හොරා - පොලිස් සෙල්ලම කළ රිෂාඩ් එළියට ආ හැටි | සිළුමිණ

හොරා - පොලිස් සෙල්ලම කළ රිෂාඩ් එළියට ආ හැටි

අත්අඩංගුවට පත් රිෂාඩ් බදුර්දීන් බන්ධනාගාරයට රැගෙන ගිය අයුරු

රිෂාඩ් බදුර්දීන් පිළිබඳ අටුවාටීකා කීමට අවැසි නැත. ඔහු පිළිබඳව මෙරට ජනයා බොහෝ දේ දනී. එහෙත් පසුගිය දින හයක කාලයක් පුරා රිෂාඩ් අතුරුදන්ව සිටියේ මෙරට නීතිය අබමල් රේණුවක තරමටවත් හෝ ගණන් නොගෙන රස්තියාදුකාර පුද්ගලයකු විලසින් බව අධිකරණයේදීද කියැවිණි.

පසුගිය කාලයේ මෙරට සිදුවූ ආන්දෝලනාත්මක සිදුවීම් රැසකදීම නම ගෑවුණු රිෂාඩ්ට මෙවරනම් පොට වැරැදුණේ නීතිය මායිම් නොකොට සෙල්ලම් කිරීමට යාම නිසාවෙනි.

2019 දෙසැම්බර් 20 වැනිදා රිෂාඩ්ට එරෙහිව දෙහිවල බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති අක්මීමන දයාරත්න හිමියන් පොලිසියට පැමිණිල්ලක් කළහ. ඒ, රජයට අයත් රුපියල් ලක්ෂ 9502960ක මුදලක් දේශපාලන ව්‍යාපෘතියකට යොදවා තිබෙන බවටයි. එකී පැමිණිල්ල පිළිබඳව පොලිසිය සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී තිබුණේ රිෂාඩ් බදුර්දීන් විසින් 2019 නොවැම්බර් 16 වැනිදා පැවැති ජනපතිවරණයේදී මෙකී මහජන මුදල් අවභාවිත කර ඇති බවයි. ඔහු විසින් ජනපතිවරණයට පෙර දින එනම් නොවැම්බර් 15 වැනිදා සිය අමාත්‍යාංශයෙන් ඒසා මුදල් කන්දරාවක් ගෙන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස්රථ 222ක් වෙන් කරවාගෙන පුත්තලමේ වෙසෙන අවතැන්වූ ජනයා 11600ක ප්‍රමාණයක් මන්නාරම, සිලාවතුර ප්‍රදේශයට ඡන්දය භාවිත කිරීමට රැගෙන ගොස් ඇති බවට චෝදනා එල්ල විණි.

එලෙස අමාත්‍යාංශ ලේකම්වරයාගේ අනුමැතියකින්ද තොරව මහජන මුදල් අවභාවිත කිරීමේ චෝදනාව පිළිබඳව පොලිසිය විසින් නීතිපතිවරයාට කරුණු වාර්තා කෙරිණි. අනතුරුව නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් අත්අඩංගුවට ගන්නා ලෙස පොලිසියට උපදෙස් දී තිබිණි. ඒ අනුව යමින් නීතිපති දෙපාර්තමේන්තු නිලධාරින් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (සීඅයිඩී) නිලධාරින් විසින් පසුගියදා කොටුව, මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතාගෙන් ඉල්ලා සිටියේ රිෂාඩ් බදුර්දීන්ව අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් නිකුත් කරන ලෙසටයි.

එහෙත් මහේස්ත්‍රාත්වරයා සඳහන් කර තිබුණේ එවැනි වරදක් කර ඇති අයෙකු අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් නිකුත් කිරීම අවශ්‍ය නොවන බවයි. ප්‍රමාණවත් සාක්ෂි සතුව තිබේනම් පවතින නීති රාමුව තුළ රිෂාඩ්ව අත්අඩංගුවට ගැනීමට පොලිසියට බලය ඇති බවයි.

පසුගිය 13 වැනිදා එකී තීන්දුව අධිකරණයෙන් ලබා දෙන විට රිෂාඩ් මන්ත්‍රීවරයා පුත්තලමේ සිට සිය නිල වාහනයෙන් මාදම්පේ ප්‍රදේශය පසුකරමින් කොළඹ බලා එමින් සිටියේය. 

රථයේ වූ පෞද්ගලික ගුවන්විදුලි නාලිකාවකින් ඒ පිළිබඳව පුවත ප්‍රචාරය වීමත් සමඟ කලබලයට පත් රිෂාඩ් රියැදුරාට නියෝග කර තිබුණේ වහා රථය නතර කරන ලෙසටයි.

ඉන්පසු ඇමැතුමක් ගෙන එම ප්‍රදේශයේ තම පක්ෂයේ ප්‍රාදේශීය දේශපාලනඥයකු කැඳවා තිබුණේ මෝටර් රථයක්ද රැගෙන මාදම්පේ නගරයේ තමා සිටින ස්ථානයට පැමිණෙන මෙනි. අනතුරුව එම ප්‍රාදේශීය දේශපාලනඥයා රැගෙන ආ රථයට නැඟගත් හිටපු ඇමැතිවරයා සිය ජංගම දුරකථනයද විසන්ධිකොට කොළඹ දෙසට පැමිණ තිබේ. ඒ අතරේ සීඅයිඩී නිලධාරින්ද පුත්තලමේ සිට රිෂාඩ් මන්ත්‍රීවරයා කොළඹ දෙසට පැමිණෙන බව සැලවීමත් සමඟ ඔහුගේ නිල රථය ලුහුබඳින්නට වූයේ ස්ථාන කීපයක රැකවල්ලා සිටිමිනි. නිල රථය සීඅයිඩී නිලධාරින්ගේ ඇස ගැටීමත් සමඟ රථය පසුපසවිත් කොළඹ වැල්ලවත්තෙ පිහිටි ඔහුගේ නිවෙස ආසන්නයට පැමිණි නිලධාරින් දුටුවේ එම රථයෙන් රිෂාඩ් බැස නොගිය බවයි.

ඒත් සමඟ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ විසින් හැකි ඉක්මනින් රිෂාඩ් අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරින් 60කගෙන් සමන්විත වූ කණ්ඩායම් හයක් යෙදවිණි.

ඒත් සමඟ අධිකරණය රිෂාඩ්ට විදෙස් ගමන් තහනමක්ද පැනවීය. රිෂාඩ් අතුරුදන්ව ගෙවුණු පළමු දින දෙක තුළදී ඔහුගේ කොළඹ, පුත්තලම, මන්නාරම නිවෙස්ද සෝදිසි කළත් කිසිදු තොරතුරක් නොලැබිණි. ඒ අතරේ රිෂාඩ් විසින් සිදුකළ රාජ්‍ය මුදල් අවභාවිතය සම්බන්ධයෙන් පසුගිය 14 වැනිදා කිරුළපනදී එක් පුද්ගලයකු අත්අඩංගුවට ගැනිණි. ඒ, අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘතියේ ගණකාධිකාරි අලගරත්නම් මනෝරාජන් නමැත්තායි.

කෙතරම් අවේක්ෂණ රාජකාරි කරමින් රිෂාඩ් සොයා ගැනීමට සීඅයිඩී නිලධාරින් වලි කෑවත් කිසිදු පලක් නොවීය. එම නිසා රිෂාඩ් අත්අඩංගුවට ගැනීමට දින තුනක් පුරා වෙහෙසෙද්දී පසුගිය 15 වැනිදා නීතිපතිවරයා විසින් සීඅයිඩී නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ අධ්‍යක්ෂවරයාට උපදෙස් දී තිබුණේ තම උපදෙස් හා අධිකරණ නියෝග හෑල්ලුවට ලක්නොකර රිෂාඩ් අත්අඩංගුවට ගැනීමට කඩිනමින් පියවර ගන්නා ලෙසයි.

ඒ අතරේ වැල්ලවත්ත ප්‍ර දේශයේදී රිෂාඩ්ට අයත් ඔහු පුත්තලමේ සිට පැමිණි අධි සුඛෝපභෝගි රථය ඇතුළු තවත් රථයක් රියැදුරන් දෙදෙනා සමඟ ගිනිඅවි දෙකක්, මැගසින් දෙකක්, පතොරම් 48ක් සමඟ සොයා ගැනීමට විමර්ශන කණ්ඩායම්වලට හැකිවිණි. තවද රිෂාඩ්ගේ පුද්ගලික ආරක්ෂක නිලධාරියෙක් වන පොලිස් නිලධාරියෙක්ද සිය රාජකාරි වගකීම් පැහැර හැරීම නිසා අත්අඩංගුවට ගැනිණි.

කෙසේ හෝ රිෂාඩ් අත්අඩංගුවට ගැනීමට නොහැකි වීම පිළිබඳව සමාජ මාධ්‍ය ඇතුළු බොහොමයකගෙන් දැඩි ජනතා විරෝධයක්ද එල්ල වෙමින් තිබිණි. විමර්ශන නිලධාරින්ද සිය දක්ෂතාවන්, හැකියාවන් සියල්ල කැටිකොට රිෂාඩ් සොයා ගැනීමට වෙහෙසෙමින් සිටියේය. ඒ අතරේ රිෂාඩ් සමඟ දුරකථන සංවාද පැවැත්වූ බව සැලවීමත් සමඟින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ හිටපු ඇමැති රවුෆ් හකීම් යන දෙදෙනා සහ රිෂාඩ්ගේ බිරියගෙන්ද දීර්ඝ ලෙස ප්‍රකාශ සටහන් කරගැනීමටද විමර්ශන නිලධාරින් කටයුතු කළහ.

රිෂාඩ් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් දියත්කොට දින පහක් ගෙවුණු තැන එනම් පසුගිය 17 වැනිදා රිෂාඩ්ගේ සමීපතයකු වන මොහොමඩ් ෆර්සාන් හමීඩ් නමැත්තෙක් ගෙවුණු දින කීපය තුළ රිෂාඩ් සමඟ බොහෝ දුරකථන සංවාද පවත්වා ඇති බවට හෝඩුවාවක් සීඅයිඩි නිලධාරින්ට සොයා ගැනීමට හැකිවිණි. ඒ, එකී පුද්ගලයාගේ දුරකථන වාර්තා නිරීක්ෂණයේදීයි. එම දුරකථන දත්ත ඔස්සේ ඔහු පිළිබඳව වැඩිදුර විමර්ශනයේදී අනාවරණය වූයේ එකී පුද්ගලයා වැල්ලම්පිටියේ වෙසෙන්නෙක් බවයි.

සීඅයිඩී නිලධාරින් ඔහු පිළිබඳ සූක්ෂ්ම විමර්ශනයක් සිදුකොට 17 වැනිදා සවස් යාමයේ එම පුද්ගලයා සහ මොහොමඩ් නිසාර් නමැත්තෙක් කොටුකරගත්තෙ වැල්ලම්පිටිය, වෙන්නවත්ත ප්‍ර දේශයේදීයි.

ඔවුන්ගෙන් රිෂාඩ් යනඑන තැන් මෙන්ම රිෂාඩ්ගේ සමීප හිතවතුන් පිළිබඳ බොහෝ තොරතුරු අනාවරණය විය. ඒත් සමඟ 18 වැනිදා වෙද්දී රිෂාඩ් පසුගිය දින කීපයේ සැරිසැරු ප්‍ර දේශ පිළිබඳවද ඔවුනගෙන් අනාවරණය වූයේය. ඒ අනුව කොහුවල, කළුබෝවිල ප්‍ර දේශවල සෝදිසි කිරීම් පුළුල් කෙරිණි.

එහිදී කළුබෝවිල රෝහල ආසන්නයේ නිවෙසක් ගැන හෙළි විණි. එම නිවෙසේ වූයේ උපකාරක පන්ති ගුරුවරයෙක් සහ හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරියකි.

එම දෙදෙනාගෙන් ප්‍රශ්න කරන අතරේ එම නිවෙසද සියුම් පරීක්ෂාවකට ලක්කෙරිණි. එම පරීක්ෂාවන්හිදී අනාවරණය වූයේ එම නිවෙසේ සීසීටීවී කැමරා පද්ධතියේ දත්ත ගබඩා කෙරෙන ඩීවීආර් උපකරණයද නොමැති බවයි. ඉන් නිලධාරින්ගේ සැකය තීව්‍ර විණි.

“සර්... මෙහෙමයි... රිෂාඩ් ඇමැතිතුමා පහුගිය දිනවල අපේ ගෙදර හිටියා... ඒත් දැන්නම් නැහැ... ඩීවීආර් එක ගලවන්න කීවෙත් එයාම තමයි...“

ඔවුන් දෙදෙනාගෙන් හෙළි වූයේ රිෂාඩ් එම නිවෙසේ සිට 16 වැනිදා අලුයම් කාලයේ රිෂාඩ්ගේ තවත් හිතවතෙක් වන අක්කරපත්තුවේ වෙසෙන විදේශ රැකියා ඒජන්සියක් පවත්වාගෙන යන අයෙකු පැමිණ කැඳවාගෙන ගිය බවයි. තවද එකී විදේශ රැකියා ඒජන්තවරයාට දෙහිවල, සුපිරි මහල් නිවෙසක්ද තිබෙන බවද අනාවරණය විය.

මෙහෙයුමේ නිරත සීඅයිඩී නිලධාරිහු මේ පිළිබඳව උසස් නිලධාරින්ද දැනුවත් කෙරිණි. ඒ අනුව සීඅයිඩී බාර ඉහළ නිලධාරින් විසින් නිලධාරින් පිරිසක් රිෂාඩ් සොයා අක්කරපත්තුවටද යැවුණු අතර තවත් කණ්ඩායමක් දෙහිවල මහල් නිවෙසටද යැවිණි.

දෙහිවල නිවෙසට ගිය නිලධාරින්ට එකී නිවෙසේ සිටි දියණියන් පැවැසුවේ තම පියා අක්කරපත්තුවට ගිය බවයි. ඒ වන විටත් සීඅයිඩී නිලධාරි කණ්ඩායමක් අක්කරපත්තුවේ රැකියා ඒජන්තවරයාගේ නිවෙසටද කිට්ටු වෙමින් සිටියේය.

පසුගිය 18 වැනිදා අක්කරපත්තුවේ නිවෙස වැටලු සීඅයිඩී නිලධාරින්ට විදේශ රැකියා ඒජන්තවරයා, රිෂාඩ් පිළිබඳ නොයෙක් බොරු බේගල් ඇද බා තිබිණි. එහෙත් ඔහුට සීඅයිඩී නිලධාරින්ගෙන් ගැලවීමක් නැති තැන කියා තිබුණේ,

“සර්... රිෂාඩ් මන්ත්‍රීතුමා... දෙහිවල ඉන්නෙ... මගේ ගෙයක් තියෙනවා දෙහිවල නගර සභාව ඉදිරිපිට එබනිසර් පාරේ තියෙන මහල් නිවෙසක... ඒ ගෙදර තමයි ඉන්නෙ...“

ලැබුණු තොරතුරු පිළිබඳව සීඅයිඩි නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ අධ්‍යක්ෂවරයා දැනුවත් කිරීමෙන් පසු එම නිවෙස පිළිබඳ අවේක්ෂණය කළ මෙහෙයුම් කණ්ඩායම් නිලධාරින් තොරතුර පිළිබඳව තව තවත් සොයා බැලීය. පැය කීපයක් අවේක්ෂණය කළත් පිටතින් කිසිවක් දැනගැනීමට නොහැකි විය. 18 වැනිදා රාත්‍රිය වෙද්දී නිවෙස අවට සීඅයිඩී නිලධාරින්ට අමතරව පොලිස් විශේෂ කාර්ය බළකා ආරක්ෂාවද යෙදවිණි.

19 වැනිදා පාන්දර තුන පමණ වෙද්දී එම මහල් නිවෙසේ තුන්වැනි මහලේ, නොම්මර තුන ලිප­ිනයැති නිවෙස රිෂාඩ් සැඟවී සිටින නිවෙස බව නිලධාරිහු හඳුනා ගත්හ. අනතුරුව නිවෙසේ දොරට තට්ටු කළද කිසිවෙක් ඊට ප්‍රතිචාර නොදැක්වීය. අවසන දොර කඩා විවෘත කිරීමට සැරැසෙනවාත් සමඟම රිෂාඩ්ගේ සහායකයා වන තමීජ් නමැත්තා දොරගුළු විවර කළේය.

ඒත් සමගම නිදන කාමරයක සිට රිෂාඩ් එළියට ආවේ, “ඔයගොල්ලො කොහොමහරි මාව හොයාගත්තනෙ“ කියායි.

එකී මහල් නිවෙසේ ආරක්ෂක නිලධාරියා හෙළි කළේ,

“ඒ ගෙදර අයිති කෙනා ගමට ගියා... ගෙදර අයිති කෙනාගේ රියැදුරා සමඟ ඔය මන්ත්‍රීතුමා දින තුන හතරක් තිස්සෙ ඔය ගෙදර හිටියෙ...“

රිෂාඩ්ට සැඟවී සිටීමට ආධාර අනුබල දීමේ චෝදනා යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් විසින් මොහොමඩ් ෆර්සාන් හමීඩ්, මොහොමඩ් නිසාර් මොහොමඩ් රිෂාඩ්, මොහොමඩ් රසිඳු පහුමුදීන්, විශේෂඥ වෛද්‍ය මොහොමඩ් ගයිනුර් මසිමා, මරික්කාර් හම්බි තම්ප් අක්බාර්, සෙයියදු රහමතුල්ලා සහ මරික්කාර් මොහොමඩ් ඉර්ෂාඩ් යන හත්දෙනාද අත්අඩංගුවට ගැනිණි.

ඔවුහු හත්දෙනා රිෂාඩ් සමඟ කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

මන්නාරම අධිකරණයට ගල් ගසමින් බරපතළ චෝදනා තිබෙන රිෂාඩ් සිදුකළ දින හයක හොරා - පොලිස් සෙල්ලම නිමා වුවත් ඔහුට එරෙහිව තිබෙන සෙසු අපරාධ විමර්ශන දහයකට අධික ප්‍රමාණයේ සම්පූර්ණ වාර්තා දින 14ක් ඇතුළත නීතිපතිවරයා වෙත ඉදිරිපත් කරන ලෙසටද නීතිපති දප්පුල ද ලිවේරා මහතා පසුගියදා වැඩබලන පොලිස්පතිවරයාට නියෝගයක්ද නිකුත් කළේය.

එම නිසා බලය තිබූ සමයේ හොඳ හොඳ සෙල්ලම් දැමූ රිෂාඩ්ලාට ඉදිරියේදී සිදුවන්නෙ කුමක් ද යන්න මේ වන විට රටටම බලා සිටී.

ඡායාරූප - සුලෝචන ගමගේ

Comments