‘බුද්ධිමත්ව කටයුතු කළොත් කෝවිඩ්වලින් මිදෙන්න පුළුවන්’ | සිළුමිණ

‘බුද්ධිමත්ව කටයුතු කළොත් කෝවිඩ්වලින් මිදෙන්න පුළුවන්’

මීට මාස කිහිපයකට පෙර කෝවිඩ් වසංගතය ආධුනික වූ නිසා ම අපිට ඒ අවස්ථාවේදි කොරෝනාවලින් අපි රටක් ලෙස මෙන්ම පෞද්ගලිකවම බොහෝ සෙයින් ප්‍රවේසම් වීමු. ගෝලීය වසංගතයක් වූ කෝවිඩ්-19 වෛරසය ලංකාවේද පැතිරීමේ අවදානමත් සමඟ අපි සියලු දෙනා ඒ සඳහා වගකීමෙන් යුතුව රජයේ නීති රෙගුලාසිවලට අනුකූලව කටයුතු කළෙමු. පළමු වර මේ වෛරසය පැතිරීමට නොදි අපි සියලු දෙනාගේම කැපවීම, උනන්දුව මත කොරෝනා පාලනය කර ගැනීමට හැකිවිය. කෙසේ හෝ කෝවිඩ් 19 නැවත වරක් හිස එසවීම ජනතාවට පෙර අත්දැකීම මෙන් සුවීෂේශි නොවුණි. එ පෙර ජනතාව තුළ වූ භීතිය පහව ගොස් ඇති සේයාවක් අපිට දක්නට ලැබිණි. ඒ නිසාම මෙවර අපි මුල් අවස්ථාවේ තරම් ප්‍රවේසම් ද යන ප්‍රශ්නය මතු වී ඇත.

පසුගිය මාස කිහිපය තුළ නැවත රට විවෘත කරමින් නැවත නිදහසේ සියලු කාර්යන්වල නිරත වීමට අපට හැකිවිය. නමුත් ඒ භුක්ති විඳි නිදහසේ සීමාව සහ රට විවෘත කිරීමේදී ජනතාවට සෞඛ්‍ය අංශවලින් අදාළ ආයතනවලින් ලබා දුන් නීති රෙගුලාසි සියල්ල පිළිබඳව තිබූ සැලකිලිමත්භාවය ක්‍රමයෙන් අඩු විය. මේ වසංගත රෝගය කෙටි කාලයකින් තුරන් වී නොයන බවට අපි දැනුවත් වී සිටිමු. මේ වසංගතය පාලනය කර ගනිමින් සුරක්ෂිත වීමේ ක්‍රමවේදයන් නිරන්තරයෙන් අනුගමනය පිළිබඳව සැලැකිලිමත් වීම අඩුවීම නිසා නැවතත් කෝවිඩ් වසංගතය හිස ඔසවා ඇති බවක් අපට දක්නට ලැබෙයි. අපිට අනුගමනය කිරීමට සෞඛ්‍ය අංශවලින් ලබා දුන් ඉතා සරල උපදෙස් පවා අපි මඟ හරවා ගෙන පසුගිය මාස කිහිපයක කාලය අපි ක්‍රියා කළ ආකාරය නැවත වරක් සිහිපත් කිරීමට කාලය එළඹ ඇත. නැවත විශාල පිරිස් ගැවසෙන ස්ථානවලට අපරික්ෂාකාරීව ගැවසීම, විනෝද චාරිකා, සාප්පු සවාරි ආදියට යොමු විය . මුඛ ආවරණ දැමීම, දෑත් සේදිම, මීටරයක පරතරය වැනි සරල ක්‍රියාමාර්ග අපේ අතින් මඟ හැරිණි.

අපි මේ වසංගතයත් සමඟ ජීවත්වීමට හුරුපුරුදු විය යුතුයි

කොරෝනා වසංගත රෝගය කෙටි කාලයක් තුළ ලෝකයෙන් තුරන් නොවන නිසා කෝවිඩ් සමඟ ජිවත්වීමට අපි හුරු විය යුතු කාලය එළැඹ ඇත. අපි මේ වසංගතයත් සමඟ ජීවත්වීමට හුරුපුරුදු විය යුතුය. පෞද්ගලිකව අපි ඒ සඳහා අනුගත නොවුණහොත් සමස්ත රටක් ලෙස අපිට එයට මුහුණ දීමට නොහැකි වෙයි. ඒ හෙයින් ස්වයංව මේ සඳහා හැඩ ගැසිය යුතුයි. අපි රටක් ලෙස මෙන්ම ආයතනයන් හෝ සංවිධාන ලෙස සාමූහිකව ගත යුතු ක්‍රියාමාර්ග බොහෝමයක් වෙයි. අපි මේ මොහොත වන විටත් ඒ සම්බන්ධයෙන් නොයෙක් සමාජ කණ්ඩායම් විසින් කතිකාවන් ගොඩනගාගෙන සිටින්නෙමු. නමුත් අපි අතින් විය යුතු කාර්යය සම්බන්ධයෙන් නැවත කියවීමක් කළ යුතුයි. අපි ලෝකයක් රටක් ජන සමූහ සංවිධානයන් කළයුතු වන්නේ මේ කාරණාව සම්බන්ධයෙන් නැවත සිතා ඒ පිළිබඳ සමාජ කියවීමක් ඇති කිරීමටයි. අපි මේ සඳහා කළයුතු මහා පරිමාණ නිර්ණායකයන් ගැන කතා කළද අපිට පෞද්ගලිකව කළහැකි ඉතාම සරල දේ සම්බන්ධයෙන් අපි කතා නොකිරීම ඛේදවාචකයකි. අපි ස්වයං පාලනයක් ඇති කරගත යුතුයි.

එසේ අපි කවුරුත් සැලකිලිමත් වූයේ නම් නිරායාසයෙන්ම මෙය පාලනය කර ගැනීමට හැකි වනු ඇත. මෙහිදී පළමු වැනි තැන දිය යුතු වන්නේ සෞඛ්‍යය සුරක්ෂිත භාවයටයි. නීති රීති නියාමනවලට වඩා අපි ස්වයංවපාලනයක් ඇති කරගත යුතුයි. නීතිරීති කොතෙක් තිබුණත් අපට ඒ නීති රෙගුලාසි කැඩීමේ අවකාශය තිබුණත් අපි විසින් අපිට නීතියක් දමා ගත යුතුයි. එසේ නොවුණහොත් එහි නරක ප්‍රතිඵලයත් අත් විඳීමට සිදුවන්නේ අපිට සහ අපේ සමීපතයන්ටයි. මේ අවස්ථාවේදී අපේ ජීවිතේ පළමු වැනි අවධානය යොමුවිය යුතු වන්නේ සෞඛ්‍ය ආරක්ෂාවට යන කාරනාව අපි නිරන්තර මෙනෙහි කළයුතුයි. මේ අවස්ථාවේ යටපත් කරගනිමින් රෝහල් ගත නොවී සිටින වෙනත් රෝගාබාධ පිළිබඳවත් අපි සැලකිලිමත් විය යුතු වෙමු. නමුත් මේ කාලය අවම වශයෙන් රෝහල් ගත වීම් සිදුවිය යුතුය කාලයකි. ජනතාව බොහෝ සෙයින් රැස්වන ස්ථානවලින් අපි ඉවත් වියයුතුයි. යන එන ගමන් බිමන් සීමා කළ යුතුයි. අපේ ආහාර වල ක්‍රමවේදයන් වෙනස් කළ යුතුයි. සියලු දේ තුලනාත්මකව සිදුකළ යුතුයි. අත්‍යවශ්‍ය පෝෂක කොටස් සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතුයි. පවුලක් වශයෙන් එම සමාජ වගකීම අපි විසින් පෞද්ගලිකව අනුගමනය කළ යුතුයි. කාලය කළමනාකරණය කරගත යුතුය . විශේෂයෙන් මේ වනවිට ඇතැම් ක්ෂේත්‍රයන්හී ඔන්ලයින් සේවා සිදු කෙරෙමින් පවති. එසේනම් අපි කාර්යාලය තුළ ඇති පරිසරය නිවසේ නොමැති වුවද පළමුව රාජකාරිය ඉටු කිරීමට කටයුතු කළ යුතුයි.

විශේෂයෙන් අපි මේ වනවිට තාක්ෂණයට හුරු නොවූ සේවකයන් නම් තාක්ෂණය වඩාත් භාවිත කරමින් ඔන්ලයින් ක්‍රමවේදයන්ට හුරු විය යුතුයි. අනාගතයේදි නිවසේ සිට රැකියාව කරන ක්‍රමවේදයන් නිර්මාණය කරගැනීමට යම් කිසි හුරුවීමක් කළ යුතුයි.

නිසි සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කිරීම අවශ්‍යයයි

විශේෂයෙන් කාර්යාලයට, කම්හලට, කර්මාන්ත ශාලාවට, ගොවිපළට නොගොස් කළ නොහැකි රැකියාවල් සඳහා නිසි සෞඛ්‍ය ක්‍රමවේදයන් අනුගමනය කරමින් තම කාර්ය ඉටුකිරීමට වග බලාගත යුතුයි. ඇඟලුම් සේවකයන්ට දිගුකාලින ව නිවසේ සිට කිරීමට වැඩ කළ නොහැකියි. නමුත් සේවකයන් අවම වශයෙන් යොදා ගැනීමට හැකිවෙයි. රියැදුරු රැකියාවන් වුවත් වෙළෙඳ සේවාවන්ට වුවත් ජනතාව ගැවසීම සීමිතනම් විශාල සේවාවක් අවශ්‍ය නොවෙයි. සංචාරක කර්මාන්තය, විදේශ ව්‍යවසායකයන්, ආර්ථිකමය යන කාරණාවලදි දැනට සංචාරක කර්මාන්තය ආර්ථිකයට වඩා දායක වෙන නමුත් සංචාරකයන් මෙරටට ගෙන්වීම ප්‍රඥාවන්ත ක්‍රියාවක් නොවෙයි. පැමිණෙන සංචාරකයන්ට හෝ ලාංකිකයන්ට එය එතරම් සුදුසු නොවෙයි. ටික කාලයක් අපි සියල්ල කැප කළයුතුයි. කෙසේ වෙතත් මේ තත්ත්වය දිගටම පැවැතියහොත් අපේ කර්මාන්ත වෙනත් පැත්තකට යොමු කීරීමට මහ පරිමාණයේ ජාතික මට්ටමේ තීන්දු තීරණවලට ඒමට ඉදිරියේදි සිදුවෙයි. අපි ඉතා බුද්ධිමත්ව කටයුතු කළහොත් අපිට ඉතා කඩිනමින් මේ තත්ත්වය පාලනය කරගත හැකි වෙනු ඇත. කොරෝනා සමඟ මේ රැකියාව කිරීමේ ක්‍රමවේදය අපි ගොඩනඟා යුතුයි. මේ තත්ත්වය අපි වළක්වා ගත යුතුයි. එතෙක් යම් කැපවීම් කළ යුතුයි. සෞඛ්‍යට අවධානය යොමු කරමින් කටයුතු නොකළහොත් ආර්ථිකය කොරෝනාවටම යට විය හැකියි. ඒ නිසා මේ කැප වීම් අපි කළයුතුයි. ස්වයං විනයක් ඇතිව අපි එය කළ යුතුයි. නීතියටත් වඩා අවබෝධය වැදගත් වෙයි. අත්‍යවශ්‍ය කාරණාවක් සඳහා නිවසින් බැහැර ගියහොත් නිවැරදි සෞඛ්‍ය පුරුදු අනුගමනය නොකළහොත් නැවත පැමිණීමේදි මේ වයිරසය ශරීරගතවී තිබුණහොත් විශාල ප්‍රශ්නයකට මුහුණ දීමට සිදුවෙයි. යම් ආකාරයට කෝවිඩ් 19 වෛරසය ආසාදිතයෙක් සමඟ සම්බන්ධතාවයක් ඇතිවුවහොත් ස්වයං නිරෝධායනයකට ලක්වීම සමාජ වගකීමක් වනු ඇත. මෙය සියලු ම සමාජ සංස්ථාවලට සියලුම පාර්ශවයන්ට පොදු වෙයි. මේ කෝවිඩ් ආසාදනය වීම සමාජයෙන් කොන් කීරීමට හේතු සාධාකයක් නොවෙයි. ඒ නිසා අපි අපේ මනස ධනාත්මක ලෙස වෙනස් කරගත යුතුයි. අපි ඍණාත්මකව ම සිතුවිලි ඇති කරගතහොත් අපේ ශක්තිය හීන වනු ඇත. අප ශක්තිමත් විය යුතුයි. අපි නිරායාසයෙන් ශරිරයත් මනසත් වෙනස් කරගත යුතුයි. එසේ නොවුණහොත් අනාගතයේදී ව්‍යසනයේ වැඩි තත්ත්වයක් මතුවිය හැකියි.

අප අතින් යම් යම් අඩුපාඩු සිදුවූවාද යන්න පිළිබඳව අප අපම ඇගැයීමක් කර හඳුනාගත යුතුවේ. එනම් සෞඛ්‍ය උපදෙස් කෙතරම් දුරට අනුගමනය කළාද යන්න අවධානය යොමු කළ යුතු වෙයි. මේ සියලුම දේ නිසි පරිදි සෞඛ්‍ය පුරුදු සිදු නොවීමට, ඇතැම් විට අපට ඇති පහසුකම් බලපාන්නට ඇත. මේ සියල්ල එකිනෙකට ගළපා ගැනීමෙන් වැටහෙනුයේ ඉතා ඉක්මනින්ම අපට කොරෝනාවලින් තොර රටක් නිර්මාණය කරගැනීමේ අවශ්‍යතාවයි. කෙසේ නමුත්, ලාංකික අප කිසිසේත්ම අපේක්ෂා නොකළ අවස්ථාවකට ලංකාව මේ වන විට පත්වෙමින් සිටී. සියලු ලාංකිකයින්ගේ මූලික වගකීම නිසි ලෙස ඉටු කිරීමට දැන් කාලය පැමිණ ඇත. එනම් මේ රටේ ජනතාව රැකගැනීමට ජාතියක් ලෙස අපි සියලු දෙනාම කැප විය යුතුයි. මෙහිදී රට රැකගැනීමට නම් ලාංකීක අප සියලු දෙනා ආරක්ෂා විය යුතුය. අපගේ ආර්ථිකය ආරක්ෂා කළ යුතුය. ඒ සඳහා රජයට පෞද්ගලික අංශයට බොහෝ වගකීම් ඇත. අප සියලු දෙනාම ඉතා බුද්ධිමත්ව විචාරාත්මකව අවධානය යොමු කළ යුතුයැයි නැවත සිහිපත් කළ යුතුය. පෞද්ගලිකව තනි තනිවම අපට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව එතරම් තැකීමක් නොමැති වීමෙන් අප අපගේ ඉතා වටිනා වගකීමක් පැහැර හැරීමක් පසුගිය කාලය පුරා සිදුවුවද එය මේ අවස්ථාවේදි ජාතික වගකීමක් ලෙස සිතාගෙන කටයුතු කළ යුතුය.

මෙයට මුහුණ දීමට නම් ධනාත්මක ආකල්ප ඇතිකරගනිමු

පවතින තත්ත්වය යටතේ අපගේ ජීවිතවල පළමු එසේ නැතිනම් ප්‍රමුඛතාව දිය යුතු වන්නේ අපගේ සෞඛ්‍ය සුරක්ෂිතතාවටයි. අප සියලු දෙනා අතින් නිසි ලෙස ඉටු නොවන සෞඛ්‍ය පිළිවෙත් නිසි ලෙස අනුගමනය කිරීමේ මූලික වගකීම අප සතුය.

අවශ්‍යම අවස්ථාවලදී එය නිසි ක්‍රමවේදයකට යටත්ව පරිපාලනය කළ යුතුය‍. යම් නියාමනයන් ඇත්නම් පමණක් සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කරන අවස්ථා බොහෝ විට දැකිය හැකිය. එම නිසා අපගේ සෞඛ්‍ය ඉතා සුපරීක්ෂාකාරීව පවත්වා ගැනීමට පෞද්ගලිකව වැඩිහිටි අප සැමගේ ප්‍රමුඛතම වගකීම වෙයි. එසේම දරුවන්ගේ සෞඛ්‍ය රැක ගැනීමටද වැඩිහිටි අපගේ වගකීමක් වේ. කෙසේ වෙතත් මෙයට මුහුණ දීමට නම් ධනාත්මක ආකල්ප ඇතිකර ගැනීමට අවශ්‍ය වෙයි.

අප‍ කෝවිඩ්-19 පැරදවීමට ජාතියක් ලෙස නිවැරදිව මුහුණ දිය යුතු වෙයි. ඉතාමත් සකසුරුවම් ලෙසත්, බුද්ධිමත් ලෙසත් සහයෝගයෙන් ජීවත් විය යුතුය. විවිධ ආර්ථික මට්ටම් වුවද විවිධ ජාතින්, විවිධ පන්තීන් වුවද කෝවිඩ් 19 පෙර දිනය ඉක්මනින් ළඟා කරගැනීමට තනි තනිව අපගෙන් ඉටු කළයුතු වගකීම් නිසි ලෙස ඉටුකළ යුතුය.

කෝවිඩ් 19 පරාද කිරීමට ලෝකයේ බොහෝ රටවල්වල අත්හදා බැලීම් රැසක් සිදුකරනු ලබයි. සායනික මට්ටමින් පර්යේෂණ හතළිහක් පමණ වෙයි. රාජ්‍ය මට්ටමින් ආයතනික මට්ටමින් බොහෝ දේවල් සිදු කරයි. නීතිරීති ලියවිලිවලට පමණක් සිමා විය යුතු නැත. අපි ඒවා පිළිපැදිය යුතු සේ ම අපි ස්වයං විනයක් ගොඩනගා ගත යුතු වෙමු. අපි අපේ මනසට මේ සම්බන්ධයෙන් අදහසක් දිය යුතුයි. මෙහි තියන භයානක භාවය වටහාගත යුතුයි. අපි අපේ සෞඛ්‍ය ආරක්ෂාව සපයා ගත යුතුයි. මේ සඳහා සියලුම ක්ෂේත්‍රවල නිසි බලධාරින්ද ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව රැක ගැනීමට යම් කැපවීමක් කළ යුතුයි. රජය ප්‍රමුඛ ආයතන සහ පෞද්ගලික ආයතනවලින් මෙන්ම ජනතාවගේ පාර්ශ්වයෙන් ද එම සහයෝගය ලබා දිය යුතුයි.

ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාල‍ෙය්
මානව සම්පත් කළමනාකරණ අධ්‍යයනාංශ‍ෙය් 
ආචාර්ය ලසන්තිකා සජිවනී තුඩුවගේ

Comments