන සංශෝධනය සම්බන්ධ ඡන්ද විමසිමේදි එයට පක්ෂව ඡන්දය ලබාදී තිබුණි.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ වගන්ති 4 ක් සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතියට අමතරව ජනමත විචාරණයක් ද අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ කතානායකවරයා විසිනි. කතානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ, ඉන් වගන්ති දෙකක් කාරක සභා අවස්ථාවේ යෝජනා කර ඇති සංශෝධන අනුව අනුමත කරන්නේ නම් තුනෙන් දෙකක අනුමැතිය ප්‍රමාණවත් බව අධිකරණය දැනුම් දි ඇති බවකි.

20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරෝධය පළකරමින් සමගි ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ආරම්භක දින රථපෙළ පාලියකින් පාර්ලිමේන්තුවට පැමිණි අතර ඔවුන් පැළඳ සිටි මුඛ ආවරණද ' විනාශකාරී 20 එපා' යනුවෙන් මුද්‍රණය කර තිබීම විශේෂත්වයකි. එපමණක් නොව 20 ට විරෝධය පළ කෙරුණු වස් සමගි ජනබල වේග මන්ත්‍රීන් රතු පටියක් අත බැඳ තිබීමට කොයි කාගේත් අවධානයට යොමු විමට හේතු විය. ද්විත්ව පුරවැසිබව පිළිබඳ ඇමැති විමල් පිළේ හටගත් මතභේදකාරි තත්ත්වයද ඡන්ද විමසීම් දින වන විට සමතයකට පත්ව තිබීම ආණ්ඩු පක්ෂයේ සතුටටත් විපක්ෂයේ නොසතුටටත් හේතු වූ කරුණක් විය. බොහෝ දෙනෙක් ඔවුන්ගේ තීරණය පිළිබඳ විමසිල්ලෙන් පසු වූ අතර විපක්ෂයේ බලාපොරොත්තු සුන් කරමින් ඇමැති විමල් හා ඇමැති ගම්මන්පිල සිය මතය සබා ගැබේ මතු කළේ විපක්ෂයේ දැඩි ඝෝෂා මධ්‍යයේය. විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර දිගින් දිගටම ඔවුන් දෙදෙනාගේ කතාවන්ට බාධා කළේය.

“ද්විත්ව පුරවැසිබව පිළිබඳ ගැටලුව විතරයි අපිට තිබුණේ. ජනාධිපතිවරයා හැඟීම්බරව කිව්වා, මේ වගන්තිය ගෙනාවේ මට. එතුමා පැහැදිලිවම කිව්වා මාස තුනකින් රටට ඉදිරිපත් කරන නව ව්‍යවස්ථාවේදී මේ කරුණ සලකා බලන බව. එතුමා කියූ දේ කරන කෙනෙක්. ඌරන් කැකුණ තලන කොට හබන් කුකුළන්ට මඟුල් කිව්වානේ. දැන් මඟුල් කන්න සිටි අයට කණගාටුයි. අපි මේ ව්‍යවස්ථාවට පක්ෂව ඡන්දය දෙනවා....“ ඇමැති ගම්මන්පිල එසේ ප්‍රකාශ කරද්දි ඇමැති විමල් වීරවංශද වේගවත් කතාවක් කළේ විපක්ෂයේ දැඩි ඝෝෂා මධ්‍යයේය. කෙසේ වෙතත් ඇමරිකන් අධිරාජ්‍යවාදයට, ද්විත්ව පුරවැසිබවට එරෙහිව මේ පිළිබඳ මැති සබයේ උණුසුම් වූයේ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාරගේ රසබර රඟපෑම නිසාය. සභාව මොහොතකට රස ගඟුලක් වූයේ ඇමරිකානු කොඩිය පෙන්වා කළු පැහැයෙන් යුත් වෙස් මුහුණක් පැළැද සිටි නිසාවෙනි.

20 සම්මත කර ගැනීම වෙනුවෙන් පැවැත් වූ වාද විවාදයේදී 20 ඇතැම් කරුණු සම්බන්ධයෙන් ඇමැති විමල් වීරවංශ හා පත්කළ මන්ත්‍රී ජයන්ත කැටගොඩ අතර පාර්ලිමේන්තු ආලින්දයේදී වාදයක් හට ගැණුනු බවත් පසුව එය සමතයකට පත්ව තිබුණි. මේ සම්බන්ධ මුලින්ම පාර්ලිමේන්තුවේදී අදහස් මතු කළේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ඉදුනිල් තුෂාරය. 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයේදී නව ව්‍යවස්ථාවේ වැදගත්කම් හා වෙනස්කම් පිළිබඳ පැහැදිලි විග්‍රහයන් කිහිපයක්ම ප්‍රකාශ විය.

මහින්ද රාජපක්ෂ අගමැතිවරයා, අධිකරණ ඇමැති අලි සබ්රි මෙන්ම අධ්‍යාපන ඇමැති ජී. එල් පීරිස් යන අයගේ හරවත් දේශන මෙහිදී කැපි පෙනෙන්නට විය. ජනතා කැමැත්තට ගරු කරමින් ජාතිය ගොඬනගන නව ව්‍යවස්ථාවේ වටිනාකම අගමැතිවරයාගේ දීර්ඝ කතාවේ හරය විය. 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ විවාදයේදි විශේෂ කාර්ය භාරයක් පැවැරුණේ අධිකරණ ඇමැති අලි සබ්රිටය. ඔහු අසුන් ගෙන සිටියේ අගමැතිවරයාට පිටුපස අසුනේය. අධිකරණ ඇමැති අලි සබ්රි විසින් සිය කතාව කර ගෙන යද්දී අගමැතිවරයා ඇතුළු මැති ඇමැතිවරු විශාල සංඛ්‍යාවක් සබා ගැබේ රැදි සිටි අතර ඔහු සිය කතාවේදී 19 වැනි ව්‍යාවස්ථාව දැඩි ලෙස විවේචනය කළේය.

“ 19 වැනි ව්‍යවස්ථාව ඇලඩින්ගේ පුදුම පහන වගේ ප්‍රශ්න විසඳුවා නම් 7.3 ක තිබුණු ආර්ථික වර්ධන වේගය 2.3 ට බහින්නේ කොහොමද? රටේ කුඩු 250% කින් වර්ධනය වුණා. තිබුණේ එක බස් එකයි. ඒත් ඒකට ඩ්‍රැයිවර්ස්ලා දෙන්නෙක් හිටියා. එක බස් එකකට ඩ්‍රැයිවර්ස්ලා දෙන්නෙක් මොකටද? එක්කෙනෙක් බ්‍රේක් ගහනවා. තව කෙනෙක් ඇක්සලේටර් එක පාගනවා. ...“ අලි සබ්රි පවසද්දි ඊට බාධා කරන්නට පටන් ගත්තේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසය.

කෙසේ වෙතත් ගෙවුණු සතියේ 20 මෙන්ම කොරෝනා වසංගත තත්ත්වය පිළිබඳවද කතා බහට ඇඳ ගැනීමෙන් පාර්ලිමේන්තුව තුළ රසවත් වාද විවාද රැසක් මතු වූ අතර කොවිඩ් වසංගතය වෙනුවෙන් විවාදයකට පසුගිය සතියේ අවසන් දින වෙන්වීමද සුවිශේෂි කරුණකි. වැඩිමනත් ප්‍රතිප්‍රහාර එල්ල වූයේ විපක්ෂ නායකයාට වන අතර ඒ ඇමැතිනි පවිත්‍රාගෙනි. විපක්ෂ නායකවරයා කොවිඩ් දෙවැනි පෙළ ආශ්‍රිතයෙකු බව රටම දැන ගත්තේ ඒ කතා බහින් අනතුරුවය.

“විපක්ෂ නායකත් කොරෝනා දෙවැනි පෙළ ආශ්‍රිතයෙක් කියලා මම කියන්න කැමැතියි. එතුමා යාල ගිහින් ඉද්දි ඒ ආශ්‍රිත ප්‍රදේශයකදි කොවිඩ් ආසාදිතයෙකු හමුවුණා. අපි එතුමාට ඉක්මනට උපදෙස් දුන්නේ අපේ සිස්ටම් එක හොඳ නිසයි.“ කෙසේ වෙතත් ගෙවුණු සතියේ පාර්ලිමේන්තුවේ කොවිඩ් සම්බන්ධ පී.සි.ආර් පරීක්ෂණවලට යොමු වූ මන්ත්‍රිවරුන් කිහිප දෙනෙකුගේ නම් ප්‍රකාශ වීමද විශේෂත්වයකි. ඇමැති බන්දුල ගුණවර්ධන පී.සි.ආර් පරීක්ෂණයක් සිදු කිරීම, ස්වයං නිරෝධායනයට ලක්වන පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරල ඇතුළු කිහිප දෙනෙකු ගැනද වරින් වර විපක්ෂයේ මන්ත්‍රිවරු පවසන්නට වූයේ දැඩි ඝෝෂා මධ්‍යයේය.

කෙසේ වෙතත් 20 සම්මත වීම කොයි කාගේත් සතුටට හේතුවක් වූ අතර නව බලාපොරොත්තු ගොන්නක්ද ඇතිවිය. එසේම 20 සම්මත වීමත් සමඟම දේශපාලන කරලියේද යම් යම් වෙනස්කම් ඉදිරියේදි ඉස්මතු වනු ඇතැයි ජනතාව තුළ විස්වාසයක්ද ගොඩ නැඟෙමින් පවතියි.

 

Comments